
දෙවන වර උ/පෙළ කරන්න යන කාලේ වෙච්චි සිද්ධියක් මතක් වුනු නිසා හිතුනා ලියන්නෝන කියලා.මගේ කොන්දේ ආබාධය දරුණු වෙලා ඇවිදින්න බැරි තත්වෙට පත්වුනෙත් මේ කියන්න යන සිදුවීමෙන් පස්සේ.මේ සිද්ධිය වුනේ 2011 පෙබරවාරි මාසේ අන්තිම සතියේ සිකුරාදාවක.දෙවන වර උ/පෙළට පන්ති ගියපු අවසාන දවසත් ඒක.
වැස්ස දවසකට උදෙන් නැගිටලා පන්ති යනවයි කියන එක තමයි මට කරන්න අමාරුම වැඩේ නිදාගෙන ඉන්නකොට බෙල් එක වදිනකොට මට මාත් එක්කම තරහයි මුල්ම සැරේ හරියට වැඩ කරගෙන ගොඩ ගියානම් උදේ නැගිටං මැරෙන්න වෙන්නේ නෑනේ.මොනා කරන්නද මොලේ වැඩෙන්නේ පරක්කු වෙලානේ.මේක කියවන උ/පෙ කරන එවුන් ඉන්නවනම් දැන්වත් හැදියල්ලා නැත්තම් බඩුම තමා. මේ සිද්ධිය වුනු දවසෙත් අම්බානක වහිනවා අපිට දුෂ්‍යන්ත සර්ගේ පන්තිය තියෙන්නේ රොටරියේ වලේ හෝල් එකේ.වැස්ස දවසට ඒකේ දියවැල් ගලනවා හැම අතින්ම මාර සනීපයි.
කෙහෙල්මල් වැස්සක් අස්සේ එලාම් එකත් කලින් වදිනවා මම ඒක සයිලන්ට් කරලා පැත්ත හැරිලා තව ටිකක් දොයියුවා වැස්ස ටිකකින් පායයිනේ කියලා.ටික වෙලාවකින් නිකන්ම නැගිට්ටුනා වෙලාව බැලින්නං 6යි.මල මගුලයි 6.30ට පන්ති පටන් ගන්නවා දෙලොව රත්වෙලා දුං දාන්න ගත්තා වෙනදාට විනාඩි 10න් 10ට වදින එලාම් එක වැදුනේ නෑනේ.යන්තම් මූණ කට හෝදන් ඇදුමක් දාගේන පොත් දෙකයි ටියුට් කැටියකුයි අතේ අරන් පාරට බැහැලා බස් එකක එල්ලුනා.හොරණ කොළඹ බස් ගැන දන්න අය දන්නවානේ.ෆුට් බෝඩ් එකේ එල්ලිලා හිටිය මට සෙනග බහින වාරයක් පාසා හොදට නාගන්න වුනා බහින අයට බැහැලා ඉඩ දෙන්න ගිහින්.(හොද පාඩම් උඹේ කම්මැලිකමට....මටම බැනගන්නවා ඇරෙන්න මක් කරන්නද).
කොහුවලින් බහිද්දි ආයේ ගන්න දෙයක් නෑ හෝදලා ඇග ගසපු ඩියුලක්ස් බලු කුක්කෙක්ගේ වගේ කොන්ඩේ අකුණු සන්නායක වගේ කොණ්ඩේ උල් උල් වෙලා.රබර් සෙරප්පු දෙකෙන් මඩ ඉහලා කලිසම දිගටම.සෙරප්පු දෙක කොච්චර ගතිද කියනවනම් කහ ඉරට අඩිය තිබ්බ ගමන් මාව බිම ඉන්දුනා....
“කවුද යකෝ කහ ඉරේ තෙල් හලපු බූරුවා @%#$%&$*^&%( ”
මම කාටවත් බැන්නේ නෑ ඉතිං ඉන්දුනු ඉන්දිල්ලට කියවුනා.ආයේ වටපිට බලලා කවුරුත් දැක්කේ නෑ කියලා හිතලා රොටරියට යනකන් ඉගිල්ලුනා වෙලාව 7.30දැන්.මේ පැය ඇති දුෂ්‍යයන්ත සර්ට පාඩමක් ඉවරකරන්න.ඇගේ ලේ නැතිව හිටියේ.
