මුල් කොටස් සඳහා
5 කොටස
**********************************************************************************
**********************************************************************************
“උඹට මම.........” ඈගේ කෙස්වැටිය අතහැර පහරක් එල්ල කිරීමට සූදානම් වත්ම හුරුපුරුදු කටහඬක් මා අමතනවා ඇසිණි.
“අශාන්.....”
මා වහා පිටුපස හැරී බැලුව් විශ්මයෙන් යුතුවයි.විශ්වාස කල නොහැකි වුවත් ඒ ඇයයි.දෙනෙත් අදහාගත නොහැකිව මා ස්වල්ප වෙලාවක් ඈ දෙස බලා සිටියේ මෙය කෙසේ සිදුවුණිදැයි සිතාගැන්මට නොහැකිවයි.කෙසේ නම් විශ්වාස කරන්නද රෝහලේ සිටි ප්‍රධාන වෛද්‍යවරිය යානය තුලට පැමිණ සිටින වග.
“මේක වෙන්න බැහැ......” මම සෙමින් මිමිණුවෙමි
ඇය සිනාසෙන අතරතුර මා හට නෙතින් සන් කලේ පිටුපස බලන ලෙසටයි.මම වහා පිටුපස හැරී බැලුවෙමි.සෙබලිය ඇගේ බැමි නිදහස් කරගෙන සිටියාය.... කල යුත්තේ කුමක්දැයි මා සිතීමටත් පෙර සෙබලිය මා හට පහරක් එල්ල කර පුටුවට මාගේ දෑත් දෙපය ගැටගැසීමට පටන් ගත්තේ මා අසරණ කරවමිනි.තවමත් කිසිවක් සිතාගත නොහැකිව මා වෛද්‍යවරිය දෙස නෙත් යොමා සිටියේ ඇගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන්.
“මෙයා දැන් මගෙයි අයුමි..... යානයේ පාලනය ඔයා බාරගන්න....”
“හ්ම්ම් ඊට ඉස්සෙල්ලා පොඩි ගනුදෙනුවක් තියෙනවා බේරගන්න”
ඒ සමගම මාගේ මුහුණ හරහා දැඩි පහරක් එල්ල විණි.මොහොතකට මාගේ දෙනෙත් නිලංකාර වෙන අයුරක් මට දැනෙන්නට වූයේ දැඩි වේදනාවක්ද සමගයි.කොපමණ ප්‍රහාර ලැබුවත් සතුරා ඉදිරියේ අසරණ වීම මා හට කල නොහැක්කක්.අවඥා සහගත හිනාවක් මා නැවත ඇය වෙත යොමුකලේ කිසිදු වේදනාවක් නොහඟවමින්....
“හමුදා නිලධාරිණියක්ව ගැට ගහලා හිර කරන්න කලින් දෙපාරක් හිතන්න වෙයි මීට පස්සේ....”
යැයි පැවසූ ඈ මා දෙස කුරිරු බැල්මක් හෙලමින් කුටියෙන් පිටවිණි.
“ඉතින් අශාන්.... හිතුවේ නෑ නේද ආයෙ හමුවෙන්න ලැබෙයි කියලා....”
“නෑ කොහෙත්ම නෑ.....” දිගු සුසුමක් හෙළමින් ඈ දෙස නොබලා මම පිළිතුරු දුනිමි.
“ඔයාගේ හිත පාට නොකරපු චිත්‍රයක් වගේ තිබුනේ අශාන්.ඕනම කෙනෙක්ට පුළුවන් ඒ චිත්‍රය පාට කරලා වෙනස්ම නමක් දෙන්න.ඔයාට මෙතනත් වෙලා තියෙන්නේ ඒකයි.ඔයා වැටිලා ඉන්නේ වැරදි අතකට.......”
“මම දන්නවා මම කරන දේ......”
“නෑ ඔයා දන්නේ නෑ අශාන්.... ඔයා මෙයාලගේ ඉත්තෙක් වෙලා විතරයි”
“මට තව කිසිම දෙයක් දැනගන්න ඕනේ නෑ..... කිසිම දෙයක් ඕනේ නෑ.” මා ඉතා ආවේගයෙන් ඇයට බැනවදින්නට ගත්තේ හිතේ උපන් කෝපය පිටකරමින්.
“ඒ කියන්නේ මම කොහොමද මෙතනට ආවේ කියලත් ඔයාට දැනගන්න ඕනේ නෑ වගෙයි.එහෙමද??.....”
මා ඇයට පිළිතුරු නොදී දෑස් වෙනතකට යොමුකරගත්තේ වචනයකින් හෝ ඇයට යටත් වීමට මා තුල වූ අකමැත්ත නිසාවෙනි.
