Saturday, December 31, 2011

නව වසරේ හෘද සාක්ෂිය(ඔබ සැමට සුභ නව වසරක් වේවා!!!!)


වසරක් ගෙවී ගිය ඉක්මන හිතාගන්නත් බෑ ඒ වසර තුල කොයිතරම් දේවල් වුනාද.අඩුපාඩු අත්වැරදීම් ගැටුම් ඒ හැම දෙයක් එක්කම මේ ගෙවන්නේ 2011 අවසාන රාත්‍රිය.හෙට ඉදන් අළුත් දවසක්,අළුත් අවුරුද්දක් අපි විතරක් පරණ විදියට ඉදලා කොහොමද?? වෙච්චි වැරදි හදාගෙන ඊළග අවුරුද්ද වැඩදායක අවුරුද්දක් කරගන්න ඕනේ...

ඊළග අවුරුද්ද මට ලොකු කඩඉමක් උසස් පෙළ දෙවන වර ලිවීම කොහොමහරි ගොඩදාගන්න ඕනේ බලාපොරොත්තු ගොඩායි ඒ වගේ බලාපොරොත්තු මේ ලිපිය කියවන ඔයාලටත් ඇති ඉතිං මම එක සිතින් හැමෝටම එළඹෙන නව වසරට සුභ පතනවා.අද රෑට හැමෝම අතීත ආවර්ජනයක් කරෝතින් හොදයි කියලා මට හිතෙනවා මොකද මම අද දවසම ඒක කලේ.මට හිතිච්ච දේ තමයි මම කරපු කිසිම දෙයක් කරන්න ඕනේ වෙලාවට මම කලේ නෑ කියන එක.ඒ වෙලාවට කරන්න ඕනේ දේ තියාගෙන කිසිසේත්ම අදාල නැති දේවල් තමයි හැමදාම මම කලේ.ඊලග අවුරුද්දේ මම කොහොමහරි ඒ අඩුපාඩුව හදාගන්නවා.

ම්ම්ම් තව මම ලියමින් ඉදලා නතර කරපු වෙද ගෙදර සිදුවීම් ඉඩ ලද හැම මොහොතකම ලියන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම හිස් අහසේ සදරු අයියා පිළිබදව පුවත්පතක පළවීම පිළිබද මාගේ සන්තෝසයත් ප්‍රකාශ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.මගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් දෙන තෑග්ගක් විදියට අපේ අම්මා මගේ ඉන්ටර්නෙට් බිල නොගෙවන බවට කල ප්‍රකාශයත් මම මේ අවස්ථාවේදි ඉතාමත්ම සංතෝෂයෙන් ප්‍රකාශ කරනවා.ලොව කෙසේ පෙරළුනත් ඉඩ ලද හැම මොහොතකම බ්ලොග් කියවන ඔබ සියළු මිතුරන්ගේ දුක සැප සොයා බලන්ට පැමිනෙන බවට මම පොරොන්දුවකුත් මේ අවස්ථාවේ නොදුටු සයිබර් මිතුරන්ට ප්‍රකාශ කරනවා.මේ අවුරුද්දේ මගේ බ්ලොග් අඩවියේ සැරිසරමින් මා දිරිමත් කල ඔබ සැමට ගොඩාක් ගොඩාක් ස්තූතියි නවකයෙක් විදියට මට අත දුන්නු එක මට කවදාවත් අමතක වෙන්නේ නෑ.ඒ වගේම මාසයකට අඩු කාලයක් තුල හිට්ස් 1000 පසු කර යාමට පැමිණි සියළු දෙනාටමත් ඇනෝ කොමෙන්ට්වලටත් බොහෝමත්ම ස්තූතියි.

නොදුටු සයිබර් මිතුරනි ඔබ සැමටත් මෙය කියවන ඔබ සැමටත් සුභම සුභ නව වසරකට ආසිරි පතන්නෙමි.
ඉතිං මේ 2011 වසර වෙනුවෙන් දමන අවසාන පෝස්ටුවයි......

Wednesday, December 28, 2011

කොල්ලද පව් කෙල්ලද පව්....???



සෙනෙහසක තොටුපළ              හැරලා
ඇයි යන්නේ උඩුගං                  බලලා
නෑ ඔබට අඩුවක්                       කරලා
මදිද මගේ ආදරේ                      ලැබුණා

හැම විටම ඔබ ලග                    හිදලා
සිහිනයක් සිත්තම්                     කෙරුවා
ආලයක මිරිගුව                         පෙන්වා
ඇයි යන්නේ මා හද                  රිදවා

මා සුසුම් සුළගේ                       යාවී
පැතු පැතුම් නොම                     ඉටුවේවි
ඔබ කවක් පමණක්                   වේවි
නිතර හද රිදුමන්                       දේවී


කෙල්ලෙක්ගේ පැත්තෙන් කියෙව්වොත් කෙල්ලද පව්.....????
කොල්ලෙක්ගේ පැත්තෙන් කියෙව්වොත් කොල්ලද පව්.....????
දෙන්නට සාපේක්ෂව කවුද වැඩියෙන්ම පව්....????

පින්තූරේ ගත්තේ මෙතැනින්:

Friday, December 23, 2011

අනතුරක් කල හදියක්-4කොටස (හලාවත අයියාගේ සමුගැන්ම)


අද මම කියන්න යන සිදුවීම ටිකක් විතර අද්භූත කථාවක්.අපි වෙදගෙදර ගත කරපු මුල්ම සතිය ඇරෙන්න මේ සිදුවීමෙන් පස්සේ අපි එහෙ හිටියේ කවදාවත්ම වෙද ගෙදරින් එළියට එන්න බැරිවෙයි කියන සිතුවිල්ලෙන්.ඒ තරම් ගුප්ත භයානක තැනක් විදියටයි අපිට එහේ පේන්න ගත්තේ.එවැනි අද්භූත සිදුවීම් සෑහෙන්න සිද්ධවුනා ඒත් ඒවා අසත්‍ය කියලා බැහැර කරන්නත් බැරි,සත්‍ය කියලා අපිටත් පිළිගන්න බැරි,කිව්වට කවුරුත් නොපිළිගන්න දේවල්.දැන් ඉතිං කථාවට බහිමුකෝ....

ඔයාලට මතකද හලාවත අයියා කියලා කෙනෙක්ව මම මතක් කරා මගේ කලින් ලිපියක සමහරවිට ඔයාලට මතක ඇති මම කිව්වා එයාට බොහොම අවාසනාවන්ත ඉරණමක් අත්වුනා කියලා කීවා.ඉතිං මට හිතුනා ඒ දේ ගැන ලියන්න ඕනේ කියලා.මම මෙයින් තමයි තේරුම් ගත්තේ මිනිසෙක්ට තිරිසනෙක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ කියලා.මෙතෙක් නොකීව කරුණු එක්කයි මම මේ ලිපිය ලියන්නේ.

අපිට වෙද ගෙදර නැවතී හිටින්න දිනකට රුපියල් 2500ක මුදලක් වැය කරන්න සිදුවුණා.සාමාන්‍ය රැකියා කල අපේ පවුලේ අයට මාසේ වියදමට ලැබෙන්නේත් උඩ තියෙන ගාන 5න් වැඩි කරාම එන පිළිතුර නෑදෑ හිතමිත්‍රාදීන් නොහිටින්න මේ මුදල් අපිට නම් පියවන්න හම්බුවෙන්නේ නෑ. සෑම සති අන්තයකම එය නොලැබුනොත් බොහෝම අමිහිරි වදනින් දොස් අහන්නත් ලැබුණා.එතරම් මුදල් ප්‍රමාණයක් වැය කරත් අපිට ලැබුනේ සාමාන්‍ය සැලකිලි.අපිට අපේ කසාය එක පවා හින්දගන්න සිදුවුණා.වෙද මහත්තයාගේ ආවතේව පවා කරන්න වුනු නිසා අපි සෑහෙන්න මානසික වශයෙන් වැටිලා හිටියේ මොකද අපි බලාපොරොත්තු වූ නිදහසක් යන්තමින්වත් අපිට ලැබුනේ නෑ.මේ කථාවට හේතු පාදක වුනු හලාවත අයියාගේ ආවතේව වලට ඇවිල්ලා හිටිය චූටි මල්ලි තමයි මුල් සතිය පුරාවටම අපිට සාත්තු කරේ.ඒ මල්ලිට අවුරුදු 18ක් ඒත් කිසිදු අකුරක් කියවන්න ලියන්න හැකියාවක් ඒ මල්ලිට තිබුනේ නෑ.මට හොදට මතකයි හලාවත අයියා හැමදාම හවස 6න් පස්සේ ඒ මල්ලීට හෝඩි පොතක් ගෙනත් තියාගෙන අකුරු කියලා දෙන හැටි.ඒක සෑහෙන්න සංවේදි දර්ශනයක් පස්සේ පුළු පුළුවන් වෙලාවට ඒ මල්ලිට මම ඉංග්‍රීසි වචන හුරු කරන්න ගත්තා ඒත් ඒක අසාර්ථක වුනා හැබැයි

ඒ අයියාගේ නම ඇත්තටම මම දන්නේ නෑ මොකද අපි අදුරගත්තු දවස ඉදන් අපි එකිනෙකාට ආමන්ත්‍රණය කරේ අපේ ගම්වල නමින් හෝ වෘත්තියේ නමින්.මම වෙද ගෙදරට ඇතුල් වෙද්දි එහෙ හිටියා ලෙඩ්ඩු හතර දෙනෙක්.මම හිටපු ඇදට එහා පැත්තේ තමයි හලාවත අයියා හිටියේ බොහෝම අහිංසක අවුරුදු 25ක තරුණයෙක්.පුංචි රැකියාවක් කරමින් ඉදලා තිබුනේ.

වෙද ගෙදරදි අපි හැමෝම පාන්දර 4ට නැගිටින්න ඕනේ නැගිටලා කලින් දවසේ බැදපු බෙහෙත් අයින් කරලා සුදුරෙදි පටිය සුද්ද කරලා කටු ටිකත් ලෑස්ති කරලා තියලා මූන හෝදගෙන කරගෙන අනිවාර්යෙන්ම කොළකැද බොන්න ඕනේ මට නම් කොළ කැද ඉස්සර පෙන්නන්න බෑ අන්තිමට කොහොමහරි දැන් නම් ආසයි.අපි 5 වෙනකොට වෙද මහත්තයා බැහැදකින්න යන්න ඕනේ.ඊට පස්සේ ඉතිං සෑහෙන වෙලාවක් රෝග පරික්ෂා කරන්න ගන්නවා ඊටත් පස්සේ ව්‍යායාම ඊටත් පස්සේ තමයි පෝලිමට බෙහෙත් බදින්නේ.ඒ බදින එකත් බදිනවා ආයේ ඇට කටු තියා අපිටවත් හෙල්ලෙන්න බැරිවෙන්න.බෙල්ලේ ඉදන් පශ්චාත් බාගෙට එනකන්ම ඒක එතුවාම ඊජිප්තුවේ පිරමීඩ් එකකින් ගොඩදාපු මමියක් වගේ බලන්න ලස්සනයි.

දවසක් වෙද මහත්තයාට ඇතිවූ අසනීප තත්වයක් නිසා අපිට බෙහෙත් බදින එක උදේ 10 වෙනකන් කල් ගියා එතකොට වෙලාව 6ට ඇති.අපිට ඉතින් ඒ බෙහෙත් නොබැද ඇවිදින්න තහනම් නිසා ඇදට වෙලා කථාවක් දාගෙන හිටියේ.ඔන්න ඔය අතරේ තමයි මම හලාවත අයියාගේ පිට දැක්කේ.එච්චර දවසක් අයියාගේ අසනීපෙ අහලා තිබුනට ඇස් දෙකින් දැක්කේ එදා.ඒ අයියාගේ බිදුණු කොදු ඇට එක උඩ එක ගිහින් තියෙන හැටි පැහැදිලිවම අපිට පෙනුනා.ඒ අයියාගේ පසුපස කොටසට වියත් දෙකක් උඩින් තමයි බිදීම වෙලා තිබුනේ.ඒ කොටස එළියට පැනලා ඉතුරු කොදු ඇට පේලිය උඩින් අගල් 3ක් විතර ගමන් කරලයි නැවතිලා තිබුණේ.

