Monday, April 30, 2012

මියැදුණු පෙම්වතිය-2 කොටස

බිරිඳගේ වියෝව නිසා මහාචාර්යතුමෙකු විසින් සිදුකරන භයානක පරීක්ෂණයක්.මිනිස් ජීවිත කීපයක් අනතුරේ.සරසවි සිසුවා සියල්ල විසඳයිද?? මුල් කොටස සඳහා මෙතනින්


"අවසානයේදි මම විශාල ගැටළුවකට මුහුණ පෑවා.මේ පරීක්ෂණය සාර්ථක වීමට නම් මගේ බිරිඳට සමාන ශරීරයක් ඇති ඒ හා සමාන වයසක් ඇති ගැහැණු ළමයෙක් අවශ්‍ය වුණා....

වීඩියෝව තව දුරටත් නැරඹිය නොහැකි මානසිකත්වයකයි මම සිටියේ.මියැදුණු කෙල්ලකගේ ජීවිතය වෙනුවෙන් අහිංසක ජීවිත දෙකක් බිලි දෙන්නට තරම් මේ උගත් මනුස්සයා පෙළඹුනායැයි සිතීම පවා මා සිතට වේදනාවක් ගෙන දුන්නා....වීඩියෝවේ ඉතිරි කොටස බලම්දෝ නොබලම්දෝයි දෙගිඩියාවකිනුයි මා සිටියේ වෙව්ලන ඇඟිලිවලින් නැවතත් මම ඒ වීඩියෝව ධාවනයේ යෙදුණා...


මම දන්නවා දැන් ඔබට මාව හිතක් පපුවක් නැති වියරු මනුස්සයෙක් විදියට පේන බව.නමුත් මම සිටින තැන ඔබ සිටියනම් ඔබද මේ තීරණය ගන්න ඉඩ තිබුණා..... මගේ උත්සහයේ ප්‍රථිඵලයක් විදියට මගේ බිරිඳට හැම අතින්ම සමාන දේහ ලක්ෂණ සහිත ගැහැණු ලමයෙක් විශ්ව විද්‍යාලයෙන්ම මා සොයාගත්තා ඒ ඔබලාගේ දත්ත ඇතුලත් ගොනුව සොරා ගැනීමෙන් පසුවයි.

ඒ ගැහැණු දරුවාගේ නම කසුනි.ඈ මේ සඳහා යොදාගැනීමේ අවසන් තීරණයට මම එළැඹුනා.ඔබ නොදැනුවත්වම එයට හවුල්කාරයෙක් වුනා ලක්ෂිත.ඔබට මතක ඇති ඔබවත් ඇයවත් මගේ සහායකයින් ලෙස විවිධ දේශනවලට හවුල්කරගත් හැටි..මගේ බිරිඳගේ වියෝව ගැන මා ඇයට පැවසූ පසු ඇය මට බොහෝ අනුකම්පා කලා.ඒ අනුකම්පාව නිසා ඈ එකඟ වුනා මලවුන් අතර සිට මගේ බිරිඳ මා සමග කතාකරන අයුරු දකින්නට පැමිණෙන්න.

ඔබ දැනටමත් දුටු පරිදි බිම් මහල ආරෝපණය කරන ලද ටෙස්ලා කොයිල් වලින් වටවී තිබුණේ.මා කලින් අධ්‍යනය කර සලකුණු කර තිබූ කොටසක කට්ටඩියාත් ඔහුට සරල රේඛීයව කසුනිවත් ස්ථානගත කරගත්තා.කට්ටඩියාට පිටුපසින් වූ ප්‍රභල ටෙස්ලා කොයිලයේ ආරෝපණ කසුනි පිටුපා සිටි ටෙස්ලා කොයිලයට ඇදී යන පරිද්දෙනුයි සැලසුම් කර තිබුනේ.

කම්පනයන් මගින් ශක්තිමත් කරගත් විද්‍යුත් ධාරාවක් කට්ටඩියා සහ කසුනිගේ ඇඟ හරහා යන අයුරින් සූදානම් කර තිබුණා.එම අධික විදුලි ධාරාවෙන් කට්ටඩියාගේ ශරීරයට දුර්වලව බැඳී පවතින මගේ බිරිඳගේ ආත්මය වෙන් වී කසුනි හරහා යන ලෙසට ස්ථානගත කරගත්තා.කසුනිගේ ශරීරය හරහා යන ධාරාව පුද්ගලයෙකු කම්පනයට පත් කිරීමට තරම් වුවත් ජීවිත හානියකට ප්‍රබල නොවන බව මා ගනන් බලා තිබුනා.කට්ටඩියාගේ මරණය නැවැත්විය නොහැකියි.ඔබට සිතෙන්නට පුළුවන් කසුනි සතු ආත්මයට කුමක් වන්නේද කියා.මා රැස් කරගත් තොරතුරු වලට අනුව එවන් කම්පන අවස්ථාවකදී බාහිරින් පැමිණෙන ආත්මය ප්‍රභල බැවින් එය ශරීරය අත්පත් කරගන්නේ පවතින ආත්මය යටපත් කරවමින්.

යම් හෙයකින් පරීක්ෂණයේ වැරදීමක් සිදු වූවොත් ගත යුතු ක්‍රියාමාර්ග ඔබ කොපි කරගත් ෆයිල් එකේ සවිස්තරව දක්වා තිබෙනවා.ඔබට ඒ පියවර අනුගමනය කරන්න වෙනවා ලක්ෂිත.... ඔබ මෙය නරඹනවානම් අනිවාර්යෙන් පරීක්ෂණය අසාර්ථක වී හමාරයි.මා තවත් කැමරාවක් ආරක්ෂිත කුටිය තුල ස්ථාපනය කර ඇති. එය නැරඹීමෙන් ඔබට සිදුවී ඇති වරද වටහා ගන්නට හැකි වේ යැයි මා විශ්වාස කරනවා.ඒ වැරැද්ද නිවැරදි කල හැක්කේ ඔබට පමණයි.....ඔබ දීප්තිමත් සිසුවෙක් ලක්ෂිත.... පරීක්ෂණය ආරම්භයට තව පැයයි....

