අද මම කියන්න යන සිදුවීම ටිකක් විතර අද්භූත කථාවක්.අපි වෙදගෙදර ගත කරපු මුල්ම සතිය ඇරෙන්න මේ සිදුවීමෙන් පස්සේ අපි එහෙ හිටියේ කවදාවත්ම වෙද ගෙදරින් එළියට එන්න බැරිවෙයි කියන සිතුවිල්ලෙන්.ඒ තරම් ගුප්ත භයානක තැනක් විදියටයි අපිට එහේ පේන්න ගත්තේ.එවැනි අද්භූත සිදුවීම් සෑහෙන්න සිද්ධවුනා ඒත් ඒවා අසත්‍ය කියලා බැහැර කරන්නත් බැරි,සත්‍ය කියලා අපිටත් පිළිගන්න බැරි,කිව්වට කවුරුත් නොපිළිගන්න දේවල්.දැන් ඉතිං කථාවට බහිමුකෝ....
ඔයාලට මතකද හලාවත අයියා කියලා කෙනෙක්ව මම මතක් කරා මගේ කලින් ලිපියක සමහරවිට ඔයාලට මතක ඇති මම කිව්වා එයාට බොහොම අවාසනාවන්ත ඉරණමක් අත්වුනා කියලා කීවා.ඉතිං මට හිතුනා ඒ දේ ගැන ලියන්න ඕනේ කියලා.මම මෙයින් තමයි තේරුම් ගත්තේ මිනිසෙක්ට තිරිසනෙක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ කියලා.මෙතෙක් නොකීව කරුණු එක්කයි මම මේ ලිපිය ලියන්නේ.
අපිට වෙද ගෙදර නැවතී හිටින්න දිනකට රුපියල් 2500ක මුදලක් වැය කරන්න සිදුවුණා.සාමාන්‍ය රැකියා කල අපේ පවුලේ අයට මාසේ වියදමට ලැබෙන්නේත් උඩ තියෙන ගාන 5න් වැඩි කරාම එන පිළිතුර නෑදෑ හිතමිත්‍රාදීන් නොහිටින්න මේ මුදල් අපිට නම් පියවන්න හම්බුවෙන්නේ නෑ. සෑම සති අන්තයකම එය නොලැබුනොත් බොහෝම අමිහිරි වදනින් දොස් අහන්නත් ලැබුණා.එතරම් මුදල් ප්‍රමාණයක් වැය කරත් අපිට ලැබුනේ සාමාන්‍ය සැලකිලි.අපිට අපේ කසාය එක පවා හින්දගන්න සිදුවුණා.වෙද මහත්තයාගේ ආවතේව පවා කරන්න වුනු නිසා අපි සෑහෙන්න මානසික වශයෙන් වැටිලා හිටියේ මොකද අපි බලාපොරොත්තු වූ නිදහසක් යන්තමින්වත් අපිට ලැබුනේ නෑ.මේ කථාවට හේතු පාදක වුනු හලාවත අයියාගේ ආවතේව වලට ඇවිල්ලා හිටිය චූටි මල්ලි තමයි මුල් සතිය පුරාවටම අපිට සාත්තු කරේ.ඒ මල්ලිට අවුරුදු 18ක් ඒත් කිසිදු අකුරක් කියවන්න ලියන්න හැකියාවක් ඒ මල්ලිට තිබුනේ නෑ.මට හොදට මතකයි හලාවත අයියා හැමදාම හවස 6න් පස්සේ ඒ මල්ලීට හෝඩි පොතක් ගෙනත් තියාගෙන අකුරු කියලා දෙන හැටි.ඒක සෑහෙන්න සංවේදි දර්ශනයක් පස්සේ පුළු පුළුවන් වෙලාවට ඒ මල්ලිට මම ඉංග්‍රීසි වචන හුරු කරන්න ගත්තා ඒත් ඒක අසාර්ථක වුනා හැබැයි
ඒ අයියාගේ නම ඇත්තටම මම දන්නේ නෑ මොකද අපි අදුරගත්තු දවස ඉදන් අපි එකිනෙකාට ආමන්ත්‍රණය කරේ අපේ ගම්වල නමින් හෝ වෘත්තියේ නමින්.මම වෙද ගෙදරට ඇතුල් වෙද්දි එහෙ හිටියා ලෙඩ්ඩු හතර දෙනෙක්.මම හිටපු ඇදට එහා පැත්තේ තමයි හලාවත අයියා හිටියේ බොහෝම අහිංසක අවුරුදු 25ක තරුණයෙක්.පුංචි රැකියාවක් කරමින් ඉදලා තිබුනේ.
