Wednesday, May 30, 2012

ඉන්නා එක සතුටක් දුරකතනින් ඔයා.....




රෑ මැදියම් අඳුරේ
නෙතු නොපියවා.....
සිතිවිලි මහා සයුරක
මා කිමිදිලා....
මගෙ ආදර දෙව්දූ
මම සිහිකලා...
බිඳු කඳුලැලි ඇවිදින්
නෙතු බොඳකලා....

සිතු නිතරම හඬනා
ඔබ නැති නිසා...
නෙතු නිතරම සොයනා
ඔබ කොහෙ කියා...
සඳ සෙවණැලි වැටිලා
ඔබෙ රූ සිහිවුණා....

දැකගන්නට ඔබෙ රූ
තව වෙයි පමා....
ඒ ටික දින ඉන්නම්
මේ දුක දරා...

ඔබ දකිනට එනතුරු
මට ලංවෙලා...
ඉන්නා එක සතුටක්
දුරකතනින් ඔයා...

Tuesday, May 22, 2012

මියැදුණු පෙම්වතිය-3 කොටස


මියැදුණු බිරිඳ නැවත ගෙන්වාගැනීමට මහාචාර්යවරයෙකු විසින් සිදුකරණ පර්යේෂණයක්-1 කොටස
අසාර්ථක වූ පර්යේෂණයක් සහ මිනිස් ජීවිත කීපයක් අනතුරේ.සරසවි සිසුවා සියල්ල විසඳයිද-2 කොටස


මහාචාර්යවරයා මෙච්චර ගණන් හදලත් මේක වැරදුනේ කොහොමද..? එයාගෙ පෙම්වතිය ආවද.. කතා කලාද.. කසුනිට මොකද වුණේ...... අද එතැන් සිට.


සුළු මොහොතක් යනතුරු මා කිසිවක් සිතාගත නොහැකිව මේසය දෙස බලා ඉන්නට වීමි.සියළු සිදුවීම් එකින් එක කල්පනා කර බලන විට මේ සියල්ලම සැලසුම් කර තිබුනාදෝයි සිතෙන්නට වූයේ මා මහාචාර්යවරයාගේ ඉත්තෙකු වීදෝ යන හැඟීමද සිතට පිවිසෙන්නට වූ බැවිනි.තවම ශරීරයට හරි හැටි වාරු නැතත් මේසය වෙත අත දිගු කොට පෙන් ඩ්‍රයිවය මා සතු කරගත්තේ එය වැඩදායි වේ යැයි සිතනු නිසායි.කෙසේ නමුත් පරීක්ෂණය සිදුවන මොහොතේ කුමක් සිදුවිණිදැයි දැනගැනීමේ කුතුහලය පාලනය කර ගත නොහැකි මට්ටමක වර්ධනය වී තිබුණි.

රෝහලේ ගත කල දින කීපය විවිධාකාර ප්‍රශ්න කිරීම් මැද ඉතා කටුක අන්දමින් ගෙවී අවසන් විණි.ලද අවසරයෙන් කසුනි බැලීමට ඈ සිටි වාට්ටුව සොයා ගියෙමි.ඈ බලාගත් අත බලාගෙන කල්පනා කරමින් සිටින අයුරු මා ඈත තියා නිරීක්ෂණය කලෙමි.මා ඇය අසලට ආ බවක්වත් ඈට නොදැනෙන්නට ඇත.ඈ ඒ තරම් කල්පනා සයුරක ගිලී සිටියාය.

කසුනි.....