මට දැනෙන්නට වූයේ මහා අපරාදයකට හවුල්වූ හවුල්කාරයෙකුට දැනෙනවා හා සමාන හැඟීමක්.හිතට එකඟව මොහු ආරම්භ කල පරීක්ෂණය ඉදිරියට ගෙන යනවාද කාට හෝ දැනුම් දී මින් ගැලවෙනවාද යන්න තීරණය කල නොහැකි තරම් මා මානසිකව අසරණ වූයේ මාගේ ජීවිතයද මින් අවසන් වේයැයි සිතෙන්නට වූ නිසා.කෙසේ නමුත් කුමක් නිසා මේ තත්වය හටගත්තාදැයි දැනගැනීමට මට අවශ්‍ය වී තිබුනා.හුන් තැනින් නැගීගත් මා නැවතත් බිම් මහල කරා ඇදෙන්නට වූයේ පරීක්ෂණය ආරම්භ කල පසු සිදුවූ දේ දැනගැනීමේ අභිලාෂයෙන්.

බිම් මහල මධ්‍යයේ වූ ආවරණය කරන ලද නිරීක්ෂණ කුටියේ තිබූ විද්‍යුත් උපකරණ සමහරක් කැඩී බිඳි තිබෙන අයුරු මා හට දැකගන්නට හැකි වූයේ එවිටයි.ඒ තුල කැමරාවක් ඇති බවක් මා මුළින් පැමිණි අවස්ථාවේ දක්නට නොලැබුනේ එය ඇතුලතද අවුල් ජාලාවක් වී තිබීම නිසා.විනිවිද පෙනෙන අයුරින් සකස් කරන ලද මේ කුටිය විදුලි ධාරාවන්ගෙන් කිසිදු අනතුරක් සිදුනොවන ආකාරයට සකස් කරන ලද්දක්.ප්‍රවේසමෙන් ඒ තුලට පිවිසගත් මා එම කුටියේ දොර වසා ගත්තේ විදුලි බලය කොයි මොහොතේ හෝ පැමිණියහොත් විදුලි ධාරාවන්ගෙන් බේරිමටයි.

කැමරාවේ තිරය බිඳී තිබීම නිසා ඒ වීඩියෝව නැරඹිය නොහැකි බව දුටුවේ එවිටයි.අනෙක් කැමරාවද රැගෙන නොපැමිණි නිසා නැවත එය රැගෙන ඒමට දොර විවෘත කරන්නට තැත් කල විට නොසිතූ අකරතැබ්බයකටයි මා මුහුණ දුන්නේ. එය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන දොරක් බව මතකයට පැමිණියේ ඒ අවස්ථාවේදියි.දීර්ඝ සුසුමක් හෙලමින් මා ඒ කුටිය තුල වූ ආසනයේ ඉඳ ගත්තේ හිත සන්සුන් කර නොගත්තොත් මේ උගුලෙන් ගැලවීමට නොහැකි බව වැටහෙන්නට වූ නිසාවෙන්.දෙනෙත් මොහොතක් වසාගෙන මා මේ බිම්මහලට පැමිණි පෙර අවස්ථාවන්හි සිදුවීම් කල්පනා කරන්නට වීමි.

මේක විදුලියෙන් ක්‍රියාත්මක වෙන දොරක් ඊට හේතුවක් තියෙනවා අධික ආරෝපණ නිසා බිම් මහලේ විදුලි කාන්දුවක් වුනොත් කිසිම ආන්තරාවක් නැතුව තත්වය සමනය වෙනකන් අපිට මේකේ ඉන්න පුළුවන්.අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික විදුලි ධාරාවකින් මෙය විවෘත කිරීමට යාමෙන් මේ අගුල ක්‍රියා විරහිත වෙනවා.ඔබට තේරෙනවා ඇති අධික විදුලියක් පැමිණීමෙන් ටෙස්ලා කොයිල් ආරෝපිතව පැවතුනොත් කිසිම අයුරකින්  හෝ මෙතනින් එලියට යෑම සියදිවි නසාගැනීමක් හා සමානයි.

සර් ඉතින් අපිට මෙතන ඉඳන් විදුලි සැපයුම විසන්ධි කරන්න බැරිද?”

පුළුවන් ලක්ෂිත නමුත් ඒක භයානක ක්‍රියාවක්..... ඒ තීරණය ගන්න ඕනේ වෙන විසඳුමක් නැත්නම් පමණයි.මොකද මේ කුටිය හදලා තියෙන්නේ විදුලියෙන් ආරක්ෂා වීමට නිසා කුටිය ඇතුලතටත් විදුලි කාන්දුව ඒමේ ඉඩකඩ සෑහෙන්න වැඩියි.ඒත් කවදාවත් මම ඒක අත්හදා බලලා නෑ

මට කිසිම ස්විච් බෝඩ් එකක්වත් පේන්නේ නෑනේ ඉතින් කොහොමද ඒක කරන්නේ

ඒක කරන්න කලින් කල යුතු මූලික වැඩ කිහිපයක් තියෙනවා... මුලින්ම දොරේ අගුල විවෘත කරගෙන ඉන්න...

මහාචාර්යතුමාගේ ඒ වදන් මතකයට පිවිසෙත්ම මා හිඳ සිටි පුටුවෙන් පැන ඔහු ගෙන තිබූ ක්‍රියාමාර්ගය ඵල රහිත කර නැවත විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්නට වීමි.මහාචාර්යතුමාගේ ජීවිතය නැති වන්නට ඇත්තේ මේ තුරුම්පුවද ක්‍රියාත්මක කරන්නට යාමෙන් යැයි මා හට හැඟෙන්නට විය.එසේනම් අධික විදුලි ධාරාවක් හෝ විදුලි කාන්දුවක් අනිවාර්යෙන්ම ඇතිවූ බව පැහැදිලියි.ඒත් කසුනිගේ සිරුර නොමැතිවීම පිළිබඳ තාම අදහසක් සිතට නොපැමිණේ.ඇයට කුමක් සිදුවන්නට ඇත්ද ඇය ජීවතුන් අතරද එසේත් නැතිනම් මහාචාර්යතුමාගේ බිරිඳගේ ආත්මය ඈ සතුවිණිද....ඒ සඳහා පිළිතුරු මෙමරි චිපයේ ඇති බැවින් වහ වහා මහාචාර්යතුමා වරක් පවසන ලද ආකාරය අනුව නැවත විදුලි සැපයුම මම සකසන්නට වීමි.අවසානයේ මා සතුවූ චීන දුරකතන බැටරියේ සහ බිඳුණු කැමරාවේ බැටරි ආශ්‍රයෙන් මූලික විදුලි සැපයුමක් ටෙස්ලා කොයිල් සඳහාද ලබාදුන්නේ එහි ආරෝපිත තත්වය පිරික්සීමටයි.මා විමතියට පත් කරවමින් මුළු බිම්මහලම ආලෝකමත් වූයේ මගේ හද බිඳී යන තරමේ ශබ්දයක්ද සමගයි.දොරටුවේ අගුල මා දෑස් ඉදිරිපිට අළුවී ගොස් තිබුනා.මා ජීවිතයේ මෙතරම් අවාසනාවන්ත වූ දවසක් නැති තරම්.