පට් ගාලා රොටරියට එන්ටර් වෙලා කාඩ් එකත් මාක් කරගත්තා.එදා කාඩ් මාක් කරන්න හිටිය අනිල් අංකල් කිව්වා බලාගෙන යන්න පඩිපෙල ලිස්සනවා කියලා.මමත් ඉතිං අත්ත බිදෙයි පය බුරුලෙන් තබා වරෙන් වගේ හිමින් සැරේ පඩියෙන් පඩිය බැස්සා පෙට්ටියා මාව දැකලා හිනාවක් එහෙම දාලා ආයේ බිම බලාගත්තා මමත් ඉතිං වාඩිවෙන්න තැනක් හොයන ගමන් පොළවට අඩිය තිබ්බා ඒ විතරයි............
එතැන ඉදලා වෙච්චි සිද්ධිය වෙනත් ඈන්ගල් එකකින් ලියන්නම්කෝ. පෙට්ටියාගේ ඇසින් දැකලා පස්සේ කට්ටියට කියපුවා තමයි මේ
“ගැමියා පඩිපෙල බැස්සේ නිකන් නින්දෙන් ඇවිදිනවා වගේ මම මූට හිනාවක් දාලා පොත දිහා බලලා ආයේ ගැමියා එන දිහාව බැලුවා.....
මූ මිසිං....... එතකොට තමයි මුගේ පොත් ටිකයි ටියුට් ටිකයි උඩ පාවෙනවා දැක්කේ මට නිකන්ම නැගිටුටුනා මූ කොහෙද අන්තරස්දාන උනේ බලන්න කෙල්ලෝ හිනාවෙනවා නැතිවෙන්න..... කොල්ලොත් සැරට හූව දුන්නා.ඒත් මූ නෑ.ආයේ සැරයක් කෙල්ලෝ හිකි හිකි ගාලා හිනාවෙන්න ගත්තා.මම බැලුවා මූ කෙල්ලොන්ගේ අස්සේ මොනා කරනවද කියලා.ඊටත් ටික වෙලාවකට පස්සෙයි මූ නැගිටලා කොන්ද නමාගෙන ඇවිත් ඉස්සරහා පේලියෙන් වාඩි වුනේ.සර්ටත් හිනා සර් මූ වැටෙන කොටම සර් දැකලා කියාපි....”
“ම්ම්ම්ම්ම්.........හා හා මේ කාලේ වැටෙන්න හොද නෑ....”
පෙට්ටියා ඇක්ටිං කරන ගමන් කිව්වේ කස්ටියට.මට එදා නෝන්ඩි ගොඩයි ඉන්ටර්වල් එකට යන එන එවුනුත් ඇවිල්ලා අහනවා ඒ උඹද බං උදේ පාන්දර වැටුනෙ කියලා
ඇත්තටම උනේ මේකයි පඩිපෙල ලිස්සනවා කිව්වට කවුරුත් මට කිව්වේ නෑනේ පොළව ලිස්සනවා කියලා,මම ඉතින් අත්ත බිදෙයි පය බුරුලෙන් කියලා පඩියට යන්තම් අඩිය තිය තිය ඇවිත්,මොනා බිදෙන්නද පය හයියෙන් කියලා පොළවට අඩිය තිබ්බා.ඒ තියපු වේගෙට මාව ලිස්සලා අතේ තියපු පොත් සේරම උඩ විසි වුනා හරි ලස්සනට ෆිල්ම් එකක වගේ.වැඩේ කියන්නේ මාව ලිස්සලා ගිහිල්ලා හිරවුනේ කෙල්ලෝ රොත්තක් වාඩි වෙලා හිටපු ඩෙස් එකක් අස්සේ මට නැගිටින විදියක් හිතා ගන්නවත් බෑ ත්‍රිභංග ලීලාවෙන් ඩෙස් එක යට හිරවෙලා හිටියේ.වැස්ස නිසාද කොහෙදෝ කෙල්ලෝ ඔක්කොම ඇදන් හිටියේ කොට සායවල් මම වැටුනු පාරට ගැස්සුනු එවුන් කකුල් එකතු කරගන්න ට්‍රයි එක දෙතුන් දෙනෙක්ගේ පා ප්‍රහාරවලටත් ලක් වුනා(අපේ එවුන් මේවා දන්නවනම් මාව එදාම මස් කරනවා).
එතන කොයි තරම් හොද වුනත් දැන් ඉතිං ඩෙස් එක යටම ඉන්න බෑනේ සර්ත් නෝන්ඩිය දානවා ඉතිං චුට්ටක් දණ ගාගෙන ඇවිත් කකුල බර කරලා නැගිට්ටා ඒත් මගේ වම් කකුල නිකන් නෑ වගේ ඒ මදිවට කහ ඉරේ තිබුනු තෙල් පවර් එකටමද කොහේදෝ අති සාර්ථක දෙවැනි වරටත් මාව බිම පත බෑවුනා.කෙල්ලෝ ආයේ හිකි හිකි ගාලා හිනාවුනෙත් ඕකටම තමයි.මගේ ටිකිරි මොලේට තේරුනා ආයේ නැගිට්ටත් මෙච්චරයි කියලා ,ඉතින් අර දෙනෝදාහක් ඉස්සරහා කිරි බීපු හිච්චි කාලේ මතක් වෙන්න දණ ගාලා,වැටුනු පොතුයි ටියුටුයි එක්කහු කරන්, දණ ගාගෙනම කෙල්ලොන්ගේ ඩෙස් පේළියත් පහු කරන් වතුර නැති කලාපෙකට ඇවිල්ලා කොල්ලො හිටපු ඩෙස් එකක් අල්ලගෙන නැගිටලා ඇවිත් තමයි වාඩි වුනේ.මගේ කනෙන් පේනවා කෙල්ලෝ මාව බයිට් එකට අරන් හිනාවෙන හැටි මට ඇහෙන්න එක එක ඒවා කිය කිය.
කෑවායිනුත් කෑවේ නෑ මෙහෙම බයිටක්.එදාම හවසත් නුගේගොඩ මාකට් එකේ පඩිපෙලෙත් රොත්ත බුරුත්ත එක්ක වැටුනා ලිස්සලා .ඒ වැටෙන එකෙක්ව ඇල්ලුවාම(මණ්ඩිපාලව) ඒ එක්කම ඇදිලා ගිහින්.ඊට පස්සේ කොන්දේ ප්‍රශ්නේ උග්‍ර වෙලා ඇවිදින්න බැරිව පන්ති යෑම නතර කරලා දැම්මා...
කොන්දේ කේස් එක යන්තම් ගොඩ ගියාම ආයේ උ/පෙ කරන්න හිතුනා.මම ඉතිං දෙවෙනි පාර ආයේ උ/පෙ කරන්න යද්දි දුෂ්‍යන්ත සර් හම්බුවෙන්න ගියා ඒ ගියේ පරණ කාඩ් එක පෙන්නලා ඇඩ්මිෂන් නොගෙවා පන්තියට යන්න සර්ගේ අත්සන ගන්න.මගේ අතේ තිබුනේ පෙබරවාරි මාසේ කාඩ් එක නිසා මම සර්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න ගියා මෙහෙම....
“සර් මම 2008 ඉදන් සර්ගේ පන්ති ආවා ගිය අවුරුද්දේ රිවිෂන් එකටත් ආවා....”
මට ඊට එහා කථා කරන්න හම්බුනේ නෑ සර් හිනාවෙලා කියපි
“අහ් මට මතකයි මට මතකයි අර ගිය අවුරුද්දේ වලේ වැටුනු එකානේ නේද??? ”