Wednesday, December 14, 2011

අනතුරක් ජීවිතේට කල හදියක්-1 කොටස



මේ සිදුවීම මතක් වෙනකොට මීට මාස ගානකට කලින් මට දැනුනේ ජීවිතේ නැතිකරගන්න තරම් දුකක්.ඒත් දැන්නම් හැගීම වියැකිලා ගිහිල්ලා.


මේ සිද්ධිය උනේ මම 4 වසරේ ඉන්නකොට.ඒ කාලේ මට තාත්තා බයිසිකලයක් අරන් දුන්නා එදා ඉදන් ඉස්කෝලේ ගිහින් ආපු ගමන් බයිසිකලේ අපේ පාරේ උඩහටයි පහලටයි පදින එක තමයි මගේ රාජකාරිය.සමහර දවස්වලට ඉතින් අහල පහල ඉන්න මල්ලිලා දෙන්න එක්කත් රේස් පදිනවා.ඒ මල්ලිලා  තමයි යුවින් සහ රුවන් එයාලගේ නම් දැම්මයි කියලා තරහවෙන එකක් නෑ මයෙ හිතේ.

යුවින් ඒ කාලේ 2 වසරේ රුවන් 1 වසරේ හිටියේ.ඔන්න කොහොමහරි අපිට ඉස්කෝලේ නිවාඩු ලැබුන අළුත අපි කට්ටිය සෙට් වෙලා රේස් එකක් යන්න කථා වුනා වෙන කොහෙවත් නෙමෙයි අපේ ගෙවල් පාරේ.අපේ ගෙවල් පාර තනිකරම බෑවුමක් පාරේ කෙලවර තියෙන්නේ පොකුණක් ඒ පොකුණට ගෙවල් දෙකක් උඩහින් තමයි අපේ ගේ තිබ්බේ.රේස් එකක් තිබ්බාම අපේ ගේ ගාවට මුලින්ම එන කෙනාටයි දිනුම හම්බුවෙන්නේ.

ඔන්න අපි පහුවදා උදෙන්ම රේස් එක යන්නයි ලෑස්ති හැබැයි පොඩි ප්‍රශ්නයක් ඒ තමයි යුවින් මල්ලිගේ බයිසිකලේ බ්රේක් කැඩිලා.මම නම් කිව්වා බ්රේක් නැතිව පදින්න බෑ කියලා එක් ගමනක් මගේ බ්රේක් කැඩිලා මම පොකුණ පෙනි පෙනි බයිසිකලෙන් පැනලා යන්තම් බේරිලා හිටියේ.හැබැයි අනික් දෙන්නා කැමති නෑ රේස් නොපැද ඉන්න අන්තිමේදි යුවින් කිව්වා මම බයිසිකලේ කමලා ඇන්ටිගේ (මගේ පුංචි අම්මාගේ) වත්තට දාන්නම් ඒ වත්තේ කන්ද නිසා බයිසිකලේ නවත්තන්න පුළුවන් එතනින් රේස් එක ඉවර කරමු කියලා.මාත් ඉතිං හා කිව්වා හා කියලා රේස් එක පටන් ගන්න මහ පාර ලගටම ගියා.දැන් තුනට ගනන් කරලා ඉගිල්ලෙන්නයි සූදානම.

එකායි.....දෙකායි....කට්ටිය "තු" කියද්දි මම ඉගිල්ලිලා ඉවරයි.මල්ලිලා බැන බැන පාගනවා මම තමයි ඉස්සරහින්ම යන්නේ හයියෙන් යද්දි මාරම ජොලි කොහොම හරි දිනුම් කනුව පේන මානේ එද්දි මම ඇස් කොනින් දැක්කා යුවින් මාව ඉස්සර කරන්න හදනවා ඉතින් මම ඉස්සරහට නැමිලා තවත් හයියෙන් පාගනකොටම යුවින් බයිසිකලේ පාර හරහා දැම්මා මට මතකයි අපේ බයිසිකල් හැප්පෙනවා......

