Saturday, February 9, 2013

ගැහැණු ලොවක සිරකරු... 12 කොටස


මුල් කොටස් සඳහා
11 කොටස
************************************************************************
පෙර කොටසින්,

කාන්තා ජනපදයේ සෙබලියන් විසින් සිරගත කර තැබූ අශාන් ඉන් මිදෙන්නේ නොසිතූ අයුරින් පැමිණි ප්‍රධාන සෙබලියගේ අවිය පැහැරගෙන ඇයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුවයි.ඉන් අනතුරුව එම හමුදා මූලස්ථානයෙන් පලා යාම සඳහා අශාන් සැරසෙන්නේ තනිව සටන් කිරීමට ඔහු සතුව හැකියාවක් නොපවතින බැවිණි.අහම්බයෙන් මෙන් මූලස්ථානයේ යානා අංගනය වෙත පිවිසෙන ඔහු එම අංගනයේ යානාවක් රැගෙන පලා යාමට පියවර ගනිමින් සිටී....

මේ අතර ප්‍රධාන නිලධාරිනියගේ අඩුව පිරවීමට පැමිණි දෙවන ප්‍රධාන නිලධාරිනිය අශාන්ව නැවත කොටුකරගැනීමට උත්සහ කරමින් සිටියි....

අද එතැන් සිට,
****


සෙබලියගේ අවිය තවමත් අත දරා සිටින අශාන් එම යානා අංගනය ඉදිරියට ඇදුනේ අවට ඇති යානා පිරික්සමිනි.ඔහු ඉන් එක් යානයක් අසලට ලංව ඊට අත තැබුවා පමණි,ඔහුට ඇසෙන්නට වූයේ මහා හඬක් නගමින් නාද වන මූලස්ථානයේ අනතුරු ඇඟවීමේ නලා පද්ධතියේ හඬයි.මොහොතකට ඔහු තුෂ්ණීම්භූත වුවද එම අනතුරු හැඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක වූයේ ඔහු එම යානයට අත තැබූ නිසා නොවන බව ඔහුට පසුව වැටහිනි.

ඒ සමගම යාන්ත්‍රික හඬක් නංවමින් එක්වරම ඉහලට එසවුනේ අංගනයේ නවතා තිබූ යානයකි.ඔහු ඒ දෙසට ඔහු සතුවූ අවිය ඉලක්ක කල නමුත් එක්වරම එම යානයේ බඳ පෙදෙසේ තිබූ අංකය දැකීමෙන් අනතුරුව ඔහු සිය අදහස වෙනස් කරගතේතේය.

2819SS”
ඒ ඔහු විසින් ලබාදුන් විධානයට අනුව පරිගණකය විසින් සූදානම් කරන ලද යානයයි.ඔහු වහා එය දෙසට දුවන්නට විය.ඔහු එම යානය අසලට ලංවත්ම තවත් යාන්ත්‍රික හඬවල් ගණනාවක් ඔහුට ඇසෙන්නට විය.ඔහු සෙමින් පිටුපස හැරුනේ කුතුහලය පිරි බියෙන් සලිත මුහුණින් යුතුවයි.

ඔහු සිතුවා නිවැරදිය..... සියළුම යානා පණගැන්වී ඉහළට එසවෙමින් පැවතිණි.

අශාන් එම යානා සමූහය දෙස නෙතු අයා බලාහිඳින්නට වූයේ කිසිවක් සිතාගැනීමට පවා නොහැකිවයි.එකවර යානා සියයක් පමණ ක්‍රියාත්මක වූ විට ඔහු කුමක් නම් සිතන්නද.... ඔහුගේ දෙඅත් ඉබේම ඉහළට එසවුනේ යටත් වීමට තමා සූදානම් බැව් යානාවලට හඟවමිනි.ඔහු විනාඩි කිහිපයක් එලෙස නොසෙල්වී සිටියද යානාවලින් කිසිදු අයුරක ප්‍රතිචාරයක් නොලැබීම ඔහුව පුදුමයට පත්කිරීමට සමත්විය.ඔහු සෙමින් සෙමින් ඉහළට එසවූ දෑත් පහත හෙලුවද එම යානා එලෙසින්ම ගුවන්ගතව පැවතිණි....

ඔහු මදක් නිසලව කල්පනා කරන්නට විය.ඉන්පසුව සෙමෙන් අඩියක් පිටුපසට තැබුවද යානාවේ චලනයේ වෙනසක් නැති බව දුටුවෙන් ඔහු සිටි ඉරියව්වෙන්ම පසුපසට ගමන් කරන්නට විය.සෙමින් සෙමින් පසුපසට යමින් ඔහු තමා කලින් ලබාදුන් විධානයට අනුව පරිගණකය සූදානම් කර තිබූ යානාව වෙතට ලංවන්නට විය.ස්වල්ප මොහොතකින් ඔහුගේ සිරුර යානයේ බඳෙහි ගැටීමෙන් ඔහුගේ ගමන නතරවිය.වහා ක්‍රියාත්මක වූ ඔහු හැකි උපරිම වේගයෙන් එම යානයේ දොරටුව විවරකරමින් යානයට රිංගාගන්නට සමත්විය.තමා අනතුරුදායක අඩවියෙන් ගැලවුණු බව ඔහුට හැඟෙන්නට වූයෙන් සැනසුම් සුසුමක් ඔහුට නිරායාසයෙන්ම පිටවන්නට විය.යානයේ නියමු අසුනෙහි හිඳගත් ඔහු යානයේ ක්‍රියාකාරිත්වය කෙසේ සිදුවනවාදැයි පිරික්සන්නට විය.

යානයේ ක්‍රියාකාරිත්වය වටහා ගැනීමට ඔහුට එතරම් වේලාවක් ගත නොවුණි.මීට පෙර ඔහු ක්‍රියාත්මක කල යානය හා මෙය අතර එතරම් වෙනසක් නොතිබීම එයට හේතු විණි.යානයේ වූ පාලන පුවරුවට අත තබා යානය ඉදිරියට පියාසර කිරීමට සූදානම් වත්ම එම තිරයේ එක්වරම පණිවිඩයක් දිස්වන්නට විය.
ඉන් දැක්වුනේ යානයේ සිටින්නන්ගේ සෞඛ්‍ය තත්වයන් පිළිබඳ වාර්තාවන් ප්‍රධාන මූලස්ථානයට යවමින් පවතින බවකි.ඒ සමගම කලබලයට පත් අශාන් වහාම එම දත්තයන් යැවීම නැවැත්වීමට ක්‍රමයක් සොයන්නට විය.නමුත් ඔහුගේ කලබලය නිසාම යානයේ වූ වීඩියෝ කැමරාවද ක්‍රියාත්මක වන්නට වූ අතර ඔහු ඉදිරියේ වූ තිරයකින් ප්‍රධාන මූලස්ථානයේ රූප රාමුද දිස්වන්නට විය.තුෂ්ණීම්භූත වූ ඔහු මොහොතක් ඒ තිරය දෙස නෙත් යොමා සිටින්නට විය.එම තිරයේ දිස් වූයේ පාලන මැදිරියේ සිටින සෙබලියකගේ රුවකි.ඇය එම කැමරාවට පිටුපා යම් රාජකාරියක නිරතව සිටිනුද දක්නට ලැබිණි.

අශාන්ගේ ගැහෙමින් පවතින හස්තය පාලන පුවරුව හරහා සෙමෙන් රැගෙන ගියේ එම වීඩියෝ පණිවිඩය විසන්ධි කිරීම සඳහායි.... ඔහු වීඩියෝව විසන්ධි කරනවාත් සමගම සෙබලිය එක්වරම කැමරාව දෙසට හැරිණි.

ඇසි පිය නොහෙලා ඔහු එම තිරය දෙස බලා සිටින්නට වූයේ තදින් හුස්ම ඉහළ පහළ හෙලමිනි.එම සෙබලිය තමාව දුටුවාද නැත්ද යන වග ඔහුගේ සිතේ හොල්මන් කරන්නට විය.එක්වරම ඔහුගේ සිතට පැමිණි අදහසක් නිසාදෝ ඔහු නැවතත් කලබලයෙන් පාලන පුවරුවේ ඒ මේ අත ස්පර්ෂ කරන්නට විය....

****

ප්‍රධාන මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියේ සිටි සෙබලිය සිටියේ එම මූලස්ථානයේ සවිකර තිබූ සියළුම කැමරාවලින් ලැබෙන දර්ශන පිරික්සමිනි. තමා දෙස කවුරුන්හෝ බලාගෙන සිටින බවක් දැනුනෙන් ඇය වහා පිටුපස බැලූ නමුත් එම මැදිරියේ කිසිවෙක් නොවිණි.නමුත් ඔවුන්ගේ ගුවන් යානාවලින් ලැබෙන වීඩියෝ ඇමතුම් පරික්ෂා කරන තිරයක “Video Offline” යනුවෙන් සඳහන් වී තිබීම ඇගේ කුතුහලය ඇවිස්සීමට සමත් විය.

ඇය වහා සියළුම යානාවල තිබෙන වීඩියෝ කැමරාවලින් පටිගත වූ රූප රාමු පිරික්සන්නට වූයේ ඇගේ සැකය තහවුරු කරගැනීමේ අපේක්ෂාවෙනි.සියළුම යානාවලින් රූප රාමු ලැබුණද එක යානාවක කැමරාව ක්‍රියාත්මක නොවී තිබීම ඇගේ සැකය වඩාත් තීව්‍ර කිරීමට සමත් විය.

****
මේ අතර දෙවන ප්‍රධාන නිලධානිරිය අශාන්ව රඳවා සිටි කුටියෙන් ලබාගනිමින් සිටි ආලෝක අංශුන්ගේ දර්ශණ නරඹමිනි.අශාන්ගේ ගෙල සිරකරගෙන සිටින සෙබලිය එක්වරම පසුපසට විසිවී ඇද වැටෙනු දුටු ඇය විශ්මයට පත්වූයේ ඔහු කෙසේ එය සිදුකලාදැයි සිතාගත නොහැකිවයි.නැවත වරක් එම කොටස ඇය නැරඹුවේ සිරගත කොට සිටි අශාන් එවැන්නක් සිදුකලේ කෙලෙසදැයි පැහැදිලිව දැකගැනීමටයි.සෙබලියගේ අවිය අශාන් ඩැහැගන්නා අයුරු ඇය දුටුවේ එවිටයි...

ඒක තමයි ක්‍රමය... ඇය එක්වරම කෑ ගැසමින් මෙහෙයුම් මැදිරිය දෙසට දුවන්නට වූයේ පරීක්ෂණ කුටියේ කේතයන් පිරික්සමින් සිටි සෙබලියටත් අඬගසමිනි.

ඉක්මනට එන්න මට ඔයාගේ උදව් තවත් අවශ්‍යයි අනූ....
අනිවාර්යෙන්ම මැඩම් .....

ඔවුන් දෙදෙනා එක එල්ලේ දුවන්නට වූයේ මෙහෙයුම් මැදිරිය දෙසටයි.මෙහෙයුම් මැදිරියට ආසන්න වෙත්ම එහි යම්කිසි කලබලකාරී ස්වරූපයක් දුටුවෙන් ඔවුන්ගේ ගමන තවත් ඉක්මන් වන්නට විය.වහා එය තුලට පිවිසුනු අසනිට හා අනූට දැකගන්නට ලැබුනේ මෙහෙයුම් මැදිරිය පුරාම ඇති පරිගණක තිරවලින් දිස්වූ අශාන්ගේ රුවයි.

මේ කොහෙන් එන වීඩියෝ දර්ශණයක්ද???

2819SS යානයෙන් ආපු පණිවිඩයක් මැඩම්....

එහෙනම් වැඩේ තවත් පහසුයි....  වහාම අපේ සෙබලියන් එතනට පිටත් කරන්න... අනූ ඔයා ඒ යානයේ පාලනය අපේ අතට ගන්න පුළුවන්ද බලන්න ඉක්මන් කරන්න ඒ යානයට අපේ සීමාවෙන් එලියට යන්න දෙන්න එපා...

අසනිගේ විධානයත් සමගම එම කුටියේ සිටි සෙබලියන් සියළු දෙනාම ඔවුන්ගේ යානා අංගනය වෙත පිටත් වූයේ අශාන්ව යටත් කරගැනීමේ බලාපොරොත්තුවෙනි.මූලස්ථානයේ සිටි සියළුම දෙනාටද ගුවන් යානා අංගනය වෙතට යන ලෙස නියෝග ලැබුණේ නැවතත් අශාන්ට ගැලවී යාමට කිසිදු ඉඩක් නොදීමටයි.