පාලන පුවරුවේ උදව් ඇතිව විද්‍යුත් ධාරාව සමථයට පත් කිරීමට උත්සහ කිරීමේදි බිම් මහලට පැමිණෙන පඩිපෙල යටින් වූ දොරටුව විවෘත වනුද බිම් මහලට පිවිසෙන දොරටුව වැසෙනුද දුටුවා....

කසුනි......

මාගේ දෙතොල් මිමිණුනේ මට නොදැනීමයි.කිසිදු තුවාලයකදු නොමැතිව පැත්තෙන් පැත්තට හැරවෙමින් ඉදිරියට පැමිණෙමින් සිටියේ කසුනියි.ඔව් ඇය ජීවතුන් අතර නමුත් ඇයගේ මුහුණ දෙස බැලීම පවා බියකරු වූවා.ඇගේ දෙඇස් ඉලක්ක කරගෙන සිටියේ දිශා දෙකක්.දකුණු ඇසේ කළු ඉංගිරියාව දකුණු ඇසේ කෙලවරේද වම් ඇසේ කළු ඉංගිරියාව වම් ඇසේ කෙලවරේද තිබීම මා හද සලිත කිරීමට සමත් වූවා.ඇගේ කට දෙපසට ඇදී තිබුනේ දත් විලිස්සාගෙන සිටින සේයාවක් පෙන්වමින්. ඇය පැමිණෙමින් සිටියේ මා හුන් කුටිය ඉදිරියටයි.තව පියවර කිහිපයකින් ඇය ඇතුළුවන්නේ භයානක කලාපයකට.ඇය ටෙස්ලා කොයිල් මධ්‍යයට තබන එක් පියවරකින් ඇයව අළු බවට පත්කල හැකි තරම් ඒවා ආරෝපණය වී තිබුණා.

එන්න එපා කසුනීඊඊඊඊ....... නැවතියං.....

කුටියේ වූ යකඩ දැලට ගසමින් ඈට කෑ ගැසුවත් ඇය ඉදිරියට ඒම නැවැත්වූයේ නෑ.නමුත් ඇගේ හිස දෙපසට වේගයෙන් වැනෙන බව මට දැකගන්නට ලැබුනෙන් ඇය පත්ව සිටි තත්වය ගැන කුකුසක් සිතට දැනුනා.මා නැරඹූ වීඩියෝවේ මහාචාර්යතුමා පැවසූ වදන් මගේ මතකයට පැමිණියේ මේ මොහොතේදීයි.

ඔබට සිතෙන්නට පුළුවන් කසුනි සතු ආත්මයට කුමක් වන්නේද කියා.මා රැස් කරගත් තොරතුරු වලට අනුව එවන් කම්පන අවස්ථාවකදී බාහිරින් පැමිණෙන ආත්මය ප්‍රභල බැවින් එය ශරීරය අත්පත් කරගන්නේ පවතින ආත්මය යටපත් කරවමින්.


ඔහු කෙසේ කීවත් ඇගේ ශරීරය අසමතුලිත බවත් ඇගේ හැසිරීම් රටාවෙන් මා තේරුම් ගත්තේ ඇයට එක් තීරණයක් ගත නොහැකි අයුරක්.එසේ නම් ආත්ම දෙක උනුන් පරයා නැගී සිටීමට ශරීරය තුල සටන් වදිනවා විය හැකියි.විදුලියක් මෙන් මා සිතට පිවිසි අදහසක් නිසා නැවතත් ඈට ඇමතීමට වැරෙන් දැලට ගසන්නට වූයේ ඇගේ අවධානය යොමුකරගැනීමටයි.

කසුනී..... රිවිසර ඔයාට ආදරෙයි...........

කසුනිගේ පෙම්වතාගේ නම ඇසෙත්ම ඇගේ ගමන එක්වරම නැවතුනේ මගේ නිගමනය සාර්ථක කරමින්.මහාචාර්යතුමාගේ නමට කිසිදු ප්‍රතිචාරයක් ඈ දැක්වූයේ නෑ.නමුත් මගේ බලාපොරොත්තු සුන් කරමින් ඈ නැවතත් ඉදිරියට එන්නට වූවා.මා දෙනෙත් තද කර වසාගත්තේ ඈ අළුවී යන අයුරු බලා සිටිය නොහැකි නිසාවෙන්.නමුත් මා බලාපොරොත්තු වූ පරිදි  ටෙස්ලා කොයිලයෙන් ධාරා නිකුත්වන හඬක් නොඇසිණි.මා හට දැකගන්නට ලැබුනේ ඈ නොනැවතී ඉදිරියට එන ආකාරයක්.මීට හේතුව ඇගේ ශරීරය පරීක්ෂණයේදි නිකුත් වූ ධාරා සමග ආරෝපිතව ඇති බැවින් ඈ දැන් ආරක්ෂිත බැව් මා හට වැටහිණි.


ඉතාමත් ඉක්මනින් ටෙස්ලා කොයිල්වල ආරෝපණය වෙනස් කිරීමට මා පියවර ගන්නට වීමි.ඈ ඉලක්ක කොට විදුලි ධාරාවක් යවා ඇගේ ශරීරයේ සිටින අනෙක් ආත්මය වෙන් කිරීමට මා ගණනය කිරීම් සිදු කරන්නට වීමි.කුමන ආත්මය වෙන්වී යයිදැයි සිතාගැන්මට නොහැකි වුවත් කිරීමට ඉතිරිව තිබුනේ එපමණකි.මා මනසින් ඇඳ ගත් දුර ප්‍රමාණ වලට අනුව ඈ අදාල ස්ථානයට පැමිණෙත්ම මම පාලන පුවරුවේ වූ ස්විචය ක්‍රියාත්මක කෙරෙව්වෙමි.ඒ සමගම සංගීත නාදයක් නංවමින් ටෙස්ලා කොයිලයෙන් ධාරා නිකුත් විය....කපා හෙලන ලද කෙසෙල් කඳක් මෙන් ඈ ඇද වැටිණි.කෙමෙන් කෙමෙන් බිම් මහල අඳුරු වන සෙයක් මට දැනෙන්නට විය......
----------------------------------------------------------------------------------------------------------------------------
විශාල එලි කිහිපයක් මාගේ මුහුණ මත දි‍වෙනු මට දැනුනි.කෙමෙන් දෑස් විවර කරද්දී පොලිස් නිලධාරීන් මා වටා සිටි අයුරක් මා දුටිමි.නැගී සිටින්නට උත්සහයක් ගත්තද දෑත් දෙපය ගැට ගසා ඇති සෙයක් මට දැනෙන්නට විය.වටපිටාව පිරික්සීමේදි මා රථයක ගමන් කරන බවත් මහාචාර්යතුමාගේ හා තව කීපදෙනෙකුගේ සිරුරු මා වටා ඇති බවත් දැකගැනීමට ලැබුණි.ඒත් සමගම නැවතත් හාත්පසම අඳුරේ ගිලුණි
-----------------------------------------------------------------------------------------------------------------------------
විවිධ හඬවල් මා වටා ඇසෙන්නට විය.ඒ සියල්ල එක්වර අඳුනාගත නොහැකි වුවත් සෑහෙන හුරු පුරුදු ගතියකින් දැනෙන්නට විය.මද වේලාවක් යද්දී වටපිටාව පැහැදිලිව පෙනේනනටත් ඇසෙන්නටත් විය.මගේ මවද පියාද ඇතුළු කීපදෙනෙක් මාගේ ඇඳ වටා කතා බහක යෙදී සිටිනු හඳුනාගැනීමට හැකිවිය.