වෙද ගෙදරදි අපි හැමෝම පාන්දර 4ට නැගිටින්න ඕනේ නැගිටලා කලින් දවසේ බැදපු බෙහෙත් අයින් කරලා සුදුරෙදි පටිය සුද්ද කරලා කටු ටිකත් ලෑස්ති කරලා තියලා මූන හෝදගෙන කරගෙන අනිවාර්යෙන්ම කොළකැද බොන්න ඕනේ මට නම් කොළ කැද ඉස්සර පෙන්නන්න බෑ අන්තිමට කොහොමහරි දැන් නම් ආසයි.අපි 5 වෙනකොට වෙද මහත්තයා බැහැදකින්න යන්න ඕනේ.ඊට පස්සේ ඉතිං සෑහෙන වෙලාවක් රෝග පරික්ෂා කරන්න ගන්නවා ඊටත් පස්සේ ව්‍යායාම ඊටත් පස්සේ තමයි පෝලිමට බෙහෙත් බදින්නේ.ඒ බදින එකත් බදිනවා ආයේ ඇට කටු තියා අපිටවත් හෙල්ලෙන්න බැරිවෙන්න.බෙල්ලේ ඉදන් පශ්චාත් බාගෙට එනකන්ම ඒක එතුවාම ඊජිප්තුවේ පිරමීඩ් එකකින් ගොඩදාපු මමියක් වගේ බලන්න ලස්සනයි.
දවසක් වෙද මහත්තයාට ඇතිවූ අසනීප තත්වයක් නිසා අපිට බෙහෙත් බදින එක උදේ 10 වෙනකන් කල් ගියා එතකොට වෙලාව 6ට ඇති.අපිට ඉතින් ඒ බෙහෙත් නොබැද ඇවිදින්න තහනම් නිසා ඇදට වෙලා කථාවක් දාගෙන හිටියේ.ඔන්න ඔය අතරේ තමයි මම හලාවත අයියාගේ පිට දැක්කේ.එච්චර දවසක් අයියාගේ අසනීපෙ අහලා තිබුනට ඇස් දෙකින් දැක්කේ එදා.ඒ අයියාගේ බිදුණු කොදු ඇට එක උඩ එක ගිහින් තියෙන හැටි පැහැදිලිවම අපිට පෙනුනා.ඒ අයියාගේ පසුපස කොටසට වියත් දෙකක් උඩින් තමයි බිදීම වෙලා තිබුනේ.ඒ කොටස එළියට පැනලා ඉතුරු කොදු ඇට පේලිය උඩින් අගල් 3ක් විතර ගමන් කරලයි නැවතිලා තිබුණේ.
