Monday, February 27, 2012

ලොකු පපඩමක් ගැහුවා කරමණක්


දෙවන වර උ/පෙළ කරන්න යන කාලේ වෙච්චි සිද්ධියක් මතක් වුනු නිසා හිතුනා ලියන්නෝන කියලා.මගේ කොන්දේ ආබාධය දරුණු වෙලා ඇවිදින්න බැරි තත්වෙට පත්වුනෙත් මේ කියන්න යන සිදුවීමෙන් පස්සේ.මේ සිද්ධිය වුනේ 2011 පෙබරවාරි මාසේ අන්තිම සතියේ සිකුරාදාවක.දෙවන වර උ/පෙළට පන්ති ගියපු අවසාන දවසත් ඒක.


වැස්ස දවසකට උදෙන් නැගිටලා පන්ති යනවයි කියන එක තමයි මට කරන්න අමාරුම වැඩේ නිදාගෙන ඉන්නකොට බෙල් එක වදිනකොට මට මාත් එක්කම තරහයි මුල්ම සැරේ හරියට වැඩ කරගෙන ගොඩ ගියානම් උදේ නැගිටං මැරෙන්න වෙන්නේ නෑනේ.මොනා කරන්නද මොලේ වැඩෙන්නේ පරක්කු වෙලානේ.මේක කියවන උ/පෙ කරන එවුන් ඉන්නවනම් දැන්වත් හැදියල්ලා නැත්තම් බඩුම තමා. මේ සිද්ධිය වුනු  දවසෙත් අම්බානක වහිනවා අපිට දුෂ්‍යන්ත සර්ගේ පන්තිය තියෙන්නේ රොටරියේ වලේ හෝල් එකේ.වැස්ස දවසට ඒකේ දියවැල් ගලනවා හැම අතින්ම මාර සනීපයි.

කෙහෙල්මල් වැස්සක් අස්සේ එලාම් එකත් කලින් වදිනවා මම ඒක සයිලන්ට් කරලා පැත්ත හැරිලා තව ටිකක් දොයියුවා වැස්ස ටිකකින් පායයිනේ කියලා.ටික වෙලාවකින් නිකන්ම නැගිට්ටුනා වෙලාව බැලින්නං 6යි.මල මගුලයි 6.30ට පන්ති පටන් ගන්නවා දෙලොව රත්වෙලා දුං දාන්න ගත්තා වෙනදාට විනාඩි 10න් 10ට වදින එලාම් එක වැදුනේ නෑනේ.යන්තම් මූණ කට හෝදන් ඇදුමක් දාගේන පොත් දෙකයි ටියුට් කැටියකුයි අතේ අරන් පාරට බැහැලා බස් එකක එල්ලුනා.හොරණ කොළඹ බස් ගැන දන්න අය දන්නවානේ.ෆුට් බෝඩ් එකේ එල්ලිලා හිටිය මට සෙනග බහින වාරයක් පාසා හොදට නාගන්න වුනා බහින අයට බැහැලා ඉඩ දෙන්න ගිහින්.(හොද පාඩම් උඹේ කම්මැලිකමට....මටම බැනගන්නවා ඇරෙන්න මක් කරන්නද).

කොහුවලින් බහිද්දි ආයේ ගන්න දෙයක් නෑ හෝදලා ඇග ගසපු ඩියුලක්ස් බලු කුක්කෙක්ගේ වගේ කොන්ඩේ අකුණු සන්නායක වගේ කොණ්ඩේ උල් උල් වෙලා.රබර් සෙරප්පු දෙකෙන් මඩ ඉහලා කලිසම දිගටම.සෙරප්පු දෙක කොච්චර ගතිද කියනවනම් කහ ඉරට අඩිය තිබ්බ ගමන් මාව බිම ඉන්දුනා....

කවුද යකෝ කහ ඉරේ තෙල් හලපු බූරුවා @%#$%&$*^&%( ”

මම කාටවත් බැන්නේ නෑ ඉතිං ඉන්දුනු ඉන්දිල්ලට කියවුනා.ආයේ වටපිට බලලා කවුරුත් දැක්කේ නෑ කියලා හිතලා රොටරියට යනකන් ඉගිල්ලුනා වෙලාව 7.30දැන්.මේ පැය ඇති දුෂ්‍යයන්ත සර්ට පාඩමක් ඉවරකරන්න.ඇගේ ලේ නැතිව හිටියේ.

පට් ගාලා රොටරියට එන්ටර් වෙලා කාඩ් එකත් මාක් කරගත්තා.එදා කාඩ් මාක් කරන්න හිටිය අනිල් අංකල් කිව්වා බලාගෙන යන්න පඩිපෙල ලිස්සනවා කියලා.මමත් ඉතිං අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන් වගේ හිමින් සැරේ පඩියෙන් පඩිය බැස්සා පෙට්ටියා මාව දැකලා හිනාවක් එහෙම දාලා ආයේ බිම බලාගත්තා මමත් ඉතිං වාඩිවෙන්න තැනක් හොයන ගමන්  පොළවට අඩිය තිබ්බා ඒ විතරයි............

එතැන ඉදලා වෙච්චි සිද්ධිය වෙනත් ඈන්ගල් එකකින් ලියන්නම්කෝ. පෙට්ටියාගේ ඇසින් දැකලා පස්සේ කට්ටියට කියපුවා තමයි මේ

ගැමියා පඩිපෙල බැස්සේ නිකන් නින්දෙන් ඇවිදිනවා වගේ මම මූට හිනාවක් දාලා පොත දිහා බලලා ආයේ ගැමියා එන දිහාව බැලුවා.....

මූ මිසිං....... එතකොට තමයි මුගේ පොත් ටිකයි ටියුට් ටිකයි උඩ පාවෙනවා දැක්කේ මට නිකන්ම නැගිටුටුනා මූ කොහෙද අන්තරස්දාන උනේ බලන්න කෙල්ලෝ හිනාවෙනවා නැතිවෙන්න..... කොල්ලොත් සැරට හූව දුන්නා.ඒත් මූ නෑ.ආයේ සැරයක් කෙල්ලෝ හිකි හිකි ගාලා හිනාවෙන්න ගත්තා.මම බැලුවා මූ කෙල්ලොන්ගේ අස්සේ මොනා කරනවද කියලා.ඊටත් ටික වෙලාවකට පස්සෙයි මූ නැගිටලා කොන්ද නමාගෙන ඇවිත් ඉස්සරහා පේලියෙන් වාඩි වුනේ.සර්ටත් හිනා සර් මූ වැටෙන කොටම සර් දැකලා කියාපි....

ම්ම්ම්ම්ම්.........හා හා මේ කාලේ වැටෙන්න හොද නෑ....