ඈ යාන්තම් හිස හරවා මා දෙස බලාගෙනම සිටින්ට විය.කුලපතිතුමා පැවසූ ආකාරයට ඇය තාමත් පසුගිය දේවල් අමතක වීමෙන් පෙලෙන්නේ යැයි මට සිතුණි.ඈ කිසියම් දෙයක් මුමුණා නැවත වහලය දෙසට නෙත් යොමුකරගත්තතාය.ඈට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමුවූ පසු මා හට දැනගන්නට ලැබුනේ ඈ තවම පවුලේ සාමාජිකයන් පවා හඳුනාගැනීමට අපොහොසත් වී ඇති බවයි.මා තුල වූ සැකය තහවුරු කරගැනීමට ක්‍රමයක් නොවූයෙන් මා නිහඬව සිටීමට තීරණය කලෙමි.
 -----------------------------------------------------------------------------------------------------------------------------------------
බොඳවූ දෑස් සෙමින් විවර කල කසුනි දුටුවේ නාඳුනන පිරිසක් තමා වටකරගෙන සිටින අයුරකි.දෑත් දෙපා වාරු නොමැති බැවින් ඇය බලාගත් වනම බලාගෙන සිටියාය.එකිනෙකට නුපුරුදු සිදුවීම් රැසක් ඇගේ මනසේ ගලාගෙන යනු ඇයට දැනුනි.මදකට ඈ තම අතීතය මෙනෙහි කිරීමට ගත්තාය නමුත් ඇය කිසිසේත්ම නොදන්නා නොවිඳි සිදුවීම් රාශියක් ඇය හමුවේ මැවී පෙනෙන්නට විණි.දරාගත නොහැකි තැන ඈ හැකි උපරිමයෙන් කෑ ගැසීමට විය.ඇය වටා එක්රැස් වූ හෙදියන් මදකට ඇයව සන්සුන් කරගන්නට සමත් විය.

රෝහලේ වහලය දෙස නෙත් යොමා තමා මෙහි පැමිණියේ කෙලෙසදැයි කල්පනා කරන්නට වූවත් අගක් මුලක් සොයාගත නොහැකිව ඈ අසරණ විය.තමාට හොඳට හුරු පුරුදු මිතුරෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකුත් ඇයට අන් නමකින් ආමන්ත්‍රණය කිරීම ඇයව මහත් ප්‍රෙහෙලිකාවකට ඇද දැමීමට සමත් විය.ඔහු අමතා වචන කිහිපයක් තෙපළු ඇය නැවතත් වහලයට නෙත් යොමා සිටින්නට විය.කල්පනා කිරීමෙන් පිළිතුරක් ලද නොහැකි වූ බැවින් ඇය මදකට රෝහල් ඇඳේ පෙරළී වට පිටාව පිරික්සන්නට විය තම ඇඳ අසල තිබූ කේතලයේ තමා දන්නා අඳුනන මිතුරියකගේ මුහුණක් ඇයට දැකගන්නට හැකිවිය.ඇය වහා පිටුපස හැරුණමුත් ඇයට කිසිවෙකු දක්නට නොලැබුණි. කුතුහලයකින් යුතුව කේතලය දෙස නැවතත් දෙනෙත් යොමු කල ඇය වඩා පැහැදිලිව එම දසුන දැක ගැනීමට කේතලය සියතට ගත්තාය.
------------------------------------------------------------------------------------------------------------------------------
ලක්ෂිත කාමරයෙන් ඉවතට පැමිණ තම ඇඳ කරා ඇදුනේ තමා සතු බඩු බාහිරාදිය රැගෙන නිවසට යාම සඳහායි.කසුනිගේ අමුතු හැසිරීම නිසා ඔහුගේ සිතද ඉතාම ව්‍යාකූල වී පැවතිණි.එක්වරම රෝහලේ කෑ ගැසීමක් ඇසී ඔහු කල්පනා සයුරින් මිදී සිදුවූ දේ වටහාගැනීමට උත්සහ කලේය.ඔහුට කසුනිව මතකයට පැමිණියේ නිතැතිනි.තම සියළු කලමණා අතහැර දමා කසුනි සිටි කාමරය කරා ඔහු දුවන්නට විය.ඔහු එතැනට ලඟා වන විට හෙදියන් දෙදෙනෙකු ලේ විලක වැතිරී සිටින අයුරුත් වෛද්‍යවරු වහා ප්‍රතිකාර කරන අයුරුත් දුටුවෙන් ඔහුට ඔහු එළැඹුනු සැකය ගැන විශ්වාසයක් ඇති විය.කසුනිද පේන ඉසව්වක නොවූයෙන් ළඟ හුන් සේවකයෙකුගෙන් සිදුවීම පිළිබඳ විමසන්නට විය.

මෙතන හිටිය ලෙඩා අපේ මිසීලා දෙන්නට කේතලෙන් ගහලා තිබුනා ඒ කෑ ගැහිල්ලට මම එනකොට මේ මිසීට වතුර බෝතලෙන් අනිනවා.... මම ලෙඩාව තල්ලු කරලා මිසීව බේරගත්තේ ලෙඩා මට බෝතලෙන් ගහලා ජනේලෙන් පැනලා දිව්වා....