මම ඇස් අරිනකොට මගේ ඔළුවෙන් පුදුමාකාර වේදනාවක් ආවා ඒත් මට මගේ අත උස්සගන්න බෑ මුළු ඇගම පණ නෑ මම කථාකරාට වචන පිටවුනෙත් නෑ මට මතකයි මගේ අම්මා මගේ ඔළුව අතගානවා අම්මා කදුළු පුරවන් හිටියේ මම ඇස් අරිනවා දැකලා අම්මා කෑ ගැහුවා ටික වෙලාවකින් ආයේ කැරකිල්ලක් හැදුනා.

මම ආයෙත් ඇස් ඇරියා එතකොට දොස්තර අංකල් කෙනෙක් ඇවිත් මට කථාකරා මගේ ඔළුව රිදෙනවා අඩුයි දොස්තර අංකල් මගෙන් නම ඇහුවා මම උත්තර දුන්නා ඊට පස්සේ එයා මගේ ඇස් යට බලලා නර්ස් කෙනෙක්ට මොනාද කියලා ගියා අම්මයි තාත්තයි දෙන්නම මගේ ඇද ඉහත්තාවේ හිටියේ.ටික වේලාවකින් මාව ගෙදර ගෙනියන්න පුළුවන් කිව්වා වමනේ ගියොත් හරි කලන්තයක් දැම්මොත් හරි ආයේ මාව එක්කන් එන්න කියලා කියනවත් මම අහගෙන.මාව එක්කන් යන්න ආවේ රවිෂ මල්ලිගේ තාත්තා එයා එයාගේ කාර් එකෙන් මාව ගෙදරටම ගෙනත් ඇරලුවා.

මම ගේ ඇතුලට යද්දි මගේ බයිසිකලේ කෑලි කෑලි ගලවලා දාලා මට ඒකට ගොඩක් දුකයි මම ගොඩක් ආදරේ කරපු බයිසිකලේ මට නැතිවුනානේ.කොහොමහරි දවස් දෙකකින් තුනකින් මට සනීප උනා.මට තුවාලයක් වෙලා තිබුනේ නැතුවට මගේ ඇග ගොඩක් රිදි රිදි තිබ්බේ.සනීප උනාම අම්මලා මාව රවිෂ මල්ලිගේ ගෙදර එක්කන් ගියා ඒ ගිහින් අම්මා කිව්වේ මගේ පුතාගේ ජීවිතේ බේරුවට බොහෝම ස්තූතියි කියලා අන්න ඒ වෙලාවේ තමයි මම වෙලා තියෙන දේ දැනගත්තේ.

මම ඇවිත් තිබුනේ පුංචි අම්මලාගේ ගෙවල් පැත්තෙන් මම එහෙන් ආපු නිසා යුවින් මල්ලිට පුංචි අම්මලාගේ වත්තට බයිසිකලේ දාගන්න බැරි තත්වයක් ඇවිත්.පොකුණේ නවතින්න බැරි නිසා තමයි ඕන දෙයක් වෙද්දෙන් කියලා බයිසිකලේ හරවලා තියෙන්නේ

එදා මම හැප්පුනාම යුවින් මල්ලි බයිසිකලේට යටවෙලා මාව උඩින් විසිවෙලා ඉස්සරහින් වැටිලා රුවන් මල්ලි ඇවිත් මාව නැගිට්ටවන්න හැදුවාම මම නැගිටින්නේ නෑලු කථාවකුත් නෑලු අන්තිමට මං මැරිලා කියලා බයවෙලා මෙයාලා මාව පාරෙම දාලා ගෙදර දුවලා.රවිෂගේ ගේ පහුවෙද්දි තමයි මම වැටිලා තියෙන්නේ ඒ අංකල් මොකක් හරි පෙර පිනක් නිසා ගෙයින් එලියට ආවාම මම වැටිලා ඉන්නවා දැකලා කෑ ගහගෙන මාව ගන්න ඇවිල්ලා මාව ඉස්සුවාම මගේ බෙල්ල කඩන් වැටෙනවා දැකලා පුංචි අම්මා කලන්තේ දාලා.

ඒ අංකල් මාව වාහනේ දාගෙන එක්කන් ගිහින් මගේ තත්වේ යහපත් වෙනකන්ම ඉදලා තමයි අපේ අම්මලාට කියලා තියෙන්නේ.මම ගොඩාක් වෙලා සිහිය නැතිව ඉදලා තියෙනවා මගේ ඇගේ තුවාල නැති නිසා හිතලා තියෙන්නේ ඔළුව වැදිලා සිහි නැතිවුනා කියලා.අවාසනාවකට ඒ නිගමනය නිසා මට සෑහෙන්න දුක් විදින්න සිද්ධ වුණා.

පස්සේ පස්සේ දවසක් සෙල්ලම් කරොත් මට පහුවදා උන ගැනෙන්න ගත්තා කිසිම වැඩක් මහන්සි වෙලා කරන්න බැරි වුනා ඒත් මමවත් දැනගෙන හිටියේ නෑ ඇයි කියලා.ඉස්කෝලෙ ඉදන් ගෙදර ආපු වාර අනන්තයි කොන්ද රිදෙනවා කියලා.

උසස් පෙළ පන්ති යද්දි ඉන්න බෑ කියලා මම ගෙදර එද්දි යාළුවෝ මට බැන්නා.මම දන්නවා ඒ බැන්නේ මගේ විභාගේ කරගන්න උනන්දු කරන්න මිසක් තරහකට නෙමෙයි

අවුරුදු ගානක් මෙහෙම දුක් වින්දා අවසානයේ මීට මාස 10කට කලින් මගේ රෝග ලක්ෂණ මට අවසන් වතාවටත් පහර දුන්නා.ප්‍රථිඵලය වුනේ එක්තරා උදෑසනක මට ඇවිදීමට බැරිව යාමෙන්.මට දැනුනු දේ ඔබට නොවැටහෙන්නට පුළුවන් ඒත් අවුරුදු ගානක් මවපු සිහින බොදවෙලා යනකොට හිතට දැනුනු හැගීම් විස්තර කරන්න වචන නෑ.අම්මයි තාත්තායි මටත් වඩා මානසිකව වැටුනු හැටි මම දැක්කා.බයවෙන්න එපා කියනවා ඇර මට කියන්න කිසිම දෙයක් තිබුනේ නෑ.යාළුවෝ මාගේ ලගින්ම හිටියා.ලග ඉන්න බැරි වුනත් මගේ ආදරෙත් මට හිටියා ඒ නිසා මම හැකි තරම් ඉවසුවා.අන්තිමට වෛද්‍ය ප්‍රථිඵල ලැබුණා.

කොදු ඇට පෙළෙහි Disk එකක් Slip වෙලා කියලායි ප්‍රථිඵලේ කිව්වේ ඒ නිසා ස්නායු තදවීමෙන් දෙපා අකර්මන්‍ය විය හැකි බවත් සදහන් වුනා.විසදුම ශල්‍යකර්මයක් බවත් ඒ ශල්‍යකර්ම බොහොමයක් අසාර්ථක බවත් ස්නායුවකට සිදුවන සුළු හානියකින් සදාකාලික ආබාධිතයෙක් විය හැකි බවත් සදහන් වුණා.

දරාගන්නේ කොහොමද මම තනියෙන් අඩපු වාර අනන්තයි අප්‍රමාණයි.අන්තිමට මම තීරණයක් ගත්තා ආදරේට සමුදීලා අන්තරායක ශල්‍යකර්මයට මුහුණ දෙන්න.ඒක අසාර්ථක වුනොත් ජීවිතෙන් සමුගන්න.ඒත් මම මගේ ආදරේ ඉස්සරහා අසරණ වුනා ඇය එක හිතින්ම මට සමුදීම ප්‍රතික්ෂේප කරා.එන හැටියකට මුහුන දෙන්න ආදරේ පොරොන්දු වුණා.ඉතින් මම හිත දැඩිකරන් ශල්‍යකර්මයට මම සූදානම් කියලා කියන්න යද්දි අම්මයි තාත්තයි සිංහල වෙදකමට යොමුවෙන්න තීරණය කරලා තිබුණා.ඒ පොල්ගහවෙල වෙද ගෙදරක් ගැන අම්මට ආරංචි වෙලා තිබුණ නිසා.මගේ ජීවිතේ අද තියෙන තත්වෙට බේරලා දුන්නේ එතනින්.