“හ්ම්ම්ම්..... මේ යානය අපේ හමුදා මූලස්ථානයට යනකන් වෙන කරන්න දේකුත් නැති එකේ මම කියන්නම්කෝ ඒ විස්තර....”
ඇයගේ එම පිළිතුර මා ගැස්මකට පත්කරන්නට සමත් විය.... කිසිදු සැකයක් නැත.අවසන් කැරළිකරුවන් සියල්ල මොවුනගේ සිරකරුවන් වනු නිසැකයි.මේ සියල්ලටම හේතුව මාගේ මුරණ්ඩු කම බැව් මට සිතෙන්නට විය.සේනක පැවසූ දේ නිවැරදි යැයි මට මොහොතකට සිතිණි.... යන්තමින් හෝ සතුටට පත් විය හැකි නම් ඒ ජයසිංහ ජීවතුන් අතර සිටීම පිළිබඳව පමණි.....
“මුලින්ම ඔබට බොහෝමත්ම ස්තූති කරන්න ඕනෙ අශාන් අපේ සැලැස්ම පහසු කෙරෙව්වට.... ඔබ සෙබලියව යානයට රැගෙන ආ මොහොතේ ඉඳලා ඔබ අපිට අවශ්‍ය සියළුම තොරතුරු ලබා දුන්නා.... ඇගේ ආයුධත් ඔබ සුරැකිව රැගෙන ආපු එක සෑහෙන්න ප්‍රයෝජනවත් වුනා අපිට....”
මා නිරුත්තරව ඇගේ කතාව අසන්නට වූයේ මෙයින් ගැලවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව හැඟුණු නිසයි.වරදකරු මා යැයි ඇසෙන විට දරාගත නොහැකි තරම් දුකක් හදවතට දැනෙන්නට වූයේ නිරායාසයෙන්.මම නැවතත් ඇගේ කතාවට සවන් යොමුකරන්නට සිතා ගත්තෙමි.
“සෑම සෙබලියකුගේම හිසට සවිකරලා තියෙන පළඳනාව ඔබට මතක ඇති සමහරවිට.එය එක්තරා ආකාරයක පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් නමුත් එයින් සම්ප්‍රේශණය කල හැක්කේ සිතුවිලි පමණයි.මේ වගේ රහසිගත මෙහෙයුමකදී එය සෑහෙන්න වැදගත් මෙහෙයක් ඉටු කරනවා.කිසිදු පුද්ගලයෙකුට එම සන්නිවේදනයට සවන් දෙන්න බැහැ.”
සෙබලියට පහරදුන් පසු ඇගේ හිසේ වූ එම උපකරණය ගලවා ඉවත්කල බැව් මා මතකයට පිවිසිණි.මා එය නැවත රැගෙන ආවේද නැත.සෙබලිය සතුව තිබූ ආයුධ පමණක් යානයට රැගෙන ආ බව මා හට හොඳ මතකයක් තිබිණි....
“ඒ පළඳනාව ඔබ හෝ ඔබේ කැරළි කණ්ඩායෙමේ කිසිවෙක් පැළඳුවත් පලක් වෙන්නේ නෑ.එය නිර්මාණය කරලා තියෙන්නේ අපට උපතේදිම මොළයට ඇතුලත් කරන කුඩා පරිපථයක් සමග ක්‍රියා කිරීමට.ඒ පරිපථය හමුදා මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධයි.අපගේ සෙබළියන් සතුරන් අතට පත්වූවොතින් ඔවුන් සිටින ස්ථානය තහවුරු කරගැනීමටත්,අවශ්‍ය වූ විටක අපගේ රහස් සඟවා ගැනීමට ඔවුනගේ මතකය මකා දැමීමටත් එය ඉතාමත් වැදගත්..... දැන් ඔබට තේරෙනවා ඇති අශාන් ඔබ ඇයව යානයට රැගෙන ඒමෙන් සිදුකරගත් විනාශය....”
“ඒත් ඔබ කොහොමද මෙතනට ආවේ.....??? ටෙලිපෝර්ට් යන්ත්‍රයකට සමාන කිසිවක් ඇගේ ආයුධ අතර තිබුනේ නෑනේ..???” මම විශ්මයෙන් විමසන්නට වූයෙමි.
