Tuesday, October 29, 2013

අමර ගල,සිරි දිගන මරණීය චාරිකාව...



මා මේ කියන්නට යන්නේ මා ජීවිතයේ බිහිසුණුම අත්දැකීමක් ලැබූ ගමනක් පිළිබඳවයි.ආපස්සට හැරී බලනවිට එය කෙතරම් මෝඩ ක්‍රියාවක් යැයි සිතුනද එම අවස්ථාවේ නම් මා හට දැනුනේ එය මා ජීවිතයේ ලද ජයග්‍රහණයක් ලෙසිනි.

සියල්ල ඇරඹුනේ හදිසියේම ආදරීට ඇතිවූ අසනීපයක් නිසා ඇයව මහනුවර ඇගේ නිවෙසට ඇරලවන්නට යාමට සිදුවීමත් සමගිනි.රැකියාවක් කරමින් සිටි ඒ සමයේ සිකුරාදා දින නිවාඩුවක් ලබා පිටත් වූ මා නවාතැන් ගැනීම සඳහා පිවිසියේ තෙල්දෙණියේ පිහිටි මාගේ නැන්දාගේ නිවෙස වෙතයි.

පසු දිනම නැවතත් කොළඹ බලා පැමිණීමට අදහස් කරගෙන සිටියද මාගේ ඥාති සොයුරාගේ කීමට දෙදිනක්ම එහි නැවතීමට තීරණයක් ගත්තෙමි.ආගිය තොරතුරු කතාකරමින් සිටින අතරතුර නුවන් අයියා පෙන්වූ ඡායාරූප පෙළකට මගේ සිත ඇදී ගියේ එවන් අත්දැකීමක් මා මින් පෙර ලබා නොතිබූ බැවිනි.එම ඡායාරූප කිහිපය හුන්නස්ගිරියේ සංචාරයක සොඳුරු අත්දැකීම් සටහන් වී තිබිණි.එය දුටු මොහොතේ සිටම එවන් වූ අත්දැකීමක් ලැබේ නම් යන සිතුවිල්ල මගේ සිත වසාගැනීමට සමත්විය.

දෙදිනක්ම මා තෙල්දෙණියේ නැවතී සිටින බැවින් කෙසේ හෝ මෙවැනි ගමනක් යෑමට මතුවූ අවශ්‍යතාව නුවන් අයියාට පවසමින් ඔහුට ඇණයක් වීමට මම ඉටා ගත්තෙමි.නමුත් එම අදහස ව්‍යර්ථ වූයේ ඒ වන විට පැවති වර්ෂාවත් සහ ඉතිරිව තිබූ දවසක කාලය හුන්නස්ගිරියට යෑමට තරම් ප්‍රමාණවත් නොමැති බව ඔහු පැවසූ බැවිනි.නිවසට වී සිටීම තිත්ත වූ තැන අපි දෙදෙන තෙල්දෙණියේ රවුමක් යෑම සඳහා පිටත්වූයේ දහවල් 12 ට පමණය.ඒ යන අතරතුර මී මැසි පාලනයක් සිදුකරන නුවන් අයියාගේ මිතුරෙකු පිළිබඳ මා සමග පැවසූ අතර ඔහුව මුණගැසීමට හැකිවුවහොත් ඇති පදම් මී පැණි කෑ හැකි බව පැවසූයෙන් ඒ ගැන කෑදරකමක් මටද ඇතිවිය.එම මොහොතේම ඔහු අමතා තෙල්දෙණියේදි හමුවීමට යොදාගත් නුවන් අයියා අසල තිබූ බේකරියකට ගොස් පාන් ගෙඩියක්ද රැගෙන ආවේය.

"පාන් ගෙඩියක් මොකටද?"

"ඉන්නවකෝ අරූ එනකන් ඊට පස්සෙ දැනගත්තෑකි"

"හ්ම් හ්ම්"

මදකට නිහඬ වූ අප සිරිදිගන දෙසට හැරෙන මාර්ගය දෙසට වී මග බලා හිඳින්නට වූයේ නුවන් අයියාගේ මිතුරා වූ අමර අයියා පැමිණෙන තුරුයි.පැය භාගයක පමණ කාලයකදී ඔහුද එම ස්ථානයට පැමිණි අතර විනාඩි කීපයක කතා බහකින් අනතුරුව ඔහු යමං මල්ලි යැයි පවසමින් ඉස්සර විය.

"මී පැණි නම් තියෙයි කියලා හිතන්න අමාරුයි මේ දවස්වල මල් නෑ අනික වැස්ස.පැණි තිබ්බොත් උඹේ වෙලාව"

"ඒකට කමක් නෑ මං මේ නගින්න කන්දක් හොය හොය ඉන්නෙ... "

"යමංකො යමංකො උඹට කඳු එපා කරවන්න"


අමර අයියාගේ ගෙදරට යන මග අතරමැද

සුන්දර වටපිටාව


ලොරි පවා පිඹගෙන යන පාරකි

අමර අයියා සහ නුවන් අයියා

කුඩා දියපහරවල් හැමතැනම

කෝටි ගානක ගල් (දැනටමත් කඩන්න සූදානමින්)

එම ගල් කන්ද පසුකිරීමට විනාඩි 15ක් පමණ ගතවිය

අතරමග දියපහරකින් විඩා නිවාගනිමින්(අතේ ඇත්තේ පාන් ගෙඩියයි)


පැය එකහමාරක පමණ ගමනකින් අමර අයියාගේ නිවසට ලඟාවීමට හැකිවිය.ඒ වන විට අනිත් දෙදෙනා කෙසේ වුවත් මා සිටියේ ඇඟිල්ලෙන් ඇන්නත් වැටෙන තරම් මහන්සියකිනි.නිවස තුලට යත්ම කොහේදෝ සිට පැමිණි තඩි බල්ලෙක් පැමිණියෙන් මා ඉද්ද ගැසුවාක් මෙන් සිටගත්තේ බලු තඩියන්ට මා පෙන්නන්නට බැරි බව දන්නා හෙයිනි.නමුත් ඌ සුරතල් බලුතඩියෙක් බව මොහොතකින් වැටහුනේ අමර අයියාගේ විධාන වලට රංගනයේ යෙදුනු අපූරුව දුටු බැවිනි.

නුවන් අයියා ඒ වන විට පාන් ගෙඩිය ඒ මේ අත සොලවමින් සිටියේ අමර අයියාට මී පැණි අරන් වරෙන් නොකියා කීමට මෙනි.සුළු මොහොතකින් මී පැණි ජෝගුවක්ම රැගෙන පැමිණි අමර අයියා ආ ඉතින් දැන් කාපන් ඉතුරුවා බීපන් යැයි පැවසුවේ සිනාසෙමිනි.

අවසරය ලද ඇසිල්ලෙන් මී පැණි ජෝගුව පිඟානකට වක්කරගත් මා පිස්සුවෙන් වගේ කෑමට පටන්ගත්තේ මී පැණි දුටු විට ඇතිවූ අමුතු බඩගින්න නිසාවෙනි.ඒ දුටු අමර අයියා නොනවත්වා සිනාසෙන්නට විය.කටේ පුරවාගත් පාන් කැබලි එසේම තිබියදී ඇයි හිනාවෙන්නේ යනුවෙන් මා ඇසූ විට ඔහු පැවසූවේ...

"යකෝ... පරිප්පුයි හොදියි කනවා වගේ මී පැණි එක්ක පාන් කන්න බෑ.හිටහං කන හැටි පෙන්නන්න"

"හ්ම්..."

"ඉස්සෙල්ලා පාන් කෑල්ල පැණි එකට දාලා පොඟවගනින් එතකොට යන්තම් ඝනකමට පැණි බැඳෙනවා ඕන්නං දෙපැත්තම එහෙම පොඟවගෙන කාපං එතකොටයි රස"

ඕං ඔහොමයි පැණියි පානුයි කන්නේ

එම ක්‍රමය පැණි සමග පාන් කෑමට කියාපුම ක්‍රමයකි.පැණි වල නියම රස දැනෙන්නට වූයේ ඉන්පසුවයි.නුවන් අයියාත් මාත් නොනවත්වා කෑවේ තව පාන් ගෙඩියක් ගෙනාවේනම් යෙහෙකැයි කියමිනි.නමුත් අවසන් පාන් පෙත්තට ලඟා වන විට එයට අත තැබීමේ කිසිදු ආසාවක් අප දෙදෙනා තුලම නොවිනි.කෙසේ හෝ එම පාන් පෙත්තට දෙවෙනි නොවූ මා එක කටට එය ගිල දැම්මේ මෙවන් අවස්ථා ලෙහෙසියෙන් නොපැමිණෙන බව දන්නා බැවිනි.ස්වල්ප මොහොතක් යනතුරු උන් ඉරියව්වෙන්ම වැතිර සිටි අපගේ නෙත් වලින් මත්වූ බවක් දිස්වුනු බව අමර අයියා පසුව පැවසීය.

විනාඩි කීපයක් ගතවූ තැන අමර අයියා මා අමතා ඇසුවේ කන්දක් නැගීමේ ආසාව තවම පවතීද යනුවෙනි.ඒ මොහොතේ දෙවරක් නොසිතා දැන් නං ඕනතැනක නැගතෑකි යනුවෙන් පැවසූ මා නැගීසිටි වේගයට පිඟානද තව ඩිංගෙන් කැබලි වන්නට තිබිණි.

"මේ ලමයිව අර බෑවුමේ එහෙම එක්කන් යනවා එහෙම නෙමෙයි... මත් වෙලා ඉන්නේ හොඳටම" එසේ පැවසූවේ අමර අයියාගේ මව්තුමියයි.

"මුංට ඒකෙ යන්න බෑ අම්මෙ මට මුංව උස්සගෙන තමා එන්න වෙන්නෙ එහෙ ගියොත්"

පසුව අමර අයියාගේ ගේ පිටුපසින් අප ඒ විශාල කන්ද තරණය කිරීමට පිටත් විය.අමර අයියාගේ බලු තඩියාද පිම්මේ අප පසුපස හඹා ඒමට විය.අමර අයියා කීප වරක්ම ඔහුව ආපස්සට එලවාගෙන ගියද ඌ උගේ අදහස වෙනස් කිරීමේ තීරණයක නොවිනි.අවසානයේ ඌට ඕනැ එකක් කරගන්නට දී අප අපේ පාඩුවේ කන්ද තරණය කිරීම නැවත ආරම්භ කලෙමු.

"ඒ ඉක්මනට එනවා ඔය පෝං එක පැත්තක දාලා"

අප ආ මග

පැය භාගයක පමණ ගමනකින් අනතුරුව අමර අයියා  එක්වරම ගමන නතර කලේ නුවන් අයියාවද මාවද භීතියට පත් කරවමිනි.

"පාර වැරදුනා වගේ බං... මෙතනින් එහාට යන්න බෑ හෙන පල්ලමක් තියෙන්නේ ඔතනින් යන්න අමාරුයි.කටු පඳුරු හැමතැනම.ආයේ යමං අනිත්පැත්තට"

"කමක් නෑ පල්ලමේ යං ලිස්සන එකක් නෑ" ඒ මාගේ කටහඬයි

"යමු හැබැයි වැටෙන්න ගියොත් කටු පඳුරු කියලා බලන්නැතුව අතට අහුවෙන එක අල්ලගනින්"

“ඒක නෙමේ කෝ ටයිසන්?" අප සැමටම බලු තඩියාව මතක් වූයේ එවිටයි.

උගේ නම කියා කෑ ගසමින් අප කටු පඳුරු සහිත බෑවුම තරණය කිරීමට පටන් ගතිමු.


"ඔළුව පාත් කරන් වරේ...න්"

"හිමින් වරෙන් යකෝ ලිස්සනවා"

ඡායාරූපයක්වත් ගැනීමට නොහැකි ආකාරයේ කටු පඳුරු ගොන්නක පැටලී හරඹ කරමින් පැයක පමන කාලයක් ගතකර යන්තම් සමතලා භූමියකට පැමිණියේ "ඇති යාන්තම් " කියමිනි.නමුත් ඉදිරියෙන් දිස්වූ ගල් තලාව දෙකකුල් පණ නැති කරවීමට සමත් විය.එම ගල්තලාවට පිවිසෙන ස්ථානයේ ටයිසන් නැමැති තඩි බල්ලා වැතිරී සිටි අතර අප දුටු වහාම ඌ කෙඳිරිගාමින් ඉදිරියට පැමිණියේ අමර අයියාගේ කරට පැනීමට මෙනි.කොට කලිසමක් ඇඳගෙන පැමිණීමේ විපාක ගැන සිහිකරමින් මා ඉදිරියට ඇදුනෙමි.

"ගැමියා මල්ලි.. මේක තමා අම්මා කියපු බෑවුම.හොඳට හිතලා කියහං මහන්සිද මේකෙ නැගතෑකිද කියලා.නගින්න අඩිය තිබ්බට පස්සෙ ආයෙ හැරෙන්න බෑ පල්ලෙහාට තනි බෑවුමක් තියෙන්නෙ"

"අයියෝ මේකත් බෑවුමක්ද මේකෙ ඇවිදගෙන යතෑකි.."

"කමක් නෑ කෝකටත් බඩගාගෙන නැගපං"

වහින්න කලින් වරෙන් වැස්සෙ යන්න අමාරුයි

වරෙං බං බලාගෙන ඉන්නෙ නැතුව

සිත දෙගිඩියාවෙන් යුතුව සුලු මොහොතක් බෑවුමට මෙහායින් සිටියද බලු තඩියාද දෙවරක් තුන්වරක් ඉදිරියට යමින්ද නැවතත් මා සිටි දෙසට පැමිණෙමින්ද නෝන්ඩිය දැමු බැවින් ඕන එකක් වෙච්චාදෙන් යන හැඟීමෙන් යුතුව එම ගල් පොත්ත නැගීමට පිවිසුනෙමි.

අඩි කිහිපයක් පමණ කිසිදු අමාරුවකින් තොරව මේකත් කන්දක්ද යැයි පවසමින් නගින්නට වුවද එක්වරම පය තැබූ ගහක මුලක් ගැලවීමෙන් මා ලිස්සා ගල් පොත්ත මතම ඇද වැටුනි.ඒ සමගම පහල බැලූවෙන් ඇස් නිලංකාර වීගෙන පැමිණියෙන් අයියේ යනුවෙන් කෑ ගැසීමට සිදුවිය.ඒ මොහොතේ නුවන් අයියා මා සිටි දෙසට ඒමට සැරසුනද අමර අයියා නුවන් අයියාට නවතින්න යැයි කෑ ගැසීය.

"උඹ හිටහං නුවන් උඹට හුරු නෑනේ.. මල්ලි ඔහොම්ම අල්ලගෙන හිටහං කකුල තිය තිය ලිස්සන එක නවත්තපං"

ඒ වන විටත් ස්වල්ප වශයෙන් මා කන්ද පහලට ලිස්සීම ආරම්භ කර තිබුනේ ගල් පොත්තේ කැඩී ගිය ගල් කැබලි වලට මුළු ඇඟම සීරීමට පත් කරවමිනි.අමර අයියා කී පරිදිම කකුල් තැබීමට උත්සහ කලද දනිහ සීරෙනවාට වැඩි යමක් සිදු නොවිනි.මරු විකල්ලෙන් පීනන එකෙකු මෙන් අත් පා ගසමින් ගල්පොත්තේ එල්ලී සිටීමට දැරූ තැත අවසානයේ සාර්ථක වීමෙන් කන්ද පහලට ලිස්සීම අවම කරගැනීමට මා සමත්විය.ඒ සමගම කොහේදෝ සිට පැමිණි බලු තඩියා කෙඳිරිගාමින් මගේ අත ලෙවකන්නට විය.එය වෙන වෙලාවක සිදුවුනි නම් අනිවාර්යෙන්ම මම අත ගසා දමනු නියතය.නමුත් ඒ මොහොතේ ජීවිතය රැඳි තිබුනේ අතට අසුවූ එම සියුම් ගල් කුහරයක් නිසාවෙනි.

අමර අයියාටද මා සිටි ඉසව්වට ලඟාවීම එතරම් පහසු කාර්යයක් නොවිනි.මා ආරම්භයේ සිටම එම ගල්පොත්ත තරණය කිරීමට වූයේ අතරින් පතර වැවී තිබූ ගස් ආධාර කරගනිමිනි.එය කොතරම් අණුවන් ක්‍රියාවක්දැයි වැටහුනේ අමර අයියා පහලට පැමිණෙන අතර තුර කිසිදු වෙහෙසක් නොදරා ගස් කීපයක් උගුල්ලාගෙන එන අයුරු දුටු බැවිනි.ඌ අත අනුභව කලද දැන් ඉතින් අත අරින්නේ නැත.

තව අඩියක් පහලට ලිස්සා ගියේ නම් මාගේ කෑලි ඇහිලීමට අන්වීක්ෂයක් අවශ්‍ය වන බැව් පවසමින් අමර අයියා මාගේ කරට අතක් දමාගෙන වත්තම් කරමින් මදක් දුරට මා හට ආධාර සැපයීමට ඉදිරිපත් විය.ඉන්පසු ඉතුරුව තිබුණේ අවසන් කොටසයි.එම කොටස අඩි 10ක පමණ ගමනකි නමුත් අවම වශයෙන් අංශක 75ක් පමණ ඇලවූ ගල් පොත්ත නැගීමට මා හට සිදුවී තිබුණි.ආපසු හැරීමක් නොමැත කෙසේ හෝ එය තරණය කල යුතුම විය.

ගල්පොත්ත දෙපසින්ම වූයේ ඝනව වැඩුණු කැලෑ රොදයි.ඒ සමග විශාල ගස්වල උස තුරු මුදුනු ඇස් මට්ටමේ දැක ගැනීමටද හැකියාවක් ලැබුණි.

උස් තුරු මුදුනක අසිරිය

අවසානයේ ත්‍රාසජනක චිත්‍රපටවල කඳු නගින්නන් සේම කිසිදු ආධාරයක් නොමැතිව අත පයේ හයියෙන් එම අවසන් කොටස තරණය කිරීමට අප සමත්විය.කඳු මුදුනට පිවිසෙනවාත් සමගම සිහින් වැසි පොදයක් ඇද හැලෙන්නට වූ අතර මුළු පලාතටම ඇසේයැයි සිතා ඇති උපරිම වෙර ගෙන මා කෑ ගැසුවේ අභියෝගයක් ජයග්‍රහණය කිරීමෙන් ලැබෙන ඉහළම සතුට අත්විඳිමිනි.

කාලේ හැටියට ඔප්පු කිරීමට රූපයක් උවමනාමය..(බුකි පොටෝවේ ඇති ඇඳුමමය)

කඳු මුදුනේ සිට වම් පැත්ත බැලූ විට

මේ පෙනෙන්නේ රංගල ලු

කඳු මුදුනේ සිට දකුණු පැත්ත බැලූ විට

මේ පෙනෙන්නේ වික්ටෝරියා ජලාශය 

නැවතත් රංගල

වික්ටෝරියා ජලාශය පසුබිමින් සහ මේ මං අනිත් දෙන්නත් ඉන්නවා

පොද වැස්ස අවසානයේ පැහැදිලිව දිස්වූ ජලාශය

ඊළඟට වූයේ කන්ද බැසීමේ අදියරයි.ඒ වන විටත් අමර අයියා කන්ද බැසීමට ස්ථානයක් තෝරාගෙන තිබිණි.ඔහුගේ අඬගැසීමට ඒ දෙසට ගිය අප දෙදෙනාගේම රුධිරය ජලය බවට පත්වන්නට ඇත.තනිකරම අංශක 90 කිට්ටු බෑවුමක් කන්ද බැසීමට ඔහු සොයාගෙන තිබිණි.එය මින් පෙර ඔහු මිතුරන් සමග බැස්ස බවත් එය ඉතාම පහසු බවත් පැවසීය.

බහින්න තෝරාගත්තු තඩි බෑවුම

ඒ වන විටත් මා තීරණයක් ගෙන තිබිණි.හෙලිකොප්ටරයක් හෝ පැමිණ මා රැගෙන යනතුරු කන්දට වී සිටින බව මා අමර අයියාටද නුවන් අයියාටද පැවසුවෙමි.

"මේකෙ බහින්න දෙයක් නෑ බං අයිනට ගිහිල්ලා වාඩිවෙලා රූටලා යන්න තියෙන්නෙ විනාඩි 15න් රංගල පාරට වැටෙනවා"

නුවන් අයියාද ඔහුගේ  ඒ කීමෙන් පසු මාගේ අදහසට එකඟ විය.බලු තඩියාද අප පසුපස එන්නට වූයෙන් අප ඌව පෙරටුකොටගෙන අමර අයියාගේ නිවස බලා පිටත් වුනෙමු.ඌ හුරු පුරුදු මග පෙන්වන්නෙකු මෙන් අපට ඉදිරියෙන් ගමන් ගන්නට විය.අමර අයියාද අප පසුපස පැමිණියේ බලමුකො උඹලට කොච්චර දුර ඌ පාර පෙන්නයිද කියලා යැයි පවසමිනි.

කිව්වාත් මෙන් වල් ඌරෙකු නෙත ගැටුනෙන් බලුතඩියා යක්ෂාවේෂ විය.ඉන්පසුව බුරමින් එහාට මෙහාට පනිමින් ඌ පසු පස එලවීමට සැරසුනද අමර අයියාගේ කැ විධානයෙන් ඌ සන්සුන් විය.වල් ඌරාව මගහරිමින් යන ගමනේදි මී මැස්සන්ගේ වාසස්ථාන පිළිබඳ අවධානය යොමු කල අමර අයියා නැවත උන් ඇල්ලීමට එන බවක්ද පැවසීය.

මගදි හමුවූ පුස්වැල් වල එල්ලී ක්‍රීඩා කිරීමටද අමතක නොකල අපි සීතල උල්පත් වතුර බීමට ගත්තේ එම මොහොතේ අප සැවොම දැඩි පිපාසයක සිටි බැවිනි.එම වතුර තරම් රසවත් වතුර මින් පෙර මා පානය කර නැති බවද සඳහන් කල යුතුමය.

පුස් වැල් 

පුස් වැල්

මෙන්න වැල

නොසිතූ පරිදි ආපසු ගමනේද දිශාව වැරදීම හේතුකොටගෙන අපට බැසීමට සිදුවූයේ සිරිපුර පාසලක භූමියකටයි.අපහසුවෙන් වැට පැනගත් අප ප්‍රධාන ගේට්ටුවෙන්ද පැන මහපාරට පිවිසියේ නැවතත් අමර අයියාගේ නිවසට ගොස් තේ එකක් බී නිවිහැනහිල්ලේ ගෙදර යාමටයි.අසල තිබූ පීල්ලකින් ඇඟ පත සෝදාගත් අප අමර අයියාගේ මවගේ රසවත් තේ කෝප්පයක් පානය කර පැය දෙකක් පමණ ගතකොට තෙල්දෙණියට නැවත පැමිණියේ හතර පස් තැනක ගිමන් හරිමිනි...

ප.ලි

ගන්නා ලද සියළුම ඡායාරූප මාගේ ගන්නා ලද්දේ ඊ ටෙල් දුරකතනයෙන් වන අතර එහි ඇති අති සුපිරි කොලිටිය පිලිබඳ මාගේ බලවත් කණගාටුව.මාස 8කට පමණ පෙර අත්දැකීමකි මෙය.

Sunday, October 20, 2013

වැරදුනේ කොතැනද....? වැරදුවාද මට....?


ස්වප්න හෝරා ගෙවී යාද සඳ
මැදියම් අඳුරක සිත ඉගිලේ දුර
සිතුවිලි විමසා ඇදෙන සුළං රොද
හිත ඇති පාළුව කෙලෙස මකන්නද

දෑස තෙමී යන කඳුලක වාරුව
පමණි උරුම මතු ගෙවනට මේ රැය
දිනක් ඒවි නම් රැය නොම පැමිණෙන
හොඳම දිනකි පෙර දින මා මියයන
ඉඳිමි දෙනෙත හා සිරුරම දැඩි කොට
සඟවනු හා වත්මන දිවි ගෙවුමට
ගෙනහින් ආයෙම අතීතයට සිත
වැළලුවෙ ඔබ මිස,වෙන අන් කවුරුද

කිසිදින කිසිවිට පැරදී නැති මට
කිසිවිට කිසිවක් අත්නොහරින මට
වැරදුනේ කොතැනද

වැරදුවාද මට...

ප.ලි : පොටෝව ගත්තෙ මෙතැනින් http://ak.picdn.net/shutterstock/videos/958441/preview/stock-footage-sad-man-on-the-patio-face-closeup.jpg

සෑහෙන කාලයක් වෙනවා බ්ලොග් එක අතෑරලා දාලා.ඒ වගේමයි බ්ලොග්  කියවන්නවත් හිත නිදහසක් තිබුනේ නෑ.රස්සාවෙනුත් අයින් වෙලා මාස තුනක් විතර වෙන එකේ හිතුනා ලියන්න.දැන් හිත නිදහස්.අළුත් වැඩකටත් අත තියලා තියෙන වෙලාවේ ආයෙමත් පරණ හුරු පුරුදු ආසා කරන ජීවිතේ ‍ගෙවන්නයි ලෑස්තිය...