යානා අංගනය සමීපයේ සිටි සෙබලියන් සුළු මොහොතකින් එහි ලඟා වුවද ඔවුනට දැකගැනීමට ලැබුනේ තම මූලස්ථානයෙන් පිටතට පියාසර කරමින් පවතින යානාවයි.මොහොතකට දැල්වුණු ඔවුන්ගේ බලාපොරොත්තු ක්ෂණයකින් සුනු විසුණු වූයේ මීළඟට කල යුත්තේ කුමක්දැයි පවා සිතාගැනීමට නොහැකි තත්වයකට ඔවුන්ව පත් කරවමිනි.

මැඩම්..... අශාන් ඉන්න යානයේ පාලනය අපේ අතට ගන්න කිසිම ක්‍රමයක් නෑ.... ඔහු දැන් මූලස්ථානයේ සීමාවෙනුත් පිටතට ගිහින් ඉවරයි....

මොකක්….. ???
ඔව් මැඩම් යානයේ පාලනය අපේ අතට ගන්න තියා ඒ යානාව යන ගමන් මාර්ගයවත් අපිට පේන්නේ නෑ.... අපි හිතුවට වඩා අශාන් දක්ෂයි මැඩම්.මෙච්චර ආරක්ෂිත පද්ධතියකට ඇතුළු වෙලා සේරම සන්නිවේදන උපකරණ අක්‍රිය කරන්න ඔහුට පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ....

හිතුවේ නෑ කියන එක උත්තරයක් නෙමෙයි අනූ..... මට කොහොමහරි ඌව කොටුකරගන්න ඕන... ආවේගශීලිව දෙවන ප්‍රධාන  නිලධාරිණිය පිළිතුරු දුනි.

සමාවෙන්න මැඩම්.... කරන්න බැරි දෙයක් මම කොහොම කරන්නද?

මම පරීක්ෂණ කුටියෙ ඉඳන් මෙතනට දුවගෙන ආවේ මොකකට කියලද අනූ හිතුවේ? අශාන් යානයකට නැගලා කියලා මම දැනගෙන හිටියෙ නෑ මට ඕන වුනේ සෙබලියගේ අවිය පාවිච්චි කරලා අශාන් ඉන්න තැන හොයාගන්න.මම හිතනවා අනූ ඔයාට බැරි නෑ ඒ අවියෙ සංවේදක භාවිතා කරලා අශාන්ගේ යානය දැන් තියෙන තැන අපේ සෙබලියන්ට දැනුම් දෙන්න

උත්සහ කරන්නම් ඒත් ඒ යානයේ කොයිතරම් වේගෙකින් යනවා කියලා හිතාගන්න මට බෑ සමහර විට අපි මේ යානය හොයාගෙන එතනට යනකොට අශාන්ට බේරිලා යන්න ඕන තරම් වෙලාව තියෙයි

හෙහ් හෙහ් හේ..... ඔයා මාව අවතක්සේරු කරනවා අනූ.අශාන් යානයෙන් පිට වුනා කියලා මට පණිවිඩය ලැබෙද්දිම මම සේරම සෙබළියන්ට ඒ යානය හඹා යන්න නියෝග දුන්නා.අශාන්ගේ යානයේ ඡායාවක් තවම නැතත් අශාන් ගමන් කරන ඉසව්ව දැනගන්න පුළුවන් වුනොතින් විනාඩි දෙක තුනක් ඇතුළත අපේ යානාවලට පුළුවන් වේවි අශාන්ව කොටු කරගන්න

ඒත් ඒ යානාව ප්‍රහාරක යානාවක් බව අමතක කරන්න එපා

අශාන් පහර දුන්නොත් ප්‍රතිප්‍රහාර සඳහා මම සෙබලියන්ට අවසර ලබා දුන්නා අනූ

ඒත්... ඒත් ජනපද නිලධාරිනියෝ කැමති වෙන එකක් නෑ අශාන්ගේ මල සිරුරක් බාරගන්න මේක එච්චර හොඳ තීරණයක් නෙමෙයි මැඩම්

තීරණේ හොඳ වුනත් නරක වුනත් තවත් සෙබලියන්ගේ ජීවිත අනතුරේ දාන්න මට බෑ අනූ.වාද කරලා තේරුමක් නෑ ඉක්මන් කරන්න ජනපදයේ කට්ටිය මේ මෙහෙයුමට අත දාන්න කලින් අපි අශාන්ව අල්ලගන්න ඕනේ

දෙවන ප්‍රධාන නිලධාරිනියගේ නියෝගය පිළිපදිමින් අනූ සිටියේ සියළුම සෙබලියන්ගේ අවි අනුව ඔවුන් සිටිනා ස්ථානය සොයාගත හැකි මෘදුකාංගය පිරික්සමිනි.පහසු කාර්යයක් සේ පෙනුනද භූමියේ ගමන්ගන්නා පුද්ගලයෙකු ස්ථානගත කරගන්නවාට වඩා අධිවේගයෙන් ගමන්ගන්නා යානයක් ඉලක්කගත කරගැනීම අතිශය අසීරු කරුණකි.මියගිය ප්‍රධාන සෙබලිය සතුව තිබූ අවියේ කේතය හඳුනාගත් වහාම අනූ විසින් තිරයේ දිස්වන අවි සියල්ල පෙරහන් කිරීමකට(filter) භාජනය කලාය.

ප්‍රධාන සෙබලියගේ අවියෙන් නිකුත්වන සංඥා කෙමෙන් කෙමෙන් දුර්වල වන බැව් අශාන්ගේ යානය හඹායන සෙබලියන් දන්වන්නට වූයෙන් කාන්තා ජනපදය සතු සියළුම භූ ස්ථාවර චන්ද්‍රිකා උපයෝගි කරගැනීමට සෙබළියට සිදුවිය...

එක්වරම ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි නාදය ඇසෙන්නට වූයෙන් ඔවුන්ගේ මුහුණු සතුටින් ඉපිළී යන්නට විය.බීප් බීප් බීප්....

ඔයා දක්ෂ සෙබලියක් අනූ.... සෙබලියට ප්‍රශංසා කල දෙවෙන ප්‍රධාන නිලධාරිනිය අනෙකුත් සියළුම යානාවලට අශාන්ගේ යානයේ පිහිටීම ලබා දෙන්නට විය.

 ප/ලි

පින්තූරය ගත්තේ Star.Trek.2009. ෆිල්ම් එකේ 00.07.42 frame එකෙන්...

මේ කොටස දෙන්න සෑහෙන්න කාලයක් ගියා ඒකට මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ ඉතින්.ඒ වගේම ඒ කාලය ඇතුලත විවිධ විවිධ තර්ජන ගර්ජන යෝජනා චෝදනා ඉදිරිපත් කරලා මාව දිරිමත් කරපු හැමෝටම ස්තූතියි ඈ...

පහුගිය ටිකේ කොමෙන්ට් වලට උත්තර සපයන්න අතපසු වෙච්චි එක ගැනත් මතක් කරන්ඩෝන.ඉදිරියෙදි ඒ අතපසුවීමවත් සිදුවෙන එකක්න නෑ...

Friday, February 1, 2013

ඈ යාවී පාවීලා.......


ලොව නිමක් නැති චාරිකා
දුවන සිත අද නැවතිලා
ඇස තෙමෙන්නේ
කඳුළු බිඳුවක
රහස අද මට වැටහිලා.....

නිදි නොවැද තුන් යම පුරා
සිතුම් සයුරක කිමිදිලා
පතක නොඇඳුණු
සිහින මාලිග
දෙස බලමි
හදවත දවා.....

සිතුවම්..... බොඳව
මා...... නෙත් අතැර
ඈ..... යාවි පාවීලා

මා මැව් විලස
ඇවිදින් ළඟට
යළි යාවි දුර ඇදිලා.....
හෙට යාවී මා දමලා....

ප/ලි

පොටෝව ගත්තෙ මෙතනින් http://www.soapnights.com/wp-content/uploads/2012/10/empty-chair.jpg

Monday, December 10, 2012

ගැහැණු ලොවක සිරකරු... 11 කොටස


මුල් කොටස් සඳහා


ජයසිංහ හට වෙනත් විකල්පයක් නොවිණි.ඔහු වහාම නිවසින් පිටතට පිවිස කැරළි කණ්ඩායම රැගෙන ආ යානය පිහිටි ඉසව්වට දුවන්නට විය.තරුණ වෛද්‍යවරියද ඔහු පසුපසින් පැමිණෙන බැව් දුටු ජයසිංහ වහා නැවතුනේ එය එතරම් නුවණට හුරු නොවන බව වැටහීමෙනි.

ඔයාට මෙතනින් එහාට එන්න බෑ....

මට දැන් හැඳුනුම් කේතයක් නෑ.මමත් දැන් කාන්තා ජනපදයට පිටස්තර කෙනෙක්.මට යන්න තැනක් නෑ මාවත් එක්කරන් යන්න කරුණාකරලා

මදක් නොඉවසිල්ලෙන් කල්පනාවේ නිමග්න වූ ජයසිංහ එක්වරම යමක් සිහිවුවෙක් පරිද්දෙන් ඔහුගේ සාක්කුවකින් පිටතට ගත්තේ යම්කිසි ආකාරයක සිතියමක් වැනි උපාංගයකි.එය ඇකිලීමට හැකි අයුරින් සකස් කර තිබිණි.

මේ තියෙන්නේ අපේ එක සැඟවුම් තිප්පොලක්.එතන දැනට කවුරුත් නෑ අවශ්‍ය කෑම බීම හැමදෙයක්ම එතන තියෙනවා.ඔබට අපිත් එක්ක එන්න බෑ.මේ සිතියම බලාගෙන යන්න.මම දවස් කීපයකින් එන්නම්.මට මීට වඩා දෙයක් කරන්න බෑ.මේක තමයි අපි දෙන්නගෙම ආරක්ෂාවට තියෙන හොඳම විසඳුම.... මට සමාවෙන්න

ස්තූතියි මගෙයි අම්මගෙයි ජීවිතය බේරුවට..... යැයි පැවසූ ඈ ජයසිංහට පිටුපා අඳුරේ සැඟවී යන්නට විය.
****
අශාන් ඉතා සූක්ෂම අයුරින් මූලස්ථානයේ මුරකාවල් අතරින් ගමන් කරමින් සිටි අතර ප්‍රධාන හමුදා නිලධාරිනියගේ මරණය පිළිබඳ සෙබලියන් තවමත් නොදන්නා සෙයක් පෙනෙන්නට තිබිණි.එම නිසා ප්‍රධාන සෙබලිය සතුව තිබූ රහස්‍ය කේතය කල් ඉකුත්වන්නට ඇත්තේ ස්වයංක්‍රීයව විය යුතුයැයි ඔහුගේ නිගමනය වී තිබිණි.එය ඔහුව තරමක් අස්වැසුවද මුළු මූලස්ථානයම කඩි ගුලක් සේ ඇවිස්සීමට වැඩි කාලයක් ගත නොවනු ඇතැයි ඔහුට වැටහිණි.හැකි ඉක්මනින් මූලස්ථානයෙන් පිටවීම ඔහුගේ එකම අරමුණ වී තිබිණි.

ඔහු තෝරාගත් ගමන් මාර්ගයේ හමුදා සෙබලියන් එතරම් නොවිණි.මූලස්ථානය ඇතුලත පැවති ආලෝකය දුර යත්ම අඩුවන බවක් අශාන්ගේ නිරීක්ෂණයට නතුවූයේ මේ අතරතුරයි.මූලස්ථානයෙන් පිටතට පැමිණීමට තමා ආසන්න යැයි ඔහුට හැඟෙන්නට වූ බැවින් ඔහුගේ ගමන් වේගයද ඉක්මන් විණි.

එම මග දෙපස බිත්ති අතර හිඩැස් ඇතිව සකසා තිබුනේ එකවර මිනිසුන් දෙදෙනෙකුට පමණ සිටීමට හැකිවන ලෙසයි.ඒ පිළිබඳවද ඔහු තුල කුකුසක් ඇතිවූ නමුත් ඒ ගැන නොසිතූ ඔහු ඉදිරියටම ඇදෙන්නට විය.ඔහු ගමන් ගත් මාර්ගය ඉදිරියේ පටු වංගුවක් ඔහුට දකින්නට ලැබුනේ මෙවිටයි.ඔහු පැමිණි වේගයෙන්ම එම වංගුවෙන් ගමන් කලද ඒ වේගය ඉක්මවූ වේගයකින් ඔහු ආපසු පැමිණී අතර කලබලයෙන් ඒ මේ අත සැරිසැරූ ඔහු මීට ප්‍රථම දුටු බිත්ති තැනින් තැන වූ හිඩසකට රිංගා ගත්තේ ඉතා තදින් හුස්ම ගනිමිනි.තදින් දෑස් පියාගත් ඔහු ඔහුගේ හුස්ම පාලනය කරගන්නට දැඩි උත්සහයක් දරන්නට විය.ස්වල්ප මොහොතකින් එම වංගුවෙන් පැමිණියේ හමුදා සෙබලියන් දෙදෙනෙකි.ඔවුන් අශාන්ව ලුහුබඳිනා බවක් පෙනෙන්නට නොතිබිණි ඔවුන් ඉතා සන්සුන් ගමනින් ඔහු සිටි ස්ථානය පසුකර ඉදිරියට යන්නට විය.