මම මේ කොහෙද?? කෝ කසුනි?? එයා මැරිලද??

මා හඬ නගා ඇසීමි.

බයවෙන්න එපා ලක්ෂිත.... ඔයා සෑහෙන්න දක්ෂ ශිෂ්‍යයෙක්.කසුනිට කිසිම අනතුරක් නෑ පහුගිය මතකය අමතක වීමක් පමණයි තියෙන්නේ එයත් යථා තත්වයට පත්කල හැකියි.ඔබ දැන් මාසයක් තිස්සේ සිහිමද තත්වයකින් පෙළුනා.අධික මානසික විඩාව හා ආතතිය එයට හේතුවෙන්න ඇති කියලයි අපි හිතන්නේ.

ඒත් මම හිතුවා.....

ඔබ හිතුවා කසුනි මියගොස් සියළුම වැරදි ඔබට භාරගන්න සිදුවෙයි කියලා.එහෙම නේද?

ඔව් සර්......මම මේ කිසි දේකට සම්බන්ධ නෑ මම එතනට යනකොටත් කට්ටඩියා මැරිලා හිටියේ

ඒ සේරම හරි පුතා..... මහාචාර්යතුමා සම්පූර්ණ පරීක්ෂණයම පටිගත කරලා තිබුණු නිසා ඔබ චෝදනා වලින් නිදහස්.නමුත් තව ටිකකින් පොලිසිය කටඋත්තර ගන්න එයි ඒක සාමාන්‍ය ක්‍රියාවලියනේ.

ඉතා දිගු සැනසුම් සුසුමක් හෙලා මා දෙනෙත් පියාගත්තේ හිතට දැනුනු සැහැල්ලුව විඳිමින්.මෙතෙක් වෙලා මා සමග කතාකරමින් සිටි විශ්ව විද්‍යාලයේ කුලපතිතුමා උරහිසට තට්ටුවක් දමා ඉවතට යන හඬ පවා මා අසා සිටියේ අපමණ සන්තෝසයෙන්.

සුව පහසු නින්දක් බලාපොරොත්තුවෙන් ඇඳේ අනෙක් පසට හැරීගත් මම මදකට දෑස් විවර කලෙමි.ඇඳ අසල වූ මේසයේ තිබුනේ මා සතුව තිබූ චීන දුරකතනය සහ පෙන් ඩ්‍රයිවයයි.....


ප/ලි

හිතුවට වඩා දිගින් වැඩිවුනා ඒත් එකපාරටම දැම්මා.හොඳ නරක කියලා යයි කියලා බලාපොරොත්තු වෙනවා.ඒ වගේම තමා මුලින් ලියපු කෙටි කතාවල ගුණ දොස් විචාරය කරලා නැවත මාව ලියන්න පොළඹවපු හැමෝටම බොහෝම ස්තූතියි.

Friday, April 27, 2012

මියැදුණු පෙම්වතිය-1 කොටස




මිනිසෙකුට සිටිය හැකි ස්ථානයක් යැයි සිතාගැනීමට පවා නොහැකි තරමට ඔහුගේ වාසස්ථානය ජරාවාස වී තිබුණි.විසිරී ගිය පොත් පත් කඩදාසි කුමක් හෝ අරගලයක සේයා රූ සිතේ මවන්නට සමත් විය.මහාචාර්යතුමා මා හට පැමිණෙන්න යැයි එවා තිබු පණිවිඩය මට ලැබුණේ ලැබිය යුතු දින ප්‍රමාදය වූ පසුවයි.පණිවිඩය ලත් විගස ඔහුගේ නිවහනට පැමිණියත් කුමක් හෝ දෙයක් වැරදී ඇති බවක් දැනුනේ නිරායාසයෙන්.

මුළු නිවසම අඳුරේ වෙලී පැවතුනු අතර විදුලි බලයද ඇණ හිට තිබූ නිසා එළියක සරණ පැතුවේ මා අත වූ චීන ජංගම දුරකතනයෙන් නිකුත් වූ මලානික ආලෝකයෙන්.මහාචාර්යතුමා මෙලෙස අපිලිවෙලට දිවි ගෙවූයෙක් නොවන බව මම හොඳාකාරවම දැන සිටි කරුණක්.අපිළිවෙල පෙන්නන්නට බැරිවූ ඔහු මෙසේ වෙනස් වෙන්නට ඇත්තේ ඇයිදැයි සිතාගැනීම මට අපහසු වූයේ නෑ.

මහාචාර්යවරයෙකු වූවත් ඔහු සිය පෞද්ගලික දිවියට වඩා ඇළුම් කලේ ඔහුගේ පර්යේෂණාගාරයේ කාලය ගත කිරීමටයි.අවුරුදු 50 ඉක්මවන තෙක් විවාහයකට පවා නොඑළඹි ඔහුගෙන් ඒ පිළිබඳ හේතු විමසූ විට පැවසූයේ තම නිදහස පර්යේෂණ සාර්ථකත්වයට බලපාන බවයි.නමුත් මා සමග සරසවි පිවිසි මගේ හිතවතියක සමග ඔහු බෙහෙවින් කුළුපගවී සිටීම විටෙක අපේ ඇස් වලට කටු වලින් අනින්නාක් මෙන් වූවත් ඇයගේද කැමත්තක් පෙළඹවීමක් ඒ සඳහා හේතු වූ බව දැනගන්නට ලැබුනායින් ඒ දෙස උපේක්ෂා සහගතව බැලීමට අපට සිදුවීම විටෙක ඉවසිය නොහැකි තරම් වූවා.

