Sunday, November 17, 2013

ගැහැණු ලොවක සිරකරු... 14 කොටස


මෙතෙක් කතාව
කාන්තා හමුදා මූලස්ථානයේ සිරකරුවෙකුව සිටි අශාන් ඉන් මිදී ගුවන් යානා අංගනයට යෑමට සමත්වෙයි.එහිදී ප්‍රහාරක යානයකට ඇතුළුවන ඔහු එම යානය මධ්‍යම කඳුකරය දෙසට ගමන්කරවන අතරතුරදී එය ලුහුබැඳ පැමිණි ගුවන් යානා එම යානය පුපුරුවා හරියි.නමුත් අශාන්ගේ උපක්‍රම හමුවේ එම කිසිදු යානයකට නැවතත් මූලස්ථානය කරා පියාසර කිරීමට නොහැකි වන්නේ එම යානාවන්ද විනාශවන බැවිනි... 

අශාන්ගේ මළසිරුර සහ තවත් තොරතුරු ගවේෂණය සඳහා මූලස්ථානයේ සෙසු සෙබලියන්ද පිටත්කරවන නව අණ දෙන නිලධාරිනිය මූලස්ථානයේ ස්වයං ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරවයි.සියළු කැරළි කණ්ඩායම් සාමාජිකයන් ඔවුන්ගේ සිරභාරයේ සිටින නිසා ඇය මූලස්ථානයේ ආරක්ෂාව පිළිබඳ වැඩිසැලකිල්ලක් නොදක්වන අතර ඇය නොසිතූ අයුරින් යමෙක් එය ප්‍රයෝජනයට ගනිමින් සිටියි...

අද එතැන් සිට,

වේගයෙන් ඉදිරියට ඇදෙන්නට වූ සෙවනැල්ල අඳුරු සෙවනැලි අතරට මුසුවූයේ කිසිදු කැමරා කාචයකට හසු නොවෙමිනි.අශාන් ගමන් කල යානය හඹා ගොස් විනාශයට පත් ස්ථානය වෙතට පිටත් කරනු ලැබූ අමතර යානයද ඉන් ස්වල්ප වේලාවකින් ගුවන්ගත විණි.මූලස්ථානයේ සෙබලියන් ඉතිරිව සිටියේ ඉතාමත් සුළු ප්‍රමාණයකි නව අණ දෙණ නිලධාරිනියගේ උපදෙසක් මත ස්වයං ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කරවූයේ නොසිතූ ලෙසකින් හෝ ප්‍රහාරයක් මූලස්ථානය වෙත එල්ල වේය යන සිතුවිල්ල මතයි.

නව අණ දෙන නිලධාරිනිය අයුමිගේ කුටිය වෙතට පිටත් වූයේ ඇගේ සාහායිකාව ලෙස කටයුතු කරමින් සිටි අනූ සමගිනි.ඒ අතරතුර නව අණ දෙණ නිලධාරිනිය කාන්තා ජනපදය ඇමතීමට උත්සහ දරමින් සිටින අයුරු දක්නට ලැබිණි.නමුත් ඇගේ එම උත්සයන් සියල්ල ව්‍යර්ථ විණි.

 අනූ.... මට ජනපදය සම්බන්ධ කරගන්න බෑ අපේ සන්නිවේදන ජාලයේ මොකක් නමුත් වැරැද්දක් ඇති

සමහරවිට ස්වයං ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වෙන නිසා වෙන්න ඇති මැඩම්.සාමාන්‍යයෙන් සම්පූර්ණ පද්ධතියම ක්‍රියාත්මක වෙන්න පැය බාගයක් විතර ගතවෙනවා.ඒ අතරතුර සන්නිවේදනයට බාධා ඇතිවෙන්න ඉඩ තියෙනවා

නෑ අනූ මේ ප්‍රශ්නය ආවේ ඊටත් සෑහෙන්න වෙලාවකට කලින් අශාන්ගේ යානය මූලස්ථානයෙන් පිටත් වෙනවත් එක්කම වගේ.මම මුලින්ම ජනපදය සම්බන්ධ කරගන්න හැදුවේ ඒ වෙලාවේ ඒත් මේ කලබල එක්ක ඒ ගැන බලන්න  අමතක වුනා

මම ඒ ගැන බලන්නම් මැඩම්....

හොඳයි අනූ ඉක්මනින් අපිව ජනපදයට සම්බන්ධ කරන්න උත්සහ ගන්න මම ඒ අතරතුරේදි අසනි අරගෙන ආපු මතක ගබඩාව පරික්ෂා කරන්න යනවා.ඒ මතක ගොනුවේ වාර්තාව හැකි ඉක්මනින් ජනපදයට යැවිය යුතුයි

නව අණ දෙන නිලධාරිනිය කඩිනම් ගමනින් අසනිගේ කුටිය වෙත යෑමට පිටත්වූවාය.ස්වල්ප මොහොතකින් ඇය අසනිගේ කුටිය වෙත ලඟාවන විටත් අසනිගේ පරිගණක තිරය පෙර පරිදිම ක්‍රියාත්මක වෙමින් පැවතින.එම තිරයේ දිස්වෙමින් පැවති පණිවිඩය දුටු නව අණ දෙන නිලධාරිනියගෙ මුවින් පිටවූයේ අපේක්ෂාභංගත්වයට පත් ශබ්දයකි.

මද වේලාවක් නිසොල්මන්ව සිටි ඇය අනූව අමතන්නට වූයේ ඇගේ හිසට ඇතුලත්කර තිබූ චිපය ආධාරයෙනි.

අනූ.... මම හොයාගත්තා එකපාරටම අසනි සිරකුටිය ඇතුලට ගියෙ ඇයි කියලා.... ඒ හේතුව අපි හිතනවට වඩා ගොඩක් දරුණුයි.මම හිතනවා වගේම අසනිත් හිතන්න ඇති ඒ තොරතුරු කොහොමෙන් හරි අශාන්ගෙ අතට යන්න ඇති කියලා.සෝදිසි මෙහෙයුමට පිටත් කරපු කණ්ඩායමට දන්වන්න එක සීරුවට අශාන්ගේ යානය අනතුරුට පත්වුනු ඉසව්ව අවට පරික්ෂා කරලා දත්ත ගබඩා කල හැකි සෑම උපකරණයක්ම මූලස්ථානයට රැගෙන ඇවිත් පරික්ෂා කරන්න අවශ්‍ය බව

මැඩම්....  අපිට ඒ යානය සම්බන්ධ කරගන්න හැකියාවක් නෑ...

වෙන්න බෑ...

සියළුම ජාල ක්‍රියා විරහිතයි මැඩම්.... ප්‍රශ්නය තියෙන්නේ අභ්‍යන්තර සන්නිවේදක ඇන්ටෙනා වල ඒත් ඒකට දැනුම තියෙන සෙබලියක් මූලස්ථානයේ නෑ.... මට ඒකට සෑහෙන්න වේලාවක් ගතවෙයි මැඩම්

මේක හොඳ දෙයක් නෙමෙයි අනූ... ඉක්මනින් ගිහින් කැප්සූල වල තත්වය පරික්ෂා කරන්න මට මහා නරක හැඟීමක් එනවා මේවා ඉබේ වෙන්න බෑ... මට පුළුවන් තරම් ඉක්මනින් වාර්තාවක් දෙන්න

කැප්සූල...? ඒවගෙයි සන්නිවේදන කුළුණුවලයි තියෙන සම්බන්ධතාව මොකක්ද?

මගේ අනුමානය නිවැරදි නම් මේ වෙනකොට කැප්සූල කුටිය විවෘත වෙලා තියෙයි.මූලස්ථානයට සම්පූර්ණයෙන්ම හදිසි අනතුරු ආවරණ යොදන්න අපිට ඉතුරුවෙලා තියෙන්නෙ මිනිත්තු වලින් ගනින්න පුළුවන් කාලයක්, ඉක්මන් කරන්න.

අනූ ඉතා ඉක්මනින් සියළු ස්වයංක්‍රීය දොරටු වසා අගුල් දැම්මාය.ඒ වන විටත් ඇගේ පරිගණක තිරයේ දැක්වුනේ එකින් එක බිඳ වැටෙනා කැමරා පද්ධතින්හි රූප රාමු කිහිපයකි.ස්වල්ප මොහොතක් ඇතුලතදි සියළු කැමරාවල සබඳතාවද බිඳ වැටුණි.ඇය මොහොතක් පරිගණක තිරය වෙත බලා සිටියාය.ඉන්පසු ඈ නැගී සිටියේ ඇගේ ප්‍රියතම අවිය දෑතට ගනිමිනි.