දිගු සුසුමක් හෙලමින් අශාන් නෙත් යොමුකලේ තමා සිටි ස්ථානය පසුකර ගිය සෙබලියන් දෙදෙනා වෙතටයි.මේ අයුරින් තව කොපමණ දුරක් සැඟවී ගමන් කරන්නට වේදැයි ඔහු කල්පනා කරන්නට විය.සන්සුන්ව ගමන්කල සෙබලියන් දෙදෙනා එක්වරම නැවතුණු අයුරු දුටු අශාන්ගේ තොලකට වියළී ගියේ නිතැතිනි.දෙඇස් විශාල කරගත් ඔහු වහා තමාගේ හිස සඟවාගත් බියෙන් තැතිගනිමිනි.ඔවුන් එක්වරම ගමන නැවැත්වූයේ තමා සිටින ස්ථානය පිළිබඳ ඔවුනට තොරතුරක් ලැබීමෙන් විය යුතුයැයි ඔහුට සිතෙන්නට විය.සිය ඉනෙහි වූ සෙබලියගේ අවිය දෑතට ගත් ඔහු එය දෑතින්ම මිරිකමින් බලාගෙන සිටින්නට වූයේ ගැලවීමට ඇති එකම විසඳුම එම අවිය වූ බැවිනි.

මේ අවිය....
ඔහු  ඔහුටම මුමුණන්නට විය.ඔහුට ඔහුගේ සියොළඟම දැවෙන අයුරක් දැනෙන්නට වූයේ  එක්වරම ඔහුගේ කල්පනාවට පැමිණි දෙයකිනි.තමා මීට පෙරද තමාගේ කණ්ඩායම සම්පූර්ණයෙන්ම අනතුරකට පත්කලේ ප්‍රධාන  හමුදා සෙබලියගේ සිරුර සමග ඇගේ අවියද රැගෙන ආ බැවින් බව ඔහුගේ මතකයට පිවිසිණි.එවර එය ඔස්සේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරිය පැමිණියේ නම් මුල් අවස්ථාවට වඩා කුඩා මේ අවිය ඔස්සේ  මෙවර අවම වශයෙන් තමා සිටින ස්ථානයහෝ ඔවුනට සොයාගන්නට හැකියාව ඇතැයි ඔහුට සිහිවිය.

එම අවිය අතහැරීමට දැන් ප්‍රමාද වැඩි යැයි ඔහුට හැඟිණි.කල යුතු හොඳම දෙය සතුරා නොසිතූ මොහොතක පහරදීම යැයි සිතූ ඔහු සැඟව සිටි ස්ථානයෙන් පිටතට පිවිසියේ ඔහු අත රැඳි අවිය ඉදිරියට එල්ල කරගෙනයි.නමුත් ඔහුව පුදුමයට පත් කරවමින් සෙබලියන් දෙදෙනා එහි නොවීය.ඔහු වහා ඔහුගේ පිටුපසින් කවුරුන් හෝ ඇත්දැයි විමසුවද කිසිවෙකුත් පෙනෙන්නට නොවීම ඔහුව අධික කම්පනයකට ලක්කිරීමට සමත් විණි.ඒ සමගම යම්කිසි ආකාරයක යාන්ත්‍රික ශබ්දයක් ක්‍රමයෙන් වැඩි වෙමින් තමා සිටින ඉසව්වට එන අයුරක් ඔහුට දැනෙන්නට විය.එම හඬ පැමිණෙන දිශාව සොයාගත නොහැකිව ඔහු මදක් කැරකෙමින් විමසිලිමත් විය.ඒ සමගම පෙරකී වංගුවෙන් මතුවූයේ පොලොවෙන් අඩි දෙකක් පමණ උඩින් පියාසර කරමින් පැමිණි විශාල යානාවකි.

තමා ගමන් ගත් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසාගනිමින් පැමිණි එම යානාව පැමිණෙනු දුටු අශාන් හට කිසිවක් කරකියාගත නොහැකි විනි.බිත්ති අතර පැවති හිඩසෙහි ඇති වටිනාකම ඔහුගේ සිහියට නැගුනේ මෙවිටයි.තමා පෙර සැඟවුණු එම හිඩැසට ඇතුළු වූයේ යානය ඔහුගේ ශරීරයේ ගැටීමට සුළු මොහොතකට පෙරයි.සෙබලියන් දෙදෙනා අතුරුදහන් වීමට හේතුවත් ඔහුට මේ වන විට වැටහී තිබිණි.ඔහු ප්‍රධාන සෙබලියගේ අවිය ඉවත දැමීමට ඒ වනවිටත් තීරණය කල ඔහු ප්‍රධාන සෙබලියගේ මතකයන් පිටපත් කරගන්නා උපකරණයද ක්‍රියා විරහිත කරගනිමින් වහා සැඟවී සිටි ස්ථානයෙන් පිටතට පිවිසිණි.

වේගයෙන් අඩි තබමින් පෙරකී වංගුව ඔස්සේ ගමන් කල ඔහුගේ නෙත ගැටුනේ සෙමින් වැසෙමින් තිබූ ඉතා විශාල යකඩ දොරකි.ඉක්මන් නොකලොත් තමාගේ ගමන මෙම දොරටුවෙන් අවහිර වන බව ඔහුට වැටහිණි.ඔහු ඔහුගේ සියළුම ශක්තිය යොදමින් එදෙසට දුවන්නට විය.

එම දොරටුව උඩ සිට පහලට වැසෙමින් පැවතුණු දැවැන්ත යකඩ දොරකි.අශාන් එම දොරටුව අසලට පැමිණෙන විට එය පොළව සිපගැනීමට ඉතාමත් ආසන්නව පැවතිණි.එහෙත් උත්සහය අත් නොහැරි අශාන් දුවමින් පැමිණි වේගයෙන්ම බිම දිගේ ලිස්සමින් සිය සිරුර යන්තමින් දොරටුවෙන් ඇතුළු කරගැනීමට සමත් විය.තව එක තත්පරයක් හෝ ප්‍රමාද වූවා නම් ඔහුට නිසැක වශයෙන්ම ජීවිතය අහිමි වීමට පවා ඉඩ තිබිණි.

ඔහු තනිවම සිනාසෙන්නට වූයේ කෙදිනකවත් කරන්නට තියා සිතන්නටවත් නොහැකි  අයුරක ත්‍රාසජනක ක්‍රියාවක නිරතවීමෙන් පසු දැනුනු තෘප්තියට විය හැක.ඔහු එම දොරටුවෙන් ඇතුළු වූ අයුරින්ම බිම දිගාවී වටපිටාව පිරික්සන්නට විය.යන්තමින් ආලෝකය පැවති එම කුටිය තුල වූයේ ඔහු පෙර දුටු යානයේ ආකෘතියම රැගත් යානා සමූහයකි.මේ සමයේ ටෙලිපෝට් තාක්ෂණය බහුලව භාවිතා වුවද හමුදා සෙබලියන්ට මේ ආකාරයේ යානා මෙතරම් අවශ්‍ය මන්දැයි ඔහු සිතන්නට විය.ටෙලිපෝට් තාක්ෂණයේද දුර්වලතා පවතින බැව් ඔහුට වැටහුණේ එවිටයි.

ටෙලිපෝට් තාක්ෂණය භාවිතා කරමින් ඕනෑම පුද්ගලයෙක්ට ගමන්කල හැකි වුවත් එසේ ගමන් කල හැක්කේ ගමනාන්තයේ කෙලවරද ටෙලිපෝට් රිසීවරයක් ඇත්නම් පමණකි.පූර්ව සැලසුම් කිරීමකින් තොරව අවශ්‍ය ස්ථානයකට යෑම සඳහා මෙම තාක්ෂණය භාවිතා කිරීමට හැකි පරිදි තවමත් දියුණු වී නැතැයි යන්න අශාන්ට අවබෝධවී තිබිණි.විවිධ කැරළි මැඩපැවැත්වීමට සිදුවන අවස්ථාවන්හිදි අදාල ස්ථානවලට ලඟා වීමට තවමත් සෙබලියන් සතුව ඇති එකම උපක්‍රමය මෙම යානා භාවිතය පමණකි.තවද යම්කිසි වැටලීමකදී වුවද එකවර සෙබලියන් වැඩි ප්‍රමාණයක් ටෙලිපෝට් කිරීමටද පහසුකම් තවම ටෙලිපෝට් උපකරණවල අන්තර්ගතව නැතැයි යන්න අශාන් හට වැටහී තිබිණි.

ඔහු පුදුමයට පත් කල තවත් කාරණයක් එහි විය.එනම් කිසිදු හමුදා නිලධාරිනියක එම යානා නැවතුම් අංගනයේ නොවීමයි.එහෙත් ඔහුගේ සිතෙහි බිය සැක සහමුලින්ම දුරුව නොතිබිණි.ඉතා සෙමින් දෙපයට බර දුන් ඔහු ඉදිරියට පය එසෙව්වා පමණි.ඔහු සිටි යානා අංගනයේ විදුලි පහන් එකින් එක දැල්වෙන්නට වූයේ සම්පූර්ණ කුටියම පැහැදිලි ආලෝකයකින් නහවමිනි.

12688 වන ගමන් වාරය කාලසටහන් ගත කර අවසානයි.යම්කිසි වෙනස්කමක් සිදු කිරීමට ඇත්නම් තව විනාඩි 5ක් ඔබට ඉතිරිව පවතිනවා.....

අශාන් මොහොතකට කලබල වුවද එය ස්වයංක්‍රීයව නිකුත් වූ හඬක් පමණක් බව වටහාගැනීමට ඔහුට වැඩි වේලා ගත නොවුණි.එම කටහඬ විමසන්නේ යම්කිසි අයුරක ගුවන් ගමන් සඳහා වූ කාලසටහනක් පිළිබඳව බැව් ඔහුට වැටහුණි.ඔහු මදක් ඉවසිලිවන්තව සිටියේ ඉන්පසු කුමක් වේ දැයි බලාපොරොත්තුවෙනි.

තව විනාඩියක් ඉතිරිව පවතිනවා....

ම්ම්ම් මෙන්න මේ අක්ෂාංශ දේශාංශ සඳහා යානයක් සූදානම් කරන්නයැයි පැවසූ අශාන් අක්ෂාංශ දේශාංශ පරිගණකයට ලබා දුනි... පෙර පැමිණි සෙබලියන් දෙදෙනා මෙම පද්ධතිය භාවිතා කර එම පද්ධතිය නොසැලකිලිමත් ලෙස නවතා දමා පිටව ගොස් ඇති බවට ඔහු අනුමාන කලේය.

ස්තූතියි... 2819SS යානය සඳහා කාලසටහන් නැවත සකස් කිරීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ වෙනවා.... ගතවන කාලය විනාඩි දෙකයි තත්පර හතලිහකි

සෙබලියගේ අවිය තවමත් අත දරා සිටින අශාන් එම යානා අංගනය ඉදිරියට ඇදුනේ අවට ඇති යානා පිරික්සමිනි.ඔහු ඉන් එක් යානයක් අසලට ලංව ඊට අත තැබුවා පමණි,ඔහුට ඇසෙන්නට වූයේ මහා හඬක් නගමින් නාද වන මූලස්ථානයේ අනතුරු ඇඟවීමේ නලා පද්ධතියේ හඬයි.මොහොතකට ඔහු තුෂ්ණීම්භූත වුවද එම අනතුරු හැඟවීමේ පද්ධතිය ක්‍රියාත්මක වූයේ ඔහු එම යානයට අත තැබූ නිසා නොවන බව ඔහුට පසුව වැටහිනි.

ඒ සමගම යාන්ත්‍රික හඬක් නංවමින් එක්වරම ඉහලට එසවුනේ අංගනයේ නවතා තිබූ යානයකි.ඔහු ඒ දෙසට ඔහු සතුවූ අවිය ඉලක්ක කල නමුත් එක්වරම එම යානයේ බඳ පෙදෙසේ තිබූ අංකය දැකීමෙන් අනතුරුව ඔහු සිය අදහස වෙනස් කරගතේතේය.