එක් දිනක හදිසියේම මා වෙත පැමිණි ඇය පැවසූ දෙයින් මා බිරන්තට්ටු වී ගියේ නොසිතූ දෙයක්ම සිදු වී ඇති බැවින්.ඇය මහාචාර්යවරයා සමග විවාහ දිවියට එළැඹ තිබුණා.අන් අය මෙන්ම මාද සිතුවේ ඇය මෙසේ ඔහුට ලංවී සිටින්නේ ෆස්ට් ක්ලාස් එකක් ලබාගැන්මේ අරමුණින් බවයි.නමුත් ඇය ඇත්තටම ඔහුට ආදරය කරනා බැව් ඇසීමෙන් මා විමතියට පත්වූවා.ඇය වැනි රූමත් තරුණියක් එවන් තීරණයක් ගනීවි හීනෙන්වත් නොසිතූවන් අතර මාද සිටින්නට ඇති.

කෙසේ නමුත් ඇයගේ හදිසි වියෝවෙන් පසුව ඔහු තනිකරම වෙනස් පුද්ගලයෙක් බවට පත්වූවා විටක සති ගනන් අතුරුදහන්ව සිට අපිළිවෙල ඇඳුමින් පුරුද්දට මෙන් සරසවියට ගොඩවෙන ඔහු දුටු විට අප සිත්වලටද දුකක් නොදැනුනා නොවේ.එවන් දිනක ඔහු හමුව කතා බහ කල මට ඔහුගේ වේදනාබර දෙනෙත කියාපෑවේ දෙතොලින් නොකියන ශෝකාලාපයක්.

මලානික එලියෙන් ඉදිරියට ගමන් කල මා එක්වරම ඇද වැටුනේ කුමක් හෝ පය පැටලීමෙන්.මා අතවූ චීන ජංගම දුරකථනයද අවසන් ගමන් ගොස් ඇති බව වැටහුනේ එවිටයි.කෙසේ හෝ දෑස් අඳුරට හුරු වූ පසු මා දුටු දෙයින් මා භීතියට පත් වූයේ මා පැටළී තිබුනේ මිනිස් සිරුරක නිසාවෙන්.භීතිය මැඩගෙන සිරුර අනෙක් පස පෙරළු විට මා දුටුවේ අප මහාචාර්යතුමාගේ ලේ වැකි මුහුණයි.සිහිසුන්ව සිටි ඔහු ඔසවා අසල තිබූ මේසයක් මත දිගා කරවා ඔහුගේ සිහි ගැන්මට යෙදූ ප්‍රයත්නය සාර්ථක කරමින් ඔහු කෙඳිරිල්ලක් පිට කරන්නට වූවා.

සර් මම ලක්ෂිත සර්ට මාව ඇහෙනවද
හ්ම්ම්........

ඔහෝම ඉන්න සර් මම උදව් අරන් එන්නම්.බය වෙන්න එපා

ඔහු එතැන දමා උදව් ගැනීමට පිටව යෑමට සූදානම් වෙද්දි ඔහු තරයේ මා අත අල්ලාගත්තේ කුමක් හෝ කීමට සැරසෙමින්.

කියන්න සර්,සර්ට මොනවද ඕනේ

91028.....3

සර්..... සර්....

ඔහුගේ ප්‍රතිචාරය වූයේ අත ඉදිරියට දිගු කර කල සෙලවීමක් පමණයි.ඔහ් දෑත දිගු කලේ කොයිබටදැයි බැලුවත් අඳුර මැද කිසිවක් ග්‍රහණය කරගැනීම සෑහෙන අපහසු වූවා.ඒ සමගම ඔහුගේ අත මේසය මතට කඩාගෙන වැටී මොහොතකින් ඔහු ජීවිතයෙන් සමුගත්තා.මට ඔහුගේ සාක්කු පරික්ෂා කිරීමට සිතුනේ අඩු වශයෙන් ජංගම දුරකතනයක් හෝ තිබේදැයි බැලීමටයි නමුත් ඔහු ජංගම දුරකතන භාවිතා නොකල වගක් මතකයට පැමිණියේ මද වේලාවක් ගතවූ පසුවයි.ඔහුගේ එක් සාක්කුවක වූ කුඩා විදුලි පන්දමක් සොයාගැනීමට මා සමත් වූවා.

විදුලි පන්දමද රැගෙන ඔහු පෙන්වූ දිශාවට ගමන් කරද්දි බිම් මහලකට යන පඩිපෙලක් ඇස ගැටුනෙන් බිම් මහල කරා මා ඇදුනේ නිරායාසයෙන්.විවිධ වර්ගයේ විද්‍යාත්මක මෙවලම් මෙන්ම ඔහු මහත් ඇළුම් කල ටෙස්ලා කොයිල්ද* හතර අත විසිරී තිබෙනු දැක්ම මා හට මහත් කුතුහලයක් දැනවීමට සමත් වුණා.ඉදිරියට යත්ම බිම හුන් කට්ටඩියෙකු දුටු මා හට මේ කුමන නාඩගමක්දැයි සිතුනේ මෙවන් වූ පර්යේෂණාගාරයක කට්ටඩියෙකුගේ කාර්යභාරය කුමක්දැයි සිතාගත නොහැකිවයි.නිසැකවම කට්ටඩියා මියැදී තිබුනේ විදුලි සැර වැදීමෙනි.මෙය මහාචාර්යතුමා දැනුවත්ව සිදු කලාක් යැයි සිතට කුකුසක් ඒ වන විට මා සිත පිළිසිඳියද එවැන්නක් කිරීමට ඇති අවශ්‍යතාව ගැන මා වික්ෂිප්ත වූවා.