පෙට්ටියා ඇක්ටිං කරන ගමන් කිව්වේ කස්ටියට.මට එදා නෝන්ඩි ගොඩයි ඉන්ටර්වල් එකට යන එන එවුනුත් ඇවිල්ලා අහනවා ඒ උඹද බං උදේ පාන්දර වැටුනෙ කියලා

ඇත්තටම උනේ මේකයි පඩිපෙල ලිස්සනවා කිව්වට කවුරුත් මට කිව්වේ නෑනේ පොළව ලිස්සනවා කියලා,මම ඉතින් අත්ත බිදෙයි පය බුරුලෙන් කියලා පඩියට යන්තම් අඩිය තිය තිය ඇවිත්,මොනා බිදෙන්නද පය හයියෙන් කියලා පොළවට අඩිය තිබ්බා.ඒ තියපු වේගෙට මාව ලිස්සලා අතේ තියපු පොත් සේරම උඩ විසි වුනා හරි ලස්සනට ෆිල්ම් එකක වගේ.වැඩේ කියන්නේ මාව ලිස්සලා ගිහිල්ලා හිරවුනේ කෙල්ලෝ රොත්තක් වාඩි වෙලා හිටපු ඩෙස් එකක් අස්සේ මට නැගිටින විදියක් හිතා ගන්නවත් බෑ ත්‍රිභංග ලීලාවෙන් ඩෙස් එක යට හිරවෙලා හිටියේ.වැස්ස නිසාද කොහෙදෝ කෙල්ලෝ ඔක්කොම ඇදන් හිටියේ කොට සායවල් මම වැටුනු පාරට ගැස්සුනු එවුන් කකුල් එකතු කරගන්න ට්‍රයි එක දෙතුන් දෙනෙක්ගේ පා ප්‍රහාරවලටත් ලක් වුනා(අපේ එවුන් මේවා දන්නවනම් මාව එදාම මස් කරනවා).

එතන කොයි තරම් හොද වුනත් දැන් ඉතිං ඩෙස් එක යටම ඉන්න බෑනේ සර්ත් නෝන්ඩිය දානවා ඉතිං චුට්ටක් දණ ගාගෙන ඇවිත් කකුල බර කරලා නැගිට්ටා ඒත් මගේ වම් කකුල නිකන් නෑ වගේ ඒ මදිවට කහ ඉරේ තිබුනු තෙල් පවර් එකටමද කොහේදෝ අති සාර්ථක දෙවැනි වරටත් මාව බිම පත බෑවුනා.කෙල්ලෝ ආයේ හිකි හිකි ගාලා හිනාවුනෙත් ඕකටම තමයි.මගේ ටිකිරි මොලේට තේරුනා ආයේ නැගිට්ටත් මෙච්චරයි කියලා ,ඉතින් අර දෙනෝදාහක් ඉස්සරහා කිරි බීපු හිච්චි කාලේ මතක් වෙන්න දණ ගාලා,වැටුනු පොතුයි ටියුටුයි එක්කහු කරන්, දණ ගාගෙනම කෙල්ලොන්ගේ ඩෙස් පේළියත් පහු කරන් වතුර නැති කලාපෙකට ඇවිල්ලා කොල්ලො හිටපු ඩෙස් එකක් අල්ලගෙන නැගිටලා ඇවිත් තමයි වාඩි වුනේ.මගේ කනෙන් පේනවා කෙල්ලෝ මාව බයිට් එකට අරන් හිනාවෙන හැටි මට ඇහෙන්න එක එක ඒවා කිය කිය.

කෑවායිනුත් කෑවේ නෑ මෙහෙම බයිටක්.එදාම හවසත් නුගේගොඩ මාකට් එකේ පඩිපෙලෙත් රොත්ත බුරුත්ත එක්ක වැටුනා ලිස්සලා .ඒ වැටෙන එකෙක්ව ඇල්ලුවාම(මණ්ඩිපාලව) ඒ එක්කම ඇදිලා ගිහින්.ඊට පස්සේ  කොන්දේ ප්‍රශ්නේ උග්‍ර වෙලා ඇවිදින්න බැරිව පන්ති යෑම නතර කරලා දැම්මා...

කොන්දේ කේස් එක යන්තම් ගොඩ ගියාම ආයේ උ/පෙ කරන්න හිතුනා.මම ඉතිං දෙවෙනි පාර ආයේ උ/පෙ කරන්න යද්දි දුෂ්‍යන්ත සර් හම්බුවෙන්න ගියා ඒ ගියේ පරණ කාඩ් එක පෙන්නලා ඇඩ්මිෂන් නොගෙවා පන්තියට යන්න සර්ගේ අත්සන ගන්න.මගේ අතේ තිබුනේ පෙබරවාරි මාසේ කාඩ් එක නිසා මම සර්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න ගියා මෙහෙම....

සර් මම 2008 ඉදන් සර්ගේ පන්ති ආවා ගිය අවුරුද්දේ රිවිෂන් එකටත් ආවා....

මට ඊට එහා කථා කරන්න හම්බුනේ නෑ සර් හිනාවෙලා කියපි

අහ් මට මතකයි මට මතකයි අර ගිය අවුරුද්දේ වලේ වැටුනු එකානේ නේද??? 

 ප/ලි
පින්තූරේ ගත්තේ මෙතැනින් http://2.bp.blogspot.com/_wbtZLza5SIk/TK8z6Q_XG6I/AAAAAAAADN8/akd2fcsTozo/s400/baby+crawl.png

Wednesday, February 22, 2012

ඉපැරණි මිනිසෙකුගේ සමුගැන්ම....

මම පහුගිය දවසක වෙද ගෙදරට ගියපු වෙලාවක පොඩි වෙද මහත්තයා කියපු අමුතුම කතාවක් එක්කයි මේ දුක්මුසු සිදුවීම ලියන්න හිතුනේ........

සෑහෙන්න කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ තාම පහුගිය ලිපියට පිළිතුරු බැඳලා ඉවරත් නෑ.සෑහෙන්න වැඩ අධික කාලයක් පහු කලේ ඊට අමතරව දුක්මුසු සිද්ධිත් වුනා.මට වෙදකම් කරලා මාව මේ තත්වෙට ගත්තු අවුරුදු 96 වයස වෙද මහත්තයා අභාවප්‍රාප්ත වෙලා.ඉතිං මම මේ අවස්ථාව එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නත් අවස්ථාවක් කරගන්නවා.එතුමා වෙනුවෙන් පෝස්ටුවක් වෙන් කරන්න හිතුනත් මට කිසිම දෙයක් හිතට එන්නේ නෑ මොකද කොයිතරම් දේවල් කලත් ඒ සෑහෙන්න වටින මනුස්සයෙක්.වෙද මහත්තයා නැති අඩුව හොඳටම දැනුනේ පහුගිය දා එහේ ගියාම දැනුනු පාළුව නිසා.


පහුගිය 19 වෙනිදා පාන්දරම මම පොල්ගහවෙල යන්න පිටත් වුනේ පොඩි වෙද මහත්තයා කල සුළු දැනුම් දීමකට.ඒ වන විට වෙද මහත්තයගේ අවසන් කටයුතු සියල්ල හමාර වී තිබුනා.වෙද ගෙදර සෑහෙන්න වෙනස් වෙලා අළුත් වාට්ටු සංකීර්ණයක් හදලා අළුත් ඇඳන් අළුත් මෙට්ට හරිම ලස්සන පෙනුමක් තිබුනේ.

මම එනවා කියලා කරපු දැනුම් දීම නිසා මේරි නැන්දායි ගම්පහ බාසු අයියයි දෙන්නා ගෙදර නොගිහින් නැවතිලා තිබුනා මාව මුණ ගැහෙන්න.මාසයක කාලයක් මම එහෙ ඉද්දි වෙද ගෙදර ගැන තිබුණු බය මෙහොතකට හරි තුරන් කරලා දැම්මේ ඒ දෙන්නයි බණ්ඩේ මාමයි ප්‍රදීප් අයියයි.

මම ගියාම පොඩි වෙද මහත්තයා මුළු වෙද ගෙදරම පෙන්නුවා දැන් නම් හරිම පිළිවලයි.මට නවතින්න වෙනම කාමරයකුත් ලෑස්ති කරලා තිබුනා.මම වෙද ගෙදර මගේ මතක රඳවාපු තැන් වලට එහෙමත් ගිහින් ගොඩක් කාලේ ගත කලා.හෝමාගම අක්කා ලැප තියපු වළං මැස්ස තාමත් එහෙම්මයි.උපන් ඇඳුම් මෙහෙයුම ක්‍රියාත්මක වුනු බෙහෙත් බඳින් කාමරයත් වෙද මහතාගේ කාමරයත් තාම එලෙසමයි.මම ඡායාරූප කිහිපයකුත් ගත්තා මෙතන දාන්න.

"මල්ලියෝ බලන්නකෝ වෙච්චි වැඩේ දැන් සෑහෙන පාළුයි"

"එක පාරටමද පොඩි වෙද මහත්තයෝ වෙද මහත්තයා නැති වුනේ"

"මම ගිය නොවැම්බර් මාසේ අළුත් වාට්ටුව හදන්න වෙලාවක් බලවන්න දේවාලෙට ගියපු වෙලාවේ දේවාලේ කපු උන්නැහේ මගෙන් ඇහුවා ලොකු වෙද පුතා තව කී දවසක් ඉන්නවද කියලා දැනුම් දෙන්නද කියලා... මම කිව්වා එපා කියලා.මට හිතුනා මොකක් හරි දෙයක් වෙයි කියලා ඉතිං මම හොඳට අත්තව බලා ගත්තා"

"ලොකු වෙද මහත්තයත් ගියාද එදා"

"නෑ මල්ලියෝ මම තනියෙන් ගියේ.ඒ ගිහින් ආවාම අත්තා කිව්වා මේ වාට්ටුවේ වැඩ ඉක්මනට ඉවරයක් දකින්න ඕනේ කියලා.මමත් අත් උදව් දීලා ජනවාරිය වෙද්දි සේරම වැඩ ඉවර කරගෙන විවෘත කරන්නත් දාගත්තා.... අත්තා උදේ පාන්දරම වාට්ටුවේ යතුර ඉල්ලගෙන තියාගෙන හිටියේ අත්තා වාට්ටුව විවෘත කරලා කතාවක් පැවැත්තුවා.මට හොඳටම ඇඬුනා මල්ලියෝ එදා තරම් සැහැල්ලුවෙන් අත්තා මීට කලින් ඉඳලා නෑ.මම ඒ හැම දෙයක්ම රෙකෝඩ් කරගත්තා කැමති වෙලාවක අහපන් මෙතන ඇති...."

"දැන් මගේ කාලේ හරියාගෙන එන්නේ හාමුදුරුවනේ ඉතිං මම මේ වාට්ටුව එහෙම ඉක්මන් කරලා හදලා මගේ මේ පුතාට බාර කරන්නේ මින් පස්සෙ මගේ වෙදකමට උරුම කම් කියන්නේ මේ කොලුවා නිසා... මේ කොලුවා මම තරම් සැර නෑ ඔහෙලා බයවෙන්න ඕනැන්නේ නෑ.... මම මේ කාලේ එනකන් අවුරුදු ගානක් ලෑස්ති වුනා.... දැන් මගෙ පුතාට වෙදකම් කරන්න ගෙදර අවුරුදු විස්සකට සෑහෙන්න බෙහෙත් තෙල් තියෙනවා ඕනෙම ජාතියකින්... මීට අවුරුදු සීයකට කලින් හින්දපුවත් ඇති මයේ හිතේ හේ හේ.... දැන් ඉතින් මට හරි අමාරුයි ඉස්සර වාගේ දුවන්න පනින්න බෑ නොවෑ... ඉතිං දැන් මම විවේක ගන්නවා ඔය මහත්තේලා කිසිම සැකක් හිතන්න එපා පුතාට මගේ දැනුම සම්පූර්නෙන් දුන්නා.... මගේ පුතේ මේ යතුර අරන් දැන් වැඩ ටික කරන් යන්න කොහොමත් උඹට මේ පෙබරවාරියෙන් පස්සේ තනියම තමයි හැම දෙයක්ම කොරගන්න වෙන්නේ... හ්ම්ම්ම්"


දෙයියනේ මට ඒක ඇහුවාම ඇස් දෙකට කඳුලු එන්න පටන් ගත්තා ඒ වෙද මහත්තයාගේ කට හඬ ළඟ ඉන්නවා වගේ වෙනදා නැති කරුණාවක් එක්ක ඒ කතා කරන හැටි හරිම දුකයි.ඒත් එක්කම මගේ මුළු ඇඟම හිරිවැටිලා ගියේ "උඹට මේ පෙබරවාරියෙන් පස්සේ තනියම තමයි හැම දෙයක්ම කොරගන්න වෙන්නේ" කියපු එක ඇහුවාම.... හරියටම පෙබරවාරි මාසේ මුල් සතියේයි වෙද මහත්තයා අන්තරා වෙලා තිබුනේ.මම පොඩි වෙද මහත්තයා දිහා බැලුවාම දැක්කේ එයත් ඇස් දෙකේ කඳුලු පුරවන් ඉන්න හැටි.

"ඒ නම් හරිම පුදුම මනුස්සයෙක් මල්ලි එහෙම මිනිස්සු ආයේ හම්බුවෙන්නේ නෑ.ඔයිට පහල ඇති අත්තා අන්තිම මොහොතේ කියපුවා..."

මම ඉක්මන්ට පහල තිබුනු ෆයිල් අහන්න ගත්තා....

"පුතේ..... මම ගියාම මේ දරුවෝ ටික පරිස්සමට බලාගන්න පුතේ උන්ට ඉන්නේ දැන් උඹ විතරයිනේ.... වෙලාවට බෙහෙත් දෙන්න බෙහෙත් බඳින්න ටිකක් සැරට ඉන්න නැත්තම් උන් ගනන් ගන්න එකක් නෑ.... මට මුන්ව දාලා යන්න බෑ උඹ උන්ව සනීප කොරනවා නේද....."