මට ඒක පැහැදිලි කරන්න අමාරුයි.එත් අදහසක් ගන්න පුළුවන් පෑන් දෙකක බද කොටස් එක උඩ එක තිබ්බාම තියෙන විදිය තමයි එදා ඒ අයියාගේ කොන්ද තිබුනේ.මට ඒ දැක්කාම නිකන්ම කියවුනේ
“කොහොමමද එතකොට ඇවිදින්නේ මෙහෙම උනේ කොහොමද ?” කියන එක.ඊට පස්සේ තමයි හලාවත අයියා එයාගේ කථාව කියන්න ගත්තේ
“අපේ අම්මා නැතිවෙලා අක්කයි මමයි තාත්තයි ජීවත් වුනේ පොල් වත්තක චූටි ගෙයක.තාත්තා කලේ වත්ත මුර කරන එක.අක්කාට රස්සාවක් තිබුනෙත් නෑ.ඉතිං මම ඉස්කෝලේ යන කාලේ ඕනේ සල්ලි හොයාගත්තේ කාටහරි අත්උදව් දීලා.නැත්තම් පොල් වත්තට ගේන පෝරගෝනි ඇදලා.ඔන්න ඔය කාලේ තමයි මාව ඇක්සිඩන්ට් උනේ ඒත් දරුණු තුවාලයක් මොකුත් වුනේ නෑ ඒත් එදායින් පස්සේ මගේ කකුල් ගොඩක් ඉදිමෙන්න ගත්තා.උසස් පෙළ ලංවෙලා තිබුනු නිසා ඒ කාලේ පෝර ගෝනි අදින්න ගියෙත් නෑ. මම ඉගෙන ගෙන කොහොමහරි උසස් පෙලත් පාස් වුනා.ඒත් මට කරන්න රස්සාවක් ලැබුනේ නැති නිසා මම ආයෙමත් පරණ පුරුදු ගෝනි උස්සන රස්සාවම කලා වැඩි වැඩියෙන්”
අයියා කතා කලේ ඇස් පිහිදන ගමන් ඒ ඇස්වලින් කදුළු සෑහෙන්න ගලනවා.බැංකු අයියයි රත්නපුර මාමයි නිශ්ශබ්දව අහගෙන ඉන්නවා කියන දේ.ඒ අයියාගේ අසනීපෙටත් මුල අනතුරක්.මේ කියවන අයටත් සුළු සුළු අමාරු මේ වගේ තියේනම් x-RAY එකක්වත් අරන් බැලුවොත් හොදයි ඕං.
“වැස්ස දවසක පෝර මිටි තොගයක් වත්තට ආපු නිසා මම ඉක්මන්ට ඒවා ඇදලා දාන්න ලොරියේ කොල්ලට කිව්වා ගෝනි දෙකක්ම කරට දාපන් කියලා.එදා ඒ මිටි දෙක කරට ගනිද්දි මට දැනුනා කොන්දේ මොකක් හරි ගැස්මක් ඒත් මම ඒක වැඩිය ගනන් ගත්තේ නෑ.ඊට පස්සේ දවස් ගානක් උණ හැදිලා ඇදටම වෙලයි හිටියේ”
“ඇයි දෙයියනේ ඇගපත හෝදනකොටවත් පිටේ ගෙඩියක් වගේ අහුවුනේ නැද්ද” නිහඩව ඉන්න බැරිම තැනයි මම ඇහුවේ.
“එහෙම දැනුනට මට ඒක වැඩිය තේරුමක් ගියේ නෑ මට තිබුනු එකම අමාරුව කකුල් ඉදිමෙන එක විතරයි.”
එදා ඒ මොහොතේ ඉදන් ලියන මේ මොහොත වෙනකන්ම මම මගේ කොන්ද සෑහෙන්න සැලකිල්ලෙන් අතගාලා බලනවා මොකක් හරි වෙනසක් කොන්දේ ඇතිවෙලාද කියලා.ඒ තිගැස්ම කවදාවත් නැතිවෙන එකක් නැතිවෙයි.
“මේ සිද්ධිය වෙලා සති දෙකක් තුනක් යද්දි මට සෙලින්කෝ එකේ රස්සාවක් හම්බුණා බයික් එකකුත් එක්ක.එදායින් පස්සේ මට මේ අමාරුව ඒ තරම් දැනුනේ නෑ පහුගිය අවුරුද්ද වෙනකන්ම .ඊට පස්සේ තමයි ඉන්න හිටින්න බැරි වෙන්න වේදනාව පටන් ගත්තේ.කොළම මහ රෝහලේ මාසයක් ඉදලා සේරම පරීක්ෂණ කරාට පස්සේ කිව්වේ මේක සනීප කරන්න බෑ කියලා.ලංකාවේ හොදම වෛද්‍යවරු හැම කෙනෙක්ම මට කිව්වෙත් ඒක.අන්තිමට මම ගියා සුනිල් කියන දක්ෂම වෛද්‍යවරයා හම්බුවෙන්න එයා මගේ රිපෝට්ස් දැකලා පුදුමෙන් මගේ මූන දිහා බලාගෙන ඇහුවා තනියෙන්ද ආවේ මොකකද ආවේ කියලා.මම ඒ වෙනකන්ම මගේ බයික් එකේ තමයි බෙහත් ගන්න ආවෙත්.ඒ වෙලාවේ එයා කිව්වේ මෙච්චරයි...
“මම බොහෝම පුදුමවෙනවා මෙහෙම කොන්දක් තියෙන කෙනෙක් දෙපයින් මගේ ගාවට ආපු එක ගැන ඔයාගේ පණ හයියයි ඔයාට තවත් සෑහෙන්න කාලයක් ජීවත් වෙන්න පුළුවන් මට මේක හොදකරන්න බෑ ගිහිල්ලා සතුටින් ජීවත් වෙන්න”
එයාට වැදලා කිව්වත් මට ඊට එහා දෙයක් අහගන්න බැරිවුනා මම හැම බලාපොරොත්තුවක්ම අත්ඇරලා දාලා ගෙදර එන්න ආවේ මැරෙන්න හිත හදාගෙන.ඒ යද්දි මගදි හම්බුණු යාළුවෙක් තමයි මට මේ වෙද ගෙදර ගැන කිව්වේ මම පහුවදාම වෙද මහත්තයා හම්බුවෙන්න ආවා.මම පඩුරු විදියට තිබ්බේ රුපියල් 100ක් විතරයි වෙද මහත්තයා මාව බැනලා එළවගත්තා 100ක් දුන්නා කියලා.ඒත මට යන්න තැනක් තිබුනේ නෑ පිංසෙන්ඩු වෙලා අන්තිමට වෙදමහත්තයාව කැමති කරවගත්තා ඒත් මාස 6ක් නැවතිලා ඉන්නත් ලක්ෂ තුනහාමාරක් ඒ කාලෙට ගෙවනවා කියලා ලියමනකුත් මගේ ලව්වා ලියවාගෙන තමයි මාව නවත්තගත්තේ”
ඒ වෙද මහත්තයාගේ හැටි එහෙමයි සෑම දේකටම මුල් තැන දුන්නේ මුදල් වලට.එක අතකට සේවක මුදල් ගෙවන්නත් කෑම බීම බේත් හේත් සපයන්නත් යන වියදම බැලුවාම ඒකේ වැරැද්දක් මට දැන්නම් පේන්නේ නෑ.හලාවත අයියා ඇවිත් ඒ වෙනකොට මාස දෙකකටත් කිට්ටු වෙලා තිබුනේ එයාම කිව්ව විදියට සෑහෙන්න අඩුවීමක් වෙලා තියෙනවා ඒ ටිකට.වෙද මහත්තයාට ලක්ෂ එකයි අනූවකුත් ඒ වෙද්දි දීලා අහවරයිලු ඒ වෙද්දි.මේ කථාව කියලා පහුවදා තමයි ඒ අයියගේ අවාසනාවන්ත දවස උදා වුනේ.
ඒ අයියගේ යාළුවෝ සෙට් එකක් එයාව බලන්න වෙද ගෙදරට ආවා උන් කරපු ලොකුම වැරැද්ද තමයි කරටි කැඩෙන්න ගහලා තිබුණු එක.උන් ඇවිත් කෑ කෝ ගහලා ටිකකින් යන්න ගියා.එතකොට තමයි වෙද මහත්තයා මට අඩගැහුවේ.මම යද්දි දැක්ක දේ තමයි තරහෙන් පුපුර පුපුර අම්මා මුත්තා මතක් කරමින් හිටි වෙද මහත්තයා.එදා පොඩි වෙදමහත්තයා හිටියානම් මේ වැනි දෙයක් නොවෙන්නත් තිබුනා.මත්පැන් වලට දැඩි විරුද්ධත්වයක් වෙද මහත්තයාට තිබුණා පානය කරපු එකෙක්ටවත් වෙදකම් නොකරන ප්‍රතිපත්තියකුත් තිබුනා.
අවසානයේදි හලාවත අයියාට වෙද මහත්තයා කතා කලා.හලාවත අයියගේ දෙම්ව්පියෝ සහෝදරවරුන් ඇතුළුව ආපු යාළු මිත්‍ර හැමෝගෙම ජාතිය අමතලා තමයි වෙද මහත්තයා නිහඩ වුනේ හලාවත අයියා තරහින් හිටි බව මම හොදටම දැක්කා කදුලු වැටෙන ඇස් වලින් හලාවත අයියා එක ඉල්ලීමයි වෙද මහත්තයාට කලේ
“මට ඕන දෙයක් කියන්න වෙද මහත්තයෝ මගේ යාළුවන්ටයි අක්කටයි කිසි දෙයක් කියන්න එපා එයාලා තමයි මට හැමදේම කරන්නේ ගෙදරට කන්න බොන්න දෙන්නෙත් එයාලා”
“ආ උඹලැයි යාළුවෝ උඹට උදව් කරන්නේ ඒකයි මේ ගෙදර අක්කා තනියෙන් නොවැ ඇත්තේ ඉතින් උඹට උදව් නොකර පුළුවන්ද යාළුවන්ට අනික බොහොම හොද බේබද්දෝ ටිකක්නේ දැන් ආවේ”
එදා එතන මම නොහිටින්න වෙද මහත්තයා මැරුම් කනවා සිකුරුයි.ඒ තරම් කේන්තියක් ආවේගයක් ඒ වෙලාවේ අයියට තිබ්බේ වෙද මහත්තයාගේ විරෝධය නොතකා මම හලාවත අයියාව කාමරෙන් ඒළියට ඇදන් ආවේ.ඒ නිසා මාත් හොදට වෙද මහත්තයාගෙන් අහගත්තා මම ආපහු වෙද මහත්තයාගේ කාමරේට යද්දි වෙද මහත්තයා මගෙන් ඇහුවේ උඹටත් මෙහෙන් යන්න ඕනේ වෙලාද කියලා.එදා රාත්‍රී වෙද්දි හලාවත අයියාව පිටුවහල් කරන්න සේරම සූදානම් කරලා දවස් දෙකකින් යන්න කියලා නියෝගය දුන්නා.පොඩි වෙද මහත්තයාගේ ඇස්වල කදුළු දැක්කේ එදා එයා නොසෑහෙන්න උත්සහ කරා හලාවත අයියාව බේරගන්න ඒත් වැඩක් වුනේ නෑ.දවස් දෙකකින් එයාට යන්න උනා ඒ සමුගැනීම සෑහෙන්න වේදනාකාරි දෙයක් අයියා ගියේ මම මැරෙනවා මල්ලි කියාගෙන.අපි කාටවත් එදා ආහාර ගන්න සිහියක් තිබ්බේ නෑ එතකොට පොඩි වෙද මහත්තයා මට ඇවිත් පුදුම කථාවක් කිව්වා...
“මල්ලී අත්තා අරහේ මතුරනවා හලාවත ගෙදර යනකන් යහතින් ගියොත් ලොකු දෙයක් නිතරම එයාට කෝල් කරලා මට විස්තර කියන්න ඒ අහිංසක මනුස්සයා අපරාදේ”
මගේ මුළු ඇගම සීතල වෙලා මහා බයානක හැගීමක් හිතට ආවේ ඒ වෙලාවේ අපි භූත බංගලාවක හිර උනාදෝ කියලා සෑහෙන්න බයකින් හිටියේ අපි හැමෝගෙම මූණු මලානික වෙලා හිටියේ.ටික වෙලාවකින් වෙද මහත්තයා ආයේම මට කථා කරා.මම සෑහෙන්න බයවෙලා හිටියේ වෙද මහත්තයාට හිත් කියවන්න පුළුවන් ඇතිද කියලා මොකද මම එයාට සාත්තු කරපු හැම දවසකම හිතින් අනන්තවත් බනින්න ඇති පාඩුවේ ඉන්න දෙන්නේ නෑ කියලා.ඒ බැනපු බැනිලි දන්නවනම් මාව තියන්නේ නෑ.මම ඉතිං ගිහින් සාත්තු පටන් ගත්තා එතකොට තමයි පොඩි වෙද මහත්තයා කියපු කථාවේ ඇත්ත මට තේරුණේ
“මම අර මූසලයට යහතින් යන්න දෙන්නේ නෑ මම ඕකාගේ හදපු කොන්ද ආයේ කඩනවා තිබ්බ විදියටම ගේනවා දැන් මම මතුරලා අහවරයි මට සෑහෙන්න මහන්සියි මම නිදාගන්නකම් කකුල තවාපන්”
මම ඒ කකුල තැව්වද කියලා මටවත් මතක නෑ වෙදමහත්තයා ගොරවනකම් ඉදලා කාමරෙන් එළියට පැනලා ආවේ හලාවත අයියට කෝල් එකක් ගන්න ඒත් මම ඇද ලගට යද්දි පොඩි වෙද මහත්තයයි රත්නපුර මාමයි බැංකු අයියයි සෑහෙන්න දුකින් ඉන්නවා දැක්කාම මට හිතුනා මොකක් නමුත් වෙලා ඇති කියලා.මම බැංකු අයියගෙන් ඇහුවා මොකද වුනේ කියලා.