මට ඒක පැහැදිලි කරන්න අමාරුයි.එත් අදහසක් ගන්න පුළුවන් පෑන් දෙකක බද කොටස් එක උඩ එක තිබ්බාම තියෙන විදිය තමයි එදා ඒ අයියාගේ කොන්ද තිබුනේ.මට ඒ දැක්කාම නිකන්ම කියවුනේ

කොහොමමද එතකොට ඇවිදින්නේ මෙහෙම උනේ කොහොමද ?” කියන එක.ඊට පස්සේ තමයි හලාවත අයියා එයාගේ කථාව කියන්න ගත්තේ

අපේ අම්මා නැතිවෙලා අක්කයි මමයි තාත්තයි ජීවත් වුනේ පොල් වත්තක චූටි ගෙයක.තාත්තා කලේ වත්ත මුර කරන එක.අක්කාට රස්සාවක් තිබුනෙත් නෑ.ඉතිං මම ඉස්කෝලේ යන කාලේ ඕනේ සල්ලි හොයාගත්තේ කාටහරි අත්උදව් දීලා.නැත්තම් පොල් වත්තට ගේන පෝරගෝනි ඇදලා.ඔන්න ඔය කාලේ තමයි මාව ඇක්සිඩන්ට් උනේ ඒත් දරුණු තුවාලයක් මොකුත් වුනේ නෑ ඒත් එදායින් පස්සේ මගේ කකුල් ගොඩක් ඉදිමෙන්න ගත්තා.උසස් පෙළ ලංවෙලා තිබුනු නිසා ඒ කාලේ පෝර ගෝනි අදින්න ගියෙත් නෑ. මම ඉගෙන ගෙන කොහොමහරි උසස් පෙලත් පාස් වුනා.ඒත් මට කරන්න රස්සාවක් ලැබුනේ නැති නිසා මම ආයෙමත් පරණ පුරුදු ගෝනි උස්සන රස්සාවම කලා වැඩි වැඩියෙන්

අයියා කතා කලේ ඇස් පිහිදන ගමන් ඒ ඇස්වලින් කදුළු සෑහෙන්න ගලනවා.බැංකු අයියයි රත්නපුර මාමයි නිශ්ශබ්දව අහගෙන ඉන්නවා කියන දේ.ඒ අයියාගේ අසනීපෙටත් මුල අනතුරක්.මේ කියවන අයටත් සුළු සුළු අමාරු මේ වගේ තියේනම් x-RAY එකක්වත් අරන් බැලුවොත් හොදයි ඕං.

වැස්ස දවසක පෝර මිටි තොගයක් වත්තට ආපු නිසා මම ඉක්මන්ට ඒවා ඇදලා දාන්න ලොරියේ කොල්ලට කිව්වා ගෝනි දෙකක්ම කරට දාපන් කියලා.එදා ඒ මිටි දෙක කරට ගනිද්දි මට දැනුනා කොන්දේ මොකක් හරි ගැස්මක් ඒත් මම ඒක වැඩිය ගනන් ගත්තේ නෑ.ඊට පස්සේ දවස් ගානක් උණ හැදිලා ඇදටම වෙලයි හිටියේ

ඇයි දෙයියනේ ඇගපත හෝදනකොටවත් පිටේ ගෙඩියක් වගේ අහුවුනේ නැද්ද නිහඩව ඉන්න බැරිම තැනයි මම ඇහුවේ.

එහෙම දැනුනට මට ඒක වැඩිය තේරුමක් ගියේ නෑ මට තිබුනු එකම අමාරුව කකුල් ඉදිමෙන එක විතරයි.

එදා ඒ මොහොතේ ඉදන් ලියන මේ මොහොත වෙනකන්ම මම මගේ කොන්ද සෑහෙන්න සැලකිල්ලෙන් අතගාලා බලනවා මොකක් හරි වෙනසක් කොන්දේ ඇතිවෙලාද කියලා.ඒ තිගැස්ම කවදාවත් නැතිවෙන එකක් නැතිවෙයි.

මේ සිද්ධිය වෙලා සති දෙකක් තුනක් යද්දි මට සෙලින්කෝ එකේ රස්සාවක් හම්බුණා බයික් එකකුත් එක්ක.එදායින් පස්සේ මට මේ අමාරුව ඒ තරම් දැනුනේ නෑ පහුගිය අවුරුද්ද වෙනකන්ම .ඊට පස්සේ තමයි ඉන්න හිටින්න බැරි වෙන්න වේදනාව පටන් ගත්තේ.කොළම මහ රෝහලේ මාසයක් ඉදලා සේරම පරීක්ෂණ කරාට පස්සේ කිව්වේ මේක සනීප කරන්න බෑ කියලා.ලංකාවේ හොදම වෛද්‍යවරු හැම කෙනෙක්ම මට කිව්වෙත් ඒක.අන්තිමට මම ගියා සුනිල් කියන දක්ෂම වෛද්‍යවරයා හම්බුවෙන්න එයා මගේ රිපෝට්ස් දැකලා පුදුමෙන් මගේ මූන දිහා බලාගෙන ඇහුවා තනියෙන්ද ආවේ මොකකද ආවේ කියලා.මම ඒ වෙනකන්ම මගේ බයික් එකේ තමයි බෙහත් ගන්න ආවෙත්.ඒ වෙලාවේ එයා කිව්වේ මෙච්චරයි...

මම බොහෝම පුදුමවෙනවා මෙහෙම කොන්දක් තියෙන කෙනෙක් දෙපයින් මගේ ගාවට ආපු එක ගැන ඔයාගේ පණ හයියයි ඔයාට තවත් සෑහෙන්න කාලයක් ජීවත් වෙන්න පුළුවන් මට මේක හොදකරන්න බෑ ගිහිල්ලා සතුටින් ජීවත් වෙන්න

එයාට වැදලා කිව්වත් මට ඊට එහා දෙයක් අහගන්න බැරිවුනා මම හැම බලාපොරොත්තුවක්ම අත්ඇරලා දාලා ගෙදර එන්න ආවේ මැරෙන්න හිත හදාගෙන.ඒ යද්දි මගදි හම්බුණු යාළුවෙක් තමයි මට මේ වෙද ගෙදර ගැන කිව්වේ මම පහුවදාම වෙද මහත්තයා හම්බුවෙන්න ආවා.මම පඩුරු විදියට තිබ්බේ රුපියල් 100ක් විතරයි වෙද මහත්තයා මාව බැනලා එළවගත්තා 100ක් දුන්නා කියලා.ඒත මට යන්න තැනක් තිබුනේ නෑ පිංසෙන්ඩු වෙලා අන්තිමට වෙදමහත්තයාව කැමති කරවගත්තා ඒත් මාස 6ක් නැවතිලා ඉන්නත් ලක්ෂ තුනහාමාරක් ඒ කාලෙට ගෙවනවා කියලා ලියමනකුත් මගේ ලව්වා ලියවාගෙන තමයි මාව නවත්තගත්තේ

ඒ වෙද මහත්තයාගේ හැටි එහෙමයි සෑම දේකටම මුල් තැන දුන්නේ මුදල් වලට.එක අතකට සේවක මුදල් ගෙවන්නත් කෑම බීම බේත් හේත් සපයන්නත් යන වියදම බැලුවාම ඒකේ වැරැද්දක් මට දැන්නම් පේන්නේ නෑ.හලාවත අයියා ඇවිත් ඒ වෙනකොට මාස දෙකකටත් කිට්ටු වෙලා තිබුනේ එයාම කිව්ව විදියට සෑහෙන්න අඩුවීමක් වෙලා තියෙනවා ඒ ටිකට.වෙද මහත්තයාට ලක්ෂ එකයි අනූවකුත් ඒ වෙද්දි දීලා අහවරයිලු ඒ වෙද්දි.මේ කථාව කියලා පහුවදා තමයි ඒ අයියගේ අවාසනාවන්ත දවස උදා වුනේ.

ඒ අයියගේ යාළුවෝ සෙට් එකක් එයාව බලන්න වෙද ගෙදරට ආවා උන් කරපු ලොකුම වැරැද්ද තමයි කරටි කැඩෙන්න ගහලා තිබුණු එක.උන් ඇවිත් කෑ කෝ ගහලා ටිකකින් යන්න ගියා.එතකොට තමයි වෙද මහත්තයා මට අඩගැහුවේ.මම යද්දි දැක්ක දේ තමයි තරහෙන් පුපුර පුපුර අම්මා මුත්තා මතක් කරමින් හිටි වෙද මහත්තයා.එදා පොඩි වෙදමහත්තයා හිටියානම් මේ වැනි දෙයක් නොවෙන්නත් තිබුනා.මත්පැන් වලට දැඩි විරුද්ධත්වයක් වෙද මහත්තයාට තිබුණා පානය කරපු එකෙක්ටවත් වෙදකම් නොකරන ප්‍රතිපත්තියකුත් තිබුනා.

අවසානයේදි හලාවත අයියාට වෙද මහත්තයා කතා කලා.හලාවත අයියගේ දෙම්ව්පියෝ සහෝදරවරුන් ඇතුළුව ආපු යාළු මිත්‍ර හැමෝගෙම ජාතිය අමතලා තමයි වෙද මහත්තයා නිහඩ වුනේ හලාවත අයියා තරහින් හිටි බව මම හොදටම දැක්කා කදුලු වැටෙන ඇස් වලින් හලාවත අයියා එක ඉල්ලීමයි වෙද මහත්තයාට කලේ

මට ඕන දෙයක් කියන්න වෙද මහත්තයෝ මගේ යාළුවන්ටයි අක්කටයි කිසි දෙයක් කියන්න එපා එයාලා තමයි මට හැමදේම කරන්නේ ගෙදරට කන්න බොන්න දෙන්නෙත් එයාලා

ආ උඹලැයි යාළුවෝ උඹට උදව් කරන්නේ ඒකයි මේ ගෙදර අක්කා තනියෙන් නොවැ ඇත්තේ ඉතින් උඹට උදව් නොකර පුළුවන්ද යාළුවන්ට අනික බොහොම හොද බේබද්දෝ ටිකක්නේ දැන් ආවේ

එදා එතන මම නොහිටින්න වෙද මහත්තයා මැරුම් කනවා සිකුරුයි.ඒ තරම් කේන්තියක් ආවේගයක් ඒ වෙලාවේ අයියට තිබ්බේ වෙද මහත්තයාගේ විරෝධය නොතකා මම හලාවත අයියාව කාමරෙන් ඒළියට ඇදන් ආවේ.ඒ නිසා මාත් හොදට වෙද මහත්තයාගෙන් අහගත්තා මම ආපහු වෙද මහත්තයාගේ කාමරේට යද්දි වෙද මහත්තයා මගෙන් ඇහුවේ උඹටත් මෙහෙන් යන්න ඕනේ වෙලාද කියලා.එදා රාත්‍රී වෙද්දි හලාවත අයියාව පිටුවහල් කරන්න සේරම සූදානම් කරලා දවස් දෙකකින් යන්න කියලා නියෝගය දුන්නා.පොඩි වෙද මහත්තයාගේ ඇස්වල කදුළු දැක්කේ එදා එයා නොසෑහෙන්න උත්සහ කරා හලාවත අයියාව බේරගන්න ඒත් වැඩක් වුනේ නෑ.දවස් දෙකකින් එයාට යන්න උනා ඒ සමුගැනීම සෑහෙන්න වේදනාකාරි දෙයක් අයියා ගියේ මම මැරෙනවා මල්ලි කියාගෙන.අපි කාටවත් එදා ආහාර ගන්න සිහියක් තිබ්බේ නෑ එතකොට පොඩි වෙද මහත්තයා මට ඇවිත් පුදුම කථාවක් කිව්වා...

මල්ලී අත්තා අරහේ මතුරනවා හලාවත ගෙදර යනකන් යහතින් ගියොත් ලොකු දෙයක් නිතරම එයාට කෝල් කරලා මට විස්තර කියන්න ඒ අහිංසක මනුස්සයා අපරාදේ

මගේ මුළු ඇගම සීතල වෙලා මහා බයානක හැගීමක් හිතට ආවේ ඒ වෙලාවේ අපි භූත බංගලාවක හිර උනාදෝ කියලා සෑහෙන්න බයකින් හිටියේ අපි හැමෝගෙම මූණු මලානික වෙලා හිටියේ.ටික වෙලාවකින් වෙද මහත්තයා ආයේම මට කථා කරා.මම සෑහෙන්න බයවෙලා හිටියේ වෙද මහත්තයාට හිත් කියවන්න පුළුවන් ඇතිද කියලා මොකද මම එයාට සාත්තු කරපු හැම දවසකම හිතින් අනන්තවත් බනින්න ඇති පාඩුවේ ඉන්න දෙන්නේ නෑ කියලා.ඒ බැනපු බැනිලි දන්නවනම් මාව තියන්නේ නෑ.මම ඉතිං ගිහින් සාත්තු පටන් ගත්තා එතකොට තමයි පොඩි වෙද මහත්තයා කියපු කථාවේ ඇත්ත මට තේරුණේ

මම අර මූසලයට යහතින් යන්න දෙන්නේ නෑ මම ඕකාගේ හදපු කොන්ද ආයේ කඩනවා තිබ්බ විදියටම ගේනවා දැන් මම මතුරලා අහවරයි මට සෑහෙන්න මහන්සියි මම නිදාගන්නකම් කකුල තවාපන්

මම ඒ කකුල තැව්වද කියලා මටවත් මතක නෑ වෙදමහත්තයා ගොරවනකම් ඉදලා කාමරෙන් එළියට පැනලා ආවේ හලාවත අයියට කෝල් එකක් ගන්න ඒත් මම ඇද ලගට යද්දි පොඩි වෙද මහත්තයයි රත්නපුර මාමයි බැංකු අයියයි සෑහෙන්න දුකින් ඉන්නවා දැක්කාම මට හිතුනා මොකක් නමුත් වෙලා ඇති කියලා.මම බැංකු අයියගෙන් ඇහුවා මොකද වුනේ කියලා.

හලාවත චූටි මල්ලි කථා කරා හලාවත් ගියපු බස් එක වලකට වැටිලා හලාවතගේ ඔළුව බෑග් දාන රැක් එකේ වැදිලා හොදටම අමාරුයිලු කොන්ද අල්ලන් කෑ ගහනවලු

මාව නිකන්ම ඇදේ ඉන්දවුනා දෙයියනේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද මේ කරම් හිත් පිත් නැති මිනිස්සු ඉන්න පුළුවන්ද මිනිස්සු කෙසේ වෙතත් වෛද්‍යවරයෙක්????? මට එවෙලේ හිතුනා කවදාවත් මේ භූත ගෙයින් එළියට යන්න නම් නොලැබේවි කියලා.මේ ලියන මොහොතේ පවා මගේ ඇගේ මයිල් කෙලින් වෙලා තියෙන්නේ බයට.මට තාමත් තියෙන ගැටළුව තමයි හලාවත අයියට මෙහෙම උනේ මතුරපු නිසාද කියන එක.

පස්සේ ආරංචි උනා එයාගේ කොන්ද තිබුණු තත්වයටම නරක අතට හැරිලා කියලා.නමුත් එයාගේ ජීවිතේ මුළුමනින්ම අවාසනාවන්ත වෙලා තිබුනේ නෑ.පොඩි වෙද මහත්තයා හලාවත අයියට බෙහෙත් තෙලුයි මතුරපු තෙලුයි කසායයි ලියලා දීලා තිබුනා.එයා කලින්ම මේ දේට ලෑස්තිවෙලා ඉදලා කියලයි මට තේරුණේ.හලාවත අයියට මගට එන්න කියලා හරි බේත් කරන්න අදහසක් තියෙනවා කියලා පොඩි වෙද මහත්තයා මට කිව්වා ඒත් එයාට ඒක කරගන්න බැරිවුණා.


මගේ මීළග කථාව වෙද ගෙදර ගැන නොලියන්න තීරණයක් ගත්තා හැමදාම එකම දේ ලිව්වාම ගතියක් නෑනේ විවිධත්වයක් තියෙන්නත් එපැයිනේ.හැබැයි වෙද ගෙදර කථා මාලාව සැරින් සැරේ අතරින් පතර දමන්න අදහසක් තියෙනවා ඒකට මාත් එක්ක අමනාපයක් නැති වෙයි කියලා හිතනවා හැමෝම කස්ටිය.

නත්තල් සමරණ කිතුනු බැතිමතුන්ට සුභ නත්තලක් වේවා!!!!!
සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වුනු සකල විධ ලෝකවාසී ජනතාවට නිවන් සුව අත්වේවා කියාත් මම මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා......

ප/ලි
හලාවත අයියා මට ලගදි කථා කරා ඒ වෙලාවේ එයා කිව්වා අනුරාධපුර ප්‍රදේශයේ වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්නවා කියලා කථාවක්.දැන් ටිකක් අඩුයිලු.මම හලාවත අයියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

ප/ප/ලි
මේ ලිපියේ බලාපොරොත්තුව වෙද මහතාටවත් පොඩි වෙද මහතාටවත් සිංහල වෙදකමටවත් අපහාස කිරීමට නෙමෙයි කාගෙවත් නම් ගම් හරි හැටි සදහන් වෙලා නැති නිසා මම හිතනවා කාටවත් මඩක් වදින එකක් නෑ කියලා.ඒ වගේම මම හිතනවා මේ ලිපිය පොඩි වෙද මහත්තයා දැක්කත් මාත් එක්ක අමනාප වෙන එකක් නෑ කියලා.

Monday, December 19, 2011

අනතුරක් කල හදියක්-3 කොටස (එළු ඇටයක් ඇති දණිහ)



ඔන්න තවත් කථාවක් පටන් ගන්නයි යන්නේ මගේ යාළුවෝ කීප දෙනෙක් නම් කිව්වා වෙද ගෙදර ගැනම ලියන්න එපා ඒකාකාරී ගතිය වැඩිවෙනවා කියලා තව ටික දෙනෙක අහන්න ගත්තා මම මේ වෙද ගෙදර ජනප්‍රිය කරනවද කියලත් ඇත්තටම මම කරන්නේ  මම දැකපු අත්විදපු දේවල් ලියන එක ඉතිං මට ප්‍රතිචාර එවපු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා ඒ වගේම මගේ කථා නීරස නෑ දිගටම ලියන්න කියලා මාව ශක්තිමත් කරපු හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා මොකද මට ඒ වචන ලොකු හයියක්

හරි එහෙනම් මෙතෙක් වෙලා එක එක කථා කිව්වේ මට වෙච්චි දේවල් ගැනනේ ඉතිං මං මේ ලියන්න යන්නේ මම අහපු පුදුම හිතෙන දෙයක් ගැන ඒත් ඉතිං වෙද ගෙදරදි තමයි.

අපිට වෙදකම් කරපු වෙද මහත්තයාට අවුරුදු 96ක් වයසයි මට එහේ ගියපු දවසේ ඉදන් ආසාවක් තිබුණා මේ අවුරුදු 96ට වෙද මහත්තයා කියපු කරපු දේවල් දැනගන්න ආයේ ඒ කාලේ වෙච්චි එව්වා කාගෙන් දැනගන්නද.හැබැයි ඉතිං වෙද මහත්තයාව කථා කරවන්න ටිකක් අමාරුයි කථා කෙරෙව්වත් කියන්න යන කථාව නෙමෙයි කියලා ඉවරකරන්නේ.වෙද මහත්තයා ලෙඩ්ඩුන්ව පරික්ෂා කරන්න බොහෝම අපූරු ක්‍රමයක් භාවිතා කලා ඒ තමයි ලෙඩාට කියලා පිට කසාගන්න එක හරි කකුල තවාගන්න එක හරි.ඒ වෙලාවෙදි තමයි එයා ලෙඩාගේ ගුණ අගුණ දැනගන්නවා කියන්නේ(අනේ මගේ කට).උදේ දවල් රෑ කෑමට පස්සේ අපි එක එක්කෙනාට මාරුවෙන් මාරුවට මේක කරන්න වෙනවා.වැඩේ කියන්නේ මගේ අත ගොරෝසු නිසා මට අතිරික්ත කාලයක් වැඩ කරන්න වුණා.

වෙලාවකට මේක හෙනම එපා කරපු වැඩක්(මට නම් එපාම වෙලා හිටියේ).කොහොමහරි දවසක් වෙද මහත්තයාගේ කකුල තවන්න වුණා මට ප්‍රථම වරට.ඉතිං මං ඒ වැඩේ පටන් ගත්තා හැබැයි මට අමුත්තක් තේරුණා ඒ තමයි එයාට ඒ කකුල චුට්ටක්වත් දණිස්සෙන් නමන්න බෑ.හරියට නිකන් බොරු කකුලක් හයිකරලා වගේ ඉතිං මං ඇහුවා මොකද මේ කියලා.ම්හු ඇහුවට කියන්නේම නෑ.මට සහයෝගය දෙන්න බැංකු අයියයි රත්නපුර මාමයි හලාවත අයියයිත් ආවා.වෙද මහත්තයට පෙරැත්ත කරලා කරලා එයාව මුරුංගා අත්තේ මුදුනින්ම තියලා බටරුත් චුට්ටක් ගාන්න ගත්තාම වෙද මහත්තයාත් දොඩමළු වෙලා කථාව කියන්න ගත්තා යන්තම්.

මේක වෙද්දි මට වයස 12ක් 14ක් විතර වෙන්නැති මයේ හිතේ.එතකොටත් මම අපේ තාත්තාගේ නැටුම් පොලේ හොද නැට්ටුවෙක් ඕනෙම ගහකට ගලකට නගිනවා ඒ කාලේ නොකරපු වැඩක් නෑ

ආ..... වෙද මහත්තයාට එහෙනම් කෙල්ලොත් යාළුවෙලා ඉන්නැති නේද

වැඩේ කෑවා.... බැංකු අයියා ඇවිත් කථාව අහන්න ආවනම් කමක්නෑ.ඇවිල්ලා අතාරින්න තියෙන හොදම ප්‍රශ්නේ අතෑරියේ

ඊට පස්සේ  ඉතිං අපි කට්ටිය හොදට අහගත්තා

බොලාට කෙල්ලෙක් දැක්කත් නෙමෙයි කෙල්ලෙක් කියලා ඇහුවත් ඇති අනේ මන්දන්නෑ බොලව් ඒ කාලේ අපි ඕකුන් පස්සේ ගියේ නෑ දැන් ඒකට කොයිවෙලෙත් අර මගුල් පොල්ලෙල්ලක් කනේ ගහගෙන හලෝ ඔයා කෑවාද ආ වතුර බිව්වාද......ටීක් ටීක්

එහෙ ඉන්නකන් එහෙමයි හොදට කුණුහරුප ඉගෙනගත්තා අපරාදෙ කියන්න ඕනේ නෑ පොඩි වෙද මහත්තයාත් ඊට දෙවැනි නෑ.වෙද මහත්තයා කියන නොතේරෙන කුණුහරුප පැහැදිලි කරේ එයා.

ඒ වගේ වෙලාවකට අපේ පිහිටට හිටියේ රත්නපුර මාමා එයා මැණික් මුදලාලි කෙනෙක් එයාට වයස 65ක් 70ක් විතර ඇති

දැන් කාලේ ඉස්සර වාගේ නෙමෙයිනේ මහත්තයා දැන් තාක්ෂණේ දියුණුයිනේ ළමයි ඉතිං ඕවා කොරනවා

අනේ මුංගේ තාක්ෂණේ ඕවා නිසා මුංගේ ඇගේ කිරණ වෙනස්වෙලා තියෙන්නේ මුංට ඕනෙම ලෙඩක් ලේසියෙන් හැදෙනවා මම දැන් එක්ස්පයොර් වෙලානේ අපි කියන එව්වා අහන්න බෑ මුංගේ කොදු හදාගන්න විතරයි අපිව ඕනේ

මේ කිරණ කථාව ඇත්තක්ද කියලා මට නම් ෂුවර් නෑ හැබැයි මේක එයා හැමවෙලේම කියපු දෙයක්.ඊට පස්සේ ඉතිං දහසක් දේ කියවලා ආයේ වෙද මහත්තයාව ට්‍රැක් එකට ඇදලා ගත්තා.

මම ඒ කාලේ නොකරන දෙයක්  නෑ.දවසක් මම කොස් ගහකට නැග්ගා කොස් ගෙඩියක් කඩන්න මුදුකටම යද්දි පය ලිස්සලා පතබෑවෙච්චි ගහ මුලම.මුළු කකුළම පරඩැලක් වුණා අපුච්චා මේක දැකලා දුවගෙන ආවා අනේ මගේ කොල්ලා කියාගෙන.දැන් කකුල ගන්න දෙයක් නෑ අපුච්චා ඉක්මනට එකෙක්ට කොරහක් ගෙ‍ෙනල්ලා කියලා  නිල අල්ලන ගමන් කකුලට මතුරන්න ගත්තා.ඒ ගමන් එකෙක්ට කිව්වා එළුවෙක්ගේ කකුලක් කපන් එන්න කියලා.අපේ අපුච්චා ඒ කාලේ කෝරාලේ මහතැන් කෙනෙක් ඒ වචනෙට කවුරුත් බයයි කියන පරක්කුවෙන් ඕනේම දෙයක් කරනවා එයාට ඉස්සර මිනිස්සු කිව්වේ කෝටුවේ මහත්තයා කියලා අපේ අපුච්චා අත නිතර දෙවේලේ කෝටුවක් තිබුණා වැරැද්දක් කරලා අහවුනොත් අපිටද පිට එවුන්ටද කියලා නෑ පතබානවා.

වෙද මහත්තයාට රිදුනේ නැද්ද ?? ලේ එහෙම ගියෙ නැද්ද ??”
                           
මේ මොනවා අහනවද ඒ කාලේ මේ වගේ නෙමෙයි වෙදකමින් මරණාසන්න ලෙඩ්ඩු හිටන් ගොඩදානවා මේක සුළු වැඩක්.නිල වෙදකම බොහෝම බලගතු වෙදකමක්.ඇගේ ඕනෙ තැන විතරක් හිරිවට්ටලා වෙදකම් කරන්නේ.මම බලා ඉද්දි මගේ දණිහට උඩහින් කකුල දෙපැත්තේ කැපුම් දෙකයි දනියට පහලින් කැපුම් දෙකයි දාලා කකුල ඇරියා ඕං.මේ තියෙන්නේ ඒවා

ඒවා දැක්කාම ඇත්තටම අපිට පුදුම හිතුනා ඒ කැපුම් සාමාන්‍ය ඉංග්‍රීසි වෙදකමේ කැපුම් එහෙම නෙමෙයි සෑහෙන්න ගැඹුරට හෑරුණු කැපුමක් ඒත් ඒ කැපුම් මහපු බවක් පේන්න තිබුණේ නෑ.මේ කථාව විස්වාස නොකරන්න තවත් හේතු නෑ.මට ඒ දුර්ලභ සිද්ධිය ඡායාරූප ගතකරන්න බැරිවුනු එක ගැන තාමත් තියෙන්නේ දුකක්.

මගේ කකුල ඇරලා අපේ අපුච්චා කැඩිච්ච ඇට අර කොරහට එකතු කරා  මගේ දණිහක් ඉතුරු වෙලා නෑ ටික වෙලාවක් යද්දි කැඩිච්ච ඇට කෑලි සේරම අරන් දාලා ඉවරයි ඒත් එක්කම වගේ එළුවගේ කකුල කපන්න යවපු එකාත් ආවා ඒක අතට ගත්තාම අපේ අපුච්චාගේ ඇස්වලින් කදුළු ගලන්න ගත්තා මගේ ඔළුව අතගාලා කිව්වා මට සමාවෙයන් පුතේ මේක උඹේ කරුමේ කියලා මට ඒ වෙලාවේ මුකුත් තේරුණේ නෑ.අර එළුවගේ කකුළ ඉන් පස්සේ හම ගහලා මගේ ඉතුරු ඇට කෑලි දෙකට තියලා මතුර මතුර බෙහෙත් බදින්න ගත්තා.ඔක්කෝම කරලා මගේ කකුල කෙලින් තියලා පතුරු එහෙම කාරිය ගහලා මට කිව්වා

පුතේ එළු කකුල කපන් අරන් තියෙන්නේ බාගෙට මම උඹේ කකුල හැදුවා ඒත් උඹට කවදාවත් කකුල නමන්න බැරිවෙයිකියලා.

ඇයි වෙද මහත්තයෝ ආයේ කකුලක් කපන් ඇවිත් පෑස්සුවෙ නැත්තේ

ඒ සාස්තරේ හැටියට මතුරලා ස්වල්ප වෙලාවයි ඇට පාස්සන්න පුළුවන් වෙන්නේ අනික හැම එළුවෙක්ගේ ඇටයක්ම මේකට හරියන්නේ නෑ එහෙමත් ජාතියක් තමයි මිනිස් ඇටකට්ට එක්ක හා වෙන්නේ.හා වුනාට පස්සේ එළු ඇටේ දණිහක් තරම්ම ලොකු වෙනවා මේ පේන්නේ නැද්ද තියෙන අපූරුව


ඇත්තටම එතකොටයි අපි දැක්කේ සාමාන්‍ය දණිහක් විදියටම ඒ දණිහ තියෙන හැටි.ඒ සැත්කම හරියටම හරිගියා නම් වටිනාකම කියලා නිමකරන්න බෑ ඒ නැතත් ඒ වගේ විශ්වකර්ම වැඩක් ඒ කාලේ කරා කියන්නේ වෙද මහත්තයාගේ කථාවෙ හැටියට මේ දේ වෙන්නේ 1927 ආසන්න කාලයක.ඒ වෙනකොට මට නම් මේ දේ වැලලෙන්න දුන්නේ අපරාදේ කියලා හිතුනා.නිකමට හිතන්න ඒ කාලේ කොහොම දියුණු වෛද්‍ය තාක්ෂණයක් තියෙන්න ඇතිද.මේ එක්කම යන තවත් පුදුමාකාර කතන්දර රාශියක් මම වෙද ගෙදර හිටපු කාල සීමාවේ අහන්න ලැබුණා.වෙද මහත්තයා කියපු තවත් දෙයක් තමයි සුද්දෝ උන්ගේ සැත්කම් උපකරණ හැදුවේ ලංකාවෙන් උස්සන් ගියපු පුස්කොලපොත් සහ වෛද්‍ය උපකරණ භාවිතා කරලා කියන එක.කටුගෙයි ගිහින් බලන්න ඒවා දැක්කාම හිතෙන්න පුළුවන් මේ කියන්නේ ඇත්තම ඇත්ත නේදැයි කියලා.

හැම දේකටම වඩා මේ තාක්ෂණේ වල පල්ලට ගියේ ගුරු මුෂ්ඨි තියාගත්ත නිසා කියල තමයි පොඩි වෙද මහත්තයා කිව්වේ නම්.එයා කියපු විදියට ඕනෑම විදියක  කැඩුණු අස්ථියක් කැඩුණු කොන්දක් හදන්න දවසින් පුළුවන්.මාත් අහල තියෙනවා ඉස්සර කැඩුණු අස්ථි පාස්සන්නේ බත් මුට්ටියක් ලිප තියලා කියන කථාව එහෙම

වෙද මහත්තයා කකුල කැඩුනයින් පස්සේ තමයි වෙදකම මන්තර ගුරුකම් ඉගෙන ගෙන තියෙන්නේ පොඩි කාලේ කැවිලි පුරවපු මල්ලක් දෙන්නම් කියපු එකෙක්ට තමයි වෙද මහත්තයා මුලින්ම මේ සාත්තරේ පාවිච්චි කරලා උදව් කරලා තියෙන්නේ ඒත් කරලා තියෙන්නේ  කෙල්ලක්ව වශීකරවලා දෙන එක.ඕක ඒ ගෑනු ලමයාගේ දෙමව්පියෝ දැනගෙන වෙද මහත්තයා ගේ තාත්තට පැමිණිලි කරලා අන්තිමට වෙද මහත්තයාට දවස් තුනක් දඩුකදේත් ලගින්න වුනාලු.

වෙද මහත්තයාගේ දුක හිතෙන කථාවෙන් පස්සේ තවත් කථාවක් කිව්වා ඒ ඇස් වෙදකමක් ගැන.

මම අපුච්චාගෙන් සූත්‍ර වගයක් අහ අහ ඉද්දි වයසක මිනිහෙක් කෑ ගහගන දුවගෙන ආවා ඒ මනුස්සයාගේ ඇහේ කටුවක් ඇනිලා ඉදිමිලා හොදටම.අපේ අපුච්චාගේ වැඩට හිටපු එකෙක්ට කිව්වා මේ මනුස්සයට බොන්න ඔසුපැන් ටිකක් ගෙනාවනම් කියලා.තේ එක හදන් එනකන් අපුච්චා කලේ අර ඇහැට මතුරපු එක.ඔසුපැන් ඒ මනුස්සයට දෙනකොට අපුච්චා මතුරලා ඉවරයි.ඊට පස්සේ අපුච්චා ඒ මනුස්සයා ගාව හිටපු එකෙක් අතට බෙහෙත් දාපු කෝප්පයක් දුන්නා අල්ලන් ඉන්න කියලා එහෙම දීලා ලෙඩාගේ ඔළුව රවුමට අතගාන ගමන් දබරැගිල්ලෙන් ඔළුවට තට්ටුවක් දැම්මා.එතකොටම ඇස් බෝලේ අර කෝප්පෙට වැටුනා

අපි ඔක්කොම කටවල් ඇරන් බලන් හිටියේ මේ වෙන්න පුළුවන් දෙයක්ද කියලා මම මීට කලින් කවදාවත් මේ වගේ කථාවක් සුරංගනා කථාවකවත් අහලා තිබුනේ නෑ.මොනවා කිව්වත් මේ කථාව විස්වාස කරන්න බෑ කියන මට්ටමකයි අපි එවෙලෙ හිටියේ.අපේ ඒ හැගීම තේරුම් ගිය නිසාද කොහෙද වෙද මහත්තයා සිංහල වෙදකමේ සහ ආයුර්වේද වෙදකමේ වෙනස අපිට පැහැදිලි කලා.වෙද මහත්තයා කියන විදියට සිංහල වෙදකමේ නිර්මාපකයා රාවණගේ පියාලු.අර අපි ඉස්සර කථාවට කියන්නේ ගස්ලබු ලෙල්ලක් අතින් අරන් ඉන්න කෙනෙක් ගැන.පස්සේ අපි ඉගෙන ගත්තේ ඒ පරාක්‍රමබාහු රජුයි නගුලේ විය ගහයි කියලානේ.ඒත් වෙද මහත්තයා කියන්නේ පුලතිසි හෝ පුලස්ති වගේ නමක්.

 නෙනි,
මා මේ පවසනා දේවල් වල අඩුපාඩු ඇත්නම් දැනුවත් කරනු මැනවි.


රාවණාගේ පියාගෙන් පැවත ආපු සිංහල වෙදකම ඔහුගේ පුතුන් මතුවට රැගෙන ගියායින් සිංහල වෙදකම බිහිවුණා කියලයි වෙද මහත්තයා කිව්වේ.ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉන්දියාවේ ඍෂී වරුන් සොයාගත් දෙයක් බවත් ඒ හා මේ අතර පැහැදිලි වෙනසක් වගේම සමානකම්ද තියෙන කථාවකුත් කිව්වා.කථාව පිට පැන්නනේ ආය් කතාවට යමුකෝ

වැටුනු ඇහැ බෙහෙත් වලින් පොගවලා විස උරවලා තමයි ආයේ ඒ මනුස්සයාට දැම්මේ ඒකත් ඔළුව ඇගිලි දෙකකින් තද කරන් හරියට වලකට බෝලයක් දානවා වගේ ඇහැ ඇතුලට දැම්මා ඉන් පස්සේ ඇස් දෙකම රෙදි පටියකින් වැහෙන විදියට ඔළුව වටේ ඔතලා වේවැල් පුටුවට අල්ලලා මනුස්සයාව ගැට ගැහුවා.ඒ වෙලාවේ දැගලුවේ නැතත් හිරිය යද්දි මැරෙන්න හදපු නැති ටික විතරයි.සතියක් ඉදලා ඒ මනුස්සයා ආයේ ගෙදර ගියේ තනියෙම ඇස් දෙකම හොදට හදාගෙන

මේ කථා අහලා ඉවරවෙද්දි අපිට හිතාගන්න බැරිවුනා අපේ තිබිලා තියෙන තාක්ෂණේ ගැන.අවාසනාවකට අපිට වෙදකම් කරපු වෙද මහත්තයා ඉගෙනගෙන තියෙන්නේ අස්ථි විද්‍යාව විතරයි නැත්තම් මේ වෙදකම් තවත් සියවස් ගානකට රකින්න තිබුණා.වෙද මහත්තයාට මල් තියලා වදින්න තරම් පැහැදීමක් අපිට එදා ඇතිවුනත් ඊට ටික දවසකට පස්සේ වෙච්චි සිද්ධියක් නිසා අපිට වෙද මහත්තයා ගැන තිබුණු පැහැදීම සෑහෙන්න අඩුවෙලා ගියා.ඒ පිළිබදව අනිවාර්යෙන් ඊළග ලිපිය සැකසේවි.හලාවත අයියාට සිදුවු අවාසනාවන්ත සිදුවීම තමයි ඊලග ලිපියට පාදක වෙන්නේ.


මේ කථාව මම ඇහුවේ මීට මාස දහයකට  කලින් නිසා වෙද මහතා කියපු දේවල් ඒ ශෛලියෙන්ම ලියන්න මතකයක් තිබුණේ නෑ නමුත් මේ කථාව මතකයේ තිබූ නිසා වෙද මහතා කියූ දේ මගේ වචනයෙන් ලිව්වේ ඒ නිසා මේ කථාවේ රසයට බාධාවක් වුනානම් එය නොසලකා හැකිය හැකි තරම් කුඩා යැයි සලකන්නකෝ.