2819SS”
ඒ ඔහු විසින් ලබාදුන් විධානයට අනුව පරිගණකය විසින් සූදානම් කරන ලද යානයයි.ඔහු වහා එය දෙසට දුවන්නට විය.ඔහු එම යානය අසලට ලංවත්ම තවත් යාන්ත්‍රික හඬවල් ගණනාවක් ඔහුට ඇසෙන්නට විය.ඔහු සෙමින් පිටුපස හැරුනේ කුතුහලය පිරි බියෙන් සලිත මුහුණින් යුතුවයි.

ඔහු සිතුවා නිවැරදිය..... සියළුම යානා පණගැන්වී ඉහළට එසවෙමින් පැවතිණි.

****

සේනක සැරිසරමින් සිටියේ නින්දත් නොනින්දත් අතර වූ අමුතුම අයුරක සිතිවිලි දාමයකයි.සත්‍යයක් විලසින්ම ඔහුට දැනුණු මෙ හැඟීමෙන් එක්වරම පිබිදීමට ලක්වූ ඔහු වටපිට බලන්නට වූයේ එක්වරම ඔහුට ඇසෙන්නට වූ එම ශබ්දය කුමක්දැයි වටහාගැනීමටයි.

එම නාදය හමුදා මූලස්ථානයේ අනතුරු හැඟවීමේ පද්ධතිය බවට ඒත්තු වීමට ඔහුට ‍බොහෝ වේලාවක් ගතවිය.ඒ සැනින් ඔහු සිටි සයනයෙන් නැගී ගත් සේනක ඔහු සිටි කුටියේ ආලෝක බිත්තිය අසලට ලංවූයේ පිටත සිදුවන්නේ කුමක්දැයි දැක බලාගැනීමටයි.ඒ වනවිටත් සෙබලියන් බොහෝ දෙනෙක් එම පර්යේෂණාගාරය ආරක්ෂා කරමින් සිටිනු දක්නට ලැබිණි.මියැදුණු ප්‍රධාන හමුදා සෙබලියගේ සිරුර වටාද බොහෝ සෙබලියන් පිරිසක් විය.

සේනක ඔහු සිටි කුටියේ බිත්තියට හේත්තුවෙමින් යම්කිසිවක් මුමුණන්නට විය.

කොහොමහරි පැනගන්න අශාන් කොහොමහරි කොහොමහරි....
****
මූලස්ථානයේ ප්‍රධාන මෙහෙයුම් කුටියේ කලබල වූ නිලධාරිනියන් කීපදෙනෙකු රැඳී සිටිනු දක්නට ලැබිණි.ඉන් එක් නිලධාරිනියක් කුමක් හෝ උසස් නිලයක් දරනා අයෙකු බව පෙනෙන්නට තිබිණි.ඔවුන් සිටි කුටියේ ඉතා විශාල  පරිගණක තිර  බොහෝමයක් විය.ඔවුන්ගේ මූලස්ථානය පුරාවටම ඇති සියළුම කැමරාවන්හි පටිගත වන දර්ශන එම කුටියේ සිට නැරඹිය හැකිවන ලෙස සකසා තිබිණි.නිලධාරිනියන් බොහෝ දෙනා එම කැමරාවලින් පිටත සහ ඇතුලත පිරික්සමින් සිටියද අශාන්ගේ සලකුණකුදු ඔවුන්ගේ නෙත නොගැටිණි.

කිසිම පටිගතවීමක ඔහුගේ සටහනක් නැද්ද?? ඉහතකී නිලධාරිනිය පරිගණක ක්‍රියාකරවන්නියන්ගෙන් විමසමින් ඇවිදිනු දක්නට ලැබිණි.

ඔවුන්ව රඳවලා තිබුනේ අපේ විශේෂ පර්යේෂණාගාරයේ නිසා අශාන්ගේ කිසිම සටහනක් කැමරාවල සටහන් වෙන්නේ නෑ  අසනි....

මම ඒක දන්නවා…. අයුමිගේ තැනට සුදුස්සා මම වුනත් මේ වෙලාවේ මට කිසිම තීරණයක් ගන්න තරම් හොඳ මානසික මට්ටමක නෑ ඒකයි පුංචි දෙයක් හරි හොයාගන්න හදන්නේ. ඉක්මනින් තොරතුරක් සොයාගන්න බැරිවුනොත් මුළු ජනපදයම අනතුරේ

පරිගණක තිරය පිරික්සමින් සිටි එක් සාමාන්‍ය සෙබලියක් ඇය සිටි අසුනෙන් නැගී සිටියේ මේ අතරතුරයි.ඇය වහා දෙවෙනි නිලධාරිනිය ඇමතුවේ නොඉවසිල්ලෙනි.

මැඩම් මම හිතන්නේ අශාන් හිටපු කුටියෙන් අපිට හරියටම වෙච්චි දේවල් දැනගන්න පුළුවන්කමක් තියෙනවා

ඒ කොහොමද?? නිලධාරිනිය ඇගෙන් විමසුවේ එතරම් උවමනාවකින් නොවේ.

ඒ කුටියේ ගමන් කරන තරංග වලින් හැමෝගෙම දත්ත එක්රැස් කරන්න පුළුවන් බවක්  කුටිය අත්හදා බලනකොට විද්‍යාඥවරියක් කිව්වා කියලා මතකයි ඉතින් මම හිතන්නේ.........

ඒ එක්රැස් කරන්නේ කුටිය ඇතුලේ ඉන්න කෙනාගේ සෞඛ්‍ය තත්වය දැනගන්න පුළුවන් විදියේ දත්ත ඒවා එකතු කිරීමෙන් එහෙම දෙයක් කරන්න හැකියාවක් නෑ.අවම තරමින් අපි කුටිය ඇතුලේ වෙන දෙබසක්වත් පටිගත කිරීමක් කරන්නේ නෑ

ඒත් උත්සහයක් කලොත් පාඩුවක් වෙන එකක් නෑ.අනික අපිට වෙන විසඳුමකුත් නෑ

කොහොමද දැන් ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ ???

ඒ කුටියේ මූලික පදනම අලෝක අංශු සහ කම්පන තරංග.ඒ කුටියේ තොරතුරු ගබඩා කරගන්නේ එහි සිදුවන ස්පන්දන ගණනය කිරීමෙන්.උත්සහ කලොත් අපිට ඒ ක්‍රියාවලිය ප්‍රයෝජනයට ගන්න පුළුවන් වේවි.....

නාස්ති කරන්න කාලයක් නෑ යමු ගිහින් උත්සහ කරමු....

දෙවෙනි නිලධාරිනිය සහ අදහස ඉදිරිපත් කල සෙබලිය වහා පිටත්වුනේ අශාන් රඳවා සිටි කුටියට පිවිසීමටයි.සුළු කාලයක් ඇතුලත අදාල ස්ථානයට ලඟා වීමට ඔවුන් සමත්විනි.

ඉක්මන් කරන්න....

හරි මැඩම්.... මම දැන් ප්‍රධාන කේතයන්ට ඇතුළු වෙන්නයි හදන්නේ.අපේ වාසනාවට ඕනෑම වෙනස්කමක් කරන්න පුළුවන් විදියටයි ප්‍රධාන නිලධාරිනිය පද්ධතිය විවෘත කරලා තියෙන්නේ....

ඒක කරන්න පුළුවන්ද....?”

උත්සහ කරමු.... කුටියේ තියෙන ක්ෂුද්‍ර ආලෝක තරංග අදෘශ්‍යමාන වෙන විදියටයි මේ කේතය ලියලා තියෙන්නේ.....

ඇය ආලෝක බිත්තියේ ඇඳුනු කොටුවක දිස්වූ කේතයක් දෙවෙනි නිලධාරිනියට පෙන්වීය.ඇය එම කේතයෙහි කෙලවරින් සමාන කර තිබූ “0” වෙනුවට “1” යොදා එය වෙනස් කර පද්ධතිය නැවත ආරම්භ කලාය.

ඒ සමගම අශාන් සිටි කුටිය පුරාම කොල පැහැති ඉතා කුඩා ආලෝක අංශු දෘශ්‍යමාන විය.දෙවෙනි හමුදා නිලධාරිනිය ඒ දෙස නෙත් යොමා සිටියේ ඉතා විස්මයානුකූලවයි.අධිෂ්ඨානය පිරුණු දෙනෙතකින් සෙබලිය නැවත විවිධ කේතයන් එම පද්ධතියට ඇතුලත් කරන්නට විය.

මැඩම්..... මේ කුටියේ ඉන්න ඕනෑම කෙනෙක්ගේ හදගැස්මෙ ඉඳන් සිරුරේ සිදුවෙන ඕනෙම වෙනස්කමක් ගබඩාවෙන ආකාරයෙනුයි නිර්මාණය කරලා තියෙන්නේ.මේ කුටිය නිර්මාණය කරපු දවසේ ඉඳලා කුටියට ඇතුළු වූ අයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ සියළුම විස්තර  මෙහි ගබඩා වෙලා තියෙන නිසා ඕනෑම දවසකට අදාල තොරතුරු අපිට ගන්න පුළුවන්.....
ඒ තොරතුරු එකතු කරගන්නේ නිරන්තරයෙන් කුටිය හරහා යන කම්පන තරංග භාවිතයෙන්.මම දැන් අශාන් කුටියට පැමිණි දිනයට අදාල කම්පන වාර්තාව ආලෝක අංශු සමග සම්බන්ධ කරනවා.

ඒ සමගම මදක් ගැස්සෙමින් පැවති කොල පැහැති කුඩා ආලෝක අංශු චලනය වන්නට විය.නමුත් කිසිවක් දෙවෙනි නිලධාරිනියගේ නෙතු නොගැටිනි.

මට කිසිම දෙයක් තාම පෙනෙන්නේ නෑ....

ඔබට නොපෙනුනාට අශාන් කුටියට පැමිණ විනාඩියක කාලයකදි ඔහු සිටිය ස්ථානය ආලෝක අංශුන්ගෙන් තොරවයි පවතින්නේ..... වටපිටාවේ ඇති ආලෝක අංශු නිසා ඒ දර්ශනය අපිට බලාගන්න අපහසුයි.මේ සමීකරණයේ ප්‍රතිලෝමයෙන් අපිට ඉතාමත් පැහැදිලි රූපයක් දකින්න පුළුවන් වේවි...

එසේ පැවසූ ඇය නැවතත් යම්කිසි කේතයක් එයට ඇතුලත් කරන්නට විය.රැස්ව සිටි සියල්ලම ඉතා විමසිල්ලෙන් සිටියේ ලැබෙන ප්‍රතිඵලය පිළිබඳවයි.

එක්වරම කුටිය වසාගනිමින් පැවති කොල පැහැති ආලෝකය නොපෙනී ගියේ සියල්ලන්වම කනස්සල්ලට පත් කරවමිනි....

තත්පර කිහිපයක් පැවති නිහැඬියාව ඇසෙන්නට වූ අනතුරු හැඟවීමේ හඬට වඩා බලවත් වූ සෙයක් සියල්ලන්ටම දැනෙන්නට විය.දෙවෙනි නිලධාරිනිය යම්කිසිවක් පවසන්නට මුව විවර කලා පමණි.... කුටිය තුල මැවුනේ අශාන්ගේ රුවට සමකල හැකි ආකාරයේ ආලෝක අංශු සමූහයකින් සමන්විත රුවකි.... හොලෝග්‍රැම් ප්‍රතිබිම්බයක් සේ දිස්වූ එම රුව ඉතාමත් සජීවි පුද්ගලයෙකුගේ ත්‍රිමාණ රූපයකට සමාන කල හැක.

දෙවෙනි නිලධාරිනිය ඇගේ හස්තය සෙබලියගේ උරහිස මත තැබුවේ ඇගේ උත්සහය අගය කිරීමටයි.

විශිෂ්ට ක්‍රියාවක් අනූ.... ඔබව අගයන්න මට වචන මදි.... අශාන් ඉන්න ස්ථානය හොයාගන්න පුළුවන් මොකක් හරි හෝඩුවාවක් හොයාගන්න බලන්න දැන්....” 

ප/ලි

පින්තූරේ ගත්තේ මෙතනින් http://blogs.shu.edu/mathinthemedia/files/2011/01/Hologram_body.jpg

වෙනද වගේම අදත් කතාව ගැන යෝජනා චෝදනා කියන්න හැමෝටම ආරා‍ධනා කරනවා ඕං.අවුරැද්දක් පුරාවටම මගේ පත්ඉරුව සමග අත්වැල් බැඳගෙන මට ගුරුහරුකම් දීපු ඔයාලා හැමෝටම මුළු හදවතින්ම ස්තූතිය පුද කරන්නත් මේක හොඳ වෙලාවක්.ඔයාලා නොහිටින්න මම මෙච්චර දුරක් නොඑන්න තිබුනා..... ඒ දීපු උපදෙස් හා සයිබර් මිතුරුකම ජී‍විතේට අමුතුම සුන්දර අත්දැකීමක්... කවදාවත් මේවා අමතක වෙන්නේ නම් නෑ....