අත්දැකීම් සමුදායක් වගේම විස්වාස කල නොහැකි බොහොමයක් දේ මම වෙද ගෙදරදි දැක්කා.ජීවිතේ අමතක නොවෙන කඩයිමක් තමයි ඒ.ඒ සිදුවීම් මගේ පත් ඉරුවෙන් හැකි පමණ ලබාදෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා

කථාව දිග වැඩි ඇති ඒත් තව කොටස් කීපයක් ලියන්නයි හිතාගෙන ඉන්නේ.ඒවා ඉදිරියෙදි බලාපොරොත්තුවෙන් ඉන්න ඈ......දෙවන කොටස බලන්න මෙතනින්

7 comments:

  1. මම හිතනවා මේක ඇත්තටම උන දෙයක් කියල .... එහෙම නේද .? ජීවිත අත්දැකීම් රස කර ලියන්න උබටත් පුළුවන් .. සදරුවාට වගේ ...

    දිගටම ලියන්න....

    ReplyDelete
  2. @Harshana,

    ඔව් අයියේ මේක ඇත්තම සිද්ධියක්.තාමත් මේ සිද්ධයේ බලපෑම නිසා මගේ ජීවිතේ වෙනස් වෙමින් පවතින්නේ.මේ දේ නොවුනානම් කියලා හිතෙන වාර කියලා නිම කරන්න බෑ

    සදරු අයියාගේ බ්ලොග් එකෙන් තමයි බ්ලොග් ලියන විදිය ඉගෙනගත්තේ එයා සෑහෙන්න ඉස්සරහා ඉන්න කෙනෙක්

    ReplyDelete
  3. පොඩිකාලේ බයිසිකලේ වේගෙන් පදින එක තරම් සතුටක් කාටවත් නැතුව ඇති...

    ඉතුරැ එකත් බලලා ඉමු.. ජය !

    ReplyDelete
  4. @sAm sRi,

    ඒක නම් සහතික ඇත්ත එහෙම යන ගමන් අත් අතෑරලා යනකොට තියෙන සතුට කියලා නිමකරන්න බෑ ඒත් ඉතිං වේගය මරු කැදවයි කියන්නේ නිකං යැ.බොහෝම ස්තූතියි අයියේ හිමින් සැරේ කියවන්නකෝ.ජය වේවා

    ReplyDelete
  5. දිල්ට වෙච්චි දේ මතක් වෙනව මේක කියවන් යනකොට... එක තත්පරයක් ඇති කෙනෙකුගෙ මුළු අනාගතයක් වෙනස් වෙන්න... ඔයාගෙ පුංචි අම්මා දැක්ක දර්ශනේ මං දැක්කා නම් මමත් කලන්තෙ දාවි.... දකින්නවත් සිද්ද වෙන්න එපා ඒව නම්...

    ReplyDelete
  6. @Miyuru අක්කේ,

    මම දිල් අක්කාගේ බ්ලොග් එක බැලුවා මේ දැන් ඒක සෑහෙන්න දුක හිතෙනවා එයා කොහොම ඉවසුවද මන්දා පව් කදුලු එනවා

    ReplyDelete
  7. මට කියන්න වචන නෑ....දැනන් හිටියෙ නෑ....හොඳ අයට ආයුෂ වැඩියි.ගලේ ගහලවත් මරන්න බෑ....ඔයත් ඒ වගේ.නිරෝගීව සතුටින් ඉන්න හැමදාම.....පරිස්සම් වෙන්න අමතක කරන්න එපා.ආදරයක් තිබ්බා කියල දැන් දන්නෙ.ආදරෙත් එක්ක සතුටින් ඉන්න හැමදාම...........
    පසන්ති

    ReplyDelete