Tuesday, October 29, 2013

අමර ගල,සිරි දිගන මරණීය චාරිකාව...



මා මේ කියන්නට යන්නේ මා ජීවිතයේ බිහිසුණුම අත්දැකීමක් ලැබූ ගමනක් පිළිබඳවයි.ආපස්සට හැරී බලනවිට එය කෙතරම් මෝඩ ක්‍රියාවක් යැයි සිතුනද එම අවස්ථාවේ නම් මා හට දැනුනේ එය මා ජීවිතයේ ලද ජයග්‍රහණයක් ලෙසිනි.

සියල්ල ඇරඹුනේ හදිසියේම ආදරීට ඇතිවූ අසනීපයක් නිසා ඇයව මහනුවර ඇගේ නිවෙසට ඇරලවන්නට යාමට සිදුවීමත් සමගිනි.රැකියාවක් කරමින් සිටි ඒ සමයේ සිකුරාදා දින නිවාඩුවක් ලබා පිටත් වූ මා නවාතැන් ගැනීම සඳහා පිවිසියේ තෙල්දෙණියේ පිහිටි මාගේ නැන්දාගේ නිවෙස වෙතයි.

පසු දිනම නැවතත් කොළඹ බලා පැමිණීමට අදහස් කරගෙන සිටියද මාගේ ඥාති සොයුරාගේ කීමට දෙදිනක්ම එහි නැවතීමට තීරණයක් ගත්තෙමි.ආගිය තොරතුරු කතාකරමින් සිටින අතරතුර නුවන් අයියා පෙන්වූ ඡායාරූප පෙළකට මගේ සිත ඇදී ගියේ එවන් අත්දැකීමක් මා මින් පෙර ලබා නොතිබූ බැවිනි.එම ඡායාරූප කිහිපය හුන්නස්ගිරියේ සංචාරයක සොඳුරු අත්දැකීම් සටහන් වී තිබිණි.එය දුටු මොහොතේ සිටම එවන් වූ අත්දැකීමක් ලැබේ නම් යන සිතුවිල්ල මගේ සිත වසාගැනීමට සමත්විය.

දෙදිනක්ම මා තෙල්දෙණියේ නැවතී සිටින බැවින් කෙසේ හෝ මෙවැනි ගමනක් යෑමට මතුවූ අවශ්‍යතාව නුවන් අයියාට පවසමින් ඔහුට ඇණයක් වීමට මම ඉටා ගත්තෙමි.නමුත් එම අදහස ව්‍යර්ථ වූයේ ඒ වන විට පැවති වර්ෂාවත් සහ ඉතිරිව තිබූ දවසක කාලය හුන්නස්ගිරියට යෑමට තරම් ප්‍රමාණවත් නොමැති බව ඔහු පැවසූ බැවිනි.නිවසට වී සිටීම තිත්ත වූ තැන අපි දෙදෙන තෙල්දෙණියේ රවුමක් යෑම සඳහා පිටත්වූයේ දහවල් 12 ට පමණය.ඒ යන අතරතුර මී මැසි පාලනයක් සිදුකරන නුවන් අයියාගේ මිතුරෙකු පිළිබඳ මා සමග පැවසූ අතර ඔහුව මුණගැසීමට හැකිවුවහොත් ඇති පදම් මී පැණි කෑ හැකි බව පැවසූයෙන් ඒ ගැන කෑදරකමක් මටද ඇතිවිය.එම මොහොතේම ඔහු අමතා තෙල්දෙණියේදි හමුවීමට යොදාගත් නුවන් අයියා අසල තිබූ බේකරියකට ගොස් පාන් ගෙඩියක්ද රැගෙන ආවේය.

"පාන් ගෙඩියක් මොකටද?"

"ඉන්නවකෝ අරූ එනකන් ඊට පස්සෙ දැනගත්තෑකි"

"හ්ම් හ්ම්"

මදකට නිහඬ වූ අප සිරිදිගන දෙසට හැරෙන මාර්ගය දෙසට වී මග බලා හිඳින්නට වූයේ නුවන් අයියාගේ මිතුරා වූ අමර අයියා පැමිණෙන තුරුයි.පැය භාගයක පමණ කාලයකදී ඔහුද එම ස්ථානයට පැමිණි අතර විනාඩි කීපයක කතා බහකින් අනතුරුව ඔහු යමං මල්ලි යැයි පවසමින් ඉස්සර විය.

"මී පැණි නම් තියෙයි කියලා හිතන්න අමාරුයි මේ දවස්වල මල් නෑ අනික වැස්ස.පැණි තිබ්බොත් උඹේ වෙලාව"

"ඒකට කමක් නෑ මං මේ නගින්න කන්දක් හොය හොය ඉන්නෙ... "

"යමංකො යමංකො උඹට කඳු එපා කරවන්න"


අමර අයියාගේ ගෙදරට යන මග අතරමැද

සුන්දර වටපිටාව


ලොරි පවා පිඹගෙන යන පාරකි

අමර අයියා සහ නුවන් අයියා

කුඩා දියපහරවල් හැමතැනම

කෝටි ගානක ගල් (දැනටමත් කඩන්න සූදානමින්)

එම ගල් කන්ද පසුකිරීමට විනාඩි 15ක් පමණ ගතවිය

අතරමග දියපහරකින් විඩා නිවාගනිමින්(අතේ ඇත්තේ පාන් ගෙඩියයි)


පැය එකහමාරක පමණ ගමනකින් අමර අයියාගේ නිවසට ලඟාවීමට හැකිවිය.ඒ වන විට අනිත් දෙදෙනා කෙසේ වුවත් මා සිටියේ ඇඟිල්ලෙන් ඇන්නත් වැටෙන තරම් මහන්සියකිනි.නිවස තුලට යත්ම කොහේදෝ සිට පැමිණි තඩි බල්ලෙක් පැමිණියෙන් මා ඉද්ද ගැසුවාක් මෙන් සිටගත්තේ බලු තඩියන්ට මා පෙන්නන්නට බැරි බව දන්නා හෙයිනි.නමුත් ඌ සුරතල් බලුතඩියෙක් බව මොහොතකින් වැටහුනේ අමර අයියාගේ විධාන වලට රංගනයේ යෙදුනු අපූරුව දුටු බැවිනි.

නුවන් අයියා ඒ වන විට පාන් ගෙඩිය ඒ මේ අත සොලවමින් සිටියේ අමර අයියාට මී පැණි අරන් වරෙන් නොකියා කීමට මෙනි.සුළු මොහොතකින් මී පැණි ජෝගුවක්ම රැගෙන පැමිණි අමර අයියා ආ ඉතින් දැන් කාපන් ඉතුරුවා බීපන් යැයි පැවසුවේ සිනාසෙමිනි.

අවසරය ලද ඇසිල්ලෙන් මී පැණි ජෝගුව පිඟානකට වක්කරගත් මා පිස්සුවෙන් වගේ කෑමට පටන්ගත්තේ මී පැණි දුටු විට ඇතිවූ අමුතු බඩගින්න නිසාවෙනි.ඒ දුටු අමර අයියා නොනවත්වා සිනාසෙන්නට විය.කටේ පුරවාගත් පාන් කැබලි එසේම තිබියදී ඇයි හිනාවෙන්නේ යනුවෙන් මා ඇසූ විට ඔහු පැවසූවේ...

"යකෝ... පරිප්පුයි හොදියි කනවා වගේ මී පැණි එක්ක පාන් කන්න බෑ.හිටහං කන හැටි පෙන්නන්න"

"හ්ම්..."

"ඉස්සෙල්ලා පාන් කෑල්ල පැණි එකට දාලා පොඟවගනින් එතකොට යන්තම් ඝනකමට පැණි බැඳෙනවා ඕන්නං දෙපැත්තම එහෙම පොඟවගෙන කාපං එතකොටයි රස"

ඕං ඔහොමයි පැණියි පානුයි කන්නේ

එම ක්‍රමය පැණි සමග පාන් කෑමට කියාපුම ක්‍රමයකි.පැණි වල නියම රස දැනෙන්නට වූයේ ඉන්පසුවයි.නුවන් අයියාත් මාත් නොනවත්වා කෑවේ තව පාන් ගෙඩියක් ගෙනාවේනම් යෙහෙකැයි කියමිනි.නමුත් අවසන් පාන් පෙත්තට ලඟා වන විට එයට අත තැබීමේ කිසිදු ආසාවක් අප දෙදෙනා තුලම නොවිනි.කෙසේ හෝ එම පාන් පෙත්තට දෙවෙනි නොවූ මා එක කටට එය ගිල දැම්මේ මෙවන් අවස්ථා ලෙහෙසියෙන් නොපැමිණෙන බව දන්නා බැවිනි.ස්වල්ප මොහොතක් යනතුරු උන් ඉරියව්වෙන්ම වැතිර සිටි අපගේ නෙත් වලින් මත්වූ බවක් දිස්වුනු බව අමර අයියා පසුව පැවසීය.

විනාඩි කීපයක් ගතවූ තැන අමර අයියා මා අමතා ඇසුවේ කන්දක් නැගීමේ ආසාව තවම පවතීද යනුවෙනි.ඒ මොහොතේ දෙවරක් නොසිතා දැන් නං ඕනතැනක නැගතෑකි යනුවෙන් පැවසූ මා නැගීසිටි වේගයට පිඟානද තව ඩිංගෙන් කැබලි වන්නට තිබිණි.

"මේ ලමයිව අර බෑවුමේ එහෙම එක්කන් යනවා එහෙම නෙමෙයි... මත් වෙලා ඉන්නේ හොඳටම" එසේ පැවසූවේ අමර අයියාගේ මව්තුමියයි.

"මුංට ඒකෙ යන්න බෑ අම්මෙ මට මුංව උස්සගෙන තමා එන්න වෙන්නෙ එහෙ ගියොත්"

පසුව අමර අයියාගේ ගේ පිටුපසින් අප ඒ විශාල කන්ද තරණය කිරීමට පිටත් විය.අමර අයියාගේ බලු තඩියාද පිම්මේ අප පසුපස හඹා ඒමට විය.අමර අයියා කීප වරක්ම ඔහුව ආපස්සට එලවාගෙන ගියද ඌ උගේ අදහස වෙනස් කිරීමේ තීරණයක නොවිනි.අවසානයේ ඌට ඕනැ එකක් කරගන්නට දී අප අපේ පාඩුවේ කන්ද තරණය කිරීම නැවත ආරම්භ කලෙමු.

"ඒ ඉක්මනට එනවා ඔය පෝං එක පැත්තක දාලා"

අප ආ මග

පැය භාගයක පමණ ගමනකින් අනතුරුව අමර අයියා  එක්වරම ගමන නතර කලේ නුවන් අයියාවද මාවද භීතියට පත් කරවමිනි.

"පාර වැරදුනා වගේ බං... මෙතනින් එහාට යන්න බෑ හෙන පල්ලමක් තියෙන්නේ ඔතනින් යන්න අමාරුයි.කටු පඳුරු හැමතැනම.ආයේ යමං අනිත්පැත්තට"

"කමක් නෑ පල්ලමේ යං ලිස්සන එකක් නෑ" ඒ මාගේ කටහඬයි

"යමු හැබැයි වැටෙන්න ගියොත් කටු පඳුරු කියලා බලන්නැතුව අතට අහුවෙන එක අල්ලගනින්"

“ඒක නෙමේ කෝ ටයිසන්?" අප සැමටම බලු තඩියාව මතක් වූයේ එවිටයි.

උගේ නම කියා කෑ ගසමින් අප කටු පඳුරු සහිත බෑවුම තරණය කිරීමට පටන් ගතිමු.


"ඔළුව පාත් කරන් වරේ...න්"

"හිමින් වරෙන් යකෝ ලිස්සනවා"

ඡායාරූපයක්වත් ගැනීමට නොහැකි ආකාරයේ කටු පඳුරු ගොන්නක පැටලී හරඹ කරමින් පැයක පමන කාලයක් ගතකර යන්තම් සමතලා භූමියකට පැමිණියේ "ඇති යාන්තම් " කියමිනි.නමුත් ඉදිරියෙන් දිස්වූ ගල් තලාව දෙකකුල් පණ නැති කරවීමට සමත් විය.එම ගල්තලාවට පිවිසෙන ස්ථානයේ ටයිසන් නැමැති තඩි බල්ලා වැතිරී සිටි අතර අප දුටු වහාම ඌ කෙඳිරිගාමින් ඉදිරියට පැමිණියේ අමර අයියාගේ කරට පැනීමට මෙනි.කොට කලිසමක් ඇඳගෙන පැමිණීමේ විපාක ගැන සිහිකරමින් මා ඉදිරියට ඇදුනෙමි.

"ගැමියා මල්ලි.. මේක තමා අම්මා කියපු බෑවුම.හොඳට හිතලා කියහං මහන්සිද මේකෙ නැගතෑකිද කියලා.නගින්න අඩිය තිබ්බට පස්සෙ ආයෙ හැරෙන්න බෑ පල්ලෙහාට තනි බෑවුමක් තියෙන්නෙ"

"අයියෝ මේකත් බෑවුමක්ද මේකෙ ඇවිදගෙන යතෑකි.."