මෙච්චර වෙලා මෝදු වෙලා තිබුනු කඳුලු කැට මටත් රහසින් වැටෙන්න පටන් ගත්තා.නරුම නපුරක් පෙන්නුවට මේ මනුස්සයා මනුස්සකම දන්නවා නේද අපි ඒ බව අඳුනගන්නේ නැතිව බැන බැන කරපු දේවල් හිතට වද දෙන්න පටන් ගත්තා.... මම වෙද ගෙදරින් එන්න කලින් XX අතින් වෙච්චි වැරැද්දකින් වෙද මහත්තයා අසාධ්‍ය වුනා ඒ ගැන මම ඉදිරි ලිපියකින් දාන්නම්කෝ.... අන්න ඒ වෙලාවේ රෝහලට යද්දි වෙද මහත්තයා අපි හැමෝටම කතා කරලා ගියේ....

"මම ගියාට ආපහු එනවා මගේ පැටවු ටික එතකන් පරිස්සමට ඉඳහල්ලා මම ඇවිත් උඹලව සනීප කරනවා බයවෙන්න එපා තාම මට යන්න කාලේ නෙමේ...."

මට මේ හැම දෙයක්ම මතක් වෙන්න ගත්තා.දැන් පරක්කු වැඩියි දුක් වෙන්න ඒත් එතුමා වෙනුවෙන් පිං දෙන්න තාමත් මම පරක්කු නෑ...

"අත්තා හරිම පුදුම මනුස්සයෙක් මල්ලි මට තාමත් දැනෙනවා අත්තා මේ අවට ඉන්නවා කියලා අත්තා මට යද්දි කියලා ගියේ අත්තගේ අපුච්චාව මතක් කරලා එහෙම වැඩ පටන් ගන්න එයාලා උඹ අවට ඉඳියි කියලා..."

මේ හැම දෙයක්ම අවසානේ මට පෙර දැනුනු ගුප්ත බව ආයෙමත් දැනෙන්න ගත්තා.මේ වෙද ගෙදර වෙච්චි පුදුම සහගත සිදුවීම් එහේ හිටිය කෙනෙක් හැර වෙන කිසිවෙක්ට විශ්වාස කරන්න අමාරුයි.ඒත් ඉතින් ඒවා කාටවත් නොකියා හිතේ හිරකරන් ඉන්න බැරි නිසායි මෙහෙම අකුරු වෙන්නේ.මම මිථ්‍යා මත වල එලඹ ඉන්න ගැමියෙක් නෙමෙයි හැම පැත්තක් ගැනම කල්පනා කරනවා.නමුත් මේ නොවිසඳි ඉතුරු වුනු ප්‍රශ්න....

දහස් ගනන් මිනිසුන් සුව කල ඔබතුමාට නිවන් සුව...!!!

Monday, February 13, 2012

ඔයාගේ යාළුවට කැන්සර් එකක් තියෙන්නේ....


“ඔයාගේ යාළුවට කැන්සර් එකක් තියෙන්නේ....එක පාරටම මේ ගැන එයාට කියන්න එපා හිමින් සැරේ හිත හැදෙන විදියට කියන්න අපි මෙයාව සනීප කරගන්න බලමු...හැඟීම්බර වෙන්න එපා පුතා යාළුවා වෙනුවෙන් මේ දේ ඔයා කරන්න ඕනේ.මේ වෙලාවේ එයා හිත දුර්වල කරගත්තොත් අපිට තියෙන සුළු අවස්තාවත් මග ඇරෙන්න පුළුවන්”

ඉන් පසුව ඇති වූ නිහඬතාව බිඳින්නට වෛද්‍යවරයාද අපොහොසත් විය.වෙනදාට එකා පසු පස එකා බැගින් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා පවා අද ඒ ගැන තැකීමක් නොමැතිව පසුවෙන්නේ ඔහුටද මේ පිළිබඳ දුකක් ඇතිවායින් යැයි පැහැදිලිය.මගේ යාළුවට පිළිකාවක් කියලා මම කොහොමද එයාගේ හිත නොකඩා කියන්නේ හැඬුම් හිර කරගනිමින් නැවත වෛද්‍යවරයා දෙස බැලුවේ අවසාන මොහොතේ හෝ මට වැරදුනා යැයි පවසනු ඇතැයි බලාපොරොත්තුවෙන්.

“ඩොක්ටර් ඒත් ඇයි මෙහෙම වුනේ එයා එහෙම නරක විදියට හැසිරුණු කෙනෙක් නෙමෙයිනේ”

“ඒක තමයි පුතා මටත් තියෙන ප්‍රස්නේ මේක හරිම බැරෑරුම් දෙයක් මුල ඉඳන් හැමදේම හොයන්න වෙනවා”

“මම ගිහින් එන්නම් ඩොක්ටර් බොහෝම ස්තූතියි මම මේ ගැන හොයලා බලන්නම්”

අසුනෙන් නැගිට පිටතට යෑමට කල්පයක් ගතවේ නම් කොයිතරම් දෙයක්ද.මොනාද මම මදුරංගට කියන්නේ.

“එරා මචං මට ඇත්ත කියහන් ප්ලීස් උඹව තනියෙන් තියාගෙන ඩොකා මොනාද කිව්වේ මාව සනීප කරන්න බෑ කිව්වද උඹ මගේ හොඳම යාළුවා නම් මට කිසි දෙයක් හංගන්න එපා හරිද”

“උඹ බය නොවී ගෙදර යමංකෝ බං මට උඹෙන් දැනගන්න දේවල් ටිකක් තියෙනවා ඒවට උඹ අවංකව උත්තර දුන්නොත් මම උඹේ ප්‍රස්නෙට උත්තර දෙන්නම් දැන් බය නොවී ගෙදර යමං.මෙහාට දියං යතුර”

                                                ~~~~~~~~~~~~~~~~~~

“නෑ බං නෑ නෑ මම එහෙම කරනවද බං උඹට කොහොමද දිවුරන්න ඕනේ මගේ ශෂී පල්ලා අඩුගානේ මම ඒකි එක්කවත් ඉඳලා නෑ බං උඹ දන්නවනේ මම කොච්චර ඒකිට ආදරෙයිද කියලා මේක වෙන්න බෑ බං මේක වෙන්න බෑ”

“ඒත් මදුවෝ උඹට මේක හැදෙන්න වෙන කිසිම හේතුවක් වෙන නෑනේ උඹ ලේ දුන්නේත් නැත්තම් කෙල්ලෙක් එක්ක හිටියෙත් නැත්තම් කොහොමද මේක වෙන්නේ උඹ හීනෙන් බඩු ගැහුවට මේවා වෙන්නේ නෑනේ ඇත්ත කතා කරහන් මචං හැමෝම අමාරුවේ දාන්න එපා”

ජනේලෙන් ඉවත බලාගෙන ඉකි ගසන මදුරංග දෙස බැලීමත් මට වේදනාකාරි දර්ශනයක්.පැටලුණු නූල් බෝලයක් ලිහීම මේ තරම් අමාරු නොවෙනු ඇති.

“එරා......”

“කියහන් කොල්ලෝ උඹ මට නොකියන දෙයක් නෑනේ”

“මම ශෂී එක්ක අන්තිමට ෆිල්ම් එකක් බැලුවේ සති දෙකකට කලින්”

“ඒක වැඩක් නෑනේ බං මෙතන්ට උඹ හදන්නේ ආයේ උඹට ඒකි එක්ක හෝල් ගානේ රිංගන්න ඕනේ කියලද “

“අනේ නෑ බං මං කියන දේ අහපන්......එදා මායි ශෂීයි එක්ක කවින්දයි උගේ කෙල්ලයිත් ගියා.අපි යද්දි ටිකක් පරක්කු වුනා කළුවරේ අත ගගා ගිහින් ඉඳගන්නකොට සීට් එකේ තිබිලා මොකක් හරි ඇණුනා බං”

හිඳ සිටි අසුනින් ඉද්ද ගැසුනාක් මෙන් මා නැගී සිටියේ විය හැක්කේ කුමක්දැයි අනුමානය කරමිනි ඒත් මෙය සත්‍යයක් නම් කවින්දට හෝ කෙල්ලටවත්.....???

“කවින්දයටත් ඇනිලා තිබුනා බං පොඩ්ඩක් ඌට කතා කරලා බලහං “

මේ වන්නේ කුමක්දැයි මටද හිතාගත නොහැක.අවසානයේ හොරෙන් ෆිල්ම් බැලීම මෙතරම් පාපකර්මයක් වු හැටි.
                                                           
                                                            ~~~~~~~~~~~~~

“මේක කරපු එකාට හොඳක් වෙන්නේ නෑ යකෝ ආයේ එකෙක්ටවත් ඔය හෝල් එකේ ෆිල්ම් එකක් බලලා යහතින් යන්න දෙන්නේ නෑ මගේ ජීවිතේම ඉවරයි...”

“කවින්ද මට තේරෙනවා උඹ ඉන්න වේදනාව ඒත් මොනා කරන්නද බං අපේ වෙලාව තමයි මම එදා ටිකක් කලින් ආවානම් මෙහෙම වෙන්නේ නෑනේ.ඒත් බං උඹ පව් පුරෝගන්න එපා ඔතන්ට එන්නේ අපි වගේම අහිංසකයොනේ බං එදා අපි එද්දි නැගිටලා ගියපු එකා වෙන්න ඕනේ ඕක කරන්න ඇත්තේ ඒත් ඌ ආයේ එන එකක් නෑ එතන්ට.උඹට ඕනේ ඌ කරපුවම කරලා අපි වගේ තව අහිංසකයොන්ව අමාරුවේ දාන්නද.ටිකක් හිතහන් බං”

“මදුවෝ මේ උඹේ බණ තියාගනින් මට මොනා වෙන්නද යකෝ මම කොහොමත් දැන් මැරෙන එකා මම මැරෙන්නේ තනියම නෙමෙයි තව දුසිමක්වත් මරාගෙන මැරෙන්නේ.උඹ බණ කිය කිය හිටහන්”

කවින්දගේ සහ මදුරංගගේ සංවාදය අසා සිටිනු හැර මට කල හැකි වෙන කිසිත් නැත.කල හැකි පිළියමක්ද මා නොදනී.මට කල හැක්කේ හැකි උපරිමයෙන් උදව් කිරීම පමණකි.මදුරංග ගැන මගේ හිතේ සෑහෙන පැහැදීමක්ද ඇති වුනි.

                                                      ~~~~~~~~~~~~~~~~~
                                               
“ශෂී ඔයා දන්නවද පැටියෝ මම ඔයාට කොයිතරම් ආදරෙයිද කියලා...... මම දන්නවා ඔයාට මම නැතිව ඉන්න ගොඩක් අමාරු වෙයි ඒත් මැණික මට තව වැඩි කාලයක් නෑ ජීවත් වෙන්න මම පණ තියෙනකන් ඔයාව ආරක්ෂා කරන්නම් ඒත් මැරුණට පස්සේ මාව අමතක කරන්න.ඔයා දුක්වුනත් මොනා කලත් ආයේ මට ඔයාගේ කඳුලු පිහින්න එන්න වෙන්නේ නෑ.කල්පනා කරලා වැඩ කරන්න පැටියෝ මොන දේ උනත් අන්තිමට ඔයාට අම්මා තාත්තා ඕනේ වෙනවා ඒ දෙන්නගේ හදවත් රිද්දන්න එපා.”

“අනේ මදුරංග අනේ මාව දාලා යන්නේ නෑ නේද අනේ කියන්න මාව දාලා යන්නෑ නේද ඔයාට යන්න බෑ ඔයාට බෑ මදූ ඔයාම කිව්වා නේද මාව අඬවන්නේ නෑ කියලා ඇයි රත්තරන් මෙහෙම නපුරු කතා කියන්නේ”

“බොරු නෙමේ ශෂී පැටියෝ මේ ටික පරිස්සමෙන් ගිහින් කියවන්නකෝ මෙතන තියෙනවා මගේ ලෙඩේ ගැන ඩොක්ටර් දීපු රිපෝට්ස් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි.මට පුළුවන් පැටියෝ මැරෙන්න දැන් වුනත් ඒත් එහෙම නොකරන්නේ මට ඔයාව ඇස් පියවෙන අන්තිම මොහොතේ හරි දැකගන්න ඕන නිසා....මම බයයි මම මැරෙනකොට මගේ හදවතේ ඉන්න පුංචි කුමාරිට රිදෙයි කියලා ඒ නිසයි මම දුක්විඳලා මැරෙන්න තීරණය කලේ අද අන්තිම රිපෝට් එක එනවා පැටියෝ.මම අන්තිම හුස්ම පොද ගන්නෙත් ඔයා මතක් කරලා ඒ වෙලාවට මගේ ළඟින්ම ඉන්න මට ඒ හොඳටෝම ඇති”

“මං ඔයාට ගොඩක් ආදරෙයි මදූ අනේ අද දවසම මාත් එක්ක ඉන්න”

අනෝරා වර්ෂාව මැද ගසක් මුල ගුලි ගැහී සිටි පෙම් යුවල දුටු ඇතැම් වැඩිහිටියෝ නොපහන් සිතින් ඔවුන් දිහා බලමින් ගිය නමුත් වෙනදා කුලෑටි ලැජ්ජාශීලි ශෂී එය තඹේකට මායිම් නොකලාය.ඇයට අවශ්‍ය වූයේ තමාගෙන් වෙන්වී යෑමට සැරසෙන තමන් සතු එකම වස්තුව හැකි වීර්යෙන් ගුලිකර ගැනීම පමණකි.වැස්සෙන් තෙතබරිත වූ ඔවුනොවුන් වැළඳගෙන සිප ගනිද්දි ඔවුන්ගේ කඳුළු සැඟවීමට වර්ෂාව මහත් උත්සහයක් ගත් අයුරකි.

සීතලෙන් වෙව්ලන ශෂීගෙන් තමාට හැකි ප්‍රයෝජනයක් ගත හැකිව තිබියදීත් කාටත් නොපෙනෙන රුක්ෂ මූලයක තනිවූ මදූ කලේ ශෂීගේ දෙකම්මුල් ආදරෙන් ස්පර්ෂ කරමින් ඒ නිල්නෙතු දෙස හඬමින් බලා සිටීම පමණකි.

මේ අතර එක්වරම වේදනාවක් සමග ඇහැරුණු කවින්ද දුටුවේ හෝටල් කාමරයේ තමන්ට එහා පැත්තේ නිදන තම ආදරවන්තියයි.තම රෝගය ගැන කිසිත් නොදැන ඈ සතු සියළු දේ තමන්ට පූජා කලත් ඇය ගැන ඔහුගේ සිතේ කිසිදු තෙතමනයක් නැතුවාක් මෙනි. තම කවුළුවෙන් පිටත ඇද හැලෙන මහා වර්ෂාවට නෙතුයොමා කවින්ද නැවතත් කල්පනාවට බර විය.

                                                ~~~~~~~~~~~~~~~~

“ඩොක්ටර් ..........................”

කෑලි කැපිය හැකි තරමේ නිහැඬියාවක් මොහොතක් පුරාවට පැවතුනු අතර මදුරංග සමග අවසාන වාර්තාවද ලබා ගැනීමට පැමිණි එරංගගේ හද ගැහෙනා රාවය මුළු ශාලාව පුරාම රැව් දෙන්නාක් මෙන් විය.එරංග දෙවන වතාවටත් වෛද්‍යවරයා ඇමතූ අතර දිගු සුසුමක් හෙළු ඔහු වාර්තාව එරංග අතට පත් කලේය.

කඳුලු වගුරවමින් එරංග,මදුරංගව බදාගත්තේ කිසිත් නොකියමිනි.....මදුරංග සොයුරෙකු වන් තම මිතුරාගේ පිටට තට්ටුවක් දාමින් “දුක්වෙන්න එපා මචං” කියමින් වෛද්‍යවරයා දෙස බලන විට වෛද්‍යවරයා පැමිණ ඔහුට අතට අත දීමට සැරසෙනු ඔහු විශ්මයෙන් බලා සිටියේය.

“මේක ගොඩක් දුර්ලභ රෝගි තත්වයක් මීට වසර හතලිහකට පෙර තමයි මේ වගේ ලෙඩෙක් හමුවෙලා තිබුනේ මේක HIV වෛරසයේ ප්‍රාථමිකම අවස්ථාවක්. ඔබට වැළඳී තිබූ වෛරසයේ සැකැස්ම මුලින්ම හමුවූ HIV වෛරසයේ සැකැස්මටත් වඩා ඉතාමත් දුර්වලයි. පරීක්ෂණ වල හැටියට HIV සැකැස්ම පරිණාමනය වෙනවා ඒ අතරදි පරිණාමයට ලක්නොවී ඉතුරු වූ HIV ප්‍රභේදයක් විය හැකියි මොකද ඒවා දැනට මනුෂ්‍ය ශරීරයේ ප්‍රතිදේහ සමග සටන් කර අක්‍රීය වී යනවා.”


ඒ අතරම එරංගගේ ජංගම දුරකතනය නාද වුනි...

“හෙලෝ එරංග පුතාද මේ.........පුතේ මම කවින්දගේ තාත්තා...... කවින්ද මහරගම කැන්සර් හොස්පිට්ල් එකට ඇඩ්මිට් කලා...එයාට හොඳටම අමාරුයි පුතා.... එයාගේ රිපෝට්ස් සේරම ........”

ප/ලි

මේ කෙටි කතාවක් වගේ එක ලියන්න හේතු පාදක වුනේ ෆිල්ම් හෝල් එකකදි ඇණුනු ඇණයක්.සෑහෙන්න වෙහෙසක් දරා ලියූ මේ කතාව නොදමා සිටියේ මෙය බොළඳ යැයි සිතුනු නිසා... ඒත් මදුෂාණි අක්කාගේ රෝගය සුව කිරීමට හැමෝම වෙහෙසෙන මොහොතක මේ කතාව දමන්න සිතුනේ මේ කතාව ලියැවුනේත් පිළිකාවක් වටා වීම නිසයි.

 ඒ නිසා මේ ලින්ක් එකෙන් ගිහින් ඒ අක්කා ගැන වැඩි විස්තර හොයා බලා හැකි අයුරකින් ඇයට ජීවිතය ලබා දෙන්න උදව් වෙන්න කියලා මා ආදරයෙන් ඉල්ලා සිටිනවා..... වැලන්ටයින් වෙනුවෙන් කඩකාරයන්ට දහස් ගනන් වලට විකිනෙන මොහොතක ඔබේ එක රුපියල් සීයක් මේ අක්කාට ජීවත් වීමට අවස්ථාවක් ලබා දෙනවා.....

මේ මම දෙවෙනියට ලියපු කෙටි කතාව.. ගොඩක් අඩුපාඩු ඇති මට තව ටිකක් දියුණු වෙන්න ඔබේ උපදෙස් ගොඩක් වටිනවා... 

Thursday, February 9, 2012

මටද නොදැනී ඔබට රහසින් නෙතින් කඳුලක් පිට වුණී...


මම මගේ ආදරීව බලන්න යන්න ලෑස්තිවෙලා ඉන්න දවසක මහ රෑක නින්ද යන්නේ නැති වෙලාවකයි මේ නිසඳැස ලිව්වේ ගෙදර ඉඳන්...අපි හම්බුවෙන්නේ මාස කීපයකට සැරයක් විතරයිනේ ඉතින් හම්බුවෙන්න යන්න කලින් දවසට අනිවාර්යෙන් මට නින්ද යන්නේ නෑ එදා ඉඳන් අද වෙනකන් වෙච්චි හැමදේම මතක් වෙනවා.......ඕං බලන්නකො හිතුනු ඒවා එදා රෑ.................


ඔබ ළඟින් නැති වේදනා.......
අඳුරු අහසට පැවරුවා....
ඔබ ළඟට එන
දවස අත ළඟ
මගෙ සතුට පිරි ඉතිරෙනා....

නෑ දුක් කඳුලු
නෑ දුක් සුසුම්
අපි නැවත හමුවෙනවා.....

සිතු නෑ තනිව
ඔබ එයි විගස
මා තනිව හිනැහෙනවා.....

මා දුටුව විට උපන් සතුටින්
කඳුලු කම්මුල් තෙමු හැටී....
දෑස ඔබගේ තෙමුණු කඳුලින්
රතු වෙලා දිදුලන හැටී.....
මගේ තුරුලේ ගුලිවෙලා ඔබ
ආදරෙන් හිනැහෙන හැටී......

මැවී මතකේ......
නින්ද නෑ දැන්.....
සිතුම් සයුරක කිමිදුනී

ඉතින් මෙහෙම රැයක් පහන් කරලා ආදරී ගාවට ගියා කියමුකෝ.ඒත් ඊට පස්සේ අමාරුම වැඩේ තමයි එයාව එහේ දාලා මම මෙහේ එන එක.එයාව බස් එකට එහෙම නග්ගවලා බස් එක යනකන්ම එයා දිහා බලාගෙන ඉඳලා ගෙදර එන්න බස් එකට නගිනකොට හැමදාමත් වගේ මගේ ඇස්වලට කඳුලු ඇවිත්.ඔහොම එන අතරමගක මගේ ෆෝන් එකේ කොටාගත්තු එකක් තමයි මේ.බලන්නකෝ මොනාද හිතිලා තියෙන්නේ කියලා....

ඔබට සමුදී යන්නෙමි
නැවත යළි දින එන්නෙමි
එලෙස එන දින
ඔබත් මමවත්
තවම හරිහැටි නොදනිමි

අහස අඳුරින් බර වුණි
සිහින් පොද වැසි ඇරඹුනි
ඒ මගේ දුක් ගින්න හින්දද
අහස තනියට වැලපුනේ
මටද නොදැනී
ඔබට රහසින්
නෙතින් කඳුලක්
පිට වුණී

ඔහොම දුක් විඳගෙන අවුරුදු ගානක් අපි ගොඩාක් ආදරෙන් කල්ගෙව්වා.තාමත් අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා හරිම සන්තෝසෙන්.

8 වසරේ ඉඳන් අපි දෙන්නට රහසින් අපි දෙන්නට දෙන්නා ආදරේ කලා.එයා මගෙන් අහන්න බයෙන් හිටියා වගේම මමත් එයාගෙන් අහන්න ගොඩක් බයෙන් හිටියේ.ඒත් අපි ආදරෙන් හිටියා ඒක යාළුකම වෙන්නත් ඇති ඒත් යාළුකමට එහා ගියපු ආදරණීය දුරකතන සංවාද අපි අතරේ එමට සිදුවුනා අවුරුදු ගානක් තිස්සේම.


බොහෝම කටුක කාලයක් ගෙවලා අවසානයේදි මම එයාට මගේ ආදරේ ප්‍රකාශ කලා.....එවෙලේම හරිම ලස්සන හිනාවකින් එයත් මට ආදරේ ප්‍රකාශ කලේ එයත් මට මීට අවුරුදු ගනනාවක සිටම ආදරේ කල බවත් කියන ගමන්.

එයා මට ආදරෙයි කියලා කියපු ඒ ආදරණීය සිදුවීමට අදට අවුරුදු දෙකයි.2010 පෙබරවාරි 9  ධාවනය වෙමින් තිබූ බසයක අවසාන සීට් පේලියෙත් කොනේම සීට් එකක තමයි ඒ ලස්සනම ලස්සන සිදුවීම වුනේ.

මම මගේ ආදරීට ගොඩාක් ආදරෙන් ලියපු ඒවාගෙන් කිහිපයක් තමයි මේ.... 


ලියලා දැම්මේ 2010-02-09 වෙලාව 12.46am

Wednesday, February 1, 2012

අනතුරක් කල හදියක්-6කොටස (අක්කාගේ ලැපට වූ හදිය)




මේ සිද්ධිය වුනේ වෙද ගෙදරට ගොඩබැහැලා සතියකින් විතර.වෙද ගෙදරට ගොඩ බැස්ස වෙලේ ඉඳන් මම ට්‍රයි කලේ අන්තර් ජංජාලෙට රිංගගන්න ක්‍රමයක් ඒත් එයාටෙල් සිග්නල් අල්ලගන්න වත්ත පල්ලෙහාට යන්න ඕනේ.ඒ මදිවට මම ගත්තු මල ජරා ෆෝන් එකට සිග්නල් ආපු හැටියේ මෙමරි ෆුල් කියලා ඕෆ් වෙනවා(e-tel Hitz).මට එපා වෙලා හිටියේ....

අන්තර්ජාලෙට යන්න ට්‍රයි කලේ ඇයි දන්නවද,මම වෙද ගෙදර යද්දි මගේ හොඳම මිත්තරයෙක් වන ලහිරුට කිව්වා රිෂී කියන මගෙ යාළුවෙක්ගේ ගෙදර බැකප් කරපු මගේ ආදරීගේ ෆොටෝ ටික අරගෙන මට මේල් කරන්න කියලා ඉතිං එයා මේල් කරාට පස්සේ ඒක ගන්න තමයි මම ට්‍රයි කලේ.හැම උත්සහයක්ම අති සාර්ථක විදියට අසාර්ථක වෙච්චි නිසා මම ගොඩාක් අප්සට් එකේ හිටියේ.ඕං ඔහොම සතියක් විතර යද්දි තමයි ජංජාලේ පැත්තෙ යන විදියක් මීටර් වුනේ....

වෙද ගෙදර නැවතිලා හිටිය හෝමාගම අක්කා (ඇත්ත නම නොදනී) දවල් කාලේ වෙද ගෙදරින් අතුරුදහන් වෙනවා.කොහේ යනවද කියලා හොයාගන්න බෑ.දවසක් මම බෙහෙත් බැඳපු රෙදි පටි එහෙම හෝදලා වනන්න තැනක් හොයන්න ගියා පිළිකන්න පැත්තට මෙන්න බොලේ හෝමාගම අක්කා වලන් මැස්ස අස්සේ තඩි හෙඩ් ෆෝන් එකකුත් ගහගෙන ඉන්නවා.මම පට ගාලා වටයක් කැරකිලා ඇවිත් පිටිපස්සෙන් බැළුවා ඒ බැලින්නම් හෝමාගම අක්කා චූටි රෝසපාට ලැප්ටොප්(netbook) එකක් වලන් මැස්ස උඩ තියලා ඒක වටේට වලන් තියලා බලාගෙන ඉන්නවා.

මෙහෙම හොරෙන් ලැප දිහා බලන්නේ ඇයි කියලා මම ටිකක් ලං වෙලා බැලුවා මේං මෙයා කලින් දවසේ විකාශය වෙච්චි නාට්ටියක් බලනවා ඩොංගල් එකකුත් ගහගෙන.මම පිටිපස්සෙන් ගිහින් ඇහුවා ඇයි මේ හොරෙන් බලන්නේ කියලා.

ආ මල්ලි මොකෝ මේ පැත්තේ

මේ රෙදි දාන්න තැනක් නෑනේ අක්කේ ඒකයි ටිකක් කැරකුනේ මොකෝ මේ වලං ගොඩක් වට කරගෙන කරන්නේ

වෙද මහත්තයා කැමති නෑ මල්ලියෝ මම ලැප්ටොප් එක පාවිච්චි කරනවට එක පාරක් මේක පාවිච්චි කරනවා දැකලා මාව ගෙදර යවන්නත් හැදුවා දැන් ඉතින් මෙහෙම තමා වැඩ කරන්නේ

ඇයි අක්කේ,වෙද මහත්තයා නිකමටවත් මේ පැත්තට එන්නේ නැද්ද

හම්මෝ නෑ වෙලාවට කකුලේ අප්සට් එක නිසා තනියම පඩිපෙල බැහැලා මේ පැත්තට එන්න බෑ එයාට

වෙද මහත්තයා ලැප්ටොප් එක විතරක් නෙමෙයි ෆෝන් පාවිච්චි කරනවට කැමතිත් නෑ.අපේ ඇඟේ කිරණ වෙනස් වෙනවලු ඒත් එහෙමයි කියලා ඕවා පාවිච්චි නොකර පුළුවනැ.මම ෆෝන් එකේ එල්ලිලා ඉන්නවට මාත් එක්ක හෙන තරහකින් හිටියේ දවසක් මම කෝල් එකක ඉන්නකොට වෙද මහත්තයා ඇවිත් කියාපි

දැන් ඕක කනේ ගහගෙන හිටපල්ලා උඹලා කසාදයක් කරගත්තු දාට අල්ලපු ගෙදර තම්බියට තමයි වාසි....හනිමොන් එකේදි කවදාවත් ගෑනිත් එක්ක කොළඹට එන්න වෙන්නේ නෑ මගින් බහින්න වෙන්නේ...ඇයි ඉතින් &^#%%$@$#@

හොදි ඕන්නෑ ඕවා ඇහෙද්දි.කුණුහරුප විමානයයි අප්පා.

ටික වෙලාවක් හෝමාගම අක්කා එක්ක කදේ දාගෙන ඉඳලා ටිකක් ෆිට් වෙලා මම ඇහුවා විනාඩියකට මේල් චෙක් කරගන්න දෙතෑකිද කියලා...අයියෝ ඕක මොකක්ද ඕන වෙලාවක ඉල්ලන්නකෝ කියලා ලැප භාරදුන්නා.(අක්කා කිව්වට එයාට 38ක් හොඳේ.මට මල්ලි කිව්වට එයාට අවුරුදු 18 දුවකුත් ඉන්නවා).

මම ඉතින් දඩ බඩ ගාලා fb ලොග් වෙලා ඒ අස්සේ gmail ලොග් වෙලා පට පට ගාලා ෆොටෝ හැම එකක්ම බාලා status එකකුත් දාලා ජංජාලේ සැරි සරමින් ඉන්නකොට මට ඇහුනා සද්දයක් හම්මේ....හම්මේකියලා....මලා හුටා කිව්වලු වෙද මහත්තයා කවදාවත් නැතිව පල්ලම් බැහැලා මම ඉන්න දිහාට එනවා.ලැප දැක්කොත් අක්කත් ගස් මාත් ගස්.ඕං ඔය වෙලාවට තමා සරමක් ඇඳන් ඉන්න එකේ වටිනාකම දැනෙන්නේ..හි හි

වෙද මහත්තයා පිළිකන්නෙන් මතු වෙද්දිම මම ලැප වහලා සරම උස්සලා ලැප කකුල් දෙක අස්සේත් ගහගෙන අවසානයි.නිදැල්ලේ හිටිය මට ඒ වෙලාවේ තමයි කරපු වැඩේ බරපතල කම තේරෙන්න ගත්තේ...ලැප වැහුවට shut down කරන්න බැරිවුනානේ කලබලේට ඒක බෘම්ම්ම්ම්ම්ම් ගාලා ඇතුලේ වැඩ පට්ට රස්නෙයි.වෙද මහත්තයා මාව දැක්කා විතරයි රවලා ඇහුවා

ඔහේ මොකද මෙතන කරන්නේ....??? අමාරුවක් උනාම කකුල ඩිංගක් තවා ගන්න උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා කෑ ගහලා කතා කලාට එකෙක්වත් ආවේ නෑ... බැරිම තැන ආවේ තොපි මැරිලද බලන්න.වත්තේ හුලං ගනන් කරනවද මැස්ස අස්සේ…”

මොන හුලංද කකුල ඩිංගක් ලූස් වුනොත් සේරම ඉවරයි ඒ මදිවට තැඹිල් පාට චූටි ලයිට් එලිය මටත් පේනවා සරමෙන්.මේක මෙයා දැක්කෝත් හිතයි මම ඒකටත් ලයිට් හයි කරලා කියලා.වෙද මහත්තයා පිළිකන්නේ පුටුවකින් වාඩි වුනා තව බලං හිටියොත් වැඩ වරදින නිසා හිමින් සැරේ අඩිය එහෙම තියලා වෙද මහත්තයාගේ පුටුව පිටිපස්සෙන් ගිහින් උරහිස් වලට මසාජ් පාරක් දෙන්න ගත්තා.මට තාම බයයි ලැපේ රස්නේ නිසා කකුලට කිසිදෙයක් දැනෙන්නේ නැතිව ගිහින් ලැප බිම පත බෑවෙයිද කියලා.ඒ මදිවට හෝමාගම අක්කා සීන් එක දැනගත්තොත් වසලා හමාරයි එයාට එසේ මෙසේ කටක් නෙමෙයි තියෙන්නේ.මගේ පෙර පිනකටද මන්දා වෙද මහත්තයා කිව්වා

අම්මේ හා..අද හරිම සැරයි කාලෙකින් නාගත්තේ නෑ අද ළිඳෙන් නාගන්න ඕනේ බණ්ඩට කතා කරහන් කොළුවෝ මාට නාගන්න

වෙලාවට එහෙම කිව්වේ හිමින් සැරේ එකලඟ අඩි තියමින් ගිහිල්ලා බණ්ඩා මාමාට පණිවිඩේ දීලා එච්චර වෙලා හිරකරගෙන හිටිය බර යන්තම් නිදහස් කරගත්තා හැබැයි ඒ වෙද්දි ඒක  මට දෙන්න පුළුවන් වද සේරම දීලා හයිබනේට් වෙලා.කෝම හරි ෆොටෝ ටික මගේ ෆෝන් එකට බ්ලූටූත් වලින් යවලා ලැප සරමෙම පිහදාලා අක්කට ගිහින් දුන්නා.ආයේ ඕනේ වුනොත් ඉල්ලන්න කියලා අක්කා කිව්වට මොකද ඊට පස්සේ මම ඒක දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ.

මේ සා කාලයක් ඒ සිද්ධිය මතක් කර කර සතුටින් හිටිය මට පහුගිය දොහේදි බ්ලොග් එකක කියවන්න ලැබුනු දෙයකින් හිත ගත දෙකම සලිත වෙලා ගියා.ඒකට හේතු තමයි කතන්දර සූරින්ගේ වයි-පයි සීන් එක සහ කෙහෙල්කොටුවේ බුද්ධි අයියාගේ චිත්‍ර පෝස්ටුව.මේක දැක්කාම ඔළුවේ කෙස් ගහකින් පටන් ගත්ත හිරි වැටීමක් අති සාර්ථක ලෙස යටිපතුල දක්වාම ගමන් කලා......ලැපක් ලැප උඩ තියන් හිටියාම මෙව්වා වෙනවනම් සරල අවලම්බයක චලිතයකට බාධා ඇතිවන අයුරින්  තිබ්බාම මොනා නොවෙනවා ඇද්ද..........???????????????

ඒකේ වයි-පයි තිබ්බට ඩොන්ගල් එක පමණක් ඇක්ටිව් වෙලා තියෙන්න ඇත්තේ වෙද ගෙදර වයි-පයි නෑනේ ඉතින්  ඒක එච්චර ජංජාලයක් නොවෙයි කියලා හිතමු හොඳේ

photo එක ඉල්ල ගත්තේ මෙතනින්-http://www.popular-pics.com/PPImages/pink-Laptop.jpg