බිම් මහලේ කෙලවරක එල්ලා තිබු මහාචාර්යතුමාගේ බිරිඳ වූ මා හිතවතියගේ පින්තූරය දුටු මා හට කඳුලක් නොනැගුනේ යැයි කීම මුසාවක්.ඒ දෙසට ඇවිදගොස් එය අතට ගන්නා මොහොතේ මට ඈ වෙනදාටත් වඩා පියකරුව පෙනුනේ මා හද තුලද ඈ කෙරෙහි උපන් ආලයක් තිබූ නිසාදැයි මා හට නොදැනුනු නමුත් පින්තූරය අතට ගන්නවාත් සමගම බිත්තිය පිටුපසින් විවර වූ දොරක් නිසා මා තැති ගත්තා.ඇගේ රාමුකරන ලද පින්තූරය පිටුපසින් විවරව තිබුනේ කුඩා දොරක්.ඒ සමීපයට ගිය මා හට දැකගත හැකි වූයේ එහි වූ කී පෑඩයක්.අවසාන මොහොතේ මහාචාර්යතුමා විසින් පවසන ලද අංක පිළිබඳ මට සිහිවූයේ එවිටයි ඒ මොහොතේ ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකලද එය මට මතකේ රැඳී තිබීම පිළිබඳව මා විමතියට පත් වුයේ එසේ එක්වරම පවසන දෙයක් මතකයට නගා ගැනීම සාමාන්‍යයෙන් අසීරු නිසාවෙන්.

කී පෑඩයේ අදාල අංක යොදනවිට එය මාගේ හැඳුනුම්පත් අංකයේ මුල් අංක කිහිපය බව මතකයට පිවිසිණි.අවසානයේ එම කී පෑඩය සහිත කුඩා දොරද විවර විය.එහි තුල වූයේ මා බලාපොරොත්තු වූ දෙයට වඩා වෙනස් දෙයකි.මා බලාපොරොත්තු වූයේ අන්තිම කැමති පත්‍රයක් හෝ පර්යේෂණ ග්‍රන්ථයක් වූවත් එහි වූයේ ලැප්ටොප් පරිගණකයක් හා වීඩියෝ කැමරාවක් පමණි.ලැප්ටොප් පරිගණකය මේසය මත තබා දිගහරින විට එහි වූ ලිපිය මා ඇස ගැටිනි.පරිගණකයේ කී බෝඩය මත තිබූ ඒ ලිපියෙන් කියවුනේ එහි ඇති යම්කිසි ගොනුවක් රැගෙන කැමරාවද සමග ගන්නා ලෙසටයි.අවශ්‍ය කේතය මා දැනටමත් දන්නා බවත්ය.

කෙසේ හෝ අවශ්‍ය ෆයිලය නිරතුරුවම මා සතුව තිබූ පෙන් ඩ්‍රයිව් එකට දමාගත් පසු ලැප්ටොප් පරිගණකය තිබූ තැනම රඳවා වීඩියෝ කැමරාවද ලියුමද රැගෙන නැවතත් මහාචාර්යතුමා සිටි ස්ථානයට ගියේ කුමක් කරන්නේදැයි සිතාගත නොහැකිවයි.ඒ යන අතරතුර වීඩියෝ කැමරාව ඔන් කොට එහි වූ දේ සොයා බලන්නට වූයෙමි.එහි ඉතිරිව තිබුනේ එක වීඩියෝවක් පමණකි.මා එය වහා විවෘත කොට නැරඹිමට සූදානම් වුනෙමි.

ලක්ෂිත....... මම ඔයාට එන්න කිව්වේ බොහෝම වැදගත් කාරණාවක් දැනුම් දෙන්න.යම් විදියකින් ඔයාට පණිවිඩය ලැබීම ප්‍රමාද වෙයි කියලයි මේ විදියට ඔයාට පණිවිඩයක් තියන්න හිතුවේ.මේ වීඩියෝව ඔයා නරඹනවා කියන්නේ මගේ පරීක්ෂණය කුමන හේතුවක් නිසා හෝ වැරදී තිබෙන බවක්.ඒ කියන්නේ මම ජීවතුන් අතර නෑ...

ඔබ මේ වන විට ලැප්ටොප් එකේ ෆයිල් එක කොපි කරගන්න ඇති කියලා මම හිතනවා එහෙම නොකලානම් ඉක්මනට එය කොපි කරගන්න.ඒ ෆයිල් එකේ මම සිදුකල සියළුම පරීක්ෂණ තොරතුරු ඇතුලත් වෙලා තියෙනවා.මගේ සිරුරත් කට්ටඩියාගේ සිරුරත් විනාශ කරන එක ඔබට භාරයි.මේ කටයුත්තට ඔබව තෝරාගන්න හේතුවක් තියෙනවා.මගේ බිරිඳ.... මගේ හිටපු බිරිඳ ඔබේ හොඳම මිතුරියක් මම ඒ බව දන්නවා.ඇගේ වියෝවෙන් ඔබ කම්පා වූ බවත් මම දන්නවා ඒ වගේම තමා මගේ බිරිඳ ඔබට සැලකුවේ එක කුස උපන් සහෝදරයෙකුට වගේ.ඔබත් එසේම බව මම දැනගෙන හිටියා....

ලක්ෂිත.... ඔබ දන්නවා මම කෙතරම් ඇයට ආදරය කලාද කියලා.ඒත් මට ඇයව අහිමි වුණා මට ඒක දරාගන්න අමාරු වුනා.ඇයගේ ස්ථානය වෙන කාටවත් ගන්න බෑ ඒ වගේම ඇයව නැවත ලබාගන්නත් බැරි බව මා දැනගෙන සිටියා.නමුත් ඇගේ කටහඬ එක පාරක් අහන්න ඇයට සමුදෙන්න ඇත්නම් කියලා මම හිතින් තැවුණු වාර අනන්තයි.ඔහොම ඉන්නකොට මට ආරංචි වුනා මලවුන් නැවත ගෙන්වා කතාකල හැකියැයි පැවසූ කට්ටඩියෙක්.දැන් ඔබ කල්පනා කරනවා ඇති මට පිස්සු ඇති කියලා ඔව් ලක්ෂිත මම හිටියේ පිස්සුවෙන් වගේ තමයි.ඈත් සමග ඒ කතාකල සැඳෑව මට තාමත් මතකයි මට ඈව වෙනදාටත් වඩා අවශ්‍ය වුනා ඒත් ඒ හඬ විතරක් අසන්න නෙමෙයි....

කට්ටඩියෙකුට ඇගේ ආත්මය නැවත ගෙන්විය හැකිනම් ඇගේ ආත්මය වෙනත් සිරුරකට බද්ධ කර මට ඈව ලබාගැනීමට කුමක් හෝ අවස්ථාවක් ඇති බව මට කල්පනා වූයේ එවිටයි.රැයක් දවාලක් නැතිව ගොඩනැගූ මගේ මතය සැබෑවක් බවට පත්කරගැනීමට තිබුනේ 0.0001% පමණ හැකියාවක් පමණයි.ඒත් එය මට හොඳටම ප්‍රමාණවත් වුණා.ඔබ දන්නවා මගේ විශේෂත්වය ටෙස්ලා කොයිල් සම්බන්ධව බව.විවිධ රටවලින් වාර්තා වෙලා තිබුණු ආත්ම සිරුරට වැදගැනීම් වැනි දේවල් ගැන අධ්‍යනයකින් පසුව මට තේරුණා අධික විද්‍යුත් ධාරාවක් මගින් මේ දේ කල හැකි බව.මා මුලින් මගේ විශේෂත්වය ටෙස්ලා කොයිල් ගැන යැයි පැවසුවේ ඇයිදැයි ඔබට වැටහෙනවා ඇති.

අවසානයේදි මම විශාල ගැටළුවකට මුහුණ පෑවා.මේ පරීක්ෂණය සාර්ථක වීමට නම් මගේ බිරිඳට සමාන ශරීරයක් ඇති ඒ හා සමාන වයසක් ඇති ගැහැණු ළමයෙක් අවශ්‍ය වුණා....

වීඩියෝව තව දුරටත් නැරඹිය නොහැකි මානසිකත්වයකයි මම සිටියේ.මියැදුණු කෙල්ලකගේ ජීවිතය වෙනුවෙන් අහිංසක ජීවිත දෙකක් බිලි දෙන්නට තරම් මේ උගත් මනුස්සයා පෙළඹුනායැයි සිතීම පවා මා සිතට වේදනාවක් ගෙන දුන්නා....වීඩියෝවේ ඉතිරි කොටස බලම්දෝ නොබලම්දෝයි දෙගිඩියාවකිනුයි මා සිටියේ වෙව්ලන ඇඟිලිවලින් නැවතත් මම ඒ වීඩියෝව ධාවනයේ යෙදුණා...

ප/ලි

පින්තූරේ ගත්තේ මෙතැනින් http://horrorfrommars.com/wp-content/uploads/2010/10/dneg_tesla1.jpg

තනි කොටසකට පල කිරීමට බලාපොරොත්තු වුවත් දීර්ඝ වූ නිසා කොටස් දෙකකටයි පල කරන්නේ...කෙටි කතාවක් ලෙස ලියන්නයි ගත්තේ ඒ නිසා කෙටි කතා ලේබලයටම දැම්මා.හැමදාමත් වගේ ඉතින් ගුණ අගුණ ගල් මුල් හැම දෙයක්ම බලාපොරොත්තු වෙනවා.

Wednesday, April 11, 2012

අනතුරක් කල හදියක්-7 කොටස(වෙද ගෙදර වඩු මඩුව)



මම වෙද ගෙදරට ගොඩ බැහැලා සති එකහාමරක් විතර යද්දි ලොකු වෙද මහත්තයා තීරණය කරලා තිබුනා වෙද ගෙදර හදන්න නියමිතව තිබ්බ අළුත් වාට්ටුව ඉක්මන් කරන්න ඕනේ කියලා.ඉතිං මට මේ ආරංචිය ලැබුනු දවසෙම හවස වෑන් එකකින් මොකක්දෝ භාණ්ඩයක් අරං ඇවිල්ලා හෝමාගම අක්කා ලැප තියංහිටිය පිළිකන්නේ වලං මැස්ස හරියේ පොඩි හට් කෑල්ලක් එහෙම ගහලා තැන්පත් කලා.එදා ටිකක් වැස්ස දවසක් නිසා ඔළුව දාලා බලන්න බැරිවුනා මොකක්ද මේ වහලා කරලා ගෙනාවේ කියලා....

ඒ වෑන් එක ගියායින් පස්සේ තමා මට මීටර් වුනේ මේ ආපු භාණ්ඩේ එක්ක තව අයියා කෙනෙකුත් ඇවිල්ලා ඉන්නවා කියලා වෙද මහත්තයලානම් බාසුන්නැහේ කියලා කතා කලා ඒත් වැඩි වයසක් පේන්නත් නැති එකේ මම පට් ගාලා නමක් හදාගත්තා ඒක තමා බාසු අයියා
පහුවදා උදේ කසාය එක බීලා කුස්සියට රිංගුවා සුපුරුදු පරිදි සීනි ටික කටේ හලාගන්න.හැබැයි පිළිකන්නෙන් ලී ඉරන සද්දයක් ඇහෙනවා එතකොටයි මතක් වුනේ ඊයේ හැන්දෑවේ ගෙනාපු භාණ්ඩේ...ඒ කියන්නේ ලී ඉරන අයිටම් එකක් තමා ගෙනත් තියෙන්නේ.සීනි ටික අල්ලට හලාගෙන ෂේප් එකේ ඔළුව දැම්මා මොකෝ වෙන්නේ බලන්න.පුංචි පහේ ලී ඉරන මැෂිමකින් බාසු අයියා ලී ඉරනවා.... ඉරනවා කිව්වට ලෑලි මට්ටම් කිරිල්ලක් වෙනවා තමා දැක්කේ පොඩ්ඩක් කැරකිලා බලද්දි...හැබැයි ලී ඉරන්නත් බැරි කමක් නෑ.... මාත් අල්ලේ සීනි කන ගමන් බලාගෙන හිටියා...

එතකොටම බාසු අයියා කතාවට බැස්සා.ආගිය තොරතුරු එහෙම කතා කරලා බැලින්නම් බාසු අයියා ගම්පහ පදිංචි කෙනෙක්... වාට්ටුවට ඕනේ ඇඳන් ටිකකුයි තව ජනෙල් උළුවහු වෙද ගෙදර නැවතිලා ඉන්න ගමන් හදන්න තමා එයා ඇවිත් තියෙන්නේ.හැබැයි ඊට වඩා වැදගත් කාරණයක් දැනගත්තේ පොඩි වෙද මහත්තයා ඇවිල්ලා කියපු කතාවෙන්...

ආහ් අපේ මංත්‍රීතුමා උදෙන්ම වැඩට බැහැලා වගේ... අනේ ඔබතුමා වගේ රට කරවන අනික් ඈයොත් නිහතමානීව ඉන්නවනම් මොනා කරන්න බැරිද

නිහතමානිත්වය තියෙද්දි රට කරවන්න බෑනේ පොඩි වෙද මහත්තයෝ ඒකනේ අපි මෙතන ඉතුරු වෙලා ඉන්නේ

ඒ දෙන්නගේ දෙබසෙන් මාව උස්සලා පොලේ ගැහුවා වගේ මඤ්ඤං තත්වෙකට මාව පත්වුනා... දැන් අහන්නත් ලැජ්ජයි මොකක්ද මේ හතර බීරි කතාවේ තේරුම කියලා.

