Friday, October 12, 2012

ගැහැණු ලොවක සිරකරු... 8 කොටස


මුල් කොටස් සඳහා


7 කොටස
**********************************************************************************



සේනක සෙමින් සෙමින් ලඟාවෙමින් සිටියේ යානයේ මෙහෙයුම් මැදිරිය වෙතටයි.සිය අවියද ඉදිරියට ඉලක්ක කරගනිමින් ගමන් ගත් ඔහු සුළු මොහොතකින් තමන්ට අවශ්‍ය ස්ථානය වෙතට ලඟා විණි.මොහොතක් එම කුටිය ඉදිරිපිට රැඳෙමින් සුසුමක් හෙළූ ඔහු එක්වරම මෙහෙයුම් මැදිරියේ දොර විවෘත කරගනිමින් මැදිරිය තුලට පිවිසිණි...


ඔහු බලාපොරොත්තු වූයේ පාලන මැදිරියේ රැඳී සිටින හමුදා නිලධාරිනියවයි.නමුත් ඈ එහි නොවිණි.කලබලයෙන් මෙන් ඒ මේ අතට හැරෙමින් තම අවිය මැදිරිය පුරාවටම ඉලක්කගත කලද හමුදා නිලධාරිනියගේ සේයාවකදු දැකගැනීමට ඔහුට නොහැකි විය.


අපේක්ෂා භංගත්වයෙන් යුතුව සිය අවිය පහත දැමූ ඔහු වහා දිව ගියේ යානයේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය වෙතටයි.යානය ඒ වන විටත් හමුදා මූලස්ථානය වෙතට ගොඩබාමින් තිබිණි.ඔහු එම පද්ධතිය වෙනස් කරමින් නැවත යානය ගුවනට නංවා ගැනීමට උත්සහ දැරුවද හමුදා නිලධාරිනිය එම පද්ධතිය වෙනස් කිරීමට නොහැකි අයුරින් ආරක්ෂිත කේත යොදා තිබීම නිසා එය අසාර්ථක විණි.


ගොඩබෑමට තව ඉතිරිව ඇත්තේ මිනිත්තුවක් බව පරිගණක තිරයක් මත සඳහන් වනු දුටු වහාම තම අවිය යානයේ පාලන පුවරුව වෙතට ඉලක්ක කරගත් සේනක එය දෙතුන් වරක් ක්‍රියාත්මක කලේ කෙසේ හෝ යානය හමුදා මූලස්ථානයේ ගොඩබැසීම වැලැක්වීම සඳහායි.නමුත් ඒ සමගම යානයේ ඇතිවූ ගැස්ම නිසා ඔහුගේ සමබරතාව ගිලිහී ඔහු බිම ඇද වැටුණි.ඒ සමගම විවර වූ දොරටුවෙන් මෙහෙයුම් මැදිරිය තුලට පිවිසුණේ යානයේ සිටි හමුදා නිලධාරිනියයි...


ඇය මැදිරිය තුලට පිවිසෙන විට දුටුවේ සේනක බිම වැටී සිටි අයුරුයි.ඔහු අසලම වැටී තිබූ ඇගේ අවිය දුටු සැනින් ඈ එම අවිය ඩැහැගැනීම සඳහා පීනූයේ ඇසි පිය හෙලන තරම් වේගයකිනි.නමුත් ඒ සමගම ක්‍රියාත්මක වූ සේනක අවිය වෙත පා පහරක් එල්ල කලේ ඔහු හට නැගිටීමට තරම් කාලයක් නොවූ නිසාවෙන්...


එම පා පහර නිසා අවිය ඇගේ ඉලක්කය වැරදුණි.අවිය ඇගේ දෑත් මායිමෙන් ඔබ්බට ඇදිණි.අවිය වෙත එල්ල කරන ලද පා පහරත් සමගම නැගී සිටගත් සේනක බිමින් ඇදුණු හමුදා නිලධාරිනියගෙ මුහුණටද පා පහරක් එල්ල කලේ ඇයව අඩපණ කිරීමේ බලාපොරොත්තුවෙන්.නමුත් ඇය ඒ සඳහා සූදානම්ව සිටියෙන් ඔහුගේ එම පා පහර වලක්වා ඔහුව බිම හෙලීමට සමත්විය.


ලද අවසරයෙන් හමුදා නිලධාරිනිය බිම වැටී තිබූ අවිය සියතට ගැනීමට සමත් වූවාය.නමුත් එය සේනක දෙසට එල්ල කරත්ම ඔහුද නැගී සිටිමින් එය වලක්වා ගන්නට සමත් විය.හමුදා නිලධාරිනිය දිගින් දිගටම පහර එල්ල කරන්නට වූවත් සේනක අවිය අතනොහැරම එම පහර කමින් ඇයව යානයේ බිත්තිය දෙසට තල්ලුකරන්නට විය.තමා පත්වන්නට යන අවධානම දුටු හමුදා නිලධාරිනිය බිත්තිය ලංවත්ම ඇගේ දෙකකුල් බිත්තියට යොමුකරමින් ආපස්සට බිත්තිය දිගේ දුවමින් සේනකගේ හිසට ඉහලින් පිම්මක් පැන සේනකගේ පිටුපසින් බිම පතිත වීමට සමත් වූවාය.ඒ ක්ෂණයෙන් ඇගේ අතට පත්ව තිබූ අවියෙන් සේනකගේ හිසට ඉතාමත් තදින් පහරක් එල්ල කලාය....

****

මොහොතකට මා හට හුස්ම ගැනීමට පවා අමතක වන්නට ඇත.මෙය එතරම් අහඹු අදහා ගත නොහැකි සිදුවීමකි.නැවත වරක් මා එම ඡායාරූපයට පහලින් වූ වදන් පෙල කියැවීමට ගත්තේ එය එතරම් පුදුමයට කරුණක් වූ බැවින්...


“මගේ ආදරණීය සොයුරු ජයසිංහ බණ්ඩාර සමග මම අවුරුදු දහයේදි...”


යානය අළුත්වැඩියා කිරීමට යාමට මොහොතකට පෙර කැරළි නායක ජයසිංහ මා අමතා පැවසූ වදන් මගේ මතකයට පිවිසියේ එක්වරමයි.


ඔව් මගේම මල්ලි තමයි.ඔහු දැන් කාන්තාවක්.......ඔහු කැමතිවුනා ඒ අවදානම බාරගෙන මුළු ජීවිත කාලයටම කාන්තාවක් ලෙස ගෙවන්න.... ඔහු සෑහෙන්න සැත්කම් රාශියකින් පස්සේ ඉතාම සුරූපි හුරුබුහුටි කාන්තාවක් බවට පත්වුනා.ඔහු පොරොන්දු වුනා ජීවිත කාලය පුරාවටම අපිට තොරතුරු ලබා දෙන්න.....  ඔබව මුදාගන්නා මෙහෙයුමට කලින් තමා ඔහු අවසන් වරට අපිත් එක්ක සම්බන්ධ වුනේ.ඒ මොහොතේ ඉඳලා තාම ආරංචියක් නෑ....


මෙය විය හැකිද....??  මේ වෛද්‍ය නිලධාරිනිය ඇත්තෙන්ම ජයසිංහගේ සහෝදරයා විය හැකිද? එසේ නම් මා අනුන්ගේ ඉත්තෙක් යැයි ඈ පැවසුවේ ඇයි?? ඈ මා හට පැවසූ දෙයක් මා හට හොඳ හැටි මතක තිබිණි.


“ඔයාගේ හිත පාට නොකරපු චිත්‍රයක් වගේ තිබුනේ අශාන්.ඕනම කෙනෙක්ට පුළුවන් ඒ චිත්‍රය පාට කරලා වෙනස්ම නමක් දෙන්න.ඔයාට මෙතනත් වෙලා තියෙන්නේ ඒකයි.ඔයා වැටිලා ඉන්නේ වැරදි අතකට.......”