ස්තූතියි.......  තවත් කොටසකින් ළඟදිම හමුවෙමු එහෙනම්...

Thursday, November 29, 2012

ගැහැණු ලොවක සිරකරු... 10 කොටස



පසුගිය කො‍ටසින්: කැරළි නායක ජයසිංහගේ මතකය රැගත් ප්‍රධාන හමුදා සෙබලිය ස්ත්‍රී ජනපදයේ නිලධාරින් කිහිපදෙනෙකු හමුවේ පවසන්නේ ස්ත්‍රී ජනපදයට කාලාන්තරයක් මුළුල්ලේ කැරළිකරුවන්ගෙන් පැමිණි තර්ජන අවසන් බවයි.

මේ අතරතුර පියවි සිහිය ලැබූ සේනක සහ අශාන් තමන් පත්ව සිටින තත්වය පිළිබඳව සාකච්ඡා කරන්නේ ඔවුන් සිරකර ඇති කුටිය දෙපස සිටයි.

තම කුටියට පැමිණි හමුදා සෙබලිය මේ අතර ඇගේ උපකරණය ක්‍රියාත්මක කර ජයසිංහගේ මතකය කියවීමට තැත් කලද කවුරුන් හෝ විසින් එම මතකය මකා දමා ඇති බවක් ඇයට දැනගන්නට ලැබිණි.කල්‍බල වන ඇය අශාන් සිටි කුටිය තුලට පිවිසෙන්නේ ඔහුට පහරදී එම මතකය අඩංගු යම් ගොනුවක් වේ නම් එය ලබාගැනීමටයි.නමුත් පහරකෑම් මධ්‍යයේ ඇගේ ඉනෙහි තිබූ අවිය ඩැහැගන්නා අශාන් ඇයව එයින් ඝාතනය කරනු ලබයි.

ඇගේ හස්තයේ ඇති යම්කිසි රහස්‍ය කේතයක් මගින් තමා සිටි සිරකුටියේ දොරටුව හැරිය බව දුටු අශාන් සේනකගේ කුටියද විවෘත කිරීමට සිතූ නමුත් ඒ සඳහා උත්සහ කලද ඔහුට ලැබෙන්නේ ‍නොසිතූ ප්‍රතිඵලයකි.....

අද එතැන් සිට:

මුල් කොටස් සඳහා


ප්‍රාණය නිරුද්ධ වූ ඇගේ සිරුර වත්තම් කරගනිමින් ඔහු සැරසුනේ සේනකව කුටියෙන් පිටතට ගැනීම සඳහායි.ඒ සඳහා ඔහු ඇගේ හස්තය ගෙන ගෙන ආලෝක බිත්තියේ පිටතින් තදකරමින් නොඉවසිලිවන්තව බලාසිටින්නට විය.සුළු මොහොතකින් පෙර පරිදිම පණිවිඩයක් ආලෝක බිත්තියෙන් පෙන්වා දුන්නද ඔහුගේ බලාපොරොත්තු සුන්කරමින් එම පණිවිඩයේ දැක්වුයේ ඇතුලත්වීමේ කේතය කල්ඉකුත් වී ඇති බවයි.

සිදුවෙමින් පැවතියේ ඔහු කිසිසේත්ම සිදුවේයැයි බලාපොරොත්තු නොවූ සිදුවීමකි.සෙබලියගේ ප්‍රාණය නිරුද්ධ වීමත් සමගම ඇයට ලබාදී තිබූ රහස්‍ය කේතය කාන්තා ජනපදයේ ප්‍රධාන තොරතුරු ගබඩාවෙන් ඉවත් කර ඇතැයි ඔහු නිගමනය කලේය.එසේත් නොමැතිනම් ස්වයංක්‍රීයව එසේ සිදුවන්නට සැලසුම් කර තිබෙන්නට ඇත.එසේ නම් සෙබලියගේ මරණය පිළිබඳ මේ වනවිටත් අනෙකුත් සෙබලියන් දැන සිටීමටද ඉඩ ඇතැයිද ඔහු නිගමනය කලේය.

අශාන්.... කලබල වෙන්න එපා.ඔයා දන්නවා කරන්න ඕන දේ.මම මෙතන ආරක්ෂිතයි ඔයා දැන්ම යන්න.අපිට තව එක බලාපොරොත්තුවක් හරි තියෙනවා.අපේ සර්ගේ මතකය ආරක්ෂා කලොත් අපිට තව අවස්ථාව තියෙනවා...

මේක තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි සේනක.තව කොච්චර දුරක් මට යන්න පුළුවන් වෙයිද කියලා මට හිතාගන්නවත් බෑ දැක්කනේ මෙයාලගේ ආරක්ෂක උපක්‍රම

ඒත් ඔයාට මේ දේ කරන්නම වෙනවා අශාන්.වෙන කවුරුත් නෑ මේක කරන්න.එහෙම හිටියනම් නොකර ඉන්න තිබුණා.ඔයාට විතරයි මේක කරන්න පුළුවන්.මම ඔයත් එක්ක ආවොත් ඒක උදව්වකට වඩා කරදරයක් වෙන්න පුළුවන්.... මම නොදැනුවත්වම මෙයාලගේ ඔත්තුකරුවෙක් වෙලා ඉඳලා තියෙන්නේ පහුගිය කාලේ පුරාවටම.මට ඒ සේරම මතක් වුනා වෙලාවක් ලැබුණාම මම ඒ සේරම කියන්නම්.සමහරවිට තවමත් එයාලට මාව ලුහුබඳින්න පුළුවන් ඇති.ඒක නිසා මෙතන වෙලාව නාස්ති කරන්න එපා අශාන්.... යන්න දැන්ම

අශාන් හට වෙනත් කිසිදු විකල්පයක් නොතිබිණි.සේනක පැවසූ දෑ පිළිගනිමින් ඔහු සේනක සිටි කුටියට පිටුපා ගියේ කිසිවක්ම නොපවසමිනි.

සුභ ගමන් අශාන්.....

සේනක ඔහු නික්ම යන දෙස බලමින් තනිවම මුමුණන්නට විය.

පර්යේෂණාගාරයෙන් පිටතට පිවිසි අශාන් හට නව බලාපොරොත්තුවක් ඇතිවී තිබිණි.කැරළි නායක ජයසිංහයන්ගේ මතකය සෙබලිය ළඟ නොතිබූ බැවින් කැරළි කණ්ඩායමේ ඉතිරි සඟයන් කීපදෙනා මෙම සිර කඳවුරෙන් ගලවා ගතහොත් යම්කිසි ආකාරයක බලපෑමක් කාන්තා ජනපදයට සිදුකල හැකි බවක් ඔහුට වැටහී තිබිණි.

යම් තරමක් ආරක්ෂිත යැයි හැඟුණු අඳුරු මුල්ලකට හේත්තු වූ ඔහු සිය අතැති උපාංග පිළිබඳ පරික්ෂා කරන්නට විය.ඔහු අතැති උපකරණ අතර මියැදුණු කාන්තා සෙබලියගේ අවිය සහ මතක පිටපත් කරගන්නා උපකරණයද විය.ඔහු සතු වටිනාම භාණ්ඩය වූයේ වෛද්‍යවරියගේ දිනපොතයි.ඇතිවූ විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ඔහුට ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම අමතකව ගොස් තිබිණි.ඒ සියළු බඩු බාහිරාදිය සුරක්ෂිතව සිය කලිසම් සාක්කුවට බහාගත් ඔහු නැවත කාන්තා මූලස්ථානයේ සරන්නට වූයේ සෙබලියන්ගේ ඇස නොගැටී පිටතට යාගත හැකි මගක් සොයන්නටයි.

ඔහුගේ වාසනාවට තවමත් ප්‍රධාන හමුදා සෙබලිය මියැදුණු බවක් මූලස්ථානය දන්නා බවක් නොපෙනුණි.මධ්‍යම රාත්‍රිය පසුවෙමින් පැවති නිසාත් කැරළිකරුවන් ඔවුනගේ භාරයේ සුරක්ෂිතව ඇති බවත් ඔවුන් සිතූ නිසා අශාන් බලාපොරොත්තු වූ තරමේ ආරක්ෂිත රැකවල් ඔහුගේ මග අහුරන්නට සිටියේ නැත.ඔහුගේ අභිප්‍රාය වී තිබුණේ කෙසේ හෝ නැවතත් යානයට ගොඩවීමයි.
****
සේනක පර්යේෂණ කුටියේ සයනයට වී කල්පනා කරමින් සිටිනු දක්නට ලැබිණි.ඔහු ආවර්ජනය කරමින් සිටියේ සිහිනෙන් මෙන් වරින් වර ඔහු දුටු දර්ශන කිහිපය පිළිබඳවයි.ඔහුගේ මතකය සෙමින් සෙමින් පූර්ණ තත්වයට පත්වෙමින් පැවතුණි.

කැරළි නායක ජයසිංහය සහ සේනක එදින යෙදී සිටියේ ඔවුන්ගේ ජීවිතයේ ලද ඉතාමත් භයානකම මෙහෙයුමකයි.එක වැරදීමකින් ඔවුන්ගේ කැරළි කණ්ඩායමේ සාමාජියකයන් රැසකගේ ජීවිත අහිමි වීමේ දැඩි අවධානමක් පැවති අතර ඒ සෑම වගකීමක්ම පැවරී තිබුණේ මොවුන් දෙපළටයි.

ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව මැද ගමන් ගනිමින් සිටියේ හුරුබුහුටි රූමත් තරුණියකි.ඒ අවුරුදු විස්සකටත් වැඩි කාලයක් පිරිමියෙකු ලෙස ජීවත් වූ ජයසිංහගේ සහෝදරයා බව කෙසේ නම් සිතන්නද.‍ඔවුන්ගේ සැලසුම වූයේ කාන්තා ජනපදයේ අවසන් කොටසේ විසූ තරුණිය සහ ඇගේ මව ඝාතනය කොට එම තරුණිය වෙනුවට ජයසිංහගේ සහෝදරයාව ආදේශ කිරීමයි.ඊට ප්‍රථම පෙරකී තරුණියගේ මොලයේ ඇති චිපයේ තොරතුරු පිටපත් කරගැනීම භාරව සිටියේ ජයසිංහයි.එතෙක් සේනක හට අවට ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරී තිබිණි.

ඔවුන් සුළු මොහොතකින් අදාල ස්ථානයට ළඟාවී සිටි බවට පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් හඬ නැගුණි.කාන්තාවක් බවට පත්වූ ජයසිංහගේ සොයුරා සියල්ලන්ගෙන්ම සමුගෙන ඉලක්කගත නිවස වෙත තනිවම පියමනින්නට විය.සියල්ලන්ගේම හද ගැස්ම මොහොතකට නවතින්නට ඇත.මුළු පරිසරයම අමුතු නිහැඬියාවකින් වෙලී යන්නට විය.

ජයසිංහගේ සොයුරා ඉලක්කගත නිවස ඉදිරිපිටට සුළු මොහොතකින් ළඟාවිණි.තැතිගත් මුහුණකින් යුතුව සුළු මොහොතක් නිවසේ ඉදිරිපස දොර දෙස බලාහුන් ඔහු කිහිපවරක් දොරට තට්ටු කරන්නට විය.නිවසේ විදුලි පහන් එකින් එක දැල්වෙන්නට වූ අතර ඒ අනුව ස්ථානගතව සිටි අනෙකුත් කැරළිකරුවන්ද එම නිවස දෙසට ඇදෙන්නට වූයේ ඔවුන්ගේ ප්‍රථම කාර්යභාරය ඉටු කිරීමටයි එනම් සියළු දෙනා ජීවග්‍රහයෙන් අල්ලාගැනීමටයි.

ඔවුන් බලාපොරොත්තු වූ ලෙසටම දොර විවර වූ අතර ඉන් පිටතට පිවිසියේ එම නිවසේ වූ තරුණියයි.ඇය පිටතට පැමිණි වහාම ඇයට පහරක් එල්ල කල ජයසිංහගේ සොයුරා ඇයගේ හිසට අවියක් තබමින් නිවස තුලට ඇතුළු වනු දක්නට ලැබිණි.ඒ සමගම ක්‍රියාත්මක වූ ජයසිංහ සහ සේනකද ඉදිරි දොරටුව දෙසට දුවන්නට වූ අතර අනෙකුත් පිරිස එම නිවස වටා එක් රොක් වූයේ පිටතින් යම්කිසි ප්‍රහාරයක් පැමිණියහොත් එය වලක්වන අටියෙනි.

නමුත් සේනක හා ජයසිංහ නිවස තුලට ඇතුළු වූ විට දුටුවේ ඔවුන් කිසිසේත්ම අපේක්ෂා නොකල දර්ශණයකි....

ජයසිංහගේ සොයුරාගේ හිසට අවි තුනක් එල්ල වී තිබිණි.කුමක් හෝ හේතුවක් නිසා එදින නිවසට පැමිණ සිටි කාන්තා සෙබලියන් තිදෙනෙක් නිසා ඔවුන්ගේ සැලැස්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක වන අයුරක් පෙනෙන්නට තිබිණි.ජයසිංහට සහ සේනකට සිය අවි බිමින් තබන ලෙසට සෙබලියන්ගෙන් අණ ලැබිණි.කාන්තාවක් බවට පත්ව සිටින සිය සොයුරාගේ ජීවිතය කෙසේ හෝ රැකගන්න අරමුණින් යුතුව ජයසිංහ සිය අවිය බිම තැබූ නමුත් සේනක සිටියේ තවමත් අවිය අත දරාගෙනයි.

සේනක.... කලබල වෙන්නේ නැතිව ඕක බිමින් තියන්න නැත්නම් අපි සේරටම මැරෙන්න වෙනවා

ඒත්..... සේනකට කතා කරන්නට ඉඩ නොතබාම ජයසිංහ බැනවදින්නට විය

කිව්වම අහලා ඕක බිමින් තියනවා... ඔහු එසේ පවසනවාත් සමගම අවිය බිමින් තබනා අයුරක් පෙන්වමින් නැවෙන්නට විය.ඔහු එසේ නැවෙන අතරතුර නිවසේ විදුලි පහන ඉලක්ක කර වෙඩිතැබුවේ කිසිවෙකුට කිසිවක් සිතාගැනීමටවත් ඉඩක් නොතබමින්.මුළු නිවසම අඳුරේ ගිලී යාමත් සමගම ක්‍රියාත්මක වූ ජයසිංහගේ සොයුරාද ඔහු අවට සිටි සෙබලියන්ට ප්‍රහාර එල්ල කරන්නට විය.සුළු මොහොතක් ඇතුලත සෙබලියන් තිදෙනාම මරු තුරුලට යැවූ ඔවුන් සූදානම් වූයේ ඔවුන්ගේ ඊළඟ පියවරටයි.

එනම් තරුණියගේ මතකය සහ කේත පිටපත් කිරීමයි. නිවසේ මුල්ලක සැඟවී සිටි තරුණිය සහ ඇගේ මවගේ දෑත් දෙපා බැඳ දැමූ ජයසිංහ,දෑත දෙපා බැඳ තිබූ තරුණියගේ මතකය සිය උපකරණයට පිටපත් කිරීම ඇරඹුවේ නාස්ති කිරීමට තරම් කාලයක් ඔවුන්ට ඉතිරව නොවූ නිසාවෙනි.

මතකයන් පිටපත් කිරීම ආරම්භ කර සුළු මොහොතක් ගතවන විටදී ජයසිංහ හට කුමක් හෝ අඩුපාඩුවක් සිදුවුනියැයි සිතුවිල්ලක් සිතට පිවිසුනු අතර සැකයෙන් මෙන් ඔහු වටපිට නිරීක්ෂණය කරන්නට විය.සිය අවියෙන් නිකුත්වන මන්දාලෝකයෙන් ඔහු දුටුවේ බිම වැතිර සිටින සේනකවයි.ඔහු වහා සේනක වෙතට ගොස් ඔහුව නැගිටුවාලීමට උත්සහ කලද ඔහුගේ උදරය හරහා පිටවූ ලේසර් කිරණින් බරපතල හානි සිදුවී තිබෙන අයුරු දුටු විට ඔහුගේ ජීවිතය අනතුරේ බව ජයසිංහට වැටහිණි.

මතකය පිටපත් කිරීම තාවකාලිකව නැවැත්වූ ඔහු කේතයන් පමණක් පිටපත් කිරීමට උත්සුක වූයේ අවුරුදු විස්සකට අධික මතකයන් පිටපත් කිරීමට ගතවන කාලය ඉතා අධික වන නිසාත් සේනකව හැකි ඉක්මනින් සිය සැඟවුම් ස්ථානයට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය බව හැඟුණු නිසාත්ය.කේත පිටපත් කිරීම අවසානයේ තරුණියගේ හිසට ඉලක්ක කරමින් අවිය එසෙව්වද ඇගේ දෙනෙත් කුමක් හෝ පවසන්නට තැත් කරනා අයුරක් ඔහුට හැඟුනු බැවින් ඉහළට එසවුනු අවිය පහත් වූයේ ඔහුටත් නොදැනීමයි.

ඇගේ දෙනෙත් සේනක දෙසටත් ජයසිංහ දෙසටත් වරින් වර යොමුවූයේ නොඉවසිලිවන්ත බවක් ඇගේ මුවග රන්දමින්.මොහොතක් කල්පනාවේ නිමග්න වූ ජයසිංහ ඇගේ මුව වසා තිබූ ප්ලාස්ටරය ගලවා දැම්මේ ඒ අසල දණ නවමිනි.

මම වෛද්‍යවරියක් මට පුළුවන් ඔයාගේ යාළුවව බේරන්න.මට ඒකට ඉඩදෙන්න..... උදව් කරන්න පුළුවන් කමක් තියෙද්දිත් එයාට මැරෙන්න දෙන්න බෑ.... මාව අවිස්වාස නම් මගෙ කකුල් ගැටගහලා අත් දෙක ලිහන්න කරුණාකරලා

ඔබ වෛද්‍යවරියක් බව තොරතුරු අපට ලැබී තිබුනේ නැහැ

මම වෛද්‍යවරියක් වෙන්න තවමත් ඉගෙන ගන්නවා ඒත් මට ප්‍රතිකාර කරන්න පුළුවන්.මම දන්නවා ඔබලා අනිවාර්යෙන් මාව මරන්න තමයි හදන්නේ.ඒකට කමක් නෑ ඒත් මට මේ ජීවිතේ බේරගන්න ඉඩ දෙන්න

මොහොතක් නිරුත්තරව ඇය දෙස බලාසිටි ජයසිංහ අවසානයේදි ඇගේ බැමි ලිහන්නට වූයේ සේනකට එතරම් කාලයක් ඉතිරිව නැති බව වැටහුණු නිසාවෙන්.සිය සොයුරා අතටද අවියක් ලබා දුන් ජයසිංහ එම තරුණිය දෙසට අවිය මානාගෙන සිටියේ කුමන මොහොතක හෝ ඇය ක්‍රියාත්මක වුවහොත් ඇයව නිශ්චල කරනා අරමුණින් යුක්තවයි.

පැය බාගයක පමණ කාලයක් තුලදී සේනකගේ බාහිර හා අභ්‍යන්තර රුධිර වහනය නැවැත්වීමට එම තරුණිය සමත් වූ අතර සේනකට ලැබිය යුතු මූලික ප්‍රතිකාර ඉතා සාර්ථකව අවසන් කිරීමට ඇය සමත්විණි.නමුත් ඇය පවසා සිටියේ තවදුරටත් ඔහුට ප්‍රතිකාර අත්‍යාවශ්‍ය බව සහ ඔහුව නැවත රැගෙන යාමේදි ඔහුගේ ජීවිතයට අනතුරුදායක තත්වයක් ඇතිවිය හැකි බවකි.

කුමක් කල යුතුදැයි තීරණයක් ගත නොහැකිව ජයසිංහ සිටියේ ඉමහත් වේදනාවෙනි.මෙහෙයුම යම්තරමකින් සාර්ථක වුවත් සිය මිතුරාගේ ජීවිතය ඔහුට ඊට වඩා වටිනාකමකින් යුක්තවිය.

ඔබට බොහෝම ස්තූතියි.මේ කරපු උපකාරයට ප්‍රතිඋපකාරයක් විදියට මම ඔබලාගේ ජීවිත නැතිනොකරන්න තීරණයක් ගත්තා.නමුත් මට සමාවෙන්න ඔබලාගේ මතකයන් මකා දැමීම අත්‍යාවශ්‍යයයි....

ඒකට කමක් නෑ... වෛද්‍යවරියක් විදියට මගේ වගකීමයි මේ ඉෂ්ට කලේ

ඇය එම වදන් පවසා අවසන් කරනවාත් සමගම ජයසිංහගේ පණිවිඩ හුවමාරු උපකරණය අනතුරු හැඟවීමේ සංඥා නිකුත් කරන්නට විය.විවෘතව පැවති දොරටුවෙන් ඉවතට පැමිණි විට ජයසිංහට දක්නට ලැබුණේ හදිසි තත්වයන් වලදී හමුදා සෙබලියන් යොදාගන්නා යානාවක් තමන් සිටින ඉසව්වට පැමිණෙන අයුරකි.

වහා නිවෙස තුලට පිවිසි ඔහු තරුණියගේ මවගේ මතකය මකා දමන අතරතුර සිය සොයුරාව ඇමතන්නට විය.

අපි යමු.... මෙහෙයුම අසාර්ථකයි.සේනකවත් අරගෙන අපිට ඉක්මනින් යන්න වෙනවා

එවිටම තරුණ වෛද්‍යවරිය ජයසිංහ අමතා කතා කලාය.

ඔයාලා ගියොත් මමයි අමාරුවේ වැටෙන්නේ.මගේ චිපය දැන් අක්‍රිය වෙලා තියෙන්නේ ඒ නිසා හොඳම දේ තමයි මෙයා ගෙදර ඉන්න එක.එයාට පුළුවන් ඔයාගේ යාළුවට උදව් කරන්න.සෙබලියන් සැක හිතන එකක් නෑ එයා ගැන.ඒත් මගේ චිපය අක්‍රිය නිසා මම හිටියොත් අනිවාර්යෙන් සැක හිතනවා

ඒක තමයි අයියේ කරන්න තියෙන හොඳම දේ ඉක්මනට මෙතනින් යන්න.මම සේනකව බලාගන්නම්ජයසිංහගේ සොයුරා සිය හඬ අවදි කරමින් පවසන්නට විය.

ජයසිංහ හට වෙනත් විකල්පයක් නොවිණි.ඔහු වහාම නිවසින් පිටතට පිවිස කැරළි කණ්ඩායම රැගෙන ආ යානය පිහිටි ඉසව්වට දුවන්නට විය.තරුණ වෛද්‍යවරියද ඔහු පසුපසින් පැමිණෙන බැව් දුටු ජයසිංහ වහා නැවතුනේ එය එතරම් නුවණට හුරු නොවන බව වැටහීමෙනි.

ඔයාට මෙතනින් එහාට එන්න බෑ....

මට දැන් හැඳුනුම් කේතයක් නෑ.මමත් දැන් කාන්තා ජනපදයට පිටස්තර කෙනෙක්.මට යන්න තැනක් නෑ මාවත් එක්කරන් යන්න කරුණාකරලා

මදක් නොඉවසිල්ලෙන් කල්පනාවේ නිමග්න වූ ජයසිංහ එක්වරම යමක් සිහිවුවෙක් පරිද්දෙන් ඔහුගේ සාක්කුවකින් පිටතට ගත්තේ යම්කිසි ආකාරයක සිතියමක් වැනි උපාංගයකි.එය ඇකිලීමට හැකි අයුරින් සකස් කර තිබිණි.

මේ තියෙන්නේ අපේ එක සැඟවුම් තිප්පොලක්.එතන දැනට කවුරුත් නෑ අවශ්‍ය කෑම බීම හැමදෙයක්ම එතන තියෙනවා.ඔබට අපිත් එක්ක එන්න බෑ.මේ සිතියම බලාගෙන යන්න.මම දවස් කීපයකින් එන්නම්.මට මීට වඩා දෙයක් කරන්න බෑ.මේක තමයි අපි දෙන්නගෙම ආරක්ෂාවට තියෙන හොඳම විසඳුම.... මට සමාවෙන්න

ස්තූතියි මගෙයි අම්මගෙයි ජීවිතය බේරුවට..... යැයි පැවසූ ඈ ජයසිංහට පිටුපා අඳුරේ සැඟවී යන්නට විය......

ප/ලි

පින්තූරය ගත්තේ මෙතනින් 

ඔන්න පොරොන්දු වුනා වගේම මේ කොටසත් ඉක්මනින්ම දුන්නා.මේකෙත් වැරදි අඩුපාඩු එහෙම ඇත්නම් පෙන්වලා දෙන්න කියලා වෙනදා වගේම මම ඉල්ලා සිටිනවා.වැරැද්දක් කිව්වොතින් මම අමනාප වෙන්නේ නෑ.....

Sunday, November 25, 2012

ගැහැණු ලොවක සිරකරු... 9 කොටස




පසුගිය කො‍ටසින්: හමුදා සෙබලියගේ ග්‍රහණයට නතුව තිබෙන කැරළිකරුවන්ගේ යානය ඉන් මුදවා ගැනීමට අශාන් සහ සේනක එක්ව උත්සහ ගත් නමුත් ඉතා ප්‍රබල සටනක් අවසානයේදි සෙබලිය හමුවේ පරාජය වූ සේනක හමුදා සෙබලියගේ සිරකරුවන් ගොන්නට එකතු වූයේ තමාගේම යානය තුලදීයි

මේ අතර අශාන් යානය පුරා ඇවිදිමින් ආයුධ ගබඩාව සොයන්නට උත්සහ කලද ඉන් පලක් නොවිණි.අවසානයේදි යානයේ වූ කුටියකට පිවිසි ඔහු වෛද්‍යවරියගෙන් තමාට ලැබුණු දිනපොත කියවන්නට වූයේ එතෙක් වේලා එහි කුමක් ඇතිදැයි කුතුහලයක් ඔහුගේ සිත පැවතුණු බැවිනි.

මීට පෙර නොඇසූ නොසිතූ සිදුවීම් රැසක් ඔහුට එම දිනපොත ඔස්සේ දැනගැනීමට හැකිවිණි.නමුත් එය කියවා අවසන් කිරීමට ප්‍රථම ඔහුට නැවතත් සෙබලියන්ගේ ග්‍රහණයට නතුවන්නට සිදුවූයේ ඒ වනවිටත් යානය හමුදා සෙබලියන්ගේ මූලස්ථානයට ‍ගොඩබස්සවා තිබුණු බැවිනි.

ඔහුව රැගෙන ගිය සෙබලියන් පිවිසියේ තවත් කුටියකටයි.එය අශාන් විශ්මයට පත්කරවන සුළු ආකාරයේ පර්යේෂණ කුටියකි.ආලෝකය ගමන් ගන්නා බිත්ති වලින් සමන්විත එම කුටියේ වූ බඩු බාහිරාදිය පවා ආලෝක අංශූන්ගෙන් නිමවී ඇති අයුරක් ඔහුගේ නිරීක්ෂණයට නතු විය.තව දුරටත් විමසිලිමත්ව කුටිය පරික්ෂාවේ යෙදුණු අශාන් නැවත පියවි ලොවට පිවිසුණේ එක්වරම ඇසෙන්නට වූ කෙඳිරිලි හඬක් සමගිනි....‍
අද එතැන් සිට:

මුල් කොටස් සඳහා
8 කොටස
************************************************************************


ඔහු මදක් නිශ්චලව එයට සවන්දෙමින් සිටින්නට විය.ක්‍රමයෙන් එම කෙඳිරිල්ල වියැකී යන අයුරක් ඔහුට වැටහිණි.ඔහු වහා බිත්තියට හේත්තු වෙමින් කුටිය වටා ඇවිදින්නට වූයේ එම හඬ පැමිණි ස්ථානය සොයාගැනීමේ අභිප්‍රායෙනි.

ඔහු හඬ පැමිණෙන ස්ථානයට ලංවී සිටි නමුත් එම ආලෝක ධාරාවට ඔබ්බෙන් සිටින්නේ කවුරුන්දැයි ඔහුට නොපෙනුනි.තවත් සුළු මොහොතක් නිහඬව එම කෙඳිරිලි හඬ අසා සිටි ඔහු එහිවූ බිත්තියට වැරෙන් පහර දෙන්නට විය.

කවුද ඔතන ඉන්නේ....?? කතාකරන්න.....

ම්හ්.........ම්ම්ම්ම්ම්.........

ඔහු කෙතරම් උත්සහ කලද අනෙක් පසින් කෙඳිරිල්ලක් විනා අන් කිසිදු පිළිතුරක් නොලැබිනි.මොහොතක් ඔහු ඒ බිත්තියට හේත්තු වී සිටින්නට ඇත.පසුගිය දින කිහිපය තුල සිදුවූ දරාගත නොහැකි තරමේ සිදුවීම් ජාලය ඔහුව දැඩි වෙහෙසට පත් කර තිබිණි.ඔහුට නොදැනිම ඔහුගේ දෙනෙත් පියවෙමින් පැවතිණි....

****

ප්‍රධාන හමුදා නිලධාරිනිය වූ අයුමි ඇවිද යමින් සිටියේ පටු ගමන් මගකින් යුත් රහස්‍ය උමගක් තුලිනි.සුදු ආලෝකයෙන් පිරී තිබූ එම මග විහිදුණේ පොළව අභ්‍යන්තරයේ පිහිටි විශේෂිත ශාලාවකටයි.ඒ වනවිටත් ඇයව බලාපොරොත්තුවෙන් එහි පිරිසක් රැස්ව සිටිනු දක්නට ලැබිණි.

බැරෑරුම් පෙනුමක් සහිත මුහුණකින් ඔවුන් ඉදිරියට පැමිණි ඇය ස්වල්ප වේලාවක් ඔවුන් දෙස බලා සිටියාය.ඉන්පසු එක්වරම සිනහමුසු මුහුණක් මවාගත් ඇය ඔවුන් අමතන්නට විය...

අපි ඒ දේ කලා සහෝදරියනි..... කැරළිකරුවන්ගේ අනාගත සැලසුම් සියල්ල මේ උපකරණයේ ගබඩා වී තිබෙනවා.ඒ වගේම ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් සියල්ලත් අපිට සුළු මොහොතකින් දැකගන්න පුළුවන් වේවි.කැරළි නායකයාගේ මතකය සම්පූර්ණයෙන්ම මේ උපකරණයට ලබාගන්න මම සමත් වුනා.සටනේදි අපේ සෙබලියන් විශාල ප්‍රමාණයක් අපිට අහිමිවුනත් අපේ මෙහෙයුම සාර්ථක වීම ගැන සතුටුවෙන්න පුළුවන්.

ඒ සමගම පිරිස අත්පොලසන් නාදයක් ලබාදුන්නේ ප්‍රීතියෙන් උදම් වී ගිය මුහුණු වලින් සහ සිනහවෙන් මුව සරසාගනිමිනි.

ඔවුන්ගේ නායකයගේ අනාගත සැලසුම් සියල්ලත් වගේම ඔහුගේ පුංචි සේනාවත් අද අපේ භාරයේ ඉන්නේ…. තව දින දෙක තුනක් ගතවෙද්දි ඔවුන් හැමෝගෙම මතකයන් පිටපත් කරගෙන අපේ ප්‍රජනන කැප්සූල සඳහා යොදාගන්න පුළුවන්...

එතකොට අපේ වටිනාම නිදර්ශකයට මොකද වෙන්නේ?? ඒ ප්‍රශ්නය යොමුකලේ කාන්තා ජනපදයේ ප්‍රධාන තනතුරක් හොබවන නිලධාරිනියකි.

කිසිවක් නෑ.... ඔහුවත් ඔබලාට බාරයි නමුත් එක කොන්දේසියක් මත...

කියන්න...

ඔහුගේ මතකය මකා නොදමන බවට සහතිකයක් පමණයි මට අවශ්‍ය.ඔහුගේ දැනුම යාවත්කාලීන කිරීමෙන් අපේ අනාගත සැලසුම් සාර්ථකත්වයට හොඳ උදව්වක් ගන්න පුළුවන් වේවි

ඔයාට එහෙම තනි තීරණ ගන්න බෑ අයුමි.අනිවාර්යෙන්ම ඔහුගේ මතකය මකා දැමිය යුතුමයි මොකද ඔහු මේ කාලයට අයිති කෙනෙක් නෙමෙයි.අනික ඔහුගේ බුද්ධි මට්ටම පිළිබඳ ඉතිහාසගත වාර්තා මතක ඇතිනේ ඔයාට... එහෙම නේද??

ඒ වාර්තා අදාල වෙන්නේ මීට අවුරුදු සියගානකට කලින් මිසක් දැන් නෙමෙයි ඒ නිසා මගෙ මතයට ඔබලාට එකඟ වෙන්න වෙනවා මොකද  මමයි ඔහුගේ භාරකාරිය දැන්.කලින් ඔබලා අතින් වෙච්චි වැරද්ද ආයෙත් වෙන්න දෙන්න කොහොමත් බෑ... මගේ ආරක්ෂාව යටතේ ඔහුට කිසිම විදියකින් ගැලවීමක් නෑ...

අයුමි ඔයා අශාන්ව අවතක්සේරු කරනවා ඒකයි මෙතන ප්‍රශ්නය.ඔහුගේ මතකය විවෘතව තිබ්බ කාලය ගොඩක් වැඩියි.අපිට තිබුණේ ඔහු ශිශිරතරණ නින්දෙන් අවදිවූ වහාම ඔහුගේ මතකය මකා දමන්නයි.... එසේ නොකල නිසා ඇතිවෙච්චි තත්වය පේනවා ඇතිනේ.තව කල් යැව්වොතින් අයුමි ඔයා පුරසාරම් කියවන ඔයාගේ ආරක්ෂාවත් බිඳින්න අශාන්ට බැරිවෙන එකක් නෑ...

ඔබලා මාව අවතක්සේරු කරන එකයි මට තියෙන ප්‍රශ්නය... මේ මගේ සිරකරු,මගේ මූලස්ථානය ඒ නිසා මට අවශ්‍ය දේ පමණයි මෙතන වෙන්න ඕනේ.මේ තරම් ඔහු ගැන බය වෙනවම් ඔහු ශිශිරතරණ නින්දෙන් අවදිවූ දිනයේ ඉඳන් අද වෙනතුරු සිදුවූ සිදුවීම් මකා දමන්න පමණක් මගේ අවසරය දෙන්නම්....

ඇගේ ස්ථාවරය ප්‍රකාශකරමින් ඇය එම ශාලාවෙන් පිටතට පැමිණියේ නොනිවුණු කෝපයෙන් යුක්තවයි.වේගයෙන් පා තබමින් ඈ පරීක්ෂණාගාරය වෙත පිවිසගත්තාය.පරීක්ෂණාගාරය මධ්‍යයේ වූ පර්යේෂණ කුටිය ආලෝකමත් වී තිබෙනු දුටුවෙන් ඈ ඒ දෙසට ගමන් කරන්නට විය.එක් කුටියක සිටියේ කැරළි කණ්ඩායෙමේ සාමාජිකයෙකු වූ සේනකයි.අනෙක් පසින් බිත්තියට හිස තබාගනිමින් අශාන් නිදිවැදී සිටි අන්දමද ඇය දුටුවාය...

එම බිත්තියකට තවත් ලංවූ ඇය තමා සතුවූ උපකරණයක් ගෙන එම බිත්තියට ඇලෙව්වාය.ඒ උපකරණය බිත්තිය සමග සම්බන්ධ වූ අයුරක් දක්නට ලැබිණි.එම කුටිය විශේෂිත කුටියකි,නිරන්තුරුව එම ආලෝක අංශු ගමන්ගන්නා බිත්තියෙන් නිකුත් වන ඉතා කුඩා කම්පන ධාරා කුටිය සම්පූර්ණයෙන් ආවරණය කරමින් සහ නැවත පරාවාර්තනය වෙමින් කුටිය තුල සිටින පුද්ගලයන්ගේ දත්ත රැස් කරගනු ලබයි.හමුදා නිලධාරිනිය සතු උපකරණය එම දත්ත විශ්ලේෂණය සඳහා යොදාගන්නා ආධාරකයක් ලෙස ක්‍රියාත්මක විය.සේනකගේ හා අශාන්ගේ හෘද ස්ඵන්දනයේ වේගය පවා එම ආලෝක අංශු බිත්තියේ ඇඳුණු කුඩා කොටුවකින් දර්ශනය වෙමින් පැවතිණි.

දෙදෙනාගේම තත්වය සාමාන්‍ය බව සැකහැර දැනගත් ඇය එම කුටිය අසලින් ඉවත්ව ඇය පැමිණි කර්තව්‍ය සඳහා පිටත්ව යන්නට විය.