මේ අතර අශාන් ගමන් කරමින් සිටියේ කැප්සූල තිබූ කුටිය වෙතටයි.ඔහු එයට සමීප වත්ම ඔහුගේ වේගය කෙමෙන් කෙමෙන් වැඩිවන්නට වූයේ ඔහුටත් නොදැනීමයි.ඒ අතරතුරදී කැමරා පිළිබඳ අවධානය යොමුකල ඔහුට ඒවා ක්‍රියාවිරහිත වී ඇතැයි යන සිතුවිල්ල පිවිසියද එය ගැන තැකීමට ඔහුට කිසිදු කාලයක් නොවිණි.සුළු මොහොතකදී කැප්සූල කුටිය පෙනෙන මානයට ඔහු පැමිණියද හිටි අඩියේ ඔහුගේ දිවීම නතරවිණි.ඔහුට ඈත තියා දැකගැනීමට හැකිවූයේ එම කුටියේ දොරටු විවරව ඇති බවකි.මෙය සෙබළියන්ගේ උපායක් විය හැකි බව අනුමාන කල ඔහු විමසිලිමත්ව එම කුටිය තුලට පිවිසියේය.එහි වූයේ ඔහු දැකීමට බලාපොරොත්තු නොවූ දෙයකි.කැප්සූල සියල්ලම විවෘතව තිබුණු අතර එහි කිසිවෙකු දක්නට නොවිනි.සීත වායූන් තවමත් එයින් කාන්දු වෙමින් පැවතිණි.මෙය මීට සුළු මොහොතකට පෙර සිදුවන්නට ඇතැයි ඉන් අශාන් අනුමාන කලේය.

එහි කිසිවෙක් නොවූයෙන් අශාන් හට සේනකව මතකයට නැගුණි.ඔහු වහා සේනක සහ තමන් රඳවා තිබූ ආලෝක කුටිය වෙත දුවන්නට විය.ඔහුට මේ වන විට මූලස්ථානයේ සැකැස්ම පිළිබඳ යම් වැටහීමක් ලැබී තිබිණි.නමුත් ඔහුව තවත් වික්ෂිප්ත කරවමින් එහි ඉතිරිව තිබුනේ ආලෝකය නිකුත් කල සියුම් පාදම පමනකි.මදක් ඒ දෙස විමසිලිමත්ව බලා සිටි ඔහු පැමිණි දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට නැවතත් දුවන්නට විය.එය මින් පෙර ඔහු ගමන් නොකල දිශාවකි.දිගු කොරිඩෝවක් පසු කරමින් ඔහු දිවයන්නට විය.ඒ අතරතුර පසුකරනා කුටි දෙසට තම අවධානය යොමු කිරීමටද ඔහු අමතක නොකලේය.

****

මැඩම්.... අපිට හදිසි තත්වයක් ඇතිවී තිබෙනවා... හැකි ඉක්මනින් පාලන මැදිරියට පැමිණෙන්න
අනූ..... අනූ.... කතාකරන්න....

නව අණ දෙන නිලධාරිනියට කිසිදු පිළිතුරක් අනූගෙන් නොලැබිණි.ඇය එකෙනෙහිම පාලන මැදිරිය දෙසට දිව යන්නට වූයේ ඇගේ අවියද සියතට ගනිමිනි.බියට පත්වූ බව මෙන්ම කෝපයක්ද ඇගේ මුහුණෙහි පැහැදිලිව සටහන් වී තිබිණි.පාලන මැදිරියෙහි දොර විවරව තිබෙන අයුරු ඈ ඈත තියාම දුටුවාය.එය දුටු වහාම ඇය ඇගේ වේගය අඩාල කරමින් ඉක්මන් ගමනින් පාලන මැදිරියට පිවිසෙන්නට වූයේ ඇගේ අවිය දෑතින්ම පාලන මැදිරිය තුලට ඉලක්කගත කරගනිමිනි.

ඉතින් අයුමි.... සෑහෙන්න කාලයකට පස්සේ නේද??

මේක වෙන්න බැහැ... කොහොමද ඔබ එතනින් එලියට ආවේ?

හැම කෙනෙක්ම අපේ පැවැත්ම අවතක්සේරු කලා අයුමි.කාන්තා ජනපදයේ හොඳම සෙබළිය පවා අපිව අවතක්සේරු කලා.කරුණාකරලා අවිය බිම දාලා යටත් වෙන්න ඔබට වැඩි වෙලාවක් ඉතිරිවෙලා නෑ

කිසිම විදියකින් මට බලපෑමක් කරන්න ඔබට බෑ... හසිත්මට මතක හැටියට ඔබේ සැබෑ නම විය යුත්තේ ඒක...

අවාසනාවකට ඔබ හරි අයුමි...එකෙනෙහිම ඇයගේ උරහිසට හසිත්ගේ අවියෙන් ලේසර් ප්‍රහාරයක් එල්ල විය.නව අණ දෙන නිලධාරිනිය අතින් අවිය ගිලිහී ගිය අතර එල්ල වූ පහර නිසා ඇයව අඩි කිහිපයක් පසුපසට වීසිවි බිත්තියක වැදී නතර විය.

ඔබ වාසනාවන්තයි නව අණ දෙන නිලධාරිනිය වී සිටීම නිසා.නැත්තම් ඔබටත් ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.ඔබත් අනූත් පමණයි දැනට මේ මූලස්ථානේ ඉතිරිව ඉන්නෙ.... මම අනූගේ චිපය ඉවත් කලා.ඊළඟට ඔබ... බයවෙන්න එපා මම ඒක ඉක්මනින් ඉවත් කරන්නම්. ආ... අමතක වුනා ඔබව නිර්වින්දනය කරන්නත් ඕනේනේ...
සිනාසුනු ඔහු නව අණ දෙන නිලධාරිනියට මොහොතකට පිටුපා සිටගත් අතර එසැනින්ම නැවත හැරී ඔහු අත තිබූ අවියෙන් ඇගේ හිසට පහරක් එල්ල කලේය.කපා හෙළූ ගසක් පරිද්දෙන් ඈ බිමට ඇදැවැටිණි.

****

අශාන්ට කැප්සූල කුටිය පසුකර වැඩිවේලා දිවීමට ඉඩක් නොලැබුණි.ඔහු පසුකර ගිය කුටියක ඔහුව පුදුමයට පත්කරවනසුලු පුද්ගලයෙකු අවියක්ද අතැතිව සිටිනු ඡායාවක් මෙන් දක්නට ලැබිණි.ඔහු දිවීම නවතා එම කුටිය දෙසට කුතුහලයකින් යුතුව සෙමෙන් අඩි තබමින් ඇවිද ගියේ ඔහු දුටු දර්ශනය සත්‍යයක්මදැයි විමසා බැලීමටයි.ඔහු නිවැරදිය ඒ අන් කිසිවෙකුත් නොව ඔහුමය.....

ජයසිංහ.... ඔබ....??
දෙයියනේ අශාන්.... ඔහු අවියද පසෙකලා විත් අශාන්ව වැළඳගත්තේ කඳුළු පිරි දෙනෙතකිනි.

අපි හිතුවේ ඔබ මැරිලා කියලා අශාන්... මුළු මූලස්ථානයේම සෙබළියන් හුවමාරු කරගත් තොරතුරු අනුව ඔබ මැරිලා අශාන්... ඔබ ගමන් ගත් යානය කඳුකරයෙදි විනාශ වුනා නේද? කොහොමද මෙතනට ආවේ මේ තරම් ඉක්මනින්...??

ඒකට උත්තර දෙන්නම් ඊට කලින් කියන්න ඔබ කොහොමද ජීවතුන් අතරට ආවේ? මම දැක්කා ඔබ මැරිලා ඉන්නවා.ඒත් ඒත්??

මැරිලා කියලා තහවුරු කලේ කවුද අශාන්? ප්‍රධාන වෛද්‍යවරියද?

ඕ.. ඔව්
එහෙනම් ඈ ඇගේ කාරිය ඉටුකරලා තියෙනවා... හ්ම්ම් කැරළි නායක ජයසිංහයන්ගෙන් පිටවූයේ තරමක දුක්මුසු දිගු සුසුමකි.

ඇය මියැදුණා ජයසිංහ... ඒක දිග කතාවක් මං හිතන්නෑ ඒකට අපිට වෙලාවක් ඇති කියලා... ඔබේ තත්වය කොතරම් හොඳද දැන්

අපිට අවශ්‍ය තරම් වෙලා තියෙනවා අශාන්... අනික සේනක මට විස්තර සේරම කිව්වා.ඔහු සෑහෙන්න දුක්වෙනවා වෛද්‍යවරියගෙ මරණය සම්බන්ධයෙන්

ඔහු දුක්විය යුතුයි.... ඒක නෙමෙයි කොහොමද අපිට වෙලාව තියෙන්නේ?? මේක කාන්තා ජනපදයේ ප්‍රධාන හමුදා මූලස්ථානය....

ඒ සේරම විසඳලා අවසන් අශාන්... අපිට ඉතාම සුළු වැඩ කොටසක් පමණයි ඉතුරුවෙලා තියෙන්නේ... ඒකත් ප්‍රධාන වෛද්‍යවරිය අවසන් කරලා ඇති බොහෝ දුරට...

ප්‍රධාන වෛද්‍යවරිය?? ඔබ මාව අතරමං කරනවා ජයසිංහ...

යමු ඔබට වැදගත් කෙනෙක් හමුවෙන්න තියෙනවා.කැරළි කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් තවමත් ප්‍රකෘති තත්වයට පත්වෙමින් පවතින්නේ... අපිට ඒ වෙලාව ගන්න පුළුවන් තත්වය අවබෝධ කරගන්න... එන්න මාත් එක්ක... ඔබ නොසිතන බොහෝ දේවල් දකින්න ලෑස්ති වෙන්න හොඳ හුස්මක් ගන්න....

කුමක් සිදුවේදැයි සිතාගත නොහැකිව අතරමංව සිටි අශාන් දිගු හුස්මක් ඉහළට ඇදගත්තේ දෙවරක් නොසිතමිනි.

ඒක නෙමෙයි ඔබ මොකක්ද අර කුටියේ කරන්න ගියේ ? නිහඬතාව දරාගත නොහැකි තැන අශාන් ප්‍රශ්නයක් විමසීය.

විශේෂ දෙයක් නෑ අශාන්... මම කුටියෙන් කුටියට ගිහින් කාන්තා ජනපදයේ ආරක්ෂාව පිළිබඳ විස්තර හොයමින් හිටියේ.ඒ කුටියෙන් පිටත් වෙනවිටයි ඔබ පැමිණියේ

එතකොට අනිත් සාමාජිකයන් කොහෙද?? මම දැක්කා සෑහෙන පිරිසක් කැප්සූලවල ඉන්නවා නමුත් දැන් ඒ සේරම හිස්වෙලා...

ඔවුන් හැමෝම දැන් ඉන්නේ මූලස්ථාන රෝහලේ...  මට මූලස්ථානයේ ඇතුලත ගැන වැටහීමක් නෑ නමුත් ටික දවසකින් ඉබේම පුරුදු වෙයි ඔබට...

ඒ කියන්නේ....

ඔව් අශාන්... කැරැල්ල මෙහෙයවන්න මීටත් වඩා හොඳ ආරක්ෂිත තැනක් කොහෙද තියෙන්නේ....

****

නව අණ දෙන නිලධාරිනියට ප්‍රකෘති සිහිය ලැබෙමින් පැවතුණි.හසිත් එල්ල කල පහරින් ඇය සුළු මොහොතකට සිහිසුන් වී සිටියාය.ඈ සෙමින් ඇගේ හිස ස්පර්ෂ කරන්නට විය එවිට ඇයගේ අතට හසුවූයේ හිස වෙලා ඇති පටියකි.ඇය ගැස්සීමකින් දෑතින්ම එය ඉවත් කිරීමට වෙර දරත්ම හසිත් පැමිණ ඇගේ දෑතද පුටුවට තබා ගැට ගැසුවේ සෙලවීමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි.

කරන්න වෙන දෙයක් නෑ අයුමි... අපිට ඔයාගෙන් තොරතුරු සෑහෙන ප්‍රමාණයක් අවශ්‍ය කරලා තියෙනවා.

කිසිම දෙයක් මගෙන් දැනගන්න ලැබෙන්නෙ නෑ හසිත්... චිපය අයින් කරානම් තව තත්පර ගානක් ඇතුලත මම මැරෙනවා... ඒක ඔබත් දන්නවා...

අවුරුදු ගානක් මම මේ ජනපදයේ ප්‍රධාන වෛද්‍යවරිය වෙලා හිටි බව අමතක වුනාද අයුමි.එදා ඉඳන් මම මේ හැම දෙයක්ම සැලසුම් කලා දැන් මම දන්නවා මේක තමයි එකම ක්‍රමය...  මම ඔබේ චිපය ඉවත් කලේ නෑ අයුමි.පුංචි සැත්කමක් පමණයි කලේ... බලන්න මේ හිස්වැසුම කොයිතරම් ලස්සනද කියලා ඔබට...

හසිත් ඇයට දිගුකල කණ්නාඩියෙන් ඇය දුටුවේ ඇගේ හිස වටා සවිකර ඇති වයර් ඇමිණවූ ආවරණයකි... පිටුපසින් සිටින තව කෙනෙක් ඇය දුටුවේ ඒ අතරයි.

අනූ.... මොකක්ද මේ වෙන්නේ ?? අනූ..... අනූ....

කලබල වෙන්න එපා අයුමි... අනික අනූට ඔයා කියන කිසි දෙයක් දැන් ගානක් නෑ... ඇත්තටම දැන් අනූ කෙනෙක් නෑ... මගේ විධාන වලට වැඩකරන දක්ෂ කෙල්ලෙක් විතරයි දැන් ඒ ඉන්නේ...කෙටියෙන් කිව්වොත් ඇය දැන් රොබෝ යන්ත්‍රයකට දෙවෙනි නෑ...මේ ලස්සන හිස්වැස්මත් ඇගේ නිර්මාණයක්

උඹ මහා ගෝත්‍රිකයෙක් හසිත්.... මං උඹව මරණවා... නව අණ දෙන නිලධාරිනිය ගොරවමින් කෑ ගසමින් ඇයව බැඳ ඇති බැමි ලිහාගැනීමට වෙහෙසෙන්නට විය...

දැඟලුවට වැඩක් නෑ කියලා ඔයා හොඳටම දන්නවා අයුමි... ඔබව අනූ ගෙ තත්වයට පත්කිරීම මට ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි කියලත් ඔබ දන්නවනේ...

මේ කිසිම දෙයකින් ඔයාට මගේ මතකය එලියට ගන්න බෑ හසිත්... ඒ තොරතුරු අතිශයින් ආරක්ෂිතයි.ඒකයි මෙහෙම චිපයක් සවිකරන්නත් හේතුව... සාමාන්‍ය කෙනෙක්ගෙ මතකය කොපි කරගන්නවා තරම් ප්‍රධාන හමුදා නිලධාරිනියගෙ මතකය කොපිකරගැනීම ලේසියි කියලා හිතන්න එපා... නොයෙකුත් උපක්‍රම යොදලා තියෙන්නේ තොරතුරු ආරක්ෂා කරගන්න...එක පියවරක් වැරදුනොත් සම්පූර්ණ මතකයම මැකී යා හැකියි... හිටපු ප්‍රධාන නිලධාරිනිය හැරෙන්න එය කලහැකි කිසිවෙක් මේ මුළු ජනපදයටම නෑ...

මම තොරතුරු කොපි කරන්නෙ නෑ අයුමි.. මම කරන්න හදන්නේ ඔබගේ චිපයෙන් ජනපදයේ ප්‍රධාන මෙහෙයුම් පරිගණකයට සම්බන්ධ වෙන්න... ඔබගේ චිපය ඔබ තුල තිබෙන නිසාත්... ප්‍රධාන මෙහෙයුම් පරිගණකයට පිවිසීමට අවශ්‍ය මුරපද ඔවුන් ස්වයංක්‍රීයව ඔබගේ මතකයෙන් ලබාගන්නා නිසාත් අපට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ... ඔබට කිසිම පණිවිඩයක් සිතාමතා යැවීමට අවස්ථාවක් නෑ ඒ සියල්ලම මම විසන්ධි කර අවසන්... සුළු සැත්කමක් කලේ එය විසන්ධි කරන්න වගේම ඔබට ප්‍රධාන පරිගණකයෙන් ලැබෙන තොරතුරු මෙම පරිගණකයෙ ගබඩා කරගන්නත් පමණයි...

අයුමි නිරුත්තරව හසිත් දෙස බලාගෙන සිටින්නට වූවාය.කාන්තා ජනපදයේ සියළුම රහස් ස්වල්ප මොහොතකින් මොවුන් අතට පත්වෙනවා නියතයැයි ඇයට සිතිණි.ඇය අවුරුදු ගණනාවක පලපුරුද්ද මෙන්ම අත්දැකීම්ද මතකයට නගාගැනීමට උත්සහ කලේ මින් ගැලවීමට මගක් සොයාගැනීමටයි...  ඇය සෙමින් දෑස් පියාගන්නවාත් සමගම කිසිවෙකු පාලන මැදිරියට පිවිසෙන හඬක් ඇසිනි... ඇය සෙමින් දෑස් නැවතත් විවර කරන්නට වූයේ පිවිසියේ කවුරුන්දැයි සැකහැර දැනගැනීමටයි...

අශාන්...... හසිත් මෙන්ම අයුමිද විශ්මයෙන් කෑ ගසන්නට විය
අශාන් නිරුත්තර විය.මිනිත්තු ගණනක් තුල ඔහු දකින දෙවෙනි පුදුමය එයයි... ගුවන් යානය තුලදී තම දෑස් පනා පිට මියැදුණු කාන්තා ජනපදයේ ප්‍රධාන වෛද්‍යවරිය ඔහු ඉදිරියේ සිටී.... කෙසේ නම් විශ්වාස කරන්නද...
අයුමිද බියෙන් සහ පුදුමයෙන් අශාන් දෙස බලාගෙන සිටින්නට වූයේ ඔහු ගමන්ගත් යානය කැබලි වී ගිනිගන්නා අයුරු දුටු බැවිනි.ඇයට ඇගේ දෙනෙත් අදහාගත නොහැකිවිය.ඔහුට පසෙකින් කැරළි නායක ජයසිංහයන්ද සිටීම සැබැවින්ම ඇයව සිහිමද ගතියකට පත්කිරීමට සමත් විය.


ප.ලි 

පින්තූරය ගත්තෙ මෙතැනින් http://thefilmstage.com/wp-content/uploads/2012/04/Screen-Shot-2012-04-01-at-5.32.09-PM.png

 මුල් කොටස් සඳහා



Tuesday, October 29, 2013

අමර ගල,සිරි දිගන මරණීය චාරිකාව...



මා මේ කියන්නට යන්නේ මා ජීවිතයේ බිහිසුණුම අත්දැකීමක් ලැබූ ගමනක් පිළිබඳවයි.ආපස්සට හැරී බලනවිට එය කෙතරම් මෝඩ ක්‍රියාවක් යැයි සිතුනද එම අවස්ථාවේ නම් මා හට දැනුනේ එය මා ජීවිතයේ ලද ජයග්‍රහණයක් ලෙසිනි.

සියල්ල ඇරඹුනේ හදිසියේම ආදරීට ඇතිවූ අසනීපයක් නිසා ඇයව මහනුවර ඇගේ නිවෙසට ඇරලවන්නට යාමට සිදුවීමත් සමගිනි.රැකියාවක් කරමින් සිටි ඒ සමයේ සිකුරාදා දින නිවාඩුවක් ලබා පිටත් වූ මා නවාතැන් ගැනීම සඳහා පිවිසියේ තෙල්දෙණියේ පිහිටි මාගේ නැන්දාගේ නිවෙස වෙතයි.

පසු දිනම නැවතත් කොළඹ බලා පැමිණීමට අදහස් කරගෙන සිටියද මාගේ ඥාති සොයුරාගේ කීමට දෙදිනක්ම එහි නැවතීමට තීරණයක් ගත්තෙමි.ආගිය තොරතුරු කතාකරමින් සිටින අතරතුර නුවන් අයියා පෙන්වූ ඡායාරූප පෙළකට මගේ සිත ඇදී ගියේ එවන් අත්දැකීමක් මා මින් පෙර ලබා නොතිබූ බැවිනි.එම ඡායාරූප කිහිපය හුන්නස්ගිරියේ සංචාරයක සොඳුරු අත්දැකීම් සටහන් වී තිබිණි.එය දුටු මොහොතේ සිටම එවන් වූ අත්දැකීමක් ලැබේ නම් යන සිතුවිල්ල මගේ සිත වසාගැනීමට සමත්විය.

දෙදිනක්ම මා තෙල්දෙණියේ නැවතී සිටින බැවින් කෙසේ හෝ මෙවැනි ගමනක් යෑමට මතුවූ අවශ්‍යතාව නුවන් අයියාට පවසමින් ඔහුට ඇණයක් වීමට මම ඉටා ගත්තෙමි.නමුත් එම අදහස ව්‍යර්ථ වූයේ ඒ වන විට පැවති වර්ෂාවත් සහ ඉතිරිව තිබූ දවසක කාලය හුන්නස්ගිරියට යෑමට තරම් ප්‍රමාණවත් නොමැති බව ඔහු පැවසූ බැවිනි.නිවසට වී සිටීම තිත්ත වූ තැන අපි දෙදෙන තෙල්දෙණියේ රවුමක් යෑම සඳහා පිටත්වූයේ දහවල් 12 ට පමණය.ඒ යන අතරතුර මී මැසි පාලනයක් සිදුකරන නුවන් අයියාගේ මිතුරෙකු පිළිබඳ මා සමග පැවසූ අතර ඔහුව මුණගැසීමට හැකිවුවහොත් ඇති පදම් මී පැණි කෑ හැකි බව පැවසූයෙන් ඒ ගැන කෑදරකමක් මටද ඇතිවිය.එම මොහොතේම ඔහු අමතා තෙල්දෙණියේදි හමුවීමට යොදාගත් නුවන් අයියා අසල තිබූ බේකරියකට ගොස් පාන් ගෙඩියක්ද රැගෙන ආවේය.

"පාන් ගෙඩියක් මොකටද?"

"ඉන්නවකෝ අරූ එනකන් ඊට පස්සෙ දැනගත්තෑකි"

"හ්ම් හ්ම්"

මදකට නිහඬ වූ අප සිරිදිගන දෙසට හැරෙන මාර්ගය දෙසට වී මග බලා හිඳින්නට වූයේ නුවන් අයියාගේ මිතුරා වූ අමර අයියා පැමිණෙන තුරුයි.පැය භාගයක පමණ කාලයකදී ඔහුද එම ස්ථානයට පැමිණි අතර විනාඩි කීපයක කතා බහකින් අනතුරුව ඔහු යමං මල්ලි යැයි පවසමින් ඉස්සර විය.

"මී පැණි නම් තියෙයි කියලා හිතන්න අමාරුයි මේ දවස්වල මල් නෑ අනික වැස්ස.පැණි තිබ්බොත් උඹේ වෙලාව"

"ඒකට කමක් නෑ මං මේ නගින්න කන්දක් හොය හොය ඉන්නෙ... "

"යමංකො යමංකො උඹට කඳු එපා කරවන්න"


අමර අයියාගේ ගෙදරට යන මග අතරමැද

සුන්දර වටපිටාව


ලොරි පවා පිඹගෙන යන පාරකි

අමර අයියා සහ නුවන් අයියා

කුඩා දියපහරවල් හැමතැනම

කෝටි ගානක ගල් (දැනටමත් කඩන්න සූදානමින්)

එම ගල් කන්ද පසුකිරීමට විනාඩි 15ක් පමණ ගතවිය

අතරමග දියපහරකින් විඩා නිවාගනිමින්(අතේ ඇත්තේ පාන් ගෙඩියයි)


පැය එකහමාරක පමණ ගමනකින් අමර අයියාගේ නිවසට ලඟාවීමට හැකිවිය.ඒ වන විට අනිත් දෙදෙනා කෙසේ වුවත් මා සිටියේ ඇඟිල්ලෙන් ඇන්නත් වැටෙන තරම් මහන්සියකිනි.නිවස තුලට යත්ම කොහේදෝ සිට පැමිණි තඩි බල්ලෙක් පැමිණියෙන් මා ඉද්ද ගැසුවාක් මෙන් සිටගත්තේ බලු තඩියන්ට මා පෙන්නන්නට බැරි බව දන්නා හෙයිනි.නමුත් ඌ සුරතල් බලුතඩියෙක් බව මොහොතකින් වැටහුනේ අමර අයියාගේ විධාන වලට රංගනයේ යෙදුනු අපූරුව දුටු බැවිනි.

නුවන් අයියා ඒ වන විට පාන් ගෙඩිය ඒ මේ අත සොලවමින් සිටියේ අමර අයියාට මී පැණි අරන් වරෙන් නොකියා කීමට මෙනි.සුළු මොහොතකින් මී පැණි ජෝගුවක්ම රැගෙන පැමිණි අමර අයියා ආ ඉතින් දැන් කාපන් ඉතුරුවා බීපන් යැයි පැවසුවේ සිනාසෙමිනි.

අවසරය ලද ඇසිල්ලෙන් මී පැණි ජෝගුව පිඟානකට වක්කරගත් මා පිස්සුවෙන් වගේ කෑමට පටන්ගත්තේ මී පැණි දුටු විට ඇතිවූ අමුතු බඩගින්න නිසාවෙනි.ඒ දුටු අමර අයියා නොනවත්වා සිනාසෙන්නට විය.කටේ පුරවාගත් පාන් කැබලි එසේම තිබියදී ඇයි හිනාවෙන්නේ යනුවෙන් මා ඇසූ විට ඔහු පැවසූවේ...

"යකෝ... පරිප්පුයි හොදියි කනවා වගේ මී පැණි එක්ක පාන් කන්න බෑ.හිටහං කන හැටි පෙන්නන්න"

"හ්ම්..."

"ඉස්සෙල්ලා පාන් කෑල්ල පැණි එකට දාලා පොඟවගනින් එතකොට යන්තම් ඝනකමට පැණි බැඳෙනවා ඕන්නං දෙපැත්තම එහෙම පොඟවගෙන කාපං එතකොටයි රස"

ඕං ඔහොමයි පැණියි පානුයි කන්නේ

එම ක්‍රමය පැණි සමග පාන් කෑමට කියාපුම ක්‍රමයකි.පැණි වල නියම රස දැනෙන්නට වූයේ ඉන්පසුවයි.නුවන් අයියාත් මාත් නොනවත්වා කෑවේ තව පාන් ගෙඩියක් ගෙනාවේනම් යෙහෙකැයි කියමිනි.නමුත් අවසන් පාන් පෙත්තට ලඟා වන විට එයට අත තැබීමේ කිසිදු ආසාවක් අප දෙදෙනා තුලම නොවිනි.කෙසේ හෝ එම පාන් පෙත්තට දෙවෙනි නොවූ මා එක කටට එය ගිල දැම්මේ මෙවන් අවස්ථා ලෙහෙසියෙන් නොපැමිණෙන බව දන්නා බැවිනි.ස්වල්ප මොහොතක් යනතුරු උන් ඉරියව්වෙන්ම වැතිර සිටි අපගේ නෙත් වලින් මත්වූ බවක් දිස්වුනු බව අමර අයියා පසුව පැවසීය.

විනාඩි කීපයක් ගතවූ තැන අමර අයියා මා අමතා ඇසුවේ කන්දක් නැගීමේ ආසාව තවම පවතීද යනුවෙනි.ඒ මොහොතේ දෙවරක් නොසිතා දැන් නං ඕනතැනක නැගතෑකි යනුවෙන් පැවසූ මා නැගීසිටි වේගයට පිඟානද තව ඩිංගෙන් කැබලි වන්නට තිබිණි.

"මේ ලමයිව අර බෑවුමේ එහෙම එක්කන් යනවා එහෙම නෙමෙයි... මත් වෙලා ඉන්නේ හොඳටම" එසේ පැවසූවේ අමර අයියාගේ මව්තුමියයි.

"මුංට ඒකෙ යන්න බෑ අම්මෙ මට මුංව උස්සගෙන තමා එන්න වෙන්නෙ එහෙ ගියොත්"

පසුව අමර අයියාගේ ගේ පිටුපසින් අප ඒ විශාල කන්ද තරණය කිරීමට පිටත් විය.අමර අයියාගේ බලු තඩියාද පිම්මේ අප පසුපස හඹා ඒමට විය.අමර අයියා කීප වරක්ම ඔහුව ආපස්සට එලවාගෙන ගියද ඌ උගේ අදහස වෙනස් කිරීමේ තීරණයක නොවිනි.අවසානයේ ඌට ඕනැ එකක් කරගන්නට දී අප අපේ පාඩුවේ කන්ද තරණය කිරීම නැවත ආරම්භ කලෙමු.

"ඒ ඉක්මනට එනවා ඔය පෝං එක පැත්තක දාලා"

අප ආ මග

පැය භාගයක පමණ ගමනකින් අනතුරුව අමර අයියා  එක්වරම ගමන නතර කලේ නුවන් අයියාවද මාවද භීතියට පත් කරවමිනි.

"පාර වැරදුනා වගේ බං... මෙතනින් එහාට යන්න බෑ හෙන පල්ලමක් තියෙන්නේ ඔතනින් යන්න අමාරුයි.කටු පඳුරු හැමතැනම.ආයේ යමං අනිත්පැත්තට"

"කමක් නෑ පල්ලමේ යං ලිස්සන එකක් නෑ" ඒ මාගේ කටහඬයි

"යමු හැබැයි වැටෙන්න ගියොත් කටු පඳුරු කියලා බලන්නැතුව අතට අහුවෙන එක අල්ලගනින්"

“ඒක නෙමේ කෝ ටයිසන්?" අප සැමටම බලු තඩියාව මතක් වූයේ එවිටයි.

උගේ නම කියා කෑ ගසමින් අප කටු පඳුරු සහිත බෑවුම තරණය කිරීමට පටන් ගතිමු.


"ඔළුව පාත් කරන් වරේ...න්"

"හිමින් වරෙන් යකෝ ලිස්සනවා"

ඡායාරූපයක්වත් ගැනීමට නොහැකි ආකාරයේ කටු පඳුරු ගොන්නක පැටලී හරඹ කරමින් පැයක පමන කාලයක් ගතකර යන්තම් සමතලා භූමියකට පැමිණියේ "ඇති යාන්තම් " කියමිනි.නමුත් ඉදිරියෙන් දිස්වූ ගල් තලාව දෙකකුල් පණ නැති කරවීමට සමත් විය.එම ගල්තලාවට පිවිසෙන ස්ථානයේ ටයිසන් නැමැති තඩි බල්ලා වැතිරී සිටි අතර අප දුටු වහාම ඌ කෙඳිරිගාමින් ඉදිරියට පැමිණියේ අමර අයියාගේ කරට පැනීමට මෙනි.කොට කලිසමක් ඇඳගෙන පැමිණීමේ විපාක ගැන සිහිකරමින් මා ඉදිරියට ඇදුනෙමි.

"ගැමියා මල්ලි.. මේක තමා අම්මා කියපු බෑවුම.හොඳට හිතලා කියහං මහන්සිද මේකෙ නැගතෑකිද කියලා.නගින්න අඩිය තිබ්බට පස්සෙ ආයෙ හැරෙන්න බෑ පල්ලෙහාට තනි බෑවුමක් තියෙන්නෙ"

"අයියෝ මේකත් බෑවුමක්ද මේකෙ ඇවිදගෙන යතෑකි.."

"කමක් නෑ කෝකටත් බඩගාගෙන නැගපං"

වහින්න කලින් වරෙන් වැස්සෙ යන්න අමාරුයි

වරෙං බං බලාගෙන ඉන්නෙ නැතුව

සිත දෙගිඩියාවෙන් යුතුව සුලු මොහොතක් බෑවුමට මෙහායින් සිටියද බලු තඩියාද දෙවරක් තුන්වරක් ඉදිරියට යමින්ද නැවතත් මා සිටි දෙසට පැමිණෙමින්ද නෝන්ඩිය දැමු බැවින් ඕන එකක් වෙච්චාදෙන් යන හැඟීමෙන් යුතුව එම ගල් පොත්ත නැගීමට පිවිසුනෙමි.

අඩි කිහිපයක් පමණ කිසිදු අමාරුවකින් තොරව මේකත් කන්දක්ද යැයි පවසමින් නගින්නට වුවද එක්වරම පය තැබූ ගහක මුලක් ගැලවීමෙන් මා ලිස්සා ගල් පොත්ත මතම ඇද වැටුනි.ඒ සමගම පහල බැලූවෙන් ඇස් නිලංකාර වීගෙන පැමිණියෙන් අයියේ යනුවෙන් කෑ ගැසීමට සිදුවිය.ඒ මොහොතේ නුවන් අයියා මා සිටි දෙසට ඒමට සැරසුනද අමර අයියා නුවන් අයියාට නවතින්න යැයි කෑ ගැසීය.

"උඹ හිටහං නුවන් උඹට හුරු නෑනේ.. මල්ලි ඔහොම්ම අල්ලගෙන හිටහං කකුල තිය තිය ලිස්සන එක නවත්තපං"

ඒ වන විටත් ස්වල්ප වශයෙන් මා කන්ද පහලට ලිස්සීම ආරම්භ කර තිබුනේ ගල් පොත්තේ කැඩී ගිය ගල් කැබලි වලට මුළු ඇඟම සීරීමට පත් කරවමිනි.අමර අයියා කී පරිදිම කකුල් තැබීමට උත්සහ කලද දනිහ සීරෙනවාට වැඩි යමක් සිදු නොවිනි.මරු විකල්ලෙන් පීනන එකෙකු මෙන් අත් පා ගසමින් ගල්පොත්තේ එල්ලී සිටීමට දැරූ තැත අවසානයේ සාර්ථක වීමෙන් කන්ද පහලට ලිස්සීම අවම කරගැනීමට මා සමත්විය.ඒ සමගම කොහේදෝ සිට පැමිණි බලු තඩියා කෙඳිරිගාමින් මගේ අත ලෙවකන්නට විය.එය වෙන වෙලාවක සිදුවුනි නම් අනිවාර්යෙන්ම මම අත ගසා දමනු නියතය.නමුත් ඒ මොහොතේ ජීවිතය රැඳි තිබුනේ අතට අසුවූ එම සියුම් ගල් කුහරයක් නිසාවෙනි.

අමර අයියාටද මා සිටි ඉසව්වට ලඟාවීම එතරම් පහසු කාර්යයක් නොවිනි.මා ආරම්භයේ සිටම එම ගල්පොත්ත තරණය කිරීමට වූයේ අතරින් පතර වැවී තිබූ ගස් ආධාර කරගනිමිනි.එය කොතරම් අණුවන් ක්‍රියාවක්දැයි වැටහුනේ අමර අයියා පහලට පැමිණෙන අතර තුර කිසිදු වෙහෙසක් නොදරා ගස් කීපයක් උගුල්ලාගෙන එන අයුරු දුටු බැවිනි.ඌ අත අනුභව කලද දැන් ඉතින් අත අරින්නේ නැත.

තව අඩියක් පහලට ලිස්සා ගියේ නම් මාගේ කෑලි ඇහිලීමට අන්වීක්ෂයක් අවශ්‍ය වන බැව් පවසමින් අමර අයියා මාගේ කරට අතක් දමාගෙන වත්තම් කරමින් මදක් දුරට මා හට ආධාර සැපයීමට ඉදිරිපත් විය.ඉන්පසු ඉතුරුව තිබුණේ අවසන් කොටසයි.එම කොටස අඩි 10ක පමණ ගමනකි නමුත් අවම වශයෙන් අංශක 75ක් පමණ ඇලවූ ගල් පොත්ත නැගීමට මා හට සිදුවී තිබුණි.ආපසු හැරීමක් නොමැත කෙසේ හෝ එය තරණය කල යුතුම විය.

ගල්පොත්ත දෙපසින්ම වූයේ ඝනව වැඩුණු කැලෑ රොදයි.ඒ සමග විශාල ගස්වල උස තුරු මුදුනු ඇස් මට්ටමේ දැක ගැනීමටද හැකියාවක් ලැබුණි.

උස් තුරු මුදුනක අසිරිය

අවසානයේ ත්‍රාසජනක චිත්‍රපටවල කඳු නගින්නන් සේම කිසිදු ආධාරයක් නොමැතිව අත පයේ හයියෙන් එම අවසන් කොටස තරණය කිරීමට අප සමත්විය.කඳු මුදුනට පිවිසෙනවාත් සමගම සිහින් වැසි පොදයක් ඇද හැලෙන්නට වූ අතර මුළු පලාතටම ඇසේයැයි සිතා ඇති උපරිම වෙර ගෙන මා කෑ ගැසුවේ අභියෝගයක් ජයග්‍රහණය කිරීමෙන් ලැබෙන ඉහළම සතුට අත්විඳිමිනි.

කාලේ හැටියට ඔප්පු කිරීමට රූපයක් උවමනාමය..(බුකි පොටෝවේ ඇති ඇඳුමමය)

කඳු මුදුනේ සිට වම් පැත්ත බැලූ විට

මේ පෙනෙන්නේ රංගල ලු

කඳු මුදුනේ සිට දකුණු පැත්ත බැලූ විට

මේ පෙනෙන්නේ වික්ටෝරියා ජලාශය 

නැවතත් රංගල

වික්ටෝරියා ජලාශය පසුබිමින් සහ මේ මං අනිත් දෙන්නත් ඉන්නවා

පොද වැස්ස අවසානයේ පැහැදිලිව දිස්වූ ජලාශය

ඊළඟට වූයේ කන්ද බැසීමේ අදියරයි.ඒ වන විටත් අමර අයියා කන්ද බැසීමට ස්ථානයක් තෝරාගෙන තිබිණි.ඔහුගේ අඬගැසීමට ඒ දෙසට ගිය අප දෙදෙනාගේම රුධිරය ජලය බවට පත්වන්නට ඇත.තනිකරම අංශක 90 කිට්ටු බෑවුමක් කන්ද බැසීමට ඔහු සොයාගෙන තිබිණි.එය මින් පෙර ඔහු මිතුරන් සමග බැස්ස බවත් එය ඉතාම පහසු බවත් පැවසීය.

බහින්න තෝරාගත්තු තඩි බෑවුම

ඒ වන විටත් මා තීරණයක් ගෙන තිබිණි.හෙලිකොප්ටරයක් හෝ පැමිණ මා රැගෙන යනතුරු කන්දට වී සිටින බව මා අමර අයියාටද නුවන් අයියාටද පැවසුවෙමි.

"මේකෙ බහින්න දෙයක් නෑ බං අයිනට ගිහිල්ලා වාඩිවෙලා රූටලා යන්න තියෙන්නෙ විනාඩි 15න් රංගල පාරට වැටෙනවා"

නුවන් අයියාද ඔහුගේ  ඒ කීමෙන් පසු මාගේ අදහසට එකඟ විය.බලු තඩියාද අප පසුපස එන්නට වූයෙන් අප ඌව පෙරටුකොටගෙන අමර අයියාගේ නිවස බලා පිටත් වුනෙමු.ඌ හුරු පුරුදු මග පෙන්වන්නෙකු මෙන් අපට ඉදිරියෙන් ගමන් ගන්නට විය.අමර අයියාද අප පසුපස පැමිණියේ බලමුකො උඹලට කොච්චර දුර ඌ පාර පෙන්නයිද කියලා යැයි පවසමිනි.

කිව්වාත් මෙන් වල් ඌරෙකු නෙත ගැටුනෙන් බලුතඩියා යක්ෂාවේෂ විය.ඉන්පසුව බුරමින් එහාට මෙහාට පනිමින් ඌ පසු පස එලවීමට සැරසුනද අමර අයියාගේ කැ විධානයෙන් ඌ සන්සුන් විය.වල් ඌරාව මගහරිමින් යන ගමනේදි මී මැස්සන්ගේ වාසස්ථාන පිළිබඳ අවධානය යොමු කල අමර අයියා නැවත උන් ඇල්ලීමට එන බවක්ද පැවසීය.

මගදි හමුවූ පුස්වැල් වල එල්ලී ක්‍රීඩා කිරීමටද අමතක නොකල අපි සීතල උල්පත් වතුර බීමට ගත්තේ එම මොහොතේ අප සැවොම දැඩි පිපාසයක සිටි බැවිනි.එම වතුර තරම් රසවත් වතුර මින් පෙර මා පානය කර නැති බවද සඳහන් කල යුතුමය.

පුස් වැල් 

පුස් වැල්

මෙන්න වැල

නොසිතූ පරිදි ආපසු ගමනේද දිශාව වැරදීම හේතුකොටගෙන අපට බැසීමට සිදුවූයේ සිරිපුර පාසලක භූමියකටයි.අපහසුවෙන් වැට පැනගත් අප ප්‍රධාන ගේට්ටුවෙන්ද පැන මහපාරට පිවිසියේ නැවතත් අමර අයියාගේ නිවසට ගොස් තේ එකක් බී නිවිහැනහිල්ලේ ගෙදර යාමටයි.අසල තිබූ පීල්ලකින් ඇඟ පත සෝදාගත් අප අමර අයියාගේ මවගේ රසවත් තේ කෝප්පයක් පානය කර පැය දෙකක් පමණ ගතකොට තෙල්දෙණියට නැවත පැමිණියේ හතර පස් තැනක ගිමන් හරිමිනි...

ප.ලි

ගන්නා ලද සියළුම ඡායාරූප මාගේ ගන්නා ලද්දේ ඊ ටෙල් දුරකතනයෙන් වන අතර එහි ඇති අති සුපිරි කොලිටිය පිලිබඳ මාගේ බලවත් කණගාටුව.මාස 8කට පමණ පෙර අත්දැකීමකි මෙය.

Sunday, October 20, 2013

වැරදුනේ කොතැනද....? වැරදුවාද මට....?


ස්වප්න හෝරා ගෙවී යාද සඳ
මැදියම් අඳුරක සිත ඉගිලේ දුර
සිතුවිලි විමසා ඇදෙන සුළං රොද
හිත ඇති පාළුව කෙලෙස මකන්නද

දෑස තෙමී යන කඳුලක වාරුව
පමණි උරුම මතු ගෙවනට මේ රැය
දිනක් ඒවි නම් රැය නොම පැමිණෙන
හොඳම දිනකි පෙර දින මා මියයන
ඉඳිමි දෙනෙත හා සිරුරම දැඩි කොට
සඟවනු හා වත්මන දිවි ගෙවුමට
ගෙනහින් ආයෙම අතීතයට සිත
වැළලුවෙ ඔබ මිස,වෙන අන් කවුරුද

කිසිදින කිසිවිට පැරදී නැති මට
කිසිවිට කිසිවක් අත්නොහරින මට
වැරදුනේ කොතැනද

වැරදුවාද මට...

ප.ලි : පොටෝව ගත්තෙ මෙතැනින් http://ak.picdn.net/shutterstock/videos/958441/preview/stock-footage-sad-man-on-the-patio-face-closeup.jpg

සෑහෙන කාලයක් වෙනවා බ්ලොග් එක අතෑරලා දාලා.ඒ වගේමයි බ්ලොග්  කියවන්නවත් හිත නිදහසක් තිබුනේ නෑ.රස්සාවෙනුත් අයින් වෙලා මාස තුනක් විතර වෙන එකේ හිතුනා ලියන්න.දැන් හිත නිදහස්.අළුත් වැඩකටත් අත තියලා තියෙන වෙලාවේ ආයෙමත් පරණ හුරු පුරුදු ආසා කරන ජීවිතේ ‍ගෙවන්නයි ලෑස්තිය...

Wednesday, June 12, 2013

ගැහැණු ලොවක සිරකරු... 13 කොටස

මුල් කොටස් සඳහා


අහසේ දක්නට ලැබුණේ වේගයෙන් ඇදී යන යානාවකි.තිතක් පරිද්දෙන් එය දිස්වූවත් ක්‍රමයෙන් එය විශාල වන විට එය අශාන් පලායමින් පැවති යානය බැව් හඳුනාගැනීමට හැකිවිණි.ශබ්දයේ වේගය ඉක්මවා ගමන් කරමින් පැවති යානය ඇසිල්ලකින් පසුකර ඇදුනේ සෑහෙන කලකට පෙර අත්හැර දැමූ ඉතා උසැති සන්නිවේදන කුළුණකි.එම කුළුනෙහි ලැගුම් ගෙන සිටි කුරුළු රංචුවක්ද ඒ හා සමගම ගුවනේ විසිර යනු දක්නට ලැබිණි.අවට පරිසරය කැළඹී ස්වල්ප මොහොතකින් සන්සුන් වූවා පමණි.... ගුවන් යානා රාශියක් අහස් තලය වසාගනිමින් පියාසර කරන්නට වූයේ අධික වේගයෙනි.....

මැඩම් අපිට අශාන්ගේ යානයේ කියැවීම් ලැබෙනවා.....

බොහෝම හොඳයි ලුහුබැඳීමේ කණ්ඩායම දැනුවත් කරන්න... මම හිතන්නේ පිටතින් යානයට ඇතුල් වෙන්න පුළුවන්නම් අශාන්ව පණපිටින් අල්ලගන්න පුළුවන් වේවි

ඒ යානය ශබ්දයේ වේගයත් ඉක්මවලා තියෙන්නේ මට ලැබෙන කියැවීම් එක්ක බැලුවාම ඒ යානය කෙලින්ම ගමන් කරන්නේ මධ්‍යම කඳු පන්තියට.මේ වේගයෙන් මේ දිශාවටම මේ උස ප්‍රමාණයත් එක්ක ගමන් කලොත් යානය අනිවාර්යෙන්ම කඳු මුදුනක ගැටෙනවා.... ශබ්දයේ වේගය මේ තරම් පහල මට්ටමකදි ඉක්මවලා ගිය නිසා අශාන්ට නැවත යානය ඉහලට ගන්න බැරි වේවි

මේකා මොකක්ද මේ කරන්න හදන්නේ.... හොඳ දෙයක් නෙමෙයි අනූ වෙන්න යන්නේ බලන්න අපේ යානාවල කියැවීම්...

අශාන් පවත්වාගෙන යන උස මට්ටමමයි එයාලත් පවත්වාගෙන යන්නේ.ශබ්දයේ වේගය තව සුළු මොහොතකින් ඉක්මවයි…. ඒක භයානක තත්වයක් , අනතුරක් ගැන අපේ සෙබලියන් දැනුවත් නෑ වගේ

එහෙනම් අශාන්ගේ යානයට පිටතින් ඇතුල් වෙන අදහස අත්අරින්න වෙනවා... මට යානා සියල්ලම සම්බන්ධ කරලා දෙන්න

සෙබලිය සූදානම් කල පණිවිඩ හුවමාරු උපකරණය සියතට ගත් අසනි සියළුම යානා ඇමතීමට සූදානම් විණි.

මම අසනි... මම තමයි ඔබේ නව අණ දෙන නිලධාරිනිය... ඔබට අශාන් ගමන්කරන 2819SS යානයේ ඉලක්කය ගත හැකි ඕනෑම මොහොතක පහර දී විනාශ කරන්න සම්පූර්ණ අවසරය මම ඔබලාට ලබා දෙනවා...

ඊළඟට අපි මොකද කරන්නේ??ඒ ප්‍රශ්නය විමසූයේ අනූ විසිනි.

කරන්න තියෙන හොඳම දේ මේක තමයි අනූ.අශාන්ට බේරිලා යන්න දෙන්න බෑ ඇරත් අපේ යානයකුත් අරගෙන කොහෙත්ම යන්න දෙන්න බෑ.සමහරවිට මේ තීරණේ නිසා මගෙ තනතුරත් නැතිවෙන්න පුළුවන් ඒත් මම මේ තීරණේ ගත්තේ පෞද්ගලිකව අයුමිගේ ජීවිතේ නැති කරපු පලිය ගන්න.දැන් ඉතින් බලාගෙන ඉමු...

2819SS යානය වේගයෙන් මධ්‍යම කඳු පන්තිය කෙරෙහි ඇදෙමින් පැවතුනේ ශබ්දයේ වේගයද ඉක්මවමිනි යානය කඳු වලල්ලෙහි ඝට්ටනය වීමට ඉතාමත් ආසන්නව පැවතිණි.ඒ වන විට සෙබලියන්ගේ ප්‍රහාරක යානා ආරක්ෂිතව නැවත ගුවනේ ඉහලට ගැනීමට පාලන මැදිරියෙන් උපදසේ දී තිබිණි.ඔවුන් කඳු පන්තියේ ඝට්ටනය අවම කර ගැනීමට සිය යානා ඉහළට ගන්නවාත් සමගම නොසිතූ විරූ පිපුරුම් රාශියක් එක්වරම සිදුවූයේ පාලන පාලන මැදිරිය පමණක් නොව යානා නියමුවරියන්වද පුදුමයට පත් කරවමිනි.

යානා පොකුරෙහි ඉදිරියෙන්ම ගමන් කරමින් සිටි නියමුවරියට එක්වරම දිස්වූයේ ගිනි බෝල විලසින් ගිනිගෙන දැවෙන යානා සමූහයකි.ඒ සමගම ඇයි මූලස්ථානය අමතන්නට විය.

මේක උගුලක්.... මේක උගුලක්.... පාලන මැදිරිය අමතන්න.... අපට කිසිම යානයක් ඉහලට ඔසවාගන්නට හැකියාවක් නෑ.... කඳු පන්තියේ ඝට්ටනය වලක්වන්න අවශ්‍ය උස ප්‍රමාණයට පිවිසෙන්න අපට කිසිම ඉඩක් නෑ ඉහල සම්පූර්ණයෙන්ම පාවෙන බෝම්බ අතුරලා...

ඒ පණිවිඩය ඇසෙත්ම අසනිගේ දෙඅත් හිස වෙත ඇදුනේ නිරායාසයෙනි.කුමක් කල යුතුදැයි තීරණයක් ගත නොහැකිව ඈ අසරණව සිටියාය.ඇයට වැඩි වේලාවක් සිතීමට අවකාශ නොලැබුණි ඇය අසල සිටි අනූ ඇය ඇමතූවේ බැරෑරුම් හඬකිනි..

මැඩම්... තව විනාඩි පහක් ඇතුලත අශාන්ගේ යානය කඳු වලල්ලේ ගැටෙන්න නියමිතයි.අපේ යානාවලටත් වැඩි වෙලාවක් ඉතුරුව නෑ....

එය කණ වැකුණු වහාම අසනි වහාම පාලන පුවරුව වෙත පැමිණ සන්නිවේදකය සියතට ගත්තේ වෙව්ලන දෑතිනි.

මම මේ කියන දේ හොඳට අහගන්න... අවසාන මොහොතේ හරි අශාන්ගේ යානය ඉලක්ක කරගන්න පුළුවන්නම් දෙවරක් නොහිතා පහරදෙන්න.අශාන් ගමන් කරන යානය හැප්පෙන්න තත්පරේකට කලින් හරි විනාස වෙනවා දකින්න මට ඕන.ඔබ අනිවාර්යෙන් මෙය කරන්න ඕන ඒක අණක්....

ඒත් මැඩම්....

කට වහගන්න අනූ මේක තමයි එකම විදිය... මට ඒ යානය විනාස වෙනවා දකින්න ඕන කොහොම හරි.ඉතිරි යානාවල සිටින නියමුවරියන්ටයි මේ දැනුම් දීම ඔබලාට යානා අතහැර යෑමට අවසරය මේ මොහොතේ මම ලබාදෙනවා....

පණිවිඩය ලැබුණා මූලස්ථානය.... ප්‍රහාරය සඳහා ඉලක්කය ලබා ගන්නවා... ප්‍රධාන යානාවෙන් පාලන මැදිරිය වෙත පණිවිඩ ගලා එන්නට විය.පාලන මැදිරියේ කිසිවෙකු කිසිවක් ප්‍රකාශ නොකලේ එම තත්වය එතරම් ත්‍රාසජනක අවස්ථාවක් බැවිනි.

“2819SS යානය ඝට්ටනය වීමට තව තත්පර 60...

පාලන මැදිරියේ සියළු දෙනාගේ දෙනෙත් ගිලී පැවතුනේ ප්‍රධාන යානයේ කැමරාවෙන් දකින්නට ලැබෙන අශාන්ගේ යානයේ ගමන් මග දෙසටයි.

“2819SS යානය ඝට්ටනය වීමට තව තත්පර 50...

අශාන්ගේ යානය දෙපසට වැනෙමින් පැවතීම නිසා තවම ප්‍රහාරය හරි හැටි ඉලක්කගත කරගැනීමට ප්‍රධාන යානයට නොහැකි තත්වයක් උදා වී තිබිණි...

“2819SS යානය ඝට්ටනය වීමට තව තත්පර 30...

මොකක්ද කරන්නේ පහර දෙන්නේ නැතිව... වහාම පහරදෙන්න ඉලක්කය ඇතුව හරි නැතිව හරි

ඒ සමගම දර්ශන පථය ගුවන් යානාවල ප්‍රහාර වලින් වැසී යන්නට විය.ස්වල්ප මොහොතකින් ඉතා විශාල පිපුරුම් හඬක්ද අසන්නට ලැබුණු අතර ඒ සමගම තවත් පිපිරීම් රාශියක්ද ඇසෙන්නට විය...

ප්‍රහාරය සාර්ථකයි.... අශාන්ගේ යානය විනාශ වූ  බවට සහතික කරන්න පුළුවන්... ඒත්..

ප්‍රධාන යානයේ නියමුවරියට කිව හැකි වූයේ එපමණකි.එක්වරම ඇගේ යානයේ ඉදිරිපස වීදුරුව පාසාරු කරමින් පැමිණි තියුණු උල් රැසක් ඇයව නිශ්චල කලාය...
 ඉන් සුළු මොහොතකින් වීඩියෝ දර්ශනයද විසන්ධි විය.

මැදිරිය තුල ඉතාමත් දිගු නිහඬතාවක් රජ කරන්නට විය...

සේරම ඉවරයි.... අපි මොනවද දැන් කාන්තා ජනපද නියෝජිතයන්ට දැනුම් දෙන්නේ??

තවම මේක ඉවර නෑ අනූ.... අශාන් කියන්නේ අනතුරු වලින් බේරෙන්න පුදුමාකාර ඉවක් තියෙන කෙනෙක්.මට ඔහුගේ ශරීරේ එක කොටසක් හරි දකිනකන් එයා මැරුණු බවට තහවුරු කරන්න බෑ.ඒ අවට සෝදිසි කරන්න පර්යේෂණ කණ්ඩායමක් යවන්න දැන්ම....

අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මැඩම්....

ඒ මොකක්ද??

සෝදිසි කණ්ඩායමක් අපේ මූලස්ථානයෙන් යවන්න හැකියාවක් නෑ.අපේ සෙබලියන්ගෙන්  මූලස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන්න සිටිය යුතු අවම ප්‍රමාණය පමණයි ඉතිරිව ඉන්නේ... තත්වය මීටත් වඩා දරුණු වෙනවා මැඩම්....

තව දරුණු වෙන්න හැටියක් නෑ අනූ.කැරලිකාර කණ්ඩායම ඉන්නේ අපේ අත්අඩංගුවෙ නිසා ආරක්ෂාව ගැන ලොකු ප්‍රශ්ණයක් අපිට ඇතිවෙන්නේ නෑ... ගුවන් යානාවලින් නිහ්ක්ෂේපනය වූ සෙබලියන් නැවත මූලස්ථානයට හැකි ඉක්මනින් රැගෙන ආවාම සේරම ප්‍රශ්න විසඳෙනවා..

නමුත් මැඩම්... සෙබලියන්ගේ සිරුරට සවි කරලා තියෙන ජීව ආධාරක පද්ධතිවලින් කිසිම ආකාරයක සංඥාවක් මූලස්ථානයට ලැබෙන්නේ නෑ... ඒකේ තේරුම....... ඇයට ඇගේ වාක්‍යය සම්පූර්ණ කරගැනීමට ප්‍රධාන සෙබලියගෙන් කිසිදු ඉඩක් නොලැබුණි.

ජීව ආධාරක පද්ධති ක්‍රියාත්මක නැති වුනත් සෙබලියන් දිවිගලවගන්න නැතිව ඇති කියලා හිතන්න බෑ අනූ.අපි එතනට අනිවාර්යෙන් පිරිසක් යවන්න ඕනේ.එක්කෙනෙක්ව හරි බේරගන්න පුළුවන්නම් ඒක නොකර ඉන්න බෑ මගේ අණ හින්දයි මෙහෙම දෙයක් වුනේ.අනික මට අශාන් මියගිහින්ද නැද්ද කියලා හරියටම දැනගන්න අවශ්‍යයි....

හොඳමයි මැඩම්... මම කුඩා කණ්ඩායමක් පිටත් කර යවන්නම්යැයි පැවසූ අනූ පාලන මැදිරියෙන් පිටව ගියාය

දෙවන ප්‍රධාන සෙබලිය වූ අසනි ඉතා ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියාය.කිසිදු අයුරක පෙර පුහුණුවක් නොමැතිව පවා තමාගේ හොඳම සෙබලියන් ක්‍රියාත්මක කල ගුවන්යානා සියල්ලම විනාශ කිරීමට අශාන්ට හැකිවූයේ කෙසේදැයි යන කරුණ ඇයව නොසන්සුන්තාවකට පත්කර තිබිණි.

****

ගුවන් යානා අංගනය සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලී පැවතුණි.වරින් වර දැල්වුණු රතු ආලෝකය අඳුර මදක් හෝ දුරුකිරීමට සමත්වූ අයුරක් පෙනෙන්නට තිබිණි.අඳුරු සෙවනැලි අතරින් එක්වරම දැකගන්නට ලැබුනේ චලනය වන සෙවනැල්ලකි.


සෙමෙන් සෙමෙන් චලනය වන්නට වූ එම ඡායාව ස්වල්ප මොහොතකින් ගුවන් යානා අංගනයෙන් පිටතට පිවිසගත් අතර ඉන් පසු ඉතා වේගයෙන් ඉදිරියට ඇදී ගොස‍් අතුරුදහන් විය.

ප/ලි

සිදුවූ ප්‍රමාදයට සැමගෙන්ම සමාව අයදිමි.

කොටස් කීපයක් ලියලා අවසන් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට පෝස්ට් කරන්නම්.අමතකම වෙලා තිබිච්ච මේ කතාව ගැන අහලා පොඩි තල්ලුවක් දුන්නු කළු කුමාරට මාගේ ස්තූතිය...