මම හිතුවා හරි එහෙනම්

මා වහා ජනේලය වෙතට දුවගියේ ඇය කොයි දිශාවකට යන්නට ඇත්දැයි අනුමාන කිරීමටයි.නියත වශයෙන්ම ඈ රෝහලෙන් පලා යන්නට ඇත.මේ කසුනි නොව මහාචාර්යතුමාගේ බිරිඳයි.කසුනිගේ සිරුර හිමිකරගත් මගේ මිතුරියයි.ජනේලයට හිස ගසාගෙන කිසිවක් සිතාගත නොහැකිව මා මගේ සාක්කුවකට අත දැම්මේ පුරුද්දටයි.සාක්කුවේ වූ පෙන් ඩ්‍රයිවය අත ගැටුනේ එවිටයි.

මේ සියල්ල නිවැරදි කිරීමේ වගකීම දැන් ඇත්තේ මා සතුවයි.මොහොතක් හෝ පමාවීමට අවස්ථාවක් නැත මා හැකි ඉක්මනින් මගේ බඩු බාහිරාදිය එක්රැස් කොටගෙන නිවස කරා පිටත් වීමි.පෙන්ඩ්‍රයිවයේ ඇති දේ කුමක්දැයි දහස් වතාවක් සිත කල්පනාවට වැටෙන්නට ඇති නමුත් ඒ කුමක්දැයි තවම මටද රහසකි.

නිවසට පැමිණි විගස මගේ පරිගණකයට පෙන්ඩ්‍රයිවය ගසා අදාල ගොනුව මගේ පරිගණකයේ ස්ථාපිත කරගන්නට වීමි.අවසානයේ එය විවෘත කිරීමට උත්සහ කල විට රහස් පදය විමසන්නට විය මහාචාර්යතුමා කියා තිබු පරිදි මෙයටද ඇත්තේ මගේ හැඳුනුම්පත් අංකය බැවින් එය ඇතුලත් කර ඒ ගොනුව extract වන තුරු බලා සිටියේ ඇඟිලි ගනිමිනි.වීඩියෝ පට හා pdf ආකාරයේ සටහන් රාශියක් ඒ තුල විය.සැලෙන සිතකින් ඒවා එකින් එක නරඹන්නට වීමි....

එකම වයසක එකම ශරීර ලක්ෂණ සහිත ගැහැණු ළමයෙකු පමණක්ම මේ සඳහා යොදා ගත්තේ ඇයිද යන මගේ සිත තුල වූ ප්‍රශ්නයට පිළිතුරු එහි විය.පුද්ගලයෙකුගේ සියළුම මතකයන් තැන්පත් වෙන්නේ මොලේ කොටසකයි.ඒවා ගබඩා වන ආකාරයට නැවත ඒවා මතකයට නගා ගැනීමට නම් සිතින් ලැබෙන සංඥාවකට අනුව නිකුත් වන කුඩා විදුලි ධාරාවක් එම මතකයන් සඳහා ලැබිය යුතුයි.මෙහිදී මතකයන් එකිනෙක මිශ්‍ර නොවී ඝට්ටනයක් ඇති නොවීමට නම් එකම වයස් ප්‍රමාණයක දෙදෙනාම සිටීම අනිවාර්යයකි.

නමුත් එය එතනින්ම නිමා කල නොහැක.අදාල පරීක්ෂණය නිම වූවායින් පසුව පර්යේෂණයට යොදාගත් තැනැත්තා හෝ තැනැත්තියගේ මතකය අළුත් කිරීමක් කල යුතුය.එනම් කසුනිගේ දැන් පවතින මතකය මහාචාර්යතුමාගේ බිරිඳගේ සිතෙහි තැන්පත් වී තිබු මතකයෙන් පිරවිය යුතුය.ඒ සඳහා ඔහු සාදා තිබූ උපාංගයද එහි විය...

මා සතුව ඇත්තේ තීරණ දෙකකි.කසුනිගේ සිරුර තුල මහාචාර්යතුමාගේ බිරිඳට ජීවත්වීමට ඉඩ දෙනවාද නැතිනම් කසුනිගේ සිරුරට නැවත කසුනිගේ ආත්මයම රැඳවීමට උත්සහ ගන්නවාද යන්නයි.කුමක් කරන්නත් මහාචාර්යතුමාගේ නිවස වෙත මා නැවත යා යුතුය.විදුලි පන්දමක් බැටරි කිහිපයක් හා මා නිපදවාගත් විදුලි ධාරාවක් මගින් සිරුර අඩපණ කලහැකි ෂොක් ගන් එකද රැගෙනයි ඒ මගින් මහාචාර්යතුමාගේ බිරිඳ අඩපණ කිරීමට හැකිවනු ඇත.

අන්ධකාරය මැද්දේ සීල් තබන ලද මහාචාර්යතුමාගේ නිවසට ඇතුළු වූයේ ජනේලයක් බිඳ ගැනීමෙන් අනතුරුවයි.මා බලාපොරොත්තු වූ ආකාරයටම නිවසේ විදුලිය නොතිබිණි.ප්‍රධාන ස්විචය ඇත්තේ බිම් මහලේ බැවින් විදුලි පන්දම ආධාරයෙන් බිම් මහල කරා ඇදෙන්නට වීමි.අනතුරක සේයාවකුදු නොවුණු බැවින් ඉක්මනින් බිම් මහලේ පඩිපෙල තරණය කලේ හැකි ඉක්මනින් ටෙස්ලා කොයිල් ස්ථානගත කර කසුනිව යථා තත්වයට ගැනීමට සැලැස්මක් අටවා ගැනීමට අවශ්‍ය වූ බැවිනි.එක්වරම පිටුපසින් මතුවූ ශබ්දයක් නිසා මා වහා පිටුපස හැරුණි. විදුලි පන්දමේ එලියට දිළිසුනු ඇස් දෙකක් දකිනවාත් සමගම හාත්පසම අඳුරේ ගිලෙණු දැනුනි.

හිසේ මතුවන දැඩි වේදනාවකින් යුක්තව මා දෑස් විවර කිරීමට වෑයම් කලෙමි.හාත්පසම අඳුරේ වූ බැවින් කිසිවක් දැකගැනීමට නොලැබිණි.මාගේ දෑත් දෙපා පුටුවක ගැට ගසා තිබුණි.

කවුද ඉන්නේ ඔතන..... ඇයි මාව ගැට ගහලා

මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න නැත්තම් විඳවන්න ලෑස්තිවෙන්න

ඔයාට මේ තරම් නපුරු වෙන්න බෑ සුලෝ....

ඒ සමගම මාගේ ඔළුවට තවත් පහරක් එල්ල වුනේ පෙර කල තර්ජනය නැවත සිහිගන්වමින්...

අහන්න.... මොනාද දැනගන්න ඕනේ ඔයාට

කෝ මහාචාර්යතුමා? කෝ මගේ ඇඟ? මොකක්ද මෙතන උනේ? ඉක්මනට කියන්න මට පිස්සු වගේ මොකක්ද දෙයියනේ උනේ

කලබල වෙන්න එපා මේවා අහලා.ඔයා මැරුණා සුලෝචනා.මහාචාර්යතුමා කරපු පර්යේෂණයක ප්‍රථිඵලයක් විදියට ඔයා ආයේ ආවා ඒත් මහාචාර්යතුමත් මගේ කසුනි කියන මගේ යාළුවත් නැතිවුනා.ඔයා දැන් ඉන්නේ කසුනිගේ ඇඟේ... මාව ලිහන්න මම සේරම පැහැදිලි කරන්නම්

ඇය මා ඉදිරිපිට දණින් වැටිණි මේක බොරුවක් මේක හීනයක්යැයි ඈ මොර දෙන්නට විය.නමුත් එක්වරම ඇගේ ඇඬීම නැවතිනි.ඇගේ දෙනෙත් දිලිසෙන අයුරු දුටුවිට සිහින් බියක් මා සිත තුල හොල්මන් කරන්නට විය.එක්වරම මා වෙත පීණූ ඈ මගේ කොලරයෙන් අල්ලාගත්තාය.