****



නින්දෙහි සිටින අයුරක් පෙනුනද සේනක සිටියේ අවදියෙනි.සෙබලිය පැමිණ කුටිය පිරික්සන අයුරුද ඔහු කිසිදු වෙනසක් නොපෙන්වා බලා සිටින්නට විය.සෙබලිය නික්ම ගිය වහාම නැගී සිටගත් ඔහු කුටිය වටා ඇවිදිමින් පිටවීමට මගක් සොයන්නට වුවද ඔහුගේ උත්සහය අසාර්ථක විණි.උත්සහයන් අතහරිමින් ඔහු සිටි සයනයට පැමිණෙන විටදී යාබද කුටියේ සිටින යමෙකු බිත්තියට හිසතබාගෙන නිදිවැදී සිටින අයුරක් ඔහුගේ නෙත ගැටිනි.නිසැක වශයෙන්ම එහි සිටින්නේ අශාන් විය යුතු යැයි සිතූ ඔහු බිත්තියට ගසමින් ඔහු අමතන්නට විය.


සිහිනයකින් යමෙකු අමතන්නාක් මෙන් අශාන්ට ඇසෙන්නට විය.ඒ හඬ ක්‍රම ක්‍රමයෙන් තීව්‍ර වත්ම ඔහු ඉක්මනින් නැගීසිටියේ තමන් යුද්ධයකට මැදිවී සිටින බවක් මතකයට පැමිණිමෙනි.තමන් සිටින්නේ කොහිදැයි තේරුම් කරගැනීමට ඔහුට ස්වල්ප වෙලාවක් ගතවුවත් තමා අමතන්නේ සේනක බැව් හඳුනාගැනීමට ඔහුට වැඩි වේලාවක් ගත නොවුණි.බිත්තිය වෙතට ලංවූ ඔහු සේනක අමතන්නට විය.


 “සේනක..... අපි මොකද කරන්නේ දැන්....


මට සමාවෙන්න අශාන්.... මේ සේරටම වගකියන්න ඕනේ මමයි


ඒ මොකටද.... ??


මට කියන්න ලොකු කතාවක් තියෙනවා අශාන්.මට සේරම මතකයි දැන්.මම මෙයාලගේ ඔත්තුකාරයෙක් වෙලා ඉඳලා තියෙන්නේ පහුගිය අවුරුදු ගානක්ම...

මොකක්.......

ඔව් අශාන්.... මේ සේරටම මුල මමයි මට මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ මේ වැරැද්ද හදන්න බෑ මට සමාවෙන්න ඉඩක් ලැබුණු ගමන් මම සියදිවි නසාගන්නවා. මට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ සේරම කඩාගෙන වැටිලා අවුරුදු ගානක හීන සේරම වතුරේ....


සියල්ලක්ම තව තවත් සංකීර්ණ වෙන අයුරක් අශාන්ට දැනුණි.තදින් දෑස් පියාගනිමින් ඔහු කල්පනා කරන්නට විය.කිසිවක් නොසිතුනත් ඔහු වැරෙන් බිත්තියට පහරක් ගැසුවේ සේනකගේ අවධානය ඔහු වෙත නතුකරගන්නටයි.


පිස්සු කියවන්න එපා සේනක... තාම මේක ඉවර නෑ අපි තාමත් පණ පිටින් ඉන්නේ.අන්තිම මොහොත වෙනකන් අපි සටන් කරන්න ඕනේ.කරපු වැරැද්ද හරිගස්සන්න නම් ජීවත් වෙලා ඒකට අපි උත්සහ කරමු.

සේනක මදක් මෙල්ල වූ අයුරක් පෙනුනත් ඔහු ඔහුගේ හිස දෑතින්ම බදාගනිමින් බිත්තියට පිටුපා හිඳගත්තේ කෑ ගසමිනි.


මෙතන හිරවෙලා කොහොම උත්සහ කරන්නද... ඔහු බිඳුණු හඬින් මුමුණන්නට විය.


****

සෙබළිය යමින් සිටියේ ඇයගේ කුටිය වෙතටයි.පර්යේෂණ මට්ටමේ නවීණ උපකරණ වලින් සපිරි ඇගේ කුටිය කුඩා විද්‍යාගාරයක් බඳු විය.සිය කුටියේ තිබූ මේසය මත ඈ අතවූ පරිගණක තිරයක් සහිත උපකරණය තැබූ ඈ පසෙක වූ පුටුවක හිඳ ගත්තාය.සුළු මොහොතක් කල්පනාවක නිමග්න වූ ඇය පුටුවට තට්ටුවක් දමා අසල වූ මේසය දෙසට පියනගන්නට විය.ඇය හිඳ සිටි පුටුවද ඇය පසුපස පැමිණෙන්නට විය.

ඇය මේසය මතින් ඇගේ දෑත් තබත්ම මේසය මතුපිට ආලෝකයක් මතුවිණි.ස්වල්ප මොහොතකින් ඈ මේසය මත තැබූ පරිගණක තිරයක් සහිත උපකරණය වටා වෘත්තාකාර රේඛා කීපයක් ඇඳුණු අතර ඒ එක් එක් රේඛාව තවත් වෘත්තාකාර හැඩැති රේඛා සමූහයකට සම්බන්ධ වී තිබිණි.

ඈ සතුව තිබුණේ කැරළි නායක ජයසිංහයන්ගේ මතකය ඇතුලත් උපාංගයයි.තවත් පුද්ගලයන් රාශියකගේ මතකයන් එහි විය.ඇය එකින් එක පිරික්සමින් සොයන්නට වූයේ ඇය රැස්කරගත් වටිනාම තොරතුරු ඇතුලත් ජයසිංහයන්ගේ මතකයයි.ස්වල්ප වෙලාවක් සෙවීමෙන් අනතුරුව ජයසිංහගේ මුහුණ රැගත් වෘත්තයක් ඇගේ ඇස ගැටිණි.ඇය වහා එය තෝරාගෙන විශාලනය සඳහා වූ විධානය ලබාදුන්නාය...


“ERROR – EMPTY MEMORY LOCATION”

ඇගේ දෑස් එක්වරම විශාල විය.ඇය නැවතත් එම ගොනුව විවෘත කිරීමට උත්සහ කලද පෙර ලැබුණු පණිවිඩයම ඇයට ලැබිණි.ඇය හිඳගෙන සිටි පුටුවද පසෙකට තල්ලුකරමින් නැගී සිටි ඈ මේසයට තදින් පහරක් ගැසුවාය.

ඇය මේසය මත හිස සහ දෑත් තබාගනිමින් මදක් නිසලව සිටින්නට විය.ඇය සිදුවූ සියළු සිදුවීමක්ම නැවත ආවර්ජනය කරමින් සිටියාය.ඒ සමගම ඇගේ මතකයට පිවිසියේ තමා ජයසිංහයන්ගේ මතකයන් ඇගේ උපකරණයට ලබාගැනීමෙන් අනතුරුව ඔහුව ජීවිතක්ෂයට පත් කිරීමට සූදානම් වන විටදී අශාන් පැමිණ තමාට පහර දුන් අයුරුයි.ඇය වහාම කුටියෙන් ඉවතට පැමිණ අශාන් සිටි කුටිය දෙසට දුවන්නට විය.කාන්තා ජනපදයේ ප්‍රධානින් අමතා ඈ කල කතාවද ඇගේ මතකයට පිවිසිනි.ජයසිංහයන්ගේ මතකය නොමැතිව තමාගේ පැවැත්මක් නැති බව වැටහුණු බැවින් ඇය සිටියේ මාරාවේශ වූවෙක් පරිද්දෙනි.

සුළු මොහොතකින් ඈ පර්යේෂණ කුටියට ළඟාවී එහි පිටත බිත්තියට අත තැබුවාය.ඒ සැනින් ඇගේ අත එම බිත්තිය මගින් පරිලෝකනය (SCAN)  කරන්නට විය.තත්පර ගණනක් ඇතුලතදී එම කුටියේ බිත්තියේ පණිවිඩයක් සටහන් විය.එම පණිවිඩයේ දැක්වුනේ ඇයට එම කුටියට පිවිසීම සඳහා අවසර ලබා දී ඇති බවය.

ඒ සමගම කුටිය තුලට පිවිසගත් ඇය වේගයෙන් අඩි තබමින් අශාන් ඉදිරිපිටට පිවිසියාය.පුදුමයෙන් මෙන් අශාන් නැගී සිටගන්නවාත් සමගම ඇය ඔහුගේ හිසින් අල්ලා බිත්තියේ ගැසුවාය.අශාන්ට සිතන්නටවත් කාලයක් නොලැබෙමින් නැවත වරක් ඔහුට ප්‍රහාර එල්ලකල සෙබලිය ඔහුගේ ගෙල සිරකරමින් ප්‍රශ්න කරන්නට විය.

කෝ ජයසිංහගේ මතක ගොනුව??

මොන මතක ගොනුවක්ද? වේදනාවෙන් මිරිකෙමින් අපහසුවෙන් හුස්ම ගනිමින් අශාන් විමසන්නට විය.

කෝපාවිෂ්ට වූ සෙබලිය අශාන්ට නැවතත් ප්‍රහාර එල්ල කරන්නට විය.අශාන්ගේ ගෙල තව තවත් තදින් සෙබලියගේ දෑත් අතර සිරවන්නට විය.

මැරුම් නොකා මම අහන දේට උත්තර දෙනවා.....

ලේ වැගිරුණු මුවින් යන්තමින් සිනාසුණු අශාන් ඇයට ප්‍රතිඋත්තර දුනි.

පරක්කු වැඩියි.... එසේ පවසනවාත් සමගම විදුලිය ආරෝපණය වන ශබ්දයක් සෙබලියට ඇසෙන්නට විය.ඇය ඒ ශබ්දය පැමිණෙන දිශාව දෙස වහා දෙනෙත් යොමුකලද ඇය එවිටත් ප්‍රමාද වී සිටියාය.ඇගේම අවියෙන් නිකුත් වූ ලේසර් ධාරාව ඇගේ ඇලපත විනිවිද ඇදී ගියේ ඇසිපිය හෙලනා වේගයකිනි.

සෙබලිය පසුපසට විසිවී බිම ඇදවැටිණි.අශාන්ද දණින් ඇද වැටුණේ අමාරුවෙන් ස්වසනය කරමිනි.ඔහු අත වූයේ සෙබලියගේ අවියයි.ඇගේ පහරකෑම් මධ්‍යයේ එම අවිය සෙබලියගෙන් ඩැහැගැනීමට ඔහු සමත් වී තිබිණි.එම අවිය ඉනෙහි රඳවාගත් ඔහු සෙබලිය ජීවතුන් අතරදැයි පිරික්සන්නට විය.සෙබලිය තවදුරටත් ජීවතුන් අතර නොවීණි.කිහිපවරක් සමබරතාව ගිලිහී ඔහු දණින් වැටුනද ඇයගේ සිරුර බිම දිගේ අදිමින් කුටියෙන් පිටතට පිවිසීමට ඔහු සමත්විය.

ප්‍රාණය නිරුද්ධ වූ ඇගේ සිරුර වත්තම් කරගනිමින් ඔහු සැරසුනේ සේනකව කුටියෙන් පිටතට ගැනීම සඳහායි.ඒ සඳහා ඔහු ඇගේ හස්තය ගෙන ගෙන ආලෝක බිත්තියේ පිටතින් තදකරමින් නොඉවසිලිවන්තව බලාසිටින්නට විය.සුළු මොහොතකින් පෙර පරිදිම පණිවිඩයක් ආලෝක බිත්තියෙන් පෙන්වා දුන්නද ඔහුගේ බලාපොරොත්තු සුන්කරමින් එම පණිවිඩයේ දැක්වුයේ ඇතුලත්වීමේ කේතය කල්ඉකුත් වී ඇති බවයි.

"දැන් මොකද කරන්නේ..... " බිඳුණු හඬින් යුතුව සේනක ඇමතූ අශාන් කල්පනා කරන්නට විය......

ප/ලි :

පොටෝව ගත්තේ මෙතනින් http://www.wired.com/images_blogs/underwire/2012/08/total_recall_beckinsale.jpg

සෑහෙන්න කාලෙකට පස්සේ ලැබුණු නිවාඩුවේ තමයි ලියාගන්න ඉඩක් ලැබුණේ.ඊළඟ කොටසත් ලියලා තියෙන්නේ තව දවස් දෙකකින් ඊළඟ කොටසත් අනිවාර්යෙන් දෙන්න පුළුවන්.කාලෙකට පස්සෙ ලියන්න ගත්ත නිසා රිද්මය ටිකක් කැඩුනා කියලා මටත් තේරෙනවා ඒ නිසා දැනමුතුකම් අදත් බලාපොරොත්තුවෙනවා හැමෝගෙන්ම.පමාව පිළිබඳ සමාව ඉල්ලනවා හැමදාමත් වගේ..