“හලාවත චූටි මල්ලි කථා කරා හලාවත් ගියපු බස් එක වලකට වැටිලා හලාවතගේ ඔළුව බෑග් දාන රැක් එකේ වැදිලා හොදටම අමාරුයිලු කොන්ද අල්ලන් කෑ ගහනවලු”
මාව නිකන්ම ඇදේ ඉන්දවුනා දෙයියනේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද මේ කරම් හිත් පිත් නැති මිනිස්සු ඉන්න පුළුවන්ද මිනිස්සු කෙසේ වෙතත් වෛද්‍යවරයෙක්????? මට එවෙලේ හිතුනා කවදාවත් මේ භූත ගෙයින් එළියට යන්න නම් නොලැබේවි කියලා.මේ ලියන මොහොතේ පවා මගේ ඇගේ මයිල් කෙලින් වෙලා තියෙන්නේ බයට.මට තාමත් තියෙන ගැටළුව තමයි හලාවත අයියට මෙහෙම උනේ මතුරපු නිසාද කියන එක.
පස්සේ ආරංචි උනා එයාගේ කොන්ද තිබුණු තත්වයටම නරක අතට හැරිලා කියලා.නමුත් එයාගේ ජීවිතේ මුළුමනින්ම අවාසනාවන්ත වෙලා තිබුනේ නෑ.පොඩි වෙද මහත්තයා හලාවත අයියට බෙහෙත් තෙලුයි මතුරපු තෙලුයි කසායයි ලියලා දීලා තිබුනා.එයා කලින්ම මේ දේට ලෑස්තිවෙලා ඉදලා කියලයි මට තේරුණේ.හලාවත අයියට මගට එන්න කියලා හරි බේත් කරන්න අදහසක් තියෙනවා කියලා පොඩි වෙද මහත්තයා මට කිව්වා ඒත් එයාට ඒක කරගන්න බැරිවුණා.
මගේ මීළග කථාව වෙද ගෙදර ගැන නොලියන්න තීරණයක් ගත්තා හැමදාම එකම දේ ලිව්වාම ගතියක් නෑනේ විවිධත්වයක් තියෙන්නත් එපැයිනේ.හැබැයි වෙද ගෙදර කථා මාලාව සැරින් සැරේ අතරින් පතර දමන්න අදහසක් තියෙනවා ඒකට මාත් එක්ක අමනාපයක් නැති වෙයි කියලා හිතනවා හැමෝම කස්ටිය.
නත්තල් සමරණ කිතුනු බැතිමතුන්ට සුභ නත්තලක් වේවා!!!!!
සුනාමි ව්‍යසනයෙන් විපතට පත්වුනු සකල විධ ලෝකවාසී ජනතාවට නිවන් සුව අත්වේවා කියාත් මම මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා......
ප/ලි
හලාවත අයියා මට ලගදි කථා කරා ඒ වෙලාවේ එයා කිව්වා අනුරාධපුර ප්‍රදේශයේ වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්නවා කියලා කථාවක්.දැන් ටිකක් අඩුයිලු.මම හලාවත අයියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
ප/ප/ලි
මේ ලිපියේ බලාපොරොත්තුව වෙද මහතාටවත් පොඩි වෙද මහතාටවත් සිංහල වෙදකමටවත් අපහාස කිරීමට නෙමෙයි කාගෙවත් නම් ගම් හරි හැටි සදහන් වෙලා නැති නිසා මම හිතනවා කාටවත් මඩක් වදින එකක් නෑ කියලා.ඒ වගේම මම හිතනවා මේ ලිපිය පොඩි වෙද මහත්තයා දැක්කත් මාත් එක්ක අමනාප වෙන එකක් නෑ කියලා.