මට මතක් වෙනවා... සේරම මතක් වෙනවා... මට ආයේ මැරෙන්න බෑ දැන් ඉඳන් උඹ මම කියන දේ කරන්න ඕනේ එහෙම නොකලොත් මම ආයේ මෙතනින් තමුසෙට යහතින් යන්න දෙන්නෑ.මට මගේ මහාචාර්යතුමාව ගෙන්නලා ඕනේ...

මා භීතියෙන් වෙව්ලන්නට වූයේ මා පත්ව ඇති භයානක තත්වය සිහිවීමෙනුයි.මේ පරීක්ෂණය පළමුව සිදුකිරීමට ගිය මහාචාර්යතුමාද මියගියේ නම් මා කෙසේ ජීවත් වන්නද? පරීක්ෂණය නොකලොත් මැය අතින් මියයාමට සිදුවෙනු නියත බවද හැඟිනි.මගේ මිතුරිය ගැන මා හට දුකක්ද දැනුනි.ජීවත්ව සිටි කාලයේ ඈ කෙතරම් අහිංසකදැයි මා හට මැවී පෙනෙන්නට විය.සහෝදරියක ලෙස මා සමග සිටි ඇය අද මා හට මරණ තර්ජන කරනු කෙසේ නම් ඉවසන්නද.මා තීරණයකට එළැඹිණි... ඉතිරිව ඇත්තේ අවස්ථාවක් ලද සැනින් ඇයට පහර දී අඩපණ කිරීම පමණකි.

හරි මම කරන්නම්....

මාගේ දෑත් දෙපා බැඳ තිබූ ලණු බුරුල් කලද මා ගෙන ආ මගේ ෂොක් ගන් එක ඈ අත තිබෙන බව පෙන්වා ඈ කියාපෑවේ අනවශ්‍ය යමක් කිරීමට සූදානම් වුවහොත් මා හට ගැලවීමක් නොමැති බවකි.මා සිතූ ලෙස ඇයව අඩපණ කිරීම ලේසි නැති බව මට හැඟිණි.

ඈගේ අණ පිළිපදිනවා හැර කිරීමට කිසි දෙයක් නැත.සියළු උපාංග ක්‍රියාකාරී මට්ටමකට ගත් පසු මා ඇයට දන්වා සිටියේ මහාචාර්යතුමාගේ වයසේ පුද්ගලයෙකු හා කට්ටඩියෙකු මේ සඳහා අවශ්‍ය බවයි.නමුත් ඈ පැවසූ දෙයින් මාගේ සර්වාංගයම පණ නැතිවූවාක් මෙන් විය.

කට්ටඩියෙක් එක්කන් එන්නම්.මට මගේ මහාචාර්යතුමාව ඕනේ තරුණ ඇඟකට.ඒකට ඔයා හොඳයි

ඒක සාර්ථක නෑ අනික මම ඉන්න ඕනේ මේක කරන්න නම්

මම පෙන් එකේ තිබ්බ සේරම බැලුවා වයස ප්‍රශ්නයක් වෙන්නේ මතකය ගන්න ගියාම විතරයි.ඒකටත් උපක්‍රමයක් මහාචාර්යතුමා හදලා තියෙන නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි.කාටවත් සැකයක් නොහිතෙන්න නම් ඔයා හැර මේකට ගන්න වෙන කවුරුත් නෑ

රිවිසරව ගන්න කවුරුත් මුකුත් හිතන එකක් නෑ

ඒක කරන්න බෑ රිවිසර ඉන්නේ ඔයාට වඩා ගොඩාක් පහල මට්ටමක.ඔයාගේ මොලේ මහාචාර්යතුමාට සෑහෙන්න වටිනවා.මේ ආත්ම මාරුකරන උපකරණය මහාචාර්යතුමා සැලසුම් කලේ කාලෙකට කලින්.එයාට ඕනේ වුනේ තරුණ ශරීරයකට ගිහින් එයාට ඉවර කරගන්න බැරිවුනු පරීක්ෂණ ඉවරකරගන්න.....ඒ වගේම මාත් එක්ක ඉන්න……”

ඇගේ අවසන් වදන් කිහිපය ඇසුණු පසු මාගේ ශරීරය මා හට අයත් නොවන්නාක් මෙන් දැනෙන්නට වුණි.සියල්ල මට වැටහෙන්නට විය. මාගේ පැමිණීම ප්‍රමාද වූ නිසා පරීක්ෂණයේ සාර්ථක අසාර්ථක භාවය මැනීමට කසුනිව යොදාත්තා විය යුතුයි.එය සාර්ථක වුනේ නම් කිනම් හෝ ක්‍රමයක් භාවිතයෙන් මාගේ සිරුර තුලට පැමිණීමට ඔහු සැලසුම් කොට තිබෙන්නට ඇත.විදුලිය කාන්දු වීම නිසා කසුනිගේ ආත්මය ඇගේ සිරුරින් වෙන් කිරීමට ටෙස්ලා ධාරා අසමත් වන්නට ඇත.ආත්ම දෙකක් ඇගේ ශරීරයේ වූයෙන් කසුනිගේ පහරදීමක් මහාචාර්යතුමාගේ අවසානයට හේතුවන්නට ඇත.මුල්වර මා කරන ලද වැරැද්ද නැවත කල නොහැකියි.දැන් කෙසේ හෝ මැයව නවත්වන්නට අවශ්‍යයමය.මැයද මේ මුල මැද අග දන්නා නිසා මැය ජීවත් වුවහොත් විශාල ප්‍රශ්න රාශියක් ඇතිවෙනු ඇතැයි මා හට නිසැකවම වැටහිණි.

ඈ පිටත්වීමට පෙර මාගේ කකුලක් අසල වූ යකඩ වැටෙහිද ගැටගැසීමටද අමතක නොකලාය.එකට ගැට ගැසූ මාගේ දෑත් මුදවා ගැනීමට ඉතා තදබල උත්සහයක් ගත් නමුත් එය ගලවා ගත නොහැකි අයුරින් පිටුපසට කර ගැටගසා තිබුණි.ජීවත්වීමේ ආසාවන් අත්හැර මා බැඳ තැබූ යකඩ වැටට හේත්තු වීමි.මාගේ සාක්කුව තුල වූ චීන දුරකතනය මගේ ඇඟට තදිවිණි ඒ සමගම උපන් අදහසක් නිසා වහා නැගීසිටගත් මා දැඩි උත්සහයකින් පසුව එය සාක්කුවෙන් පිටතට ගැනීමට සමත් වීමි.භාවිතයට ගත නොහැකි ආකාරයෙන් බිඳී තිබුනද මේ මර උගුලින් ගැලවීමට ඇති එකම ආයුධය මෙය බව මට පසක් වන්නට විය.බාල දුරකතන නිපදවීම ගැන චීන්නුන්ට දොස් නගමින් සිටියද මේ මොහොතේ මා හද පතුලින්ම චීන්නුන්ට ස්තූති කරන්නට වූයේ දෝෂ සහිතව නිපදවන ලද දුරකතනයක් මා ගලවාගැනීමේ මෙහෙයුමට එක් වූ නිසායි.දෙවරක් පමණ බිම අතෑරගත් පසු දුරකථන පරිපථය ගලවාගත් මම හැකි ඉක්මනින් දුරකතන සංඥා නිකුත් කරන චිපයට අදාල පරිපථය කාන්දු කරවා ගැනීමට සමත් වීමි.

සාමාන්‍ය දුරකතන වලට වඩා ප්‍රබලව සංඥා නිකුත් වන බැවින්ද පාලනයකින් තොරව සංඥා ඇද ගැනීම හා නිකුත් කිරීම වෙනස් වන බැවින්ද මා එය මාගේ වාසනාවකට හරවාගන්නට සමත් වුනෙමි.පරීක්ෂණයේදි මා හට ස්ථානගත වීමට සිදුවන ස්ථානයට මදක් ඉදිරියෙන් ඇගේ ඇසට අසු නොවන මානයට දුරකතනය විසි කිරීමෙන් පසුව මගේ සැලැස්ම හරියාවි යැයි බලාපොරොත්තුවෙන් මා සිටින්නට වීමි.ටෙස්ලා ධාරා මා කරා ලඟා නොවී චීන දුරකතනය කරා ඇදේවි යැයි මගේ බලාපොරොත්තුව විය.

සුළු වේලාවකින් පැමිණි ඇය මා රැගෙන ගොස් පඩිපෙල පහල වූ කුඩා කුටියක සිර කර තැබුවේ කට්ටඩියාගේ දෑසින් මා වසන් කිරීමට විය යුතුයි.වෙලාව එළැඹිනි.ඇය මා රැගෙන ටෙස්ලා කුළුණු අතර මා සිටිය යුතු ස්ථානයට රැගෙන ආවාය.වටපිට බැලූ මාගේ හදවත මොහොතකට නැවතිණි.චීන දුරකතනය මා දැමූ තැන නැත. කට්ටඩියා ආවේශයෙන් බැවින් ඔහු කිසිවක් නොදනී.ඇය සෙමින් බිම් මහල මධ්‍යයේ වූ කුටියට පියනගනු මා අඩවන් දෑසින් බලාගෙන සිටියේ ඉතාමත් අසරණවයි...ටෙස්ලා කොයිල් ආරෝපණය වෙන හඬ මා හට ඇසෙන්නට විය මා තදින් දෑස් පියාගතිමි.මේ අවසානයයි................

ටෙස්ලා කොයිල් වල සංගීතාත්මක නාදය ඇසෙනවාත් සමගම මා දත්මිටි කමින් මුළු සිරුරම දැඩි කරගත්තේ විඳින්නට සිදුවෙන වේදනාවෙන් මදක් හෝ බේරීමටයි.එක්වරම සුලෝ යටිගිරියෙන් කෑ ගසන හඬ ඇසිණි.මා හැකි ඉක්මනින් දෙඇස් විවර කර ඈ සිටි කුටිය දෙස බැලුවෙමි.කුටිය දුමාරයෙන් වැසී ඇත.නැවත වතාවක් සංගීත නාදයක් සමග ඈ සිටි කුටියට විදුලි ධාරා එල්ල විය.මා හට දෑස් අදහා ගැනීමට නොහැකි විය... මුළු නිවසේම විදුලි බලය යලිත් ඇණහිටීමකට ලක්විණි....

දෙවෙනි වතාවටත් මගේ ජීවිතය මරණය අභිමුවටම ගියද හාස්කමකින් මෙන් මා හට ජීවත් වීමේ භාග්‍යය ලැබුණි.මා බැඳ ඇති රැහැන් ගලවා ගත නොහැකි බැවින් කවුරුන් හෝ මා ගලවා ගැනීමට එතැයි අපේක්ෂාවෙන් සිදුවූ දේ නිගමනය කරන්නට උත්සහ කලෙමි...

මා බිම දමා තිබූ චීන දුරකතනය ඈ දකින්නට ඇත.ඇයද මේ විෂය හදාරා ඇති බැවින් නිසැකවම මාගේ උත්සහය පිළිබඳ වැටහී එය රැගෙන යන්නට ඇත.කුමක් හෝ අතපසුවීමකින් හෝ පරීක්ෂණය සාර්ථක වනු දැකීමට ඇති හදිසිය නිසා ඈ එය බිම් මහල මධ්‍යයේ වූ කුටියට රැගෙන යන්නට ඇත...පසුගිය වර මා එම කුටියේ සිරවී සිටි මා බේරාගැනීමට පැමිණි පිරිස මා පිටතට ගැනීමට එහි අගුල පළුදු කිරීමක් සිදු කරන්නට ඇත.චීන දුරකතනයේ අධික සංඥා ග්‍රාහකය නිසා එම කුටියට විද්‍යුත් ධාරා ඇදගන්නට ඇත....මෙතෙක් නොවිඳි පුදුමාකාර සැහැල්ලුවකින් මා පෙළුණේ අවසානයේ කෙසේ හෝ වරද නිවැරදි කරගැනීමට හැකිවීම නිසයි.... නමුත් සදහටම කසුනි සමුගත් බැවින් රිවිසරට පවසන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මා නැවතත් සොවින් බර වුණි.......

                                                      ~සමාප්තයි~

ප/ලි

පින්තූර ගත්තේ මෙතනින් http://images.wikia.com/lostpedia/images/1/15/Charlie_is_tied_to_a_chair.jpg
මෙව්වා හිතන්න ගිහිං ටිකක් විතර පිස්සු වගේ දැන්නම් අන්තිම කොටසක් ලියන්න හිතුවට මෙච්චර අමාරු වෙයි කියලා හිතුවේ නෑ.ගොඩාක් කල් ගියේ ඒකයි මේ කොටස ලියන්න.මුල ඉඳලම මාව දිරිමත් කරපු හැමෝටම ස්තූතියි ඒ දිරිමත් කිරීම් නොවෙන්න මේ කොටස ලියැවෙන්නේ නෑ.තවමත් මම පටන් ගත්තා විතරයි අඩුපාඩු ඇත්නම් මාව දැනුවත් කරන්න ඒක මට හැදෙන්න ලොකු උදව්වක්.

Monday, May 14, 2012

ඔබා මාමාට උපහාර පිණිස....


ඔබා මාමා අපිව දාලා ගියා කියන එක මුලින්ම දැනගත්තාම මම කිව්වේ මීට කලිනුත් ඔබා මාමා ඔහොම විහිළුවක් කලා ඕවා ගනන් ගන්න එපා කියලා.ඒත් අන්තිමේදි ඒක විහිළුවක් නොවී ඇත්තක් වුනාම මට හිතාගන්න බැරිවුනා.කඳුළු ඇස් වලට පිරුණා.මට විතරක් නෙමෙයි මම හිතන්නේ ඔබා මාමට බැනපු ඇනෝලට පවා කඳුලක් උනන්න ඇති...

මේ සැරේ අවුරුදු උත්සවේදි ඔබා මාමව දැක්කම මට හිතුනා පින්තූරෙට වඩා තරුණ වෙලානේ බොලේ කියලත්.මාමා ලඟට ගිහින් "ඔබා මාමේ මම ගැමියා" කිව්වම හාලෝ කියලා අතට අත නැතුව අත් දෙකම දුන්නේ සෑහෙන කාලෙක ඉඳන් දන්න අඳුරන කෙනෙක් වගේ.බ්ලොග් ලියන හැමෝටම ඒ මනුස්සකම තියෙන එක ගැන සෑහෙන්න සතුටුයි.ඒත් ඔබා මාමා වගේ චරිතයක් කවදාවත් ආයේ බිහිවෙන එකක් නෑ.ඒ ගැන හිතනකොටත් ඇහැට කඳුළු පිරෙන්නේ එදා ඊළඟ අවුරුද්දෙ හම්බුවෙමු කියලා කියපු ඔබා මාමා කවදාවත් එන්නේ නැති නිසා....

"ඔබා මාමේ කෝ ඔබී නැන්දා එහෙම ආවේ නැද්ද" කියලා ඇහුවම

"එයා ආවනම් මෙතන ලොකු නඩුවක් වැටෙනවා.මම උදේම ඇහුවා අද උත්සවේට යනවද කියලා ඊට පස්සේ ආයේ මතක් වෙලා කිව්වා මේ ඔයා ඉන්න මම ගිහිං එන්නම් කියලා" කිව්වේ හිනා වෙවී ඒ හිනාව කවමදාවත් අමතක වෙන එකක් නෑ.



  1. ඔබා බනක් කිව්වත් ඉතිං අග හරියෙදි 18+ වෙනවනේ. ;-)
    Reply
    Replies
    1. තව කථාවක් තියෙනව පංසල් සම්භන්දයක් නං නෑ, ඒත් දාන්න බයයි අර ඇනෝ කෙනෙක් බනිනවනෙ
    2. දාන්න මාමේ දාන්න මේක ඔබා මාමගේ බ්ලොග් එක නොවැ... අනික් ඉතින් ඔබා මාමගේ මෙව්වා කතාවක් ඇහුවේ නැත්තම් ඔබා මාමා බ්ලොග් ලියලා නෑ වගේ තමා
      Delete
    3. @ ගැමියාගේ පත් ඉරුව,
      තව දවස් දෙක තුනකින් දාන්නං



      ඒ දවස් දෙක තුන කවමදාවත් නොඑන වග කෙසේ නම් පිළිගන්නද..... ජීවිතය මේ තරම් අවිනිශ්චිත බවත් සිහිගන්වමින් අප අතරින් සමුගත් ඔබට නිවන් සුව ආදරණීය ඔබා මාමේ!

      දිවි නම් තණ අග පිණිබිඳු වැන්නේ
      අද අද එයි මරු පින්කර    ගන්නේ