පැය බාගයක් විතර ලංකාවේ දේශපාලනේ අමිහිරි පැති ගැන සංවාදයක් ඇදුනා හැබැයි බාසු අයියගේ කථිකත්වයයි ඒ තියෙන දැනුමයි නියමෙට එලියට ආවේ ඒ සංවාදෙන්.මෙහෙම දැනුමක් තියෙන මේ මනුස්සයා ලී ඉරන මැෂිමක් එක්ක ඔට්ටු වෙන්නේ අහවල් බම්බුවකටද කියලත් හිතුනා.ගම්පහ ඉන්න අයනම් දන්නවත් ඇති සමහරවිට ජනතා විමුක්ති පෙරමුණ යටතේ ගම්පහෙන් තරඟ වැදුණු කෙනෙක් එයාගේ නමේ අගටත් වංශ කියන කෑල්ල තියෙනවා මට මතක හැටියට.මංත්‍රීතුමා කියලා කතා කලාට පහුගිය අවුරුද්දේ තරඟ වැදුණු අපේක්ෂකයෙක් පමණයි කියලා බාසු අයියා මට කිව්වා.

මම වෙද ගෙදරින් එනකන්ම බාසු අයියා වෙද ගෙදරට වෙලා නැවතීගෙන වෙද ගෙදර වැඩයි වෙද මහත්තයගේ සාත්තු සප්පායම් වැඩයි සෑහෙන්න කරට ගත්තා.ඉතිං ඒ කාලේ මට මලක් කඩාගෙන නිදහසින් ඉන්න කාලයක් හම්බුනා මේ වඩු මඩුවට පිංසිද්ධ වෙන්න.උදේම නැගිටලා වඩු මඩුවට වෙලා හිටියා විතරක් නෙමේ අත්උදව් පවා දුන්නා.

වඩු වැඩට උවමනා වෙන කූඤ්ඤ උල් කරන්න තමා මට මුලින්ම කියලා දුන්නේ කොයිතරම් කැපවීමෙන් වේගයකින් ඒක කලාද කිව්වොත් එයා දැං ඇති කියන්න හදද්දි මම කුඤ්ඤ දෙසිය පනහක් තුන්සීයක් උල් කරලා හමාරයි.උල් කරපුවායෙන් කරන්නත් වැඩක් තියෙන්න එපායැ ඉතින් උල් කලා වගේම ඒවාගෙන් ලෝකේ නැති ජාති කරන්න ගත්තා.ඕං එතකොට තමා මගේ සූටි මොලේට කී ටැග් එකක් හදන්න ඕනේ කියන අදහස ආවේ.බොහෝම ප්ලෑන් කරලා එහෙම වැඩේට බැස්සා මගේ අදහස උනේ මගේ ආදරීට තෑග්ගක් විදියට මගේ අතින්ම හදපු කී ටැග් එකක් දෙන එක.මම ඉතිං ඒ වැඩේට පාවිච්චි කලේ පීරකුයි,අර ලී පොලිෂ් කරන මැෂින් එකයි(වැලි කඩදාසි අලවලා ලී මදින එක... ග්‍රයින්ඩර් එක කියලද මංදා කියන්නේ[හැබැයි ඉතින් ඒක වැඩ නොකරන වෙලාවක මගේ කී ටැග් එක අරන් ගිහින් ග්‍රයින්ඩරේ කකුල් දෙක අස්සේ හිරකරගෙන කී ටැග් එක අරන් ග්‍රයින්ඩරේ අතුල්ලන එක තමා කලේ])…

පලවෙනි ට්‍රයි එකේ හිල විදින්න ගිහින් කී ටැග් එක විනාස වුනානේ.කොහොම හරි දෙවෙනි ට්‍රයි එකෙන් ලස්සන මැණිකක ස්වරූපයට ලීය හදාගෙන හිලකුත් විදගත්තා.දැං ඒක ආදරී ගාව ෆොටෝ එකක් ගත්තට ෆොටෝ එක දැන් නෑ නැත්තම් ඒක දාන්න තිබුනා.

ඊට පස්සේ තමා මට මතක හිටින්න කියලා සමරුවක් හදන්න ගත්තේ.ඔය උඩින් දාලා තියෙන්නේ ඒ හදපු කී ටැග් එක තමා.මම මුලින් හදාගත්තු කූඤ්ඤයක් තමා මිට වෙනුවට කාවද්දලා තියෙන්නේ ඕක ඔහොම හදාගන්න මට සතියක් විතර ගියා කොහොම හරි බාසු අයියගේ හැම භාණ්ඩයක්ම මගේ පර්යේෂණ කටයුතු නිසා මොට්ටම වෙනකන් මම වැඩේ කරගෙන ගිහින් තිබුනා.වෙද මහත්තයා සතුටින් හිටියේ එයාගේ වාට්ටුව හදලා දෙන්න මම සෑහෙන්න මහන්සි වෙනවා කියලා හිතලා ඒ නැත්තම් මාව ගහලා පන්නනවා...

කොහොම හරි මම මගේ බැට් එක හැදීමේ පර්යේෂණයේ නිරත වෙලා ඉන්නකොට පොඩි වෙද මහත්තයත් කියතක් අරං ලී ඉරනවා පැත්තක ඉඳන්.... බාසු අයියා යතුකැටේ අරන් ආවා එයාගේ ජනෙල් රාමුව ගාගන්න.මටත් එතකොට හිතුනා අඩේ පුංචි යතු කැටයක් තිබුනනම් මගේ බැට් එකත් ලස්සනට මට්ටම් කරගන්න තිබ්බනේ කියලා.ඉතිං මම හැරුණු ගමන් බාසු අයියගෙන් ඇහුවා....

මේ බැට් එක මට්ටම් කරගන්න සයිස් යත්තක් එහෙම නැද්ද අයියේ....??

ඕකට සෝක් යත්තක් තියෙනවා මල්ලි හුන්තං යත්ත කියලා ඒක හම්බුවෙච්ච දවසක මට්ටම් කරගනින්කෝ.... බාසු අයියා තාම බැඳල නෑනේ

ගැහිලා ගැහිලා මගේ ටියුබ් ලයිට් එකත් පත්තුවුනේ සෑහෙන්න වෙලාවකට පස්සේ
මම හදපු බැට් එකේ තවත් පින්තූරයක්
ස්ටෙප්ලර් එකකට හේත්තු කරන ලද බැට් එක හා බෝලේ


ප/ලි
ඔයාලා හැමෝටම සුභම සුභ අළුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝගෙම සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුවෙලා ලබන්න වූ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා....