Sunday, September 30, 2012

සමුගන්න අවසරයි එහෙනම්...


බස් රේඩියෝව සංවිධානය කරන්නට යෙදුණු බ්ලොග් සම්මාන උළෙල ගැන මගේ හෘදයාංගම ස්තූතිය පුදකරනවා බස් රේඩියෝවේ හැමෝටම.මේක හොඳ උත්තේජනයක්.ඒ වගේම ඊට සහභාගී වූ සහෝදර සහෝදරියන්ටත්,ජයග්‍රහණය කරපු සියළු දෙනාටමත් මගේ සුභ පැතුම් පුද කරනවා.... එකට තරඟ කලත් කවදාවත් මේ ගොඩනැගුණු මිත්‍රත්වය කවදාවත්ම පළුදු නොවන බවනම් විශ්වාසයි.... 

**සිත්රූ සිහින බ්ලොග් අඩිවිය ලියන සිත්රූ අක්කා කාලෙකට කලින් දාපු නුඹ හින්දා මං කියන පෝස්ට් එකට මම ලියපු මේ නිසඳැස මට අද හම්බුවුනේ අහම්බෙන් වගේ.

අළුත් ලේබලයක් යටතේ ලියවෙන මේ පෝස්ට් එක වෙන්වෙන්නේ සිත්රූ අක්කට උපහාරයක් විදියට.කවි ලියන්න අදහසකුත් දීලා බ්ලොග් එකේ ඉඩ දීපු එකම මදෑ උපහාර පුදන්න...බොහෝම ස්තූතියි සිත්රූ අක්කේ.මේ අමුතුම ලේබලේ අදහස මට දුන්නු ඩුඩිතුමාටත් ආයෙත් පාරක් ස්තූතිය පුදකරනවා මම මේ වෙලාවේ....

*************************************************

සමුගන්න අවසරයි එහෙනම්....




නොනිමෙන සංසාර ගමන
මේ ගමනින්ම නිමවේවිද
නොනවතින අපේ බැඳීම
මේ අයුරින්ම නිමවේද එහෙනම්...

අවසන් එක්වීමත්
අවසන් වෙන්වීමත්
මෙයම පමණක් වේද
දුකක් යලි නොරැඳේද එහෙනම්...

සංසාර පුරාවට වින්ඳ
දුක් ගැහැට සහ සතුට
පිරුණු හිත සදහටම
අතහරින්නට කාලයයි එහෙනම්...

ඔය දෑස දෙස බලාගෙන
ඔය දෑත අත දරාගෙන
සංසාර ගමනින්ද
සමුගන්න අවසරයි එහෙනම්.....



ප/ලි

පොටෝව ගත්තේ මෙතනින් http://91.207.61.14/m/uploads/v_p_images/2004/01/8809_14_screenshot.png

Thursday, September 13, 2012

ගැහැණු ලොවක සිරකරු... 7 කොටස


මෙතෙක් දිගහැරුම කෙටියෙන්....

වර්ෂ 2020 අභ්‍යාවකාශගත කරන යානයකි.චන්ද්‍රිකාවක් රැගෙන ගමන් අරඹන මෙම යානය අතරමගදී අනතුරකට පත්වන්නේ ගගනගාමින් නොසිතූ පරිද්දෙනි.නමුත් ඒ අනතුර පිළිබඳ සතුටු වන පුද්ගලයන් කිහිපයක් පාලන මැදිරියේ සාකච්ඡාවේ යෙදී සිටියි.අනතුරට පත්වන යානයේ ඒ වන විට සිටි ඉංජිනේරුවා ශිශිරතරණ නින්දට පත්වන්නේ ගගනගාමින් අතින් සිදුවන අත්වැරදීමක ප්‍රථිඵලයක් වශයෙන්.

වසර සිය ගනනකට පසු ශිශිරතරණ නින්දෙන් අවදිවන ඉංජිනේරු අශාන්ට දක්නට ලැබෙන්නේ අමුතුම ලෝකයකි.කිසි දිනක නොපැතූ නොසිතූ අනාගතයක් ඉදිරියේ ඔහු අසරණ වන්නේ ඒ වන විට මුළු ලොවම ගැහැණුන් විසින් පාලනය කරනා ලෝකයක් බවට පත්වී තිබීම නිසයි.නොසිතූ පරිදි ඔහුව බේරාගැනීමට පැමිණෙන පිරිමි කැරලිකරුවන් පිරිසක් අශාන්ට සියළුම කරුණු කාරනා පැහැදිලි කරදෙන්නේ ඉදිරියේදි ඔවුන්ට මුහුණ දීමට සිදුවිය හැකි භයානක තත්වයන් පිළිබඳව ඔහුව දැනුවත් කරමින්.

අශාන් ඇතුළු පිරිස සැඟවී සිටින බිම්ගෙය වෙත හමුදා නිලධාරිනියන් පහරදෙන්නේ ඉන් පසුවයි.ඔවුන් සිතුවාටත් වඩා හමුදා නිලධාරින් ඉක්මන් වීම නිසා හදිසි පලායෑමකට කැරලි නායක ජයසිංහ තීරණය කරන්නේ එවිටයි.නමුත් ඔවුන්ට පලා යෑමට අවශ්‍ය යානය ඒ වනවිටත් සූදානම්ව නොපැවති නිසා ඉංජිනේරුවෙක් වූ අශාන්ට එම කර්තව්‍යය පැටවෙන්නේ සියළුම කැරළි සඟයන්ගේ ජීවිත ඔහුගේ දෑත මතට පැටවෙමින්.

අවාසනාවකට යානය අළුත්වැඩියා කරගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් අශාන්ට නොලැබෙන බවක් පෙනෙන්නට වූයෙන් කැරලි නායක ජයසිංහ තීරණය කරන්නේ තම සගයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම සිය දෑතට ගන්නටයි.එම පරමාර්ථයෙන් යුතුව හමුදා නිලධාරින්ට තනිව මුහුණ දිමට පිටත්වන ජයසිංහට උදව්වක් වශයෙන් කැරලි කණ්ඩායම් සාමාජික සේනකද පිටත්වන්නේ ස්ව කැමැත්තෙන්.

සේනක භාරගත් වැඩ කොටස නොකර අතුරුදහන් වීම නිසා ජයසිංහ අපහසුතාවකට පත්වන්නේ මේ අතරතුරයි.තම දිවිය දෙවැනි කරගනිමින් ජයසිංහ අවසන් මොහොත දක්වා සටන් වදින්නේ සිය වර්ගයාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමටයි.මේ අතරතුර සේනක යානය වෙතට පැමිනෙන්නේ අතිශයින් දුර්වල අයුරකින්.ඔහු අශාන්ට බල කර සිටින්නේ ජයසිංහ වෙනුවෙන් බලා නොසිට පිටත්ව යාමටයි.නමුත් එය ප්‍රතික්ෂේප කරන අශාන් බිම්ගෙය තුලට ඇදෙන්නේ කෙසේ හෝ ජයසිංහව බේරාගැනීමේ අදහසින්.

අශාන් හැකි ඉක්මනින් ජයසිංහ සිටින ස්ථානයට ලඟාවන විට ඔහු දකින්නේ හමුදා නිලධාරිනියක් ජයසිංහ මරා දැමීමට උත්සහ කරන අයුරයි.වහාම ඒ නිලධාරිනියට පහර දී අඩපණ කරන අශාන් ජයසිංහව සහ එම නිලධාරිනියවද කැටුව නැවත යානය වෙත පිටත්වන්නේ වැදගත් තොරතුරක් වේ නම් නිලධාරිනියගෙන් දැනගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තුවෙන්.නමුත් එම බලාපොරොත්තුව සුනු විසුනු වන්නේ එම නිලධාරිනිය යානයේ පාලනය සියතට ගැනීමත් සමගයි.මේ අතරතුර රෝහලේ සිටි ප්‍රධාන වෛද්‍යවරියද යානයට පැමිණෙන්නේ අති දියුණු ටෙලිපෝර්ට් තාක්ෂණයක් භාවිතා කරමින්.

මේ අතරතුරයි සේනක අවියක්ද රැගෙන අශාන් සිටිනා ඉසව්වට පැමිණෙන්නේ.අශාන්ව පුටුවකට බැඳ තබා ඇති අයුරු දකින සේනක කුමක් කරයිද...

අද එතැන් සිට....

මුල් කොටස් සඳහා
6 කොටස
**********************************************************************************
බලාපොරොත්තුවක ඡායාවක් පෙනෙන මානයේ නොවිණි.ඉතුරු වී ඇත්තේ අත්වන්නට යන ඉරණම කෙතරම් භයානකදැයි යන්න සිහි කිරීම පමණකි.වෛද්‍යවරිය ජයසිංහගේ සිරුර අසලට කෙමෙන් ලංවන අයුරු දුටු නමුත් මා එතරම් එය තැකීමක් නොකලේ ඇය වෛද්‍යවරියක බැවිනි.නමුත් ඇගේ යම් වෙනසක් ඔහු අසලදී වූ බව මට යන්තමින් අවබෝධ විණි.ඇය මා පිටුපා සිටින බැවින් ඇගේ මුහුණ නොපෙනුනද ඉකි බිඳුමක ශබ්දයක් මට යන්තමින් ඇසුණු බැව් සක්සුදක් සේ පැහැදිලියි.මා ඈ දෙස විමසිල්ලෙන් බලා සිටියේ කුමක් වේ දැයි සිතාගැන්මට පවා නොහැකි මනසකින් යුතුවයි...


මා විශ්මයට පත් කරවමින් ඈ එක්වරම ඇගේ සාක්කුවෙන් එළියට ගත්තේ පැරණි දිනපොතකි.ඇති තරම් නවීන උපාංග භාවිතා වන මේ සමයේ කඩදාසියක් දුටු බවට මා තුල කිසිදු මතකයක් නොවිණි.එසේ නම් මෙය කුමක් විය හැකිද??


“අශාන්.... මම කියන්න යන දේ හොඳින් අහගන්න.මම කියන විදියට වැඩ කලොත් ඔයාටත් යානයේ හැමෝටමත් බේරිලා යන්න පුළුවන්.ඒ නිසා කලබල කරන්න එපා”


කල්පනා ලොවක සිටි මා ඉන් පියවි ලොවට පැමිණියේ ඇගේ විධානයත් සමගමයි.ඈ සතුව තිබූ දිනපොත මා හට පෙන්වමින් ඈ යමක් කීමට උත්සහ කල අයුරක් මට වැටහිණි.මාගේ මුහුණෙන් දිස්වූ විස්මයක සලකුණු ඈ වටහාගත්තාක් මෙන් සිහින් සිනාවක් මා වෙත හෙළුවේ මා තවත් වික්ෂිප්ත කරවමින්.

“ඔයාට මාව විස්වාස කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ අශාන්”

“එතකොට ඔයාගේ මොළයේ තියනවා කිව්ව පණිවිඩ හුවමාරුවෙන් ඔයාව විනාස කරයි.ඔයා එයාලව පාවලා දෙන්න යනකන් ඒගොල්ලො බලාගෙන ඉඳියි කියලා හිතනවද? එහෙමත් නැත්තම් මේක උගුලක්ද? කවුද ඔයා?”

“ඒ හැම එකකටම උත්තර මේ පොතේ තියෙනවා අශාන්.අමතක වුනාද මම වෛද්‍යවරියක් බව? පණිවිඩ හුවමාරුවට අදාල චිපය අක්‍රිය කරවන්න උපක්‍රම මගෙ ලඟ තියෙනවා අශාන් බයවෙන්න එපා...”

මාගේ වාසනාව කොපමණදැයි අදහාගන්නට බැරි තරම්... ඈ දිනපොතත් රැගෙන මා හුන් පුටුව සමීපයට එන්නට ගත්තේ මුහුණේ රන්දාගත් පියකරු සිනහවක්ද සමගිනුයි.


එක්වරම ඈ සාක්කුවෙන් එලියට ඇද ගත්තේ කුඩා ප්‍රමාණයේ සැත්කම් පිහියක්...මොහොතකට මා බියෙන් තැති ගත්තත් ඈ සිනහමුසු මුහුණින් යුක්තව මා වෙත පැමිණියේ යමක් පවසමින්.ඇය සැරසෙන්නේ මා නිදහස් කිරීමටද නැත්නම් මා මරා දැමීමටදැයි සිතාගත නොහැකිව මා අසරණ තත්වයකට පත් වූවේ නිතැතින්...


“අත පය බැඳලා තියෙද්දි ඔයා කොහොම මාව විස්වාස කරන්නද නේද.. “


මා හට සැනසුම් සුසුමක් හෙළීමට හැකිවූයේ ඇගේ ඒ වචන නිසාවෙන්.


නමුත් ඇය පිටුපසින් එක්වරම දොර විවෘත වනු ඇසුණු නිසා ම ක්ෂණයෙන් එදෙසට නෙත් යොමුකලේ බියෙන් වෙලෙමින්.හමුදා නිලධාරිනිය බලාපොරොත්තුවෙන් ඒ දෙස නෙත් යොමුකලත් එහි සිටියේ සේනකයි.මොහොතකට මා සතුටට පත් වුවත් එම සතුට දුකක් බවට පරිවර්තනය වෙන්නට ගත වූයේ ඇසි පිය හෙලනවාටත් වඩා අඩු කාලයකුයි....


“එපා සේනක.... එපා....”


ඇයව ආරක්ෂා කරගැනීමට පුටුවෙන් නැගී සිටීමට මා සතු සියළු ශක්තිය යෙදවූ නමුත් සේනකගේ අවිය මට වඩා ඉක්මන් විය.එම වචන පිටවීමටත් මත්තෙන් සේනක සිය අවිය ක්‍රියාත්මක කර තිබුණි.ඈද පසුපස හැරී බලනවාත් සමගම කපා හෙළු ගසක් පරිද්දෙන් බිම ඇද වැටිණි.ඇගේ සිරුර වේගයෙන් ගැහෙනු මා දුටුවේ බොඳවූ දෙනෙත් අතරින්.යානයට සවිකර තිබුණු පුටුවද මාගේ උත්සහයත් සමග ගැලවී මා සමග ඉදිරියට ඇද වැටුණු අතර මුහුණ තදින් බිම වැදීම නිසා දෙනෙත් මොහොතකට නිලංකාර විණි....


දැඩිව මතුවන හිසේ වේදනාව නොතකමින් මම සෙමින් දෑස් විවර කරන්නට උත්සහ ගතිමි .මා වැටී තිබුණේ ඇය ඉදිරියටයි.ඇගේ වේදනාබර ඇසි පිය සෙමින් ගැස්සෙන අයුරු මා සිතේ දැඩි වේදනවාක් ඇති කිරීමට සමත් විය.ඇය කුමක් හෝ කියන්න තැත් කලද ඇගේ මුවින් වචන පිට නොවුණි.ඈ ඇගේ නෙත් ඇගේ දිනපොත දෙසටත් මා දෙසටත් කිහිපවරක් යොමු කර ඇගේ අවසන් බැල්ම ජයසිංහගේ සිරුර පිහිටි දෙසට යොමුකරමින් නිසල විය.


ප්‍රාණය නිරුද්ධ වූ නමුදු ඇගේ නෙතගින් කඳුළු වෑස්සෙන අයුරු දැකීම මා හට ඉතා වේදනාකාරී දර්ශනයක් විණි.මාගේ දෙනෙතද කඳුළින් පිරී බොඳවුනේ නිමේෂයකින්... සේනක සෙමින් ඉදිරියට ඇදෙනු මා ඇස් කොනින් දුටු නමුත් ඔහුගේ පැමිණීම තව දුරටත් මා හට සතුටක් නොවිණි.සේනක මාගේ බැමි මුදාහල වහාම ඔහුව පසකට තල්ලු කරමින් ඇයව දෑතට ගත්තත් ඒ වන විට ඇය මෙලොවින් සමුගෙන සිටියාය...


සිත තුල වූ කෝපය හෝ සන්තාපය නිසා මා හට කතා කිරීමට වචන සොයාගැනීමට මොහොතක් ගතවිනි.සේනක පිළිබඳ වෛරයක් උපන්නද එය යටපත් කරගැනීමට මා උත්සහ ගත්තේ ඉතාමත් අපහසුවෙන්...  ඔහුවද අහිමි කරගතහොත් මේ සටන තනිව ජයගැනීමට මා හට නොහැකි වනු ඇත......


“සේනක... ඔයා ආවේ වැරදි වෙලාවක...  හ්ම්ම්...  මෙයා අපිට නිදහස් වෙන්න උදව් කරන්නයි හැදුවේ සේනක.....මොකක්ද දෙයියනේ මේ කලේ...?? “ හැඬුම් සඟවමින් මා ඔහුගෙන් විමසන්නට වීමි.


“ඒත් ඒත්... මම හිතුවේ අශාන් ඔයා අමාරුවක වැටිලා කියලා.මම දැක්කා එයා පිහියක් අරගෙන ආපු හැටි.... හොඳටම විශ්වාසද ඒ ආවේ උදව් කරන්නම කියලා??”


“ඔව් සේනක හ්ම්ම්ම්... මේ බැමි කපලා දාන්නයි ආවේ.අනික ඒක සැත්කම් පිහියක් කියලා දැක්කෙ නැද්ද??”

“මොකක් වුනත් ඒ වෙලාවේ බලාගෙන ඉන්න බැරිවුනා මට.මම ගොඩක් වෙලා දොර ගාව ඉඳන් බලාගෙන හිටියේ අවස්ථාවක් එනකන්.මට කිසිම වෙලාවක තේරුනේ නෑ ඒ එන්නේ උදව් කරන්න කියලා...”


“තමන් දකින දේට වඩා යථාර්ථය වෙනස් සේනක.... හැමවෙලාවෙම දකින දේ විතරක් විස්වාස කරන්න එපා.......

ඔයා කලබල නොවුන නම් අපිට මෙයාගෙන් ගොඩක් උදව් ගන්න තිබුනා...”


මා වෛද්‍යවරියගේ සිරුර ඔසවා ජයසිංහගේ සිරුර අසලින් සයනයේ තැබුවේ ඇය පිළිබඳ මා තුල ඇතිවූ ගෞරවය නිසාවෙන්.මා බැඳ තබා තිබු පුටුව නැවත යානයය සවි කර එහි වාඩිවී මා කල්පනා කලේ දැන් කුමක් කල යුතුද යන්නයි.නමුත් ඒ හැම මොහොතකම වෛද්‍යවරියගේ රුව පැමිණීම නිසා සිතේ තිබූ වේදනාව යලි යලිත් මතුවීමට ගත්තේ මටද රහසින්...


“ඒ හැම එකකටම උත්තර මේ පොතේ තියෙනවා අශාන්.අමතක වුනාද මම වෛද්‍යවරියක් බව? පණිවිඩ හුවමාරුවට අදාල චිපය අක්‍රිය කරවන්න උපක්‍රම මගෙ ලඟ තියෙනවා අශාන් බයවෙන්න එපා...”

ඇගේ එම වදන් යලි යලිත් මට ඇසෙන්නාක් මෙන් දැනෙන්නට වූයේ එක්වරමයි.ඇත්තටම ඇය කවුද? ඇය උදව් දීමට පෙළඹුණේ කුමක් නිසාද? ඇගේ දිනපොතේ ඇති විශේෂත්වය කුමක්ද ?.එවිටයි ඇගේ දිනපොත පරික්ෂා කිරිමේ සිතක් මා හට පහළ වූයේ...


බිම තිබු ඇගේ දිනපොත මා අතට ගන්නවාත් සමගම යානය ගොඩබැස්සවීමට සූදානම් බවට වාදනය වූ ස්වයංක්‍රීය පණිවිඩය ඇසීමෙන් සේනක මෙන්ම මාද පත්වූයේ විසඳාගත නොහැකි තරමේ ගැටළුවකටයි.අප දෙදෙනා සතුවම ඇත්තේ එක අවියක් පමණක් බැවින්ද,යානය ගොඩබස්සවන්නට ඇත්තේ හමුදා නිලධාරිනියන්ගේ මූලස්ථානයේ විය යුතු බැවින්ද ලැබූ නිදහස ඵල රහිත වන බවක් අප හට දැනෙන්ට වූයේ නිතැතින්...


ඇගේ දිනපොත පසුව කියවීමේ අරමුනින් යුතුව එය සාක්කුවට දමාගනිමින් මා වහා දිව ගියේ යානය ගොඩබස්සවන්නට යන ස්ථානය දැක ගැනීමටයි.යානයේ වූ කවුළුවකින් අප තහවුරු කරගත්තේ අප ගොඩබැසීමට යන්නේ හමුදා මූලස්ථානයක බවයි.


“සේනක.... අපිට කරන දෙයක් ඉක්මනින් කරන්න වෙනවා.යානය ඇතුලෙ ඉන්නෙ එක හමුදා නිලධාරිනියක් විතරයි.එයාව මෙල්ල කරන එක ගොඩක් අමාරු වෙයි.ඔයා පාලන මැදිරිය මුර කරන්න මේ වෙලාවේ එයා එතන ඉන්න එක අපිට වාසියි.”


“හරි අශාන්....”


“සේනක හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ ඔයාගෙ අතේ.ඉක්මන් කරන්න.මම අපේ අනිත් කට්ටියව හොයාගෙන බේරගන්න බලන්නම් ඔයා හමුදා නිලධාරිනියව නවත්තන්න.ඉක්මනට යන්න සේනක ඉක්මන් කරන්න අපිට නාස්ති කරන්න වෙලාවක් අපිට නෑ.”


සේනක අවියද රැගෙන යානයේ ඉදිරියට සෙමින් ඇදෙන අතරේ මා යානය පුරා දුවමින් එහිවූ කුටි පරික්ෂාවට තීරණය කලේ අඩුම තරමේ එකදු අවියක් හෝ සොයාගැනීමේ අභිප්‍රායෙන්.නමුත් බොහෝමයක් කුටි හිස්ව තිබූ බැවිනුත් අනෙකුත් කුටි වල රැස් කර තිබුණේ ආහාර ද්‍රව්‍ය පමණක් බැවිනුත් මාගේ ධෛර්යය හීන වීමට වැඩි වේලාවක් ගත නොවුණි.


ඒ මොහොතේ යානයේ ඇතිවූ ගැස්ම නිසා යානය පොළව මත පතිත කරන්නට ඇති බවට මම අනුමාන කලෙමි.නමුත් මෙහෙයුම් මැදිරිය දෙසින් කිසිදු ආකාරයක කලබලකාරි ස්වරූපයක් නොඇසීම නිසා මා තුල සේනකගේ ජීවිතය පිළිබඳවද කුකුසක් නොදැනුනා නොවේ.යානය තුල අවි ආයුධ නොතිබුණු බැවින්ද අනෙකුත් සාමාජිකයන්ගේ හෝඩුවාවක් නොලැබුණු බැවින්ද මා තීරණය කලේ කලබලකාරි තත්වයන් මගහැරෙන තුරු යානය තුලම සැඟවී සිටීමටයි.


සැඟවීම සඳහා සුදුසුයැයි හැඟුණු කුටියකට පිවිසී මා ඇතුලතින් දොර අගුළුලා බිම හිඳගත්තේ තව කුමක් නම් ඉදිරියේදි සිදුවන්නට ඇත්දැයි සිතාගැන්මට නොහැකි බැවින්.කුමක් වුවත් අනාගතය සුභදායි නොවන වගනම් මා හට නිසැකවම වැටහිණි.මේ අතරතුරයි මා කලින් සාක්කුවට දමාගත් වෛද්‍යවරියගේ දිනපොත සිහියට නැගුනේ....


එම දිනපොතේ කවරය දෙස මොහොතක් බලා හිඳිමින් මා දිගු සුසුමක් හෙළුවේ එක ඇසිල්ලකින් ඇය හමුවූ දින පටන් මා ඇගෙන් ලද කරුණාබර සැලකුම් නැවතත් මැවී පෙනෙන්නට වූ නිසාවෙන්.සෙමින් දිනපොතේ කවරය පෙරලූ මා හට දැකගන්නට හැකිවූයේ මුල් පිටුවේ අලවා තබූ කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකුගේ ඡායාරූපයකි.... 


අවුරුදු දහයක සහ පහලොවක පෙනුම තිබූ මේ දරුවන් දෙදෙනා දෑත් පටලවා හුරතල් අයුරින් සිනාසෙනු දුටු මටද සිනහා පහල වූයේ නිතැතිනි... එම ඡායාරූපයේ යටින් ලියා තිබූ වදන් පෙල මා කියවන්නට වූයේ එම සිනහමුසු මුහුණ එලෙසම පවත්වා ගනිමින්.නමුත් එක්වරම එම සිනහව අතුරුදහන් වූවේ මවිතයක සලකුණු මා මුහුණේ ඉතිරි කරමිනුයි...

ප/ලි

ඔක්කෝටම කලින් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ කොටස දාන්න මාසෙකටත් වඩා කාලයක් ගත්තු එක ගැන.ආයෙත් සුපුරුදු පරිදි ලියන්න කියවන්න බහින්නයි හිතාගෙන ඉන්නේ.පහුගිය ටිකේ ගොඩාක් දෙනෙක්ගේ ලිපි කියවන්නත් බැරිවුනා.මග ඇරුණු හැම ලිපියක්ම අනිවාර්යෙන් කියවනවාමයි.... මුකුත් ලිව්වේ නැතත් මේ පැත්තට ඇවිත් ගියපු,මාව හොයපු හැමෝටම ස්තූතියි.... 

කාලෙකට පස්සේ ලියන්න ගත්තු නිසා අඩුපාඩු ඇති.ඉතින් වෙනදා වගේම ඒ වැරදි අඩුපාඩු පෙන්නලා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.එහෙම අඩුපාඩුවක් පෙන්නුවයි කියලා මම කවදාවත් අමනාපයක් වෙන්නේ නෑ... 

පොටෝව ගත්තේ මෙතනින්:http://www.canada.com/6406264.bin