"කමක් නෑ කෝකටත් බඩගාගෙන නැගපං"

වහින්න කලින් වරෙන් වැස්සෙ යන්න අමාරුයි

වරෙං බං බලාගෙන ඉන්නෙ නැතුව

සිත දෙගිඩියාවෙන් යුතුව සුලු මොහොතක් බෑවුමට මෙහායින් සිටියද බලු තඩියාද දෙවරක් තුන්වරක් ඉදිරියට යමින්ද නැවතත් මා සිටි දෙසට පැමිණෙමින්ද නෝන්ඩිය දැමු බැවින් ඕන එකක් වෙච්චාදෙන් යන හැඟීමෙන් යුතුව එම ගල් පොත්ත නැගීමට පිවිසුනෙමි.

අඩි කිහිපයක් පමණ කිසිදු අමාරුවකින් තොරව මේකත් කන්දක්ද යැයි පවසමින් නගින්නට වුවද එක්වරම පය තැබූ ගහක මුලක් ගැලවීමෙන් මා ලිස්සා ගල් පොත්ත මතම ඇද වැටුනි.ඒ සමගම පහල බැලූවෙන් ඇස් නිලංකාර වීගෙන පැමිණියෙන් අයියේ යනුවෙන් කෑ ගැසීමට සිදුවිය.ඒ මොහොතේ නුවන් අයියා මා සිටි දෙසට ඒමට සැරසුනද අමර අයියා නුවන් අයියාට නවතින්න යැයි කෑ ගැසීය.

"උඹ හිටහං නුවන් උඹට හුරු නෑනේ.. මල්ලි ඔහොම්ම අල්ලගෙන හිටහං කකුල තිය තිය ලිස්සන එක නවත්තපං"

ඒ වන විටත් ස්වල්ප වශයෙන් මා කන්ද පහලට ලිස්සීම ආරම්භ කර තිබුනේ ගල් පොත්තේ කැඩී ගිය ගල් කැබලි වලට මුළු ඇඟම සීරීමට පත් කරවමිනි.අමර අයියා කී පරිදිම කකුල් තැබීමට උත්සහ කලද දනිහ සීරෙනවාට වැඩි යමක් සිදු නොවිනි.මරු විකල්ලෙන් පීනන එකෙකු මෙන් අත් පා ගසමින් ගල්පොත්තේ එල්ලී සිටීමට දැරූ තැත අවසානයේ සාර්ථක වීමෙන් කන්ද පහලට ලිස්සීම අවම කරගැනීමට මා සමත්විය.ඒ සමගම කොහේදෝ සිට පැමිණි බලු තඩියා කෙඳිරිගාමින් මගේ අත ලෙවකන්නට විය.එය වෙන වෙලාවක සිදුවුනි නම් අනිවාර්යෙන්ම මම අත ගසා දමනු නියතය.නමුත් ඒ මොහොතේ ජීවිතය රැඳි තිබුනේ අතට අසුවූ එම සියුම් ගල් කුහරයක් නිසාවෙනි.

අමර අයියාටද මා සිටි ඉසව්වට ලඟාවීම එතරම් පහසු කාර්යයක් නොවිනි.මා ආරම්භයේ සිටම එම ගල්පොත්ත තරණය කිරීමට වූයේ අතරින් පතර වැවී තිබූ ගස් ආධාර කරගනිමිනි.එය කොතරම් අණුවන් ක්‍රියාවක්දැයි වැටහුනේ අමර අයියා පහලට පැමිණෙන අතර තුර කිසිදු වෙහෙසක් නොදරා ගස් කීපයක් උගුල්ලාගෙන එන අයුරු දුටු බැවිනි.ඌ අත අනුභව කලද දැන් ඉතින් අත අරින්නේ නැත.

තව අඩියක් පහලට ලිස්සා ගියේ නම් මාගේ කෑලි ඇහිලීමට අන්වීක්ෂයක් අවශ්‍ය වන බැව් පවසමින් අමර අයියා මාගේ කරට අතක් දමාගෙන වත්තම් කරමින් මදක් දුරට මා හට ආධාර සැපයීමට ඉදිරිපත් විය.ඉන්පසු ඉතුරුව තිබුණේ අවසන් කොටසයි.එම කොටස අඩි 10ක පමණ ගමනකි නමුත් අවම වශයෙන් අංශක 75ක් පමණ ඇලවූ ගල් පොත්ත නැගීමට මා හට සිදුවී තිබුණි.ආපසු හැරීමක් නොමැත කෙසේ හෝ එය තරණය කල යුතුම විය.

ගල්පොත්ත දෙපසින්ම වූයේ ඝනව වැඩුණු කැලෑ රොදයි.ඒ සමග විශාල ගස්වල උස තුරු මුදුනු ඇස් මට්ටමේ දැක ගැනීමටද හැකියාවක් ලැබුණි.

උස් තුරු මුදුනක අසිරිය

අවසානයේ ත්‍රාසජනක චිත්‍රපටවල කඳු නගින්නන් සේම කිසිදු ආධාරයක් නොමැතිව අත පයේ හයියෙන් එම අවසන් කොටස තරණය කිරීමට අප සමත්විය.කඳු මුදුනට පිවිසෙනවාත් සමගම සිහින් වැසි පොදයක් ඇද හැලෙන්නට වූ අතර මුළු පලාතටම ඇසේයැයි සිතා ඇති උපරිම වෙර ගෙන මා කෑ ගැසුවේ අභියෝගයක් ජයග්‍රහණය කිරීමෙන් ලැබෙන ඉහළම සතුට අත්විඳිමිනි.

කාලේ හැටියට ඔප්පු කිරීමට රූපයක් උවමනාමය..(බුකි පොටෝවේ ඇති ඇඳුමමය)

කඳු මුදුනේ සිට වම් පැත්ත බැලූ විට

මේ පෙනෙන්නේ රංගල ලු

කඳු මුදුනේ සිට දකුණු පැත්ත බැලූ විට

මේ පෙනෙන්නේ වික්ටෝරියා ජලාශය 

නැවතත් රංගල

වික්ටෝරියා ජලාශය පසුබිමින් සහ මේ මං අනිත් දෙන්නත් ඉන්නවා

පොද වැස්ස අවසානයේ පැහැදිලිව දිස්වූ ජලාශය

ඊළඟට වූයේ කන්ද බැසීමේ අදියරයි.ඒ වන විටත් අමර අයියා කන්ද බැසීමට ස්ථානයක් තෝරාගෙන තිබිණි.ඔහුගේ අඬගැසීමට ඒ දෙසට ගිය අප දෙදෙනාගේම රුධිරය ජලය බවට පත්වන්නට ඇත.තනිකරම අංශක 90 කිට්ටු බෑවුමක් කන්ද බැසීමට ඔහු සොයාගෙන තිබිණි.එය මින් පෙර ඔහු මිතුරන් සමග බැස්ස බවත් එය ඉතාම පහසු බවත් පැවසීය.

බහින්න තෝරාගත්තු තඩි බෑවුම

ඒ වන විටත් මා තීරණයක් ගෙන තිබිණි.හෙලිකොප්ටරයක් හෝ පැමිණ මා රැගෙන යනතුරු කන්දට වී සිටින බව මා අමර අයියාටද නුවන් අයියාටද පැවසුවෙමි.

"මේකෙ බහින්න දෙයක් නෑ බං අයිනට ගිහිල්ලා වාඩිවෙලා රූටලා යන්න තියෙන්නෙ විනාඩි 15න් රංගල පාරට වැටෙනවා"

නුවන් අයියාද ඔහුගේ  ඒ කීමෙන් පසු මාගේ අදහසට එකඟ විය.බලු තඩියාද අප පසුපස එන්නට වූයෙන් අප ඌව පෙරටුකොටගෙන අමර අයියාගේ නිවස බලා පිටත් වුනෙමු.ඌ හුරු පුරුදු මග පෙන්වන්නෙකු මෙන් අපට ඉදිරියෙන් ගමන් ගන්නට විය.අමර අයියාද අප පසුපස පැමිණියේ බලමුකො උඹලට කොච්චර දුර ඌ පාර පෙන්නයිද කියලා යැයි පවසමිනි.

කිව්වාත් මෙන් වල් ඌරෙකු නෙත ගැටුනෙන් බලුතඩියා යක්ෂාවේෂ විය.ඉන්පසුව බුරමින් එහාට මෙහාට පනිමින් ඌ පසු පස එලවීමට සැරසුනද අමර අයියාගේ කැ විධානයෙන් ඌ සන්සුන් විය.වල් ඌරාව මගහරිමින් යන ගමනේදි මී මැස්සන්ගේ වාසස්ථාන පිළිබඳ අවධානය යොමු කල අමර අයියා නැවත උන් ඇල්ලීමට එන බවක්ද පැවසීය.

මගදි හමුවූ පුස්වැල් වල එල්ලී ක්‍රීඩා කිරීමටද අමතක නොකල අපි සීතල උල්පත් වතුර බීමට ගත්තේ එම මොහොතේ අප සැවොම දැඩි පිපාසයක සිටි බැවිනි.එම වතුර තරම් රසවත් වතුර මින් පෙර මා පානය කර නැති බවද සඳහන් කල යුතුමය.

පුස් වැල් 

පුස් වැල්

මෙන්න වැල

නොසිතූ පරිදි ආපසු ගමනේද දිශාව වැරදීම හේතුකොටගෙන අපට බැසීමට සිදුවූයේ සිරිපුර පාසලක භූමියකටයි.අපහසුවෙන් වැට පැනගත් අප ප්‍රධාන ගේට්ටුවෙන්ද පැන මහපාරට පිවිසියේ නැවතත් අමර අයියාගේ නිවසට ගොස් තේ එකක් බී නිවිහැනහිල්ලේ ගෙදර යාමටයි.අසල තිබූ පීල්ලකින් ඇඟ පත සෝදාගත් අප අමර අයියාගේ මවගේ රසවත් තේ කෝප්පයක් පානය කර පැය දෙකක් පමණ ගතකොට තෙල්දෙණියට නැවත පැමිණියේ හතර පස් තැනක ගිමන් හරිමිනි...

ප.ලි

ගන්නා ලද සියළුම ඡායාරූප මාගේ ගන්නා ලද්දේ ඊ ටෙල් දුරකතනයෙන් වන අතර එහි ඇති අති සුපිරි කොලිටිය පිලිබඳ මාගේ බලවත් කණගාටුව.මාස 8කට පමණ පෙර අත්දැකීමකි මෙය.

34 comments:

  1. කඳු නම් මතක් කරන්න එපා බොලව්...උඹලා උදේ ගිය හින්දා හොඳට ගියා. මේක කියෝලා බලපන් අපිට වෙච්ච අටමගලේ..

    tharugelokaya.blogspot.com/2013/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. අඩේ.. මං බ්ලොග් වලින් ඈත් වෙලා හිටිය කාලේ වැටුන එකක්නේ බං ඒකයි මිස්වෙලා තියෙන්නේ හැබැයි මචං ඇඟේ මයිල් කෙලින් වෙන කතාවක් ඈ ඒක නම්... මාර අත්දැකීමක් ඈ...

      තරුවගේ කඳු අතර අතරමං වෙච්චි කතාව කියවලා නැත්තං උඩ ලින්ක් එක කොපි කරගෙන යන්ඩෝ ඒක කියවන්න වටින කතාවක්

      Delete
  2. කඳු නඟින්න නම් මගෙත් ආසාවක් තියෙනවා.. බලමුකෝ දවසක ඒක කර ගන්න පුළුවන් වෙයිද කියලා..

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න අවධානයකින් පරිස්සමින් කරන්න ඕන වැඩක් ඈ... කරන වෙලාවට මැරුනත් කමක් නෑ කියලා හිතුවත් ආපස්සට මතක් කරද්දි තමා හිතෙන්නේ එක අඩියක් වැරදුනානං කොච්චර විනාසයක්ද කියලා...

      හන්තාන වගේ කඳු නම් කිසිම අවුලක් නෑ තඩි පල්ලම් වල යන එක ගැනයි හොඳේ කිව්වේ... බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට

      Delete
  3. මීපැණි ගොඩක් කෑවාම මත් වෙනවා ඇති. ඒ හන්දා නිදිමත වෙනවා ඇති. එහෙම තියාගෙන කරලා තියෙන්නේ නිර්භීත වැඩක්...

    //කාලේ හැටියට ඔප්පු කිරීමට රූපයක් උවමනාමය..(බුකි පොටෝවේ ඇති ඇඳුමමය)//

    මේ ටික දැක්කාම හිනා ගියා. :D

    ReplyDelete
    Replies
    1. නිදිමත නං එනවා අනික පැණි උනත් වැඩිපුර කාගෙන යනකොට එපා වෙනවා... මත් ගතිය නිසාම වෙන්නෝනා ඔහොම වැඩක් කලේ... අත පය හූරගෙන ඇවිත් සිද්ධිය කිව්වාම නම් අපෙ අයියා තමා බැනුම් ඇහුවේ ඒ කියපුවා මතක් කරනකොට හිතුනෙම මෝඩම වැඩක් කලේ කියලා... නිර්භීතයි කියද්දි පොඩි කික් එකක් එනවා ඈ

      පොටෝවක් නැතිව බෑනේ... මං දැක්කා මාරයා අයියා දාපු පෝස්ට් එකක තිබ්බ කතාව.අනික මාරයා අයියගේ සෑහෙන ට්‍රිප් ගොඩක එයා ඔය කතාව කියලා තිබ්බා මං ඉතින් ඒක කොපියක් ගැහුවා.

      බොහෝම ස්තූතියි අක්කේ කොමෙන්ටුවට

      Delete
  4. The Adventures of Gamiya.
    දැන් හම ගැහිච්ච ඒවා සනීපද? ඇත්තෙන්ම මම දැන් තමයි උඹේ ෆෝටෝ එකක් දැක්කේ. මගේ හිතේ තිබ්බේ මීට වඩා කෙට්‍ටු පරඬලාවක් වගේ එකෙක්.

    පැණි කෑවාම මත් වෙනවා තමයි. මම මේ ලඟදි රෑක කෑම වෙනුවට දැන් හම ගැහිච්ච ඒවා සනීපද? ඇත්තෙන්ම මම දැන් තමයි උඹේ ෆෝටෝ එකක් දැක්කේ. මගේ හිතේ තිබ්බේ මීට වඩා කෙට්‍ටු පරඬලාවක් වගේ එකෙක්.

    පැණි කෑවාම මත් වෙනවා තමයි. මම මේ ලඟදි රෑක කෑම වෙනුවට අර සුගර් සිරප් එකේ පාවෙන කැරමල් පුඩිමක් කාලා බැලුවා . අම්මෝ බං මට පහුවදත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. හෙන්රියත් පැණි කාලා වගේ :)

      Delete
    2. පහුවදා නෙමේ තාමත් අමාරුයි වගේ... :D

      Delete
    3. ඒකනේ මං කිව්වේ, ඔය බලාපල්ලා තාම ඩෝප් වගේ. :D

      Delete
    4. හම ගැහිච්චා හොයන්නත් නෑ දැන්... පෙබරවාරියේ මේ ගමන ගියේ... ඉස්සර නං කෙට්ටුයි ඒත් දැන් නං ඌරා වගේ මහත් වෙනවා සුදීක අයියගෙ පාඩම් මාලාව ෆලෝ කරනවා...

      ඕං ඩුඩිතුමනි මේ ටික කියෙව්වාම මාව උස්සලා පොලේ ගැහුවා වගේ උනා
      //මම මේ ලඟදි රෑක කෑම වෙනුවට දැන් හම ගැහිච්ච ඒවා සනීපද? //

      තාමත් ඒ ඩෝප් ගතිය තියෙන බව ඔප්පු වෙනවා මේකෙන්ම හම්මේ කොහොම සැපයක් තියෙන්න ඇද්ද කාපු දවස් වල...

      Delete
    5. @ සුදීක අයියේ, & @සෙන්නා අයියේ

      කොමෙන්ටුවෙ හැටියටනං නාපු පාටක් පේන්නේ හිහි...

      Delete
  5. ලස්සණ යි ලස්සණ යි....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි බොහෝම ස්තූතියි...

      Delete
  6. ශා මරු ගමනක්නේ... මටත් ආස හිතුනා එහෙම ගමනක් යන්ඩ.. අඩේ දිල්ලියක මාවත් එක්ක පලයල්ලකෝ ! :)

    ReplyDelete
    Replies
    1. ප්ලෑන් කරලා ගියපු ගමනක් මතක ඇති කාලයක ගියෙ නෑනේ... ප්ලෑන් කරන්න ගත්තොත් කවදාවත් යන්න වෙන්නෙත් නෑ.මේකත් අහම්බෙන් ගියපු ගමනක්නේ... මොකෝ හිතන්නෙ බ්ලොග් ලියන කට්ටිය එක්ක හන්තානේ නගින්න වගේ ගමනක් දාගත්තොත්??

      යමුද මොකෝ කියන්නේ

      Delete
    2. අනිවාර්යෙන්ම යං...
      හැබැයි ඉතින් ඔය කිව්ව කතාව 200%ක්ම හරි.. ප්ලෑන් කරලා ගමනක් යනවා කියන්නේ බොරු !

      Delete
  7. මමත් පුදුම ආසයි මේ වැඩ වලට. රිවර්ස්ටන් පැත්තේ මේ වගේ ගමනක් ගිහින් අපෙත් එක්ක ගිය උන් අනාත වුන නිසා ආපහු ආවා. ළඟදී ගමනක් යන්න ඉන්නේ. විස්තර දාන්නම්.

    ReplyDelete
  8. ලංකාවේ ඉන්න කොට ඔන්න ඕකයි තියෙන වාසිය හිතුන වෙලාවක ට්‍රිපක් යන්න පුළුවන්. මේ කීවාම මටත් මී පැනියි පානුයි කන්න ආසාවක් ආවා කාලා බලන්න ඕනේ. අපරාදේ අර වල් ඌරා..............

    ReplyDelete
  9. පට්ට පදිරි මචන්.... මගේ ඇති එකම ආසාව තමයි කදු නැගල රෑ නවතින එක... එල එල.../

    ReplyDelete
  10. ලස්සන පරිසරයක්. ඊයෙ පෙරේදා කිව්වෙ ලංකාව වන විනාශයේ 4 වන ස්ථානය කියලා. අපි වාසනාවනත්ත වුනත් අනාගත දුවා දරුවන්ට මේවා බලන්න වාසනාව තියෙයිද දන්නෙ නැහැ. පරිසරයේ බොහෝ දෙනා නොදන්නා ස්ථාන ගැන ලිපි ලියද්දි, හැකිනම් එය ස්ථානය සොයා යන අයට පරිසරය රකින්න කියා ලිපියෙන් නොයෙක් වර මතක් කරන්න.

    ReplyDelete
  11. ane maawath ekkan yanna tibunane.........:))

    ReplyDelete
  12. ලස්සන ගමනක් මල්ලි. යකෝ අපිට නෑනෙ ඔහොම චාන්ස් එකක්.
    මීපැණි ඔය විදියට කාල බීල උඹල කෙලිං හිටිය කියන එක ලොකු දෙයක්.

    ReplyDelete
  13. වාවු නියම ගමනක් වෙන්න ඇති.....
    ඒක නෙමෙයි ගැහුණු ලොවක සිරකරු ඉතිරි කොයස දාන්නේ නැද්දෝ.........!!!!!!

    ReplyDelete
    Replies
    1. මූ අර ගල පල්ලෙ වැටුණනං ගැහැණු ලොවක හිරකරු වෙන්න තිබ්බ. :D

      Delete
  14. ඡායාරූප මතකයන් අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි...මමත් මේ වගේ 99න් බේරුනා ඉතාම උස ගල්පොත්තක් තරණය කරන්න ගිහිල්ලා මී මුරේදි...එදා වැටුනා නම් එතනමයි....

    ReplyDelete
  15. මේ වගේ පරිසරයක් මැද්දෙන් අපි පුවක් පිටිය ඉලුක් ඕවිට පැත්තෙ කන්දක් නැග්ගා.

    පැනි එක්ක කෝමද බං පාන් කන්නේ. ඈක්කා..

    ReplyDelete
    Replies
    1. අයියෝ කාලා බලන්නකෝ. හරිම රසයි..

      Delete
  16. ගැමියාගෙන් බොහොම කාලෙකට පස්සෙ වෙනස්ම ලිපියක්.. දැන් අර හිරකාරයට මක්කැයි කොරන්නෙ ?

    ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියන්නෙ ඕක තමා බොල. පැණි උනත් එච්චරයි.

    මේක කියවපුවම මට මතක් වුනේ අපි දුන්හිඳ ගිහින් වෙච්ච දෙයක්. ඇම්මට නැග්ගා සෙට් එකම මෙහා පැත්තෙ තිබුන ගල් තලාවකට. ඔය වගේ තද බෑමුම. වැටුනොත් ආයෙ කෑලිවත් හොයන්න හම්බෙන්නෑ.. එකෙක්ව රූටලා ගියානෙ පල්ලෙහාට.. කට්ටියගෙම ලේ වතුර වුනා. අන්තිමත මූව වැලක පැටලිලා නතර වුනා. ටවල් එකට ගැට ගහලා ඌට අල්ලගන්න කියලා බොහොම අමාරුවෙන් තමා උඩට අරගත්තෙ.

    ගැමියගෙ පෙණුමනම් කිංග්ස්ලිගෙ වගේ දැණුමත් ඒ වගේ තියනවා කියලා හිතනවා...

    ReplyDelete
  17. නියමයි. කොලිටිය අවුලක් නෑ. මේව උඹේම පිංතූර වීමයි මට නං වටින්නෙ.
    මීපැනි ගොඩක් කෑව කියන්නෙ ඉතිං බඩුම තමයි. ඊටත් වැඩිය සැරයිලු බඹර පැනි.

    ReplyDelete
  18. ඔන්න කාලෙකින් මල්ලිගේ දිග ලිපියක් කියෙව්වා. ලස්ස්නා අත්දැකීමක්..
    ඒ ෆොටෝ එකේ ඉන්නේ මල්ලිමද?.. :D

    ReplyDelete
  19. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  20. ane ammapa...thawa podden apita gamiyek na. ara kathawawath iwara karala hitiyanam ekath ekak... :D

    ara tharuwatath ohoma wadak wela thibuna mata mathaka widiyata

    ReplyDelete
  21. නියම ට්‍රිප් එකක් නේ ගිහින් තියෙන්නේ. හැබැයි මම නම් ඔය කඳු නගින වැඩ වලට පරාණ බයයි..

    මී පැණි එක්ක පාන් රහ ඇති නේ...

    ReplyDelete