“ඔබට වැරදුණු තැන එතනයි අශාන්...... හමුදා සෙබලියන් විදියට ඕනෑම හදිසි අවස්ථාවකදි නැවත මූලස්ථානයට ටෙලිපෝර්ට් වන්නට හැකි අයුරින් තමයි ආයුධ නිපදවලා තියෙන්නේ.හැම සෙබලියක්ම රැගෙන යන ආයුධයේ ටෙලිපෝර්ට් වීමට උදව් දෙන උපාංගයක් තිබෙනවා.....එය ද්විත්ව දොරටු ටෙලිපෝර්ට් උපාංගයක්.ඔබ රෝහලේදි දුටු තාක්ෂණයට වඩා එය බලවත්.... “
සියල්ලම මා හට පැහැදිලි විය.මොවුන් අපට වඩා පියවර ගණනාවක් හැම අතින්ම ඉදිරියෙන් සිටීම නිසා අපට ජය ගැනීමට කිසිදු අවස්ථාවක් නැත යැයි මට සිතිණි.නමුත් සෙබලියක් නොපැමිණ ඒ වෙනුවට වෛද්‍යවරියගේ පැමිණීම මා තුල විශාල කුකුසක් ඇති කිරීමට සමත් නුවූවා නොවේ....
සම්පූර්ණ යානයේ පාලනය මේ වන විට සෙබලිය සියතට රැගෙන සිටියාය.සෙසු සාමාජිකයන්ට අත්වූ ඉරණම පිළිබඳ වැටහීමක් නොතිබුනද ඔවුන් තවමත් ජීවතුන් අතර සිටින බවට මා තුල දැඩි විශ්වාසයක් තිබිණි.මා පසෙකින් සිහිසුන්ව සිටියේ ජයසිංහයි...
කාන්තාවන් දෙදෙනෙකු පැමිණ කැරළිකාර කණ්ඩායමක් සහිත යානයක් පාලනය කිරීම පිළිබඳව සියුම් ලැජ්ජාවක් හිතට නොදැනුනා නොවේ..... නමුත් දැන් මෙහි බලාසිටීම හැර කරන්නට කිසිත් නැත.මොවුන්ගේ මූලස්ථානයට කෙතරම් දුර ප්‍රමාණයක් ඇත්දැයි පවා නොදැන කිසිදු පියවරක් ගන්නටත් බැරිය.දෑත් සෙලවීමට පවා නොහැකි අයුරින් වෙලා තිබීම නිසා මා හැම අතින්ම පරාජය වී හමාරය...
සේනක පිළිබඳ මතකය එක්වරම මා සිතට පිවිසියේ එවිටයි.ඔහු යානය තුලට පිවිසියේද යන්න මා හට විශ්වාස නැතිමුත් යම්හෙයකින් ඔහු යානය තුල සැඟවී සිටීනම් සෙබළියට එරෙහි වී නැවත පාලනය අප අතට ගැනීමට වැඩි වාසියක් ඇති බැව් මා හට වැටහිණි.එහෙත් ඇගේ ක්‍රියාකාරකම් අධ්‍යනය කරමින් සිටින හමුදා මූලස්ථානය තවත් සෙබලියන් යානය තුලට එවීමට පියවර ගැනීම වැලැක්වීම ප්‍රථමයෙන්ම කල යුතු ක්‍රියාවයි......
*****
සේනක දෑස් විවෘත කර වටපිට බලන්නට විය.තමා සිටිනා තැන පිළිබඳව කිසිදු මතකයක් ඔහු තුල නැති ආකාරයකි.මදක් වේලා නිසොල්මන්ව සිටි ඔහු අපහසුවෙන් නැගී සිටීමට උත්සහ කරන්නට විය.මදක් වේලා උත්සහ කිරීමෙන් පසු ඔහු නැගිට අසල වූ මේසයක් අල්ලාගෙන සමබර වීමට උත්සහ ගත්තේ බිම්ගෙය කඩාවැටීමේදි ඔහුගේ ශරීරයට සිදුවූ තුවාල නිසාවෙනි....
තමා අල්ලාගෙන සිටින මේසය මත ඇති අවිය දෙස ඔහු දෙනෙත් යොමුකලේ මෙවිටයි.අසිහියෙන් මෙන් යානයට නැගගෙන මේ කාමරයට පැමිණි පසු ඔහු සිහිසුන්වූ බව ඔහුගේ මතකයට පිවිසිණි.නමුත් තිබූ නමුත් එම මොහොතේ මේසය මත අවියක් නොතිබුණු බව ඔහුට හොඳහැටි මතකයේ තිබිණි... එම අවිය අතට ගෙන පිරික්සීමට ගත්විට ඔහුට එහි වූ ලාංඡනය දැකගන්නට ලැබුණි.නිසැකයෙන්ම එය හමුදා සෙබලියකගේය...
යානය හමුදා සෙබලියන්ගේ පාලනයට නතුවී ඇතැයි යන්න සේනකට සිතිණි.ඔහු වහා එම අවිය තම අතට ගෙන අපහසුවෙන් ඉදිරියට ගමන් කරන්නට විය.ඔහුට එක්වරම කෑ ගැසීමක් ඇසිණි.නිසැක වශයෙන්ම ඒ අශාන්ගේ කටහඬයි.ඔහු ඉදිරියට යත්ම කවුරුන් හෝ තමා ඉදිරියට පැමිණෙන හඬක්ද ඔහුට ඇසෙන්නට විය.ඔහු වහා අසල වූ කුටියට පිවිසියේය.ඔහු සිටි කුටිය පසුකරමින් ඉදිරියට ගමන් කරන්නට වූයේ හමුදා සෙබලියකි.ඔහු තම අවිය ගෙන ඈව ඉලක්කගත කලද තව කෙතරම් සෙබලියන් යානයේ සිටීද....?? මැය මියැදුණත් අනෙකුත් සෙබලියන් පැමිණ තමාට පහරදෙයිද...??? ඔහු කල්පනා කරන්නට විය.අවසානයේ ඔහු සිය අවිය පහත හෙලුවේ මෙම අවස්ථාවේ හොඳ සැලැස්මක් නොමැතිව සටනට පිවිසීම අනුවණ ක්‍රියාවක් යැයි ඔහුට සිතුනු නිසායි...
මුළු යානයේම පාලනය තිබුනේ කාන්තාවන් දෙදෙනකු අත බව ඔහු නිකමටවත් නොසිතන්නට ඇත....
ඔහු කුටියෙන් පිටතට පැමිණ සෙබලිය පැමිණි දිශාවට ගමන් කරන්නට විය.තමා ගමන් කරමින් සිටින්නේ යානයේ වෛද්‍ය කුටිය වෙතට බව එහි තිබූ සලකුණු වලින් ඔහු වටහා ගත් බවක් පෙනෙන්නට තිබුණි.ඔහු සෙමින් සෙමින් එම කුටිය අසලට පිවිසීමට සමත් විය.කාන්තා කටහඬක් යාන්තමට ඔහුට ඇසෙන්නට විය නමුත් ඇය පවසනා දේ ඔහුට හරියාකාරව නොඇසිණි....
දොර යන්තමින් විවෘත කරගත් ඔහු ඇතුලත සිදුවන දේ බලන්නට උත්සහ කලේය.ඔහුට දැකගැනීමට හැකිවූයේ පුටුවට තබා අත්පා වෙලා ඇති අශාන්ව සහ පසෙකින් බැමි රහිතව වැතිරී සිටින ඔහුගේ නායක ජයසිංහවයි.අශාන් ඉදිරිපිට වූ අසුනේ සිටින කාන්තාවද ඔහුට දැකගැනීමට හැකිවිය.ඔහු සිතූ දේ නිවැරදි යැයි ඔහුට සිතිණි.තව බොහෝ සෙබලියන් යානය තුල සිටින බැව් ඔහු ප්‍රත්‍යක්ෂ කරගත්තේය.
ඔහු දොර අසලින් මෑත්වී බිත්තියට හේත්තු වී සිටින්නට වූයේ බලාපොරොත්තු රහිතවයි.යානයේ සියළු දෙනා මේ වනවිට මොවුන්ගේ සිරකරුවන් බවට පත්ව ඇතැයි ඔහුට සිතිණි.තමන්ට තනිවම මෙම සටන කරන්නට නොහැකි බවත් ඔහුට වැටහිණි.එසේ නම් අවම වශයෙන් අශාන්ව හෝ මුදාගැනීම අත්‍යාවශ්‍යය කරුණකි.මැය තනිව සිටින නිසා පහර දීම පහසු යැයි ඔහුට සිතිණි.ඔහු නැවත දොර හිඩැස වෙතට තම දෑස් යොමුකලේය...
එවිට ඔහු දුටු දර්ශනය ඔහුව බියෙන් තැති ගැන්වීමට සමත් විය.....
ප/ලි
පොටෝව ගත්තේ මෙතනින් http://smhttp.14409.nexcesscdn.net/806D5E/wordpress-live/images/Screen-shot-2011-06-23-at-8.56.47-AM-e1308844675527.png හැබැයි පොඩ්ඩක් විතර එඩිට් කරලා දැම්මේ.
ඊළඟ කොටස දෙන්න සෑහෙන්න කාලයක් යයි.ඒ ගැන අමනාප වෙන එකක් නැතිවෙයි කියලා හිතනවා හැමෝම....