මේ කථාපෙළ ඒකාකාරී යැයි හැගෙනවානම් වෙනස් විය යුතු තැනක් හෝ මම හදාගත යුතු තැනක් තිබේ යැයි දැනෙනවා නම් මට ඒ ගැන කියලා කොමෙන්ටුවක් දාලා යන්න මම තරහා වෙන්නේ නෑ මම තාම බ්ලොග් වලට අළුත් නිසා ඔයාලගේ උපදෙස් සෑහෙන්න වටිනවා.

Friday, December 16, 2011

අනතුරක් කල හදියක්-2 කොටස (වෙද ගෙදර අන්දරය)



මම මුල්ම කොටසේ කිව්වානේ මට අනතුරක් කරපු හදියක් ගැන.ඒක නොබලපු කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් බලන්න‍කෝ


ඔන්න ඉතිං අම්මා මට කිව්වා වෙද ගෙදරක් ගැන ඒ ගැන අපේ අම්මට කියලා තිබුනේ අම්මට කියලා ඇදුම් මහගන්න එන බැංකුවක වැඩ කරන ඇන්ටි කෙනෙක්.ආ මට කියන්න අමතක වුනානේ අපේ තාත්තාගේ අක්කා පල්ලෙකැලේ ආයුර්වේදේ සේවය කරපු පාරම්පරික සිංහල වෛද්‍යවරියක් එයා තමයි මුලින්ම තාත්තට කියලා තිබුනේ සිංහල වෙදකමින් මේක සනීප කරගත්තෑකි මාව නුවර එවන්න කියලා.ඒත් තාත්තා කැමති වෙලා නෑනේ මාව නුවර යවන්න ඉතිං ඔහොම හොය හොය ඉද්දි තමයි මේ පොල්ගහවෙල වෙද මහත්තයා ගැන ආරංචි වුනේ.ඔන්න පහුවදාම යන්නයි ලෑස්තිය.

කොහොමහරි පැය ගානක දීර්ඝ ගමනකට පස්සේ අපි අදාල ස්ථානයට ලගා වුණා.තව දෙයක් කියන්න අමතක වුනානේ මේ ගමන එන්න කලින් දවසේ රෑ මම නිදාගත්තේ බුලත් අතක් කොට්ටේ යට තියාගෙන ඒ වෙද මහත්තයා නාඩි බලලා රෝග ලක්ෂණ හදුනගන්නේ එහෙම කරාමලු.

ඉතිං අපි උදේ 9 වෙද්දි වෙද ගෙදර හිටියේ අපිට ඇතුලට එන්න කථාකරාම මම ඒ කාලේ කරන්න අකමැතිම වැඩේ ඇවිදින එක කරන්න උනා මම ඇවිද්දේ කකුල් උස්සන්නේ නැතිව කකුල් අද්ද අද්ද වෙද මහත්තයා ඒ හැම දෙයක්ම බලාගෙන උන්නේ.අන්තිමේ වෙද මහත්තයා ඇදේ වාඩිවෙලා උන්නේ එතන ගොඩක් ගුප්ත බවක් දැනුනේ කාමරේ ඇතුලට යද්දිමයි අවුරුදු 70 විතර වයසක් පේන ඒත් ඇත්තටම අවුරුදු 96ක් වයස එක කකුලක් දිග ඇරන් ඇද උඩ තියන් ඉදිරියට නැමිලා උන්නේ මාව සනීප කරන්න හැකියි කියපු වෙද මහත්තයා.

මම වාඩි වුනාට පස්සේ මටත් වඩා ලාබාල පෙනුමක් තියෙන කොල්ලෙක් ඇවිත් මගේ පිටිපස්සෙන් වාඩිවෙලා මගේ කොදු ඇට පේලිය තද කරමින් අතගාන්න ගත්තා.වෙද මහත්තයා බුලත් කොල එකින් එක බලලා අපිට අදහගන්න අමාරු විස්තර ටිකක් කියන්න ගත්තා.

මේ ලමයා ගොඩක් කම්මැලි ලමෙක් පාඩම් වැඩක් කරන්න ගත්තොත් පොත බඩ උඩ තියාගෙන නිදි

 ආදී වශයෙන්.මම ඒක විශේෂ කරලා කිව්වේ මම පොඩි කාලේ ඉදන්ම පොතක් ඇල්ලුවොත් නිදාගන්න ජාතියේ පොරක්.නවකථාවක් හරි ගානක් හරි අහුවුනොත් විතරයි මම ඇහැරිලා හිටියේ.ඔහොම කියලා වෙද මහත්තයා මගේ නාඩි බලන්න ගත්තා ඉතිං මම පැය ගානක් හෙන කම්මැලිකමේ හිටියේ ඒ නිසා මම කට වහගෙන දිව හොල්ල හොල්ල හිටියා එක පාරටම වෙද මහත්තයා මගේ මූන දිහා බලලා අහපි

ඔහේ දිව හොල්ලනවා නේද??

මට පොල්ලකින් ගැහුවා වගේ මම ටක් ගාලා දිව මෙල්ල කරගත්තා ඒත් බොලේ මෙයැයි කොහොමද ඒක දැනගත්තේ මම ෆුල් හොල්මන්.ආයේ ටික වෙලාවකින් වෙද මහත්තයා අපේ තාත්තට කිව්වා

මෙයාගේ බඩේ මී වදයක් වගේ මොකක්ද ඉදිමිලා තියෙනවා මට ඒකනම් සනීප කරන්න බෑ හොද ඉංග්‍රීසි වෙද මහතෙක්ට කියලා ඒක සනීප කරගන්න නැත්නම් ළමයාගේ ජීවිතේ අනතුරේ කියලා.

(ඒ කථාව ඒ වෙලාවේ නොතේරුනත් වෙද ගෙදරින් ඇවිත් සතියක් යද්දි බඩේ අමාරුවකට බෙහෙත් ගන්න උනා අන්තිමේදි ඇපෙන්ඩිසයිටිස් හැදිලා අර මල්ල අයින් කරා ඒක කරාමයි තරු විසික් උනේ වෙද මහත්තයා මෙහෙම කිව්වා කියලා මතක් වෙලා)

මගේ රෝග ලක්ෂණ එකින් එක දැන් මේ වෙද මහත්තයා කියනවා අපිට හිතාගන්න බෑ.ටික වෙලාවකින් ඉංග්‍රීසි වෛද්‍යවරු සතියක් තිස්සේ පරීක්ෂණ කරලා කියපු Disk slip එක ගැනයි ස්නායු ගැනයි කිව්වාම අපේ අම්මලා පිස්සු හැදිලා හිටියේ.ඒ සේරම කියලා වෙද මහත්තයා ඇහුවා කොහොමද මගේ ඇක්ස් රේ එක හරි නේද කියලා.

මේ ලමයාගේ කොදු ඇටයක් ඇතුලට පැනලා ස්නායුවක් තුවාල කරනවා මෙච්චර කල් ඇයි බලං හිටියේ සුද්දාගේ වෙදකම කොරලා බැරි තැනද එක්කන් ආවේ.අපිට ඉතිං අහුවෙන්නෙම කොරන පදු තමයි සේරම බැරි උනාමනේ අපිව මතක් වෙන්නේ නේද

මම කිව්වා නෑ වෙද මහත්තයෝ දැනගත්ත ගමන්මයි මෙහෙට ආවේ කියලා.ඊට පස්සේ ෂෝක් හිනාවක් දාලා හොදයි මයේ පුතාලා කියලා ආයේ මාව චැක් කොරන්න ගත්තා.ඊට පස්සේ කිව්වා මේක අවුරුදු ගානක් පරණ වෙච්චි දෙයක් කොහොමද ළමයෝ ඉවසන් හිටියේ කියලා.මම කිව්වා ඉතිං අමාරුවක් ආවාම නිදාගන්න එක තමයි කරේ කියලා.හැම තිස්සේම අමාරු කියපු නිසා අම්මලා ගනන් ගත්තේත් නෑ හොර ඇග හොර ලෙඩ කියලා.

ඔහොම මාව චැක් කොරන ගමන් කියාපි කලිසම ගලවන්න කියලා.මාව රත් උනා කාමරේ දොරත් ඇරලා බෙහෙත් ගන්න ආපු අය එබි එබි බලන අස්සේ කලිසම ගලවයි මං.මං කිව්වා මට බෑ කියලා.වෙද මහත්තයා එතකොටම කියපි...

අනේ මුන්ගේ මහ ලොකු ලැජ්ජාව ගෑනු පරාණයක් කිව්වානම් මුන් කලිසම් ගලවන්නේ ඔළුවෙන් .ගලවපිය කලිසම මට තව වැඩ තියෙනවා මුගේ එක ........................................

අනේ අම්මේ මම ජීවිතේට අහගත්තු හොදම කථාව නෑ වැරදුනා බෙහෙත් ගන්න ඇවිත් හිටපු අයත් අහපු හොදම කථාව මගේ දෙසවන් වලට වැටුනා.ඒ කථාව අහං ඉන්න බැරි කමටද කොහෙද මම දාගෙන හිටපු බෙල්ට් එක ඉබේම ගැලවිලා කලිසමත් ඉබේම ගැලවුණා.(මමම තමයි ඉතිං ගලෝගත්තේ මේ කථා අහද්දි රෙදි ගැලවුණානේ ආයේ මොන ලැජ්ජාවක්ද)

ආයේ චැක් කෙරිල්ල පටන් ගත්තා

මේ ළමයා මේ කාලේ වැටුනානම් කවදාවත් ගොඩ ගන්න වෙන්නේ නෑ ආය් හෙල්ලි හෙල්ලි ගමන් යන්න හොද නෑ මෙයාව නවත්තලා යන්න

ඔන්න ඉතිං තරු විසික් වෙන්න ගත්තා අනික මාස 3ක් කියන්නේ සෙල්ලම් කාලයක්ද දෙයියනේ මම උ/පෙ කරන්නත් ඉන්නේ මාස 3ක මිස් වුනොත් අනාථයි විද්‍යා විෂයක්නේ මම කොලේ.මම නවතින්න බෑමයි කිව්වා.පස්සේ අර අයියා කිව්වා ....

මල්ලියේ උඹ රෝද පුටුවෙන් මෙහෙට එන්න එපා යන්න ඔනේම නම් යන්න මුරණ්ඩුකම අඩු කරගන්න කියලා.

මම ඉතිං මේවත් අහගෙන ඉදලා ගෙදර ආවා මම එනකන් බැනුම් ඇහුවා තාත්තගෙනුයි අම්මාගෙනුයි මුරණ්ඩුකම වැඩියි කියලා.පස්සේ ඉතිං ඕන දෙයක් වෙද්දෙන් කියලා පහුවදාම ගියා නවතින්න ලෑස්තිවෙලා



මම ගියා විතරයි වෙද මහත්තයා අර අයියාට කියපි පකෂියෙක් රජ වෙන වෙලාවක් බලන්න කියලා එවෙලේ උදේ 10.10 පෙබරවාරි 27 වනිදා.ඊට පස්සේ මාව ඇදකට නග්ගලා තෙල් ගාන්න ගත්තා තෙල් ගෑවා නෙමෙයි මිරිස් ගලක් තියලා මිරිස් අඹරනවා වගේ දැනුනේ පැය බාගයක් විතර.මගේ හොද පණ ගියා.ටිකක් හිතන්නකෝ 4 දෙනෙක් මුළු ඇග පුරාම මිරිස් අඹරනවා වගේ අතුල්ලද්දි තියෙන සතුට.
මමත් ඉතිං කට පියන් ඉන්න බැරිකමට ඇහුවා මේක දවසට කී සැරයක් කරනවද කියලා.එතකොට අර අයියා කියපි

(මොකක්දෝ එකකට ගැටයක් දාන කථාවක් කිව්වේ ඒ කියපුවා ඕනේ නෑ)

මම ඉතිං කට අත්දෙකෙන්ම තද කරගත්තා අයේ ප්‍රශ්න නොඅසමි කියලා හිතලා.ඊට පස්සේ තවත් ලෝක ප්‍රශ්නයක් ඒ අයියා මට සරමක් දුන්නා ඇදගෙන කාමරෙන් එලියට යන්න කියලා.උපන්තේකට මට එහෙම වින්නැහියක් වෙලා නෑ.

මම ජීවිතේට සරමක් ඇදලා නෑ මම ඉතිං සරමට බැහැලා ගැට ගහන්න ක්‍රමයක් හොයනවා මීටර් වෙන්නේම නෑ.පස්සේ බැරිම තැන සරම යන්තන් ඉන වටේ ඔතාගෙන පල්ලේහාට පල්ලේහාට රෝල් කරා.දැන් හරි මට ෂුවර් දැන් ඉතිං සරමේ එල්ලුනත් කඩන් වැටෙන්නේ නෑ කියලා.මම කාමරෙන් එළියට ආවා විතරයි මුළු වෙද ගෙදරම බඩවල් අල්ලන් හිනාවෙනවා.මට මාර නෝන්ඩිය ඒ මදිවට තරහයි ඇයි යකෝ හිනා නොවී සරමක් අදින්න කියලා දුන්නනම් මක් වෙනවද.(ඔන්න දන්නැති අය ඉන්නවනම් මේක බලන් ඉගෙනගන්න.මේක ගත්තේ
මෙතනින්.තව විස්තර එතනිනන් ගන්නකෝ)

පස්සේ ඉතිං අපරාදේ කියන්න ඕනේ නෑ බණ්ඩේ මාමා ඇවිල්ලා මට සරම අදින්න කියලා දුන්නා බණ්ඩේ මමා කියන්නේ වෙද ගෙදර තෙල් හින්දන්න හිටපු මාමා.ඔන්න ඉතින් වෙද දෙරට ආපු පළමු දවසෙම දෙයක් ඉගෙනගත්තා ඒ තමයි සරමක්  අදින විදිය.ඊට පස්සේ ඉතිං මුළු ඇගේම තෙල් තියෙද්දි ඇදට රෙද්දක් දාලා දිගාවෙලා හිටියා එතකොට තමයි මට මතක් වුනේ මෙච්චර කාලයක් කකුල් අද්ද අද්ද ඇවිද්ද මම තෙල් සාත්තුවෙන් පස්සේ පරණ විදියට ඇවිදගෙන ආවා නේද කියලා.මට දැනුනු සතුට හිතාගන්නකෝ.දවල් දවස විශේෂයක් නැතිව ගෙවිලා රෑ නිදාගන්න වෙලාව ආවාම මම මෙහෙම දෙයක් හයියෙන් මටම කියාත්තා

හරි දවසක් ඉවරයි තව දවස් 89යි ඉතුරු

ඔන්න ඕක අහන් හිටපු මට එහා පැත්තේ ඇදේ හිටපු අයියා ටික වෙලාවකින් මාත් එක්ක කථාවට වැටුනා.මල්ලි ඔහොම හිත හිත ඉන්න ගියොත් මෙහෙ ඉන්න එක එපා වෙනවා මාත් මුලින් හිටියේ ඔහොමයි ඒත් ඒ හැගීම අත් ඇරලා ගෙදර වගේ ඉන්න එතකොට මේ කාලේ නොදැනුවත්ව ගෙවෙනවා කියලා.ඇත්තටම ඒ උපදෙස හරිගියා ඒත් ඒ අයියාට අවාසනාවන්ත ඉරණමක් අත් වුණා.මම ඒ ගැන ඉදිරියෙදි කියන්න බලන්නම්කෝ ඒ අයියාට අපි කිව්වේ හලාවත අයියා කියලා.ඒ එයාගේ ගම හලාවත නිසා.එයාගේ අසනීපේ දැක්කාම තමයි මට හිතුනේ මට මේ තියෙන්න අසනීපයක්ද කියලත්.

ඔන්න ඔහොමයි වෙද ගෙදරක මුල්ම දවස ගෙවුනේ මේක ටිකක් කම්මැලි කථාවක් ඒත් අනික් කථා වලට ප්‍රවේශයක් ගන්න මේ කථාවත් කියන්න ඕනේ කියලා හිතුනා.ඉදිරි කථා මේ තරම් නීරස වෙන එකක් නෑ ඒ නිසා රැදී ඉන්නකෝ

Wednesday, December 14, 2011

අනතුරක් ජීවිතේට කල හදියක්-1 කොටස



මේ සිදුවීම මතක් වෙනකොට මීට මාස ගානකට කලින් මට දැනුනේ ජීවිතේ නැතිකරගන්න තරම් දුකක්.ඒත් දැන්නම් හැගීම වියැකිලා ගිහිල්ලා.


මේ සිද්ධිය උනේ මම 4 වසරේ ඉන්නකොට.ඒ කාලේ මට තාත්තා බයිසිකලයක් අරන් දුන්නා එදා ඉදන් ඉස්කෝලේ ගිහින් ආපු ගමන් බයිසිකලේ අපේ පාරේ උඩහටයි පහලටයි පදින එක තමයි මගේ රාජකාරිය.සමහර දවස්වලට ඉතින් අහල පහල ඉන්න මල්ලිලා දෙන්න එක්කත් රේස් පදිනවා.ඒ මල්ලිලා  තමයි යුවින් සහ රුවන් එයාලගේ නම් දැම්මයි කියලා තරහවෙන එකක් නෑ මයෙ හිතේ.

යුවින් ඒ කාලේ 2 වසරේ රුවන් 1 වසරේ හිටියේ.ඔන්න කොහොමහරි අපිට ඉස්කෝලේ නිවාඩු ලැබුන අළුත අපි කට්ටිය සෙට් වෙලා රේස් එකක් යන්න කථා වුනා වෙන කොහෙවත් නෙමෙයි අපේ ගෙවල් පාරේ.අපේ ගෙවල් පාර තනිකරම බෑවුමක් පාරේ කෙලවර තියෙන්නේ පොකුණක් ඒ පොකුණට ගෙවල් දෙකක් උඩහින් තමයි අපේ ගේ තිබ්බේ.රේස් එකක් තිබ්බාම අපේ ගේ ගාවට මුලින්ම එන කෙනාටයි දිනුම හම්බුවෙන්නේ.

ඔන්න අපි පහුවදා උදෙන්ම රේස් එක යන්නයි ලෑස්ති හැබැයි පොඩි ප්‍රශ්නයක් ඒ තමයි යුවින් මල්ලිගේ බයිසිකලේ බ්රේක් කැඩිලා.මම නම් කිව්වා බ්රේක් නැතිව පදින්න බෑ කියලා එක් ගමනක් මගේ බ්රේක් කැඩිලා මම පොකුණ පෙනි පෙනි බයිසිකලෙන් පැනලා යන්තම් බේරිලා හිටියේ.හැබැයි අනික් දෙන්නා කැමති නෑ රේස් නොපැද ඉන්න අන්තිමේදි යුවින් කිව්වා මම බයිසිකලේ කමලා ඇන්ටිගේ (මගේ පුංචි අම්මාගේ) වත්තට දාන්නම් ඒ වත්තේ කන්ද නිසා බයිසිකලේ නවත්තන්න පුළුවන් එතනින් රේස් එක ඉවර කරමු කියලා.මාත් ඉතිං හා කිව්වා හා කියලා රේස් එක පටන් ගන්න මහ පාර ලගටම ගියා.දැන් තුනට ගනන් කරලා ඉගිල්ලෙන්නයි සූදානම.

එකායි.....දෙකායි....කට්ටිය "තු" කියද්දි මම ඉගිල්ලිලා ඉවරයි.මල්ලිලා බැන බැන පාගනවා මම තමයි ඉස්සරහින්ම යන්නේ හයියෙන් යද්දි මාරම ජොලි කොහොම හරි දිනුම් කනුව පේන මානේ එද්දි මම ඇස් කොනින් දැක්කා යුවින් මාව ඉස්සර කරන්න හදනවා ඉතින් මම ඉස්සරහට නැමිලා තවත් හයියෙන් පාගනකොටම යුවින් බයිසිකලේ පාර හරහා දැම්මා මට මතකයි අපේ බයිසිකල් හැප්පෙනවා......

මම ඇස් අරිනකොට මගේ ඔළුවෙන් පුදුමාකාර වේදනාවක් ආවා ඒත් මට මගේ අත උස්සගන්න බෑ මුළු ඇගම පණ නෑ මම කථාකරාට වචන පිටවුනෙත් නෑ මට මතකයි මගේ අම්මා මගේ ඔළුව අතගානවා අම්මා කදුළු පුරවන් හිටියේ මම ඇස් අරිනවා දැකලා අම්මා කෑ ගැහුවා ටික වෙලාවකින් ආයේ කැරකිල්ලක් හැදුනා.

මම ආයෙත් ඇස් ඇරියා එතකොට දොස්තර අංකල් කෙනෙක් ඇවිත් මට කථාකරා මගේ ඔළුව රිදෙනවා අඩුයි දොස්තර අංකල් මගෙන් නම ඇහුවා මම උත්තර දුන්නා ඊට පස්සේ එයා මගේ ඇස් යට බලලා නර්ස් කෙනෙක්ට මොනාද කියලා ගියා අම්මයි තාත්තයි දෙන්නම මගේ ඇද ඉහත්තාවේ හිටියේ.ටික වේලාවකින් මාව ගෙදර ගෙනියන්න පුළුවන් කිව්වා වමනේ ගියොත් හරි කලන්තයක් දැම්මොත් හරි ආයේ මාව එක්කන් එන්න කියලා කියනවත් මම අහගෙන.මාව එක්කන් යන්න ආවේ රවිෂ මල්ලිගේ තාත්තා එයා එයාගේ කාර් එකෙන් මාව ගෙදරටම ගෙනත් ඇරලුවා.

මම ගේ ඇතුලට යද්දි මගේ බයිසිකලේ කෑලි කෑලි ගලවලා දාලා මට ඒකට ගොඩක් දුකයි මම ගොඩක් ආදරේ කරපු බයිසිකලේ මට නැතිවුනානේ.කොහොමහරි දවස් දෙකකින් තුනකින් මට සනීප උනා.මට තුවාලයක් වෙලා තිබුනේ නැතුවට මගේ ඇග ගොඩක් රිදි රිදි තිබ්බේ.සනීප උනාම අම්මලා මාව රවිෂ මල්ලිගේ ගෙදර එක්කන් ගියා ඒ ගිහින් අම්මා කිව්වේ මගේ පුතාගේ ජීවිතේ බේරුවට බොහෝම ස්තූතියි කියලා අන්න ඒ වෙලාවේ තමයි මම වෙලා තියෙන දේ දැනගත්තේ.

මම ඇවිත් තිබුනේ පුංචි අම්මලාගේ ගෙවල් පැත්තෙන් මම එහෙන් ආපු නිසා යුවින් මල්ලිට පුංචි අම්මලාගේ වත්තට බයිසිකලේ දාගන්න බැරි තත්වයක් ඇවිත්.පොකුණේ නවතින්න බැරි නිසා තමයි ඕන දෙයක් වෙද්දෙන් කියලා බයිසිකලේ හරවලා තියෙන්නේ

එදා මම හැප්පුනාම යුවින් මල්ලි බයිසිකලේට යටවෙලා මාව උඩින් විසිවෙලා ඉස්සරහින් වැටිලා රුවන් මල්ලි ඇවිත් මාව නැගිට්ටවන්න හැදුවාම මම නැගිටින්නේ නෑලු කථාවකුත් නෑලු අන්තිමට මං මැරිලා කියලා බයවෙලා මෙයාලා මාව පාරෙම දාලා ගෙදර දුවලා.රවිෂගේ ගේ පහුවෙද්දි තමයි මම වැටිලා තියෙන්නේ ඒ අංකල් මොකක් හරි පෙර පිනක් නිසා ගෙයින් එලියට ආවාම මම වැටිලා ඉන්නවා දැකලා කෑ ගහගෙන මාව ගන්න ඇවිල්ලා මාව ඉස්සුවාම මගේ බෙල්ල කඩන් වැටෙනවා දැකලා පුංචි අම්මා කලන්තේ දාලා.

ඒ අංකල් මාව වාහනේ දාගෙන එක්කන් ගිහින් මගේ තත්වේ යහපත් වෙනකන්ම ඉදලා තමයි අපේ අම්මලාට කියලා තියෙන්නේ.මම ගොඩාක් වෙලා සිහිය නැතිව ඉදලා තියෙනවා මගේ ඇගේ තුවාල නැති නිසා හිතලා තියෙන්නේ ඔළුව වැදිලා සිහි නැතිවුනා කියලා.අවාසනාවකට ඒ නිගමනය නිසා මට සෑහෙන්න දුක් විදින්න සිද්ධ වුණා.

පස්සේ පස්සේ දවසක් සෙල්ලම් කරොත් මට පහුවදා උන ගැනෙන්න ගත්තා කිසිම වැඩක් මහන්සි වෙලා කරන්න බැරි වුනා ඒත් මමවත් දැනගෙන හිටියේ නෑ ඇයි කියලා.ඉස්කෝලෙ ඉදන් ගෙදර ආපු වාර අනන්තයි කොන්ද රිදෙනවා කියලා.

උසස් පෙළ පන්ති යද්දි ඉන්න බෑ කියලා මම ගෙදර එද්දි යාළුවෝ මට බැන්නා.මම දන්නවා ඒ බැන්නේ මගේ විභාගේ කරගන්න උනන්දු කරන්න මිසක් තරහකට නෙමෙයි

අවුරුදු ගානක් මෙහෙම දුක් වින්දා අවසානයේ මීට මාස 10කට කලින් මගේ රෝග ලක්ෂණ මට අවසන් වතාවටත් පහර දුන්නා.ප්‍රථිඵලය වුනේ එක්තරා උදෑසනක මට ඇවිදීමට බැරිව යාමෙන්.මට දැනුනු දේ ඔබට නොවැටහෙන්නට පුළුවන් ඒත් අවුරුදු ගානක් මවපු සිහින බොදවෙලා යනකොට හිතට දැනුනු හැගීම් විස්තර කරන්න වචන නෑ.අම්මයි තාත්තායි මටත් වඩා මානසිකව වැටුනු හැටි මම දැක්කා.බයවෙන්න එපා කියනවා ඇර මට කියන්න කිසිම දෙයක් තිබුනේ නෑ.යාළුවෝ මාගේ ලගින්ම හිටියා.ලග ඉන්න බැරි වුනත් මගේ ආදරෙත් මට හිටියා ඒ නිසා මම හැකි තරම් ඉවසුවා.අන්තිමට වෛද්‍ය ප්‍රථිඵල ලැබුණා.

කොදු ඇට පෙළෙහි Disk එකක් Slip වෙලා කියලායි ප්‍රථිඵලේ කිව්වේ ඒ නිසා ස්නායු තදවීමෙන් දෙපා අකර්මන්‍ය විය හැකි බවත් සදහන් වුනා.විසදුම ශල්‍යකර්මයක් බවත් ඒ ශල්‍යකර්ම බොහොමයක් අසාර්ථක බවත් ස්නායුවකට සිදුවන සුළු හානියකින් සදාකාලික ආබාධිතයෙක් විය හැකි බවත් සදහන් වුණා.

දරාගන්නේ කොහොමද මම තනියෙන් අඩපු වාර අනන්තයි අප්‍රමාණයි.අන්තිමට මම තීරණයක් ගත්තා ආදරේට සමුදීලා අන්තරායක ශල්‍යකර්මයට මුහුණ දෙන්න.ඒක අසාර්ථක වුනොත් ජීවිතෙන් සමුගන්න.ඒත් මම මගේ ආදරේ ඉස්සරහා අසරණ වුනා ඇය එක හිතින්ම මට සමුදීම ප්‍රතික්ෂේප කරා.එන හැටියකට මුහුන දෙන්න ආදරේ පොරොන්දු වුණා.ඉතින් මම හිත දැඩිකරන් ශල්‍යකර්මයට මම සූදානම් කියලා කියන්න යද්දි අම්මයි තාත්තයි සිංහල වෙදකමට යොමුවෙන්න තීරණය කරලා තිබුණා.ඒ පොල්ගහවෙල වෙද ගෙදරක් ගැන අම්මට ආරංචි වෙලා තිබුණ නිසා.මගේ ජීවිතේ අද තියෙන තත්වෙට බේරලා දුන්නේ එතනින්.

අත්දැකීම් සමුදායක් වගේම විස්වාස කල නොහැකි බොහොමයක් දේ මම වෙද ගෙදරදි දැක්කා.ජීවිතේ අමතක නොවෙන කඩයිමක් තමයි ඒ.ඒ සිදුවීම් මගේ පත් ඉරුවෙන් හැකි පමණ ලබාදෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා

කථාව දිග වැඩි ඇති ඒත් තව කොටස් කීපයක් ලියන්නයි හිතාගෙන ඉන්නේ.ඒවා ඉදිරියෙදි බලාපොරොත්තුවෙන් ඉන්න ඈ......දෙවන කොටස බලන්න මෙතනින්

Monday, December 12, 2011

6 වසරේ පෙම් කෙළිය 2-කොටස(මළ කෙළිය)


ඔන්න ඉතින් දෙවෙනි කොටස අහගන්නකෝ.මුල් කොටස දැක්කේ නැත්තම් මෙතනින් ගිහින් බලලා එන්න‍කෝ

කලින්දා තාත්තට එන්න කිව්වා ඒත් හේතුව කටක් ඇරලා කියන්න පුළුවන් එකක් යැයි ඕන කෙහෙල්මලක් කියලා හිටියා ඒත් රෑ වෙන්න වෙන්න තමයි බය දැනෙන්න ගත්තේ නිදා ගන්න ගියත් නින්ද යන්නෙත් නෑ මුළු රෑ පුරාම පුදුම බයකින් හිටියේ යාන්තම් ඇස් පියවෙනකොටම බෙල් එක වැදුනා දැන් ඉස්කෝලෙ යන්න තියෙන්නේ මීට හොදයි හිරේ යන්න තිබුණානම්.කොහොමහරි ලෑස්තිවෙලා ඉස්කෝලෙ යන්න පිටත් වුණා.අපේ ඉස්කෝලේ තියෙන්නේ පයින් යන දුර තාත්තත් මාත් එක්ක එනවා ඉස්කෝලෙ ලං වෙනකොට කකුල් ඉස්සෙන්නෙත් නෑ අද ගෙදර යන්නේ කොහොමද දෙයියනේ......

දැන් ආපහු හැරෙන්න බෑ ඕන දෙයක් කියලා මම පන්තියට ගියා තාත්තා එළියෙන් නැවතුනා ගාථා කියනකන් ගාථා කියන ගමන් එළිය බැලුවාම තමයි දෙලොව රත් වුණේ මජ්ජාගේ අම්මයි කිකිළිගේ ආච්චියි එක්ක තාත්තා කථාව...

මොකක් කිකිළිගේ ආච්චි......??????????????
ඈ................
කෝ යකෝ කිකිළිගේ තාත්තා මූ ලෝක අණ්ඩයා මූ තාත්තට කියන්න නැතිව ඇති ෂුවර් මට මූව කන්න තරම් කේන්තියි මොනා කරන්නද ඒ මොළේ මට නෑනේ නැත්තම් අපේ ආච්චම්මා එක්කන් එන්න තිබුණා අයියෝ.....මටයි මජ්ජටයි තමයි කෙළවෙන්නේ.කමක් නෑ මේකට දඩුවම් දෙනවනම් අපි ඔක්කොටම එක සැරේටනේ කිකිළි කියලා අමුතුවෙන්යැයි අපිව අස්කලොත් මූත් අස්.එතකොට මූට ඩබල් හම්බුවෙනවා තාත්තට නොකිව්වට හොද වැඩේ කියලා හිත හදාගත්තා.

සසදයත් ගාථා කියලා ඉවරවෙද්දි මම හිටපු තැනට ආවා කොහෙදෝ ඉදන්.මෙච්චර වෙලා හිතේ තද කරන් හිටපු ප්‍රශ්නේ මම ඇහුවා

"කෙල්ලට දෙන්න ගියපු ලියුම උඹලාගේ අම්මට ගියේ කොහොමද බං?? උඹලා නෑදෑයොද??"


ඇයි දෙයියනේ කෙල්ලගේ අම්මා ආවනම් දුක නෑ.අනික කිසි දේකට බය නැති කොල්ලෙක් කියලා තමයි මූ ප්‍රසිද්ධ වෙලා හිටියේ පහුගිය දවසට දෙකට

"කෙල්ලට දෙන්න බය හිතුනා බං ඒ නිසා පහුවදාට දෙන්න ලියුම පොත ඇතුලේ දාගත්තා"


ඕනෙම වීරයෙක් කෙල්ලෙක් ඉස්සරහා සැලෙනවා කියලා තේරෙන්න ඒත් මට අවුරුදු ගානක් ගියානේ.දැන් ඉතින් මක් කොරන්නද අපි මෙතෙක් වේලා බලාගෙන හිටපු කැදවීම ලැබුණා අපි බිම බලාගෙන විවේකාගාරයට ගියා.ගිහින් ඔලුව ඉස්සුවාම අර _ _ ෂා කෙල්ලත් ඉන්නවා බඩුම තමයි.සසදයාට කලන්තේ දැම්මේ නැති ටික විතරයි.



අපේ මල්ලිකා මිස් දන්න සෙල්ලං වේවැලෙන් දදා කෙල්ලනේ අහනවා මූ එක්ක යාළුද කියලා කෙල්ල මාව පෙන්නලා කියපි මාව දන්නවා එයා මගේ යාළුවෙක් කියලා(කෙල්ල මාව දන්නවා එකම ටියුෂන් පංතියේ නිසා).අපේ තාත්තා මාව කන්න ලෑස්තිය අනේ දෙයියනේ මේ මොකක්ද වෙන්නේ අසරණ මට මේ කෙල්ලව කසාද බදින්න වෙයිද මාව වෙව්ලනවා කෙල්ල මං දිහා බල බල අඩනවා එකම කෙළියයි.පිටින් බලන එකෙක්ට පේන්නේ 6 වසරේ ජෝඩුවක් මාට්ටු කියලා මට කථා කරගන්න බෑ.අඩන්න ඔන්න මෙන්න ඒත් කෙල්ලෙක් ඉස්සරහා අඩන්නත් බෑ.තොල හපාගෙන හිටියත් කදුළු බේරෙනවා දැනෙනවා.

උඩ ඉන්න දෙයියෙක්ගේ ආසනේ රත් වෙන්න ඇති ස්ත්‍රී පරාණයක් නිසා මට වුණු විපත දැකලා.කිකිළි කදුළු වැක්කෙරි වැක්කෙරි ඉස්සරහට පැනලා කිව්වා මෙහෙම....

"නෑ මිස් ගැමියා කලේ ලියුම ලියන්න කියපු එක විතරයි සසදට තමයි ඕනේ උනේ කෙල්ල එක්ක යාළුවෙන්න මෙයා තමයි ඔක්කොම කලේ කියලා"

අනේ අම්මේ මට දැන් තමයි ලේ ටිකක් ඉනුවේ ඒත් අපේ මිස්ට මූව විස්වාස නෑ වේවැල අරන් කිකිළිට පහර දෙන්න ගත්තා ඇගිලි දික් කර කර මිස්ලට කථා කරනවා කියලා ඒත් අපේ කිකිළි පොර කිකිළියෙක් බවට පත් වෙලා මුළු කථාවම වමාරනවා අඩ අඩ අර කෙල්ලත් වැලහින්න වගේ අඩනවා මම සසදව දන්නේ නෑ දන්නේ ගැමීව විතරයි කිය කියා.

මජ්ජා ජොලියේ ඉන්නවා උගෙ වරද ඔත්තු බලපු එක විතරයිනේ.මිස්ලා කන්න හදන්නේ කිකිළිවයි මාවයි ඒ පාර සසදයත් ෂේප්.පස්සේ මට මතක විදියට අපේ ඉස්කෝලේ නැටුම් මිස් එතනට ආවා.මට මතක නෑ කොයි මිස්ද කියලා අපේ ඉස්කෝලේ දෙන්නෙක් හිටියානේ.ඒ මිස් ඇවිල්ලා අර කෙල්ලව එක්කන් ගියා ඒකි නැටුම් කරන්නේ.පස්සේ මිස් ඇවිත් අපේ මල්ලිකා මිස්ට කිව්වා මේ ලමයි දෙන්නාගේ සම්බන්ධයක් නෑ කියලා.මම යන්තම් නිදහස් හැබැයි මගේ පුංචි හිතට තේරුණා කෙල්ලෙක් ලගින් ගියොත් ඇහැක් නෑ කියලා එදා ඉදන් බොහෝම පරිස්සම් වුණා ගෑනු ලමයෙක්ට කථා කරත්.

දැන් ඒ නඩුව ඉවරයි.ආයේ ලියුම් කෙළිය ඇදිලා ආවා දැන් ආයේ 4 දෙනාම විත්ති කූඩුවේ.වෙච්චි සිද්ධිය මුල ඉදන් ආයේ කිව්වා ඒකෙත් ප්‍රධාන වැරදිකාරයා මම.

සසදයට කෙල්ල ගැන ආසාවක් ආපු එකත් හරි,කිකිළි ඒක ලියපු එකත් හරි වයසට වඩා මුහුකුරා ගියපු අදහස් ලියන්න උපදෙස් දුන්නා මම පොඩි නෑ කියලා මාව වැරැද්දට අහු කරනවා මජ්ජාටත් කේස් නායකයා වෙලා මිස්ට නොකිව්ව එකට.මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීන්දුව වගේනේ කියලා මට කියවුණා මට තිබුනේ මම වැරදිනම් අනිත් එවුනුත් වැරදි කියන අදහස.

කොහොමහරි අපේ තාත්තා මිස්ට කිව්වා එහෙම එක ලමෙක්ට වැරැද්ද පටවන්න එපා මගේ ලමයා හොදයි කියනවා නෙමෙයි ඒත් මේක එයා තනියෙන් කරපු දෙයක් නෙමෙයිනේ හැමෝටම එක සමානව සලකන්න කියලා.මට තාත්තා ගැන ගොඩක් ආඩම්බර හිතුනා ඒ කියපු විදියට කොහොමෙන් හරි අපේ පන්ති භාර මිසුයි මල්ලිකා මිසුයි කථා කරන්න ගත්තා.

"මේ ලමයි 6 වසරෙදි මෙහෙම දෙයක් කරානම් 12,13 වසරවලට යද්දි මොනවා නොකරයිද ඒ නිසා මේ ලමයිව තවදුරටත් ඉස්කෝලෙ තියන්න බෑ"


අනේ.......

හංගන් හිටපු කදුළු කැට එකින් එක වැටෙන්න ගත්තා සිස්සත්තේ පාස් වෙලා හීන මවාගෙන ආපු ලොකු ඉස්කෝලෙන් යන්න බෑ.අම්මලාගේ ඇස් වලත් කදුළු අපේ තාත්තාගේ කණ්නාඩි නිසා මට තාත්තාගේ ඇස් පේන්නේ නෑ.තාත්තාටත් දුක ඇති මම කොයිතරම්  නරකද ජීවිතේ නැතිකරගන්න විතරයි හිතුනේ මටනම්.

පස්සේ අපේ පන්තිය 11 වසරට යනකන්ම පැන්ෂන් ගන්නෙත් නැතිව අපිට ගණිතය උගන්නපු අපේ ඉස්කෝලේ උන්නු ආදරණීය අම්මා තිලකමණී ගුරුතුමිය කිව්වා

"ආයේ මෙහෙම වැඩ නොකරන්න අම්මලා තාත්තලාගෙන් වැදලා සමාව ගන්න අපි ඉස්කෝලෙන් අස් නොකර ඉන්නම් ඔයාලව කියලා"


ඒ කාල් ඉස්කෝලේ හිටපු පරණම ගුරුවරිය අපේ පන්තිභාර මිස් නිසා කවුරුත් එයාගේ අදහස් වලට විරුද්ධ වුනේ නෑ.එදාත් එහෙමයි අංශ භාර ගුරුතුමිය වුනු මල්ලිකා මිස් පවා ඒ තීරනේට ගරු කලා.අපි සේරම වැදලා මිස් කියපු පොරොන්දුව වුණා.

මම නම් අද වෙනකන්ම කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න ලියුම් පාවිච්චි කලේ නෑ ඕං.මජ්ජා නම් පස්සේ කාලේක කැමැත්ත අහන්න කෙල්ලක්ට චිට් එකක් දුන්නා හැබැයි දෙමළ භාෂාවෙන්.කිකිළියි මායි කට පාවිච්චි කලා අපි අත පාවිච්චි කරලා මට්ටු වුනු නිසා.

ඒ කාලේ ඉස්කෝලේ පටන් ගත්තේ 8ට 11 වෙනකන්ම අපි විවේකාගාරෙ නඩු විභාගයෙ හිටියේ._ _ ෂා කෙල්ල ආයේ කවදාවත් ගණිත පන්තියෙදි මගෙත් එක්ක කථා කරන්න තියා ළගින්වත් ගියේ නෑ.අදටත් කථා නෑ.

අපි පන්තියට ආවා ඇස් රතු කරන් ඇල්බා ඇතුළු පිරිස අපෙන් විස්තර ඇහුවා ඒත් අපි ඒක කියන්න පුළුවන් තත්වෙක හිටියේ නෑ.මේ කියන කථාව අදටත් දන්නේ ළමයි 48ක් හිටපු පන්තියේ 15ක් විතර සුළු පිරිසක්.මේක කියෙව්වොත් අනික් අයත් දැනගනියි...

මම ගෙදර යනකොට තාත්තා ගෙදර හිටියා එයා වැඩට ගිහින් නෑ තාත්තා මට කථා කරලා කිව්වා යනකොට මට සිද්ධිය කියලා ගියානම් මෙච්චර දුර දිග යන්නේ නෑනේ කියලා ආයේ මේ වගේ දේකට යද්දි ඉස්සරහට විදින්න පුළුවන් කරදර විදින්න පුළුවන්නම් විතරක් යන්න පස්සේ අඩන්න එපා කියලත් කිව්වා.මට ඒ වචන අදටත් ලොකු හයියක්.

සසදයාගේ අම්මා අපේ මිස්ට කියලා තිබුණා අපි වගේ පැසුණු බුද්ධියක් සහිත ළමයි එක්ක හිටියොත් තමන්ගේ කොළුවා නරක් වෙන නිසා වෙන පන්තියකට දාන්න කියලා.සසදයාගේ අම්මා දන්නේ නෑ කොළුවගේ තරම අපේ පන්තියේ එවුන්ට කුණුහරුප පාඩම් මාලාව සසදයා 7 වසරේ වෙන පන්තියකට යනකන්ම නොඅඩුව ලැබුණා.

සසදයි _ _ ෂා කෙල්ලයි ඇරෙන්න අදටත් අපේ පන්තියේ හැමෝම නිතර දෙවේලේ හමුවන මගේ හොදම යාළුවෝ මෙවන් යාළුවෝ ලැබීම සතුටක්.ඒ ලබපු අත්දැකීම් කවදාවත් අමතක වෙන්නේ නෑ

Saturday, December 10, 2011

6 වසරේ පෙම් කෙළිය 1-කොටස



මේ සිද්ධිය වෙන්නේ ගැමියා(මම) පොඩිම කාලේ එතකොට අපි 6 වසරට ආවා විතරයි අළුත්ම අළුත් ලොකු ඉස්කෝලයක් සන්තෝසේ බෑ.අපේ පන්ති කාමරේ තිබ්බේ ඉස්කෝලේ කෙළවරේම hall එකට එකක් මෙහා hall එකේ.කෙළවරේම hall එකේ තමයි අපේ ප්‍රින්සිපල් එහෙම නැවතිලා උන්නේ.

අපේ පන්තියේ පන්ති නායකයා මජ්ජා.ආයේ අකුරටම වැඩ කවදාවත් පන්තියේ එවුන්ට කෑ ගහන්න එපා කියලා නෑ තරම් හොද කොල්ලෙක්.

කොහොමෙන් කොහොමහරි අපේ පන්තියේ හිටියා සසද කියලා කොල්ලෙක් (ඇත්ත නම් කියන් නෑ) අපි පොඩි උනාට පොර පොඩි නෑ.කොල්ලට එහා පන්තියේ හිටපු කෙල්ලෙක්ට හිත ගිහින් දැන් අපිටත් මාර ප්‍රශ්නේ කවදා කාපු ටකරන්ද තාම 6 වසරට ආවා විතරයි.මම හිතන්නේ මාසයක්වත් නෑ.දැන් ඉතින් මේක විසදගන්නත් එපැයි කොහොම කොහොම හරි මජ්ජයි,කිකිළියි,මායි සසදයි දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ තීරණය කළා පෙම් හසුනක් ලියන්න.තීරණයක් ගත්තැයි කියමුකෝ කොහොමෙයි ඉතින් ඕක ලියන්නේ???

පොඩි කාලේ එහෙන් මෙහෙන් අහුලගත්තු නවකථා කියවලා මම ඉතින් පොඩි මට්ටමක හිටියා අර කලින් කිව්ව එකක් ලියා ගන්න.මම ඉතින් කස්ටියට කථා කරා. කිකිළිගේ අකුරු ලස්සනයි ලිවීම කිකිළි,අදහස් මම,කොලේ ශශාන්ගෙන්.පන්ති නායකයත් ඉතාමත් හොදින් නිහඩ මෙහෙවරක් කරමින් ඔත්තු බැලුවා ටීචර් එනවද කියලා.ඔන්න කිකිළි ලියන්න ගත්තා මෙහෙම....

ආදරණීය _ _ ෂා,
     _ _ _ _ _  _  _ _     _ _ _ _ _  _  _ _  
_ _ _ _ _  _  _ _      _ _ _ _ _  _  _ _
_ _ _ _ _  _  _ _   _ _ _ _ _  _  _ _

නිකන්ම ලිව්වට නිකන් මදි වගේ නිසා අපේ සසද කිව්වා love සිංදුවකුත් ලියපන් කියලා.අනේ ඉතින් මම දන්න සිංදු.......

කටට ආවේ "කදුළු හුරතල් වැඩිද මන්දා...." කියන සිංදුව ආයේ මම වෙලාවේ දේශාභිමානි ගීතයක් කිව්වත් කට්ටියට ඒක love සිංදුවක්ම තමයි කට්ටිය එච්චරට සන්තෝසෙන් හිටියේ.ඕක ලියාගෙන ලියාගෙන ගිහින් අහවරයක් කරලා දුන්නා අපේ සසද අතට කෙල්ලට දෙන්න කියලා.අපේ වීරයත් ඉතින් ඒක අරන් ගියා.අපිට ඒක එහෙම්ම අමතක වුනා ඉස්කෝලෙත් ඇරුනා.පහුවදා පුරුදු පරිදිම ඉස්කෝලෙත් ආවා.අනේ එදා ගෙදර හිටියනම්.....

එදා ආපු ගමන් කට්ටිය කතාව කරපු වීර වැඩේ ගැන ඒත් සසදයා පේන්න නෑ.උදේ ගාථා කියන්න කලින් අපේ පන්ති භාර ගුරුතුමී ආවා පන්තියට ඇවිත් මට කථා කළා 

"ගැමී සිංහල පොත අරන් එනවා මෙහාට...."

මාත් ෆුල් හැපී පොත දොතින්ම ගිහින් දුන්නා ටික වෙලාවකින් නෑ තමුසේ නෙමෙයි කියලා පොත ආපහු අතට දීලා කිකිළිට අඩගැහුවා.මට දැන් ගොඩක් අප්සට් ඇයි ඉතින් මම හොද මදිද දන්නේ නෑනේ බිම බලාගෙන මම මගේ පේළියට එද්දි මට ඇහුණා අපේ මිස්ගේ සතුටු හඩක්

"මේ ඉන්නේ ලියපු එකා....එනවා යන්න මාත් එක්ක...."

මට තේරුණා මොකක් හරි අවුලක් කියලා.... හිතලා විනාඩියක් ගියේ නෑ පෝලිමට නම් අඩගහනවා,අපිත් ඉතින් ගියා මොක්කුද වගේ ගුරු විවේකාගාරෙට යනකොට ෂෝ එක පටන් අරන්.සසදයයි අම්මයිත් එතන.


සසදයට ගහලා බැනලා ඇහුවත් ඒකා කියලා නෑ කවුද උදව් කරේ කියලා ඒත් ඉතින් කිකිළිව අල්ලන් ගියානේ කිකිළිට ගහන්න වේවැල උස්සද්දි මිනිහා කියලා ඉවරයිලු අදහස් ගැමීගෙන්,කොලේ ශශාන්ගෙන් මජ්ජා ඔත්තු බැලුවා කියලා.හරිම එකමුතු ළමයි නේද.


අපි තුන්දෙනාට නියෝගයක් හෙට අම්මලා එක්කන් එන්න කියලා.අපි සේරම අඩන්න රෙඩී ඇයි අපි දන්නවා මෙහෙම සිද්ධියකට ඉස්කෝලේ අක්කා කෙනෙක්ව අපි ඉස්කෝලෙට එන දවසේ අස්කරා කියලා.දැන් ඉතින් අම්මලා එක්කන් ඇවිත් කියපන්කෝ කෙල්ලෙක්ට ලියුම් ලිව්වා කියලා.

එදා දවසේ මොනා වුනාද කියලා මතකම නෑ මට මතක ඔහේ ඉදලා ගෙදර ආවා කියලා.තාත්තා වැඩට ගිහින් එනකන් බලාගෙන ඉදලා මම කිව්වා තාත්තට 

"තාත්තේ හෙට ගුරු දෙගුරු රැස්වීමක් උදේම එන්න" කියලා වෙන මොනා කියන්නද හෙට ගියත් කනවා නොගියත් කනවා

කථාව දිග වැඩි නිසා කොටස් දෙකකට දැම්මා දෙවන කොටස මෙතනින් කියවන්න