මා නතුව සිටියේ ඇගේ සහෝදරයාගේ අතටනම්.ඇයත් ඔහුගේ ඉලක්කය සපුරාලීමට උදව් දෙමින් සිටියදී මා ඉන්නේ වැරදි අතකයැයි පැවසූවේ ඇයිදැයි යන්න මා නිරුත්තර කරවීමට සමත් විය.වෙව්ලන අතින් යුතුව දිනපොතේ දෙවන පිටුවට නෙත් යොමුකලේ සියළු ප්‍රශ්ණ වලට පිළිතුරු මෙහි ඇතැයි යන විශ්වාසයෙන් යුතුවයි...


****

මොනවද බරටම කල්පනා කරන්නේගත්තු තීරණේ ගැන ඔයා පසුතැවෙනවනම් මම තාත්තට කියන්නම් සැලැස්ම වෙනස් කරන්න කියලා


එපා අයියේ,මම තීරණේ අරගෙන ඉවරයි.මම මේ දේ නොකලොත් ඔයාලා හැමෝටම ගොඩක් දුක්විඳින්න වෙනවා


ඔයා මේ තීරණේ ගත්තට මට ඒ තීරණේ අනුමත කරන්න ගොඩක් අමාරුයි මල්ලි.ඒත් ඔයාගේ තීරණේ වෙනස් නොවෙනවනම් මම පොරොන්දු වෙනවා පුළුවන් තරම් ඉක්මනට ඔයාව බේරගන්න


ඒක ලේසි වෙන එකක් නෑ අයියේ.මට ඔයාලව නොදැක අවුරුදු කීයක් ඉන්න වෙයිද කියලා කවුද දන්නේ.සමහරවිට ජීවිතෙත් විශ්වාස නෑ සැලැස්ම වැරදුනොත්


කීයටවත් මම ඒක වෙන්න දෙන්නේ නෑ මල්ලි.මගේ ජීවිතේ තියෙනකන් කොහෙ හිටියත් මම ඔයාව ආරක්ෂා කරනවා


මාව නෙමෙයි තාත්තවයි අනිත් කට්ටියවයි බලාගන්න.මම ඔයාලා වෙනුවෙන් හැමදෙයක්ම කරන්නම් මට පුළුවන් හැටියට.කවදහරි ඔයාට මෙතන නායකත්වය ගන්න වෙනවා.මට විශ්වාසයි ඔයාට පුළුවන් වෙයි කියලා මේ හැම දෙයක්ම විසඳන්න


හ්ම්ම් සුභ උපන්දිනයක් වේවා මල්ලි.... මේක මගෙන් තෑග්ගක්


ඔහුගේ අත වූයේ පැරණි දිනපොතකි.මා එය ඉතා ආසාවෙන් දෑතට ගත්තේ මෙවැනි දිනපොත් කෞතුක භාණ්ඩ හා සමාන වූ බැවිනුයි.එහි පිටු අතරින් නැගෙන සුවඳ විඳගනිමින් දිනපොත මා පෙරලන්නට වූයේ ඉතාමත් සන්තෝසයෙන්.දිනපොතේ පිටු අතර තිබී එක්වරම යමක් බිමට වැටෙන බවක් දුටුවෙන් මා වහාම ඒ කුමක්දැයි පිරික්සා බැලුවේ කුතුහලයෙන්.


එය මාත් මාගේ සහෝදරයාත් කුඩා කල ගන්නා ලද ඡායාරූපයකි.ඒ දෙස නෙත් යොමත්ම නැගුණු කඳුලින් මොහොතකට දෑස් බොඳවියාම වලක්වා ගැනීම ඉතාමත් අපහසු විනි.ඉතාමත් අපහසුවෙන් හැඬුම් නවතාගනිමින් මාගේ සහෝදරයා අමතන්නට හිස එසවූ නමුත් ඒ වන විට ඔහු පිටත්ව ගොස් තිබුණි....


මොහොතක් අඳුරු බිම්ගෙය දෙස බලා සිටි මම නැවත ඡායාරූපය වෙත නෙත් යොමුකරගතිමි.


පොඩි පුතා...ඔයයි අයියයි තමා මට තියෙන වටිනාම දේ.ඒ වුනත් කවදහරි මම මැරුණම මේ හැම කෙනෙක්ගෙම වගකීම දරන්න වෙන්නේ ඔයාටයි අයියටයි.මම ගොඩාක් කාලයක් කල්පනා කලා අපි කොහොමද මෙතනින් නිදහස් වෙලා අපේම ලෝකයක ඉන්නේ කියලා.ඉතින්... අන්තිමේදි අපි එකඟතාවකට ආවා අපෙන් ඔත්තුකාරයෙක්ව යැවීමයි වැදගත් කියලා...


මාගේ පියා එසේ පවසද්දී කිසිදු පැකිලීමකින් තොරව ඔහුට එකඟවූ මා ඒ පිළිබඳව මේ මොහොතේ පසුතැවීමකට පත්වී සිටින්නේදැයි සිතාගත නොහැකි තරමට සිත ව්‍යාකූලව තිබිණි.අවශ්‍ය නම් සැත්කම ආරම්භයට පෙර මෙයින් ඉවත්වීමටද හැකියාවක් ඇතත් තව සුළු මොහොතකින් සැත්කම ආරම්භ කල පසු නැවත හැරීමක් කිසිසේත් කරන්නට නොහැකි වනු ඇති... නමුත් මේ කැපකිරීම මත සියල්ලන්ගේම ජීවිත රඳා පවතින බැවි මා හට වැටහී තිබූ බැවින් දෙගිඩියාවකින් තොරව ශල්‍යාගාරය වෙත පය එසෙව්වේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුවයි.

**** 

සේනක සෙමින් සෙමින් දෑස් විවර කරන්නට විය.හිස පිටුපසින් දැනෙන දැඩි වේදනාව ඔහුගේ ශක්තිය දුර්වල කල අයුරක් පෙනෙන්නට විය.දෑත් දෙපය බැඳ තිබූ බැවින් ඔහුට නැගී සිටීමට කිසිදු ඉඩක් නොවුණි ඔහු පැත්තට හැරෙමින් කුටිය පිරික්සන්නට වූයේ තමා මේ සිටින්නේ කොහිදැයි සැක හැර දැනගැන්මටයි... මුළු කුටිය පුරාම අත පය බැඳ දමන ලද සිරකරුවන් රැසක් වූහ.ඒ සියල්ලන්ම කැරලි කණ්ඩායම් සාමාජිකයන් බැව් හඳුනාගැනීමට සේනක හට වැඩි වෙලාවක් ගත නොවිණි....


ඔහුගේ හිස නැවතත් වේදනාවෙන් රිදුම් දෙන්නට විය.වේදනාවෙන් කෙඳිරි ගාමින් දෑස් පියාගන්නවාත් සමගම ඔහුට විවිධ සිද්ධි දාමයන් මැවී පෙනෙන්නට විය.සෙබළියන් රැසක් ඔහුව වටකරගෙන සිටින අයුරක් සහ පර්යේෂණාගාරයක් ඔහුගේ දර්ශනවල කේන්ද්‍රස්ථානය විය....


වේගයෙන් හුස්ම ගනිමින් සේනක යළිත් දෑස් විවර කරගත් අතර ඔහු වෙව්ලමින් සිටිනු දක්නට ලැබිණි.ඔහු නොදන්නා කුමක් හෝ සිදුවෙමින් පැවතිනි.යළිත් ඔහුගේ හිස වේදනා දෙත්ම ඔහුගේ දෑස් පියවිණි... සුළු මොහොතක් ගතවෙත්ම සේනකගේ කෙඳිරිය විශාල විලාපයක් බවට පත්විය. 

****

මා දෑස් විවර කරනා විට සිටියේ අපගේ කුඩා ශල්‍යාගාරයේ බව වැටහිණි.දෑත් සෙලවීමට නොහැකි නිසා යන්තම් හිස ඔසවා බැලූ විට මා දුටුවේ මාගේ සාමාන්‍ය ශරීරයයි.වෙනසක් බලාපොරොත්තුවෙන් පපුව දෙස නෙත් යොමුකලත් එක්තරා ආකාරයක බලාපොරොත්තු කඩවීමකට මා පත්වුනායැයි කීම නිවැරදියි.


දැන් කොහොමද ඔයාට ඇඟට අමාරුවක් එහෙම දැනෙනවද..?


එහෙමට අමාරුවක් නෑ ඒත් මට කිසිම වෙනසක් පේන්නේ නෑනේ


අඩුම තරමේ මාගේ කටහඬවත් වෙනස් නොවී පැවතීම ගැනද මා කනස්සල්ලට පත්විය.


ඒ සේරම තව ටික දවසකින් හරියයි.දැන් සැත්කම කරලා සති දෙකක් විතර වෙනවා.අපි සැරින් සැරේ ඔයාව නිර්වින්දනය කරපු නිසයි ඔයාට ඒ ගැන දැනුමක් නැත්තේ.හෝමෝන ප්‍රතිකාර කරන්න ගත්තට පස්සේ අපේ සැලැස්මේ අන්තිම කොටස විතරයි අපිට කරන්න ඉතුරුවෙන්නේ

හ්ම්ම්…” මම නිහඬවම නැවතත් කල්පනා කරන්නට වීමි.

නියමිත කාලයට මගේ පරිවර්තනය අවසන් නොවුනහොත් අප සැමටම ඉතාමත් දුෂ්කර කාලයක් එළඹෙනු නියත බැව් මට වැටහිණි.කුමක් හෝ අඩුපාඩුවක් සිදුවුවහොත් මට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවනු ඇත.මගේ පියා ඇතුළු පිරිස සැරසෙන්නේ නව අවුරුදු උදාවත් සමග කාන්තා ජනපදයට ප්‍රහාරයක් එල්ල කර ඒ ලැබෙන අවස්ථාවෙන් මා ජනපදයට ඇතුලත් කිරීමටයි.තරමක භාරදූර කාර්යයක් සේ පෙනුනද එම ප්‍රහාරයේ මූලික අරමුණ එහි සිටිනා යුවතියක ජීවග්‍රහයෙන් අල්ලා ඒ ස්ථානය මා හට ලබාදීමයි.වයසින් පෙනුමෙන් බොහෝදුරට සමාන වූ ඇය දැනට අවුරුදු කීපයක සිටම අපගේ ඉලක්කයක් වී තිබුණේ ඇයගේ භාරකාරිනිය මෙරට කාන්තා ජනපදයේ ඉහළම තනතුරු දරනා කෙනෙකු වීම හේතුවෙන්.


ප්‍රහාරයේ වැදගත්ම කොටස භාරවී ඇත්තේ මගේ සොහොයුරු ජයසිංහටයි.ප්‍රහාරයෙන් අනතුරුව එම තරුණියගේ මොලයේ සවිකර තිබෙන චිපයේ ඇති තොරතුරු මාගේ මොලයේ ඇති චිපයට ඇතුලත් කිරීම ඔහුට භාරව ඇති කාර්යයයි.ස්වාභාවිකව ගැබ් ගත් අවසන් පරම්පරාවට අයිති වන මටත් මගේ සොයුරාටත් එම චිප ඇතුලත් වී තිබීම එක්තරා ආකාරයක වාසනාවක් යැයි මොහොතකට සිතිණි.


එම චිපයන් ප්‍රධාන දත්ත ගබඩාව හා සම්බන්ධ කරන්නේ ඉපදී අවුරුදු 6ක් ගිය පසුවයි.මගේ සහ සොයුරාගේ උපත් එකල කාන්තාවන් බහුතරයක් සිටි ජනපදයෙන් බැහැරව අපගේ සැඟවුම් පොලක සිදුවූ බැවින් සහ පිරිමි මර්දනය ඒ අවධියේම ආරම්භ වූ බැවින් එම තොරතුරු ගබඩාව හා අපව සම්බන්ධ කර නොතිබිණි.එය වාසියකට ගනිමින් මෙම පරිවර්තනය සහ තොරතුරු හුවමාරුව සැලැස්මට අනුව සිදුවුවහොත් කිසිවෙකුටත් අපව නවත්වන්නට හැකි නොවනු ඇතැයි යන්න මම දැඩිව විශ්වාස කලෙමි.

****

සේනක වෙව්ලමින් බිම වැතිර සිටින අයුරක් දක්නට ලැබිණි.ඔහුගේ නාසයෙන් සහ මුඛයෙන් රුධිරයද වෑහෙමින් තිබිණි.ඔහුගේ දෑසේ කළු ඉංගිරියාවද ඉතාමත් වේගයෙන් දෙපසට ගැහෙමින් පැවතුනේ ඔහුගේ පෙනුම වඩාත් බියකරු කරවමිනි....

සිහිනයක් යැයි සිතුවත් එය සැබෑවටම සිදුවූවක් බව වැටහෙන්නට සේනකට වැඩි වේලාවක් ගත නොවුණි.තමා හමුදා සෙබලියන්ගේ ග්‍රහණයට නතුවූයේ කැරලි කණ්ඩායම වෙනුවෙන් කරන ලද මෙහෙයුමකදී බවත්.එය රහසිගත මෙහෙයුමක් බැවින් මෙහෙයුමේ අරමුණ නොදැන සිටි බවත් ඔහුට මතකයට පැමිණුනි.ඔහුගේ චිපයෙන්ද තොරතුරක් ලබාගත නොහැකි වූ තැන ඔහුව ඔත්තුකරුවෙකු සේ කැරළිකරුවන් අතරටම එවීමට සෙබලියන් තීරණය කල බවක් ඔහුට යන්තමින් සිහිපත් වන්නට විය.

ඔහුගේ හිසෙහි ඇති කරන ලද සිදුරකින් නව චිපයක් ඔහුගේ හිසට ඇතුලත් කර එය පරික්ෂා කල අයුරුද ඔහුට මැවී පෙනෙන්නට විය.ඒ දැණුනු වේදනාව ඒ අයුරින්ම සේනකට නැවතත් දැනෙන්නට විනි.ඔහුට ගැලවීමක් නොවුණි.ඔහුගේ සිරුරට තව වේදනා දරාගත හැකි බවක් පෙනෙන්නට නොතිබිණි....

ඒ සමගම සේනක සිටි කුටියේ දොරටු විවෘත විණි.සෙබලියන් කිහිප දෙනෙකු පැමිණ සිරකරුවන් රැගෙන යන්නට විය.නැවත තමා සෙබලියන්ගේ ග්‍රහණයට නතු වෙන්නට යන බව ඡායාවක් පරිද්දෙන් සේනක දුටු නමුත් ඔහුගේ සිරුර ඔහුට අවනත නොවිණි...

****
යානය මේ වන විට හමුදා මූලස්ථානයේ ගොඩබස්වා තිබිණි.සියළුම සිරකරුවන් හමුදා මූලස්ථානයේ පිහිටි විශේෂ ද්‍රව මාධ්‍යයක රඳවා තිබෙන අයුරක් දක්නට ලැබිණි.යානයේ සිටි හමුදා නිලධාරිනිය අශාන් රඳවා සිටි කුටිය වෙත යද්දි ඇයට දක්නට ලැබුණේ මියගිය වෛද්‍යවරියගේ දේහය සහ සිහිසුන් ජයසිංහගේ සිරුරු පමණකි.

ඇය වහා ඇගේ හිසට සම්බන්ධ කරගත හැකි ටෙලිපති උපකරණය පැළඳ ගත්තේ අශාන් හට ගැලවී යාමේ කුඩා හෝ ඉඩක් ඇත්නම් එයද අවම කරන අපේක්ෂාවෙන් යුතුවයි.

වටාපිටාවේ සිදුවන්නේ කුමක්දැයි අශාන් මේ වන විටත් දැන නොසිටියේ ඔහු එතරම්ම වෛද්‍යවරියගේ දිනපොත කෙරෙහි අවධානය යොමු කර සිටි හෙයිනි.යානයේ මුලින් ඇතිවූ ගැස්ම යානය ගොඩබැස්සවු අවස්ථාවේ ඇතිවුනායැයි ඔහු සිතුවද සේනක යානයේ පාලන පුවරුවට එල්ල කරන ලද ප්‍රහාරයෙන් එය සිදුවිණියැයි ඔහු කෙසේ නම් දැනගන්නද.....? ඔහු කෙතරම් එම දිනපොතට වශී වී සිටියාද යත් හමුදා සෙබලිය පැමිණ ඔහුගේ ඉදිරියෙන් සිටගන්නා තුරුත් ඔහුට වැටහීමක් නොතිබුණි.

අශාන් සෙමින් ඔළුව ඔසවා බලන විට දුටුවේ ඔහුගේ ඉදිරිපිට සිටිනා හමුදා නිලධාරිනියවයි.ඇය ජීවතුන් අතර නම් සේනක ගැන බලාපොරොත්තු තැබිය නොහැකියි ඔහුට වැටහිණි.ගැලවීමේ අවසන් බලාපොරොත්තුවද සුන්වී ගියෙන් ඔහුගේ දසින් කිසිදු බියක් විද්‍යාමාන නොවිණි.

දැන් මොකද...?? ගහලා කුදලන් යනවද?මරලා අරගෙන යනවද? ඔහු කිසිදු වෙනසක් නොපෙන්වා සෙබලියගේ දෑස දෙස කෙලින් බලමින් විමසූවේ දිනපොත පිළිබඳ ඇගේ දෙනෙත් යොමුවීම වැලැක්වීමටයි.

අපෝ නෑ ආයේ ගහන්න උවමනාවක් නෑ.වටපිට බලන්නකෝ අශාන්,ඔයාට එනවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ

ඔහු එවිටයි කුටියෙන් පිටත සිටි සෙබලියන් සමූහය දුටුවේ.හිස පහතට හෙලමින් ඔහු නැගී සිටගත්තේ මොවුනගේ කීමට යටත් වනවා හැර ගන්නට වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බැවිනි.පලා යාමට කුමක් හෝ ඉඟියක් තමා සතුවූ දිනපොතෙන් ගත හැකිවේවියි යන්නද ඔහුගේ සිතේ නිධන්ව පැවතිනි.

හමුදා සෙබලියන් ඔහුව වටකරගනිමින් ගමන් කලේ පැනයාමේ අදහසක් හෝ ඔහුගේ සිතේ ඇතිවන්නට ඉඩ නොදෙමිනි.වාසනාවකට ඔහු අතවූ දිනපොත ඔවුනගේ අවධානය දිනා නොගත්තේ බොහෝ විට එය පිළිබඳ ඔවුනට දැනීමක් නොතිබූ නිසා විය හැකියි.

හමුදා මූලස්ථානය අතරින් ගමන් කරන මොහොතේ ඔහුගේ නෙත ඇදීගියේ එහි වූ විවිධ සිලින්ඩරාකාර හැඩැති බඳුන් වැනි යමක් වෙතටයි.වඩාත් විමසිල්ලෙන් බැලූ විට ඔහුට වැටහුණේ එම ද්‍රව බඳුන් කිහිපයක් ඇතුලත නිරුවත් පිරිමින් රඳවා තබා ඇති අයුරකුයි.ඔවුන් හැමගේම නාභියට සම්බන්ධ කර තිබූ නලයක් නිසා ඔවුන් තවමත් ජීවතුන් අතර සිටීමට ඉඩ ඇති බව ඔහුට වැටහිණි.

මද වේලාවකින් ඔහු සමග පැමිණි සෙබලියන් නැවතිණි.ඒ ඇයිදැයි පිටුපස බලනවාත් සමගම ඔහුව තල්ලු කෙරුණේ කුඩා නමුත් තරමක සැප පහසුකමෙන් යුක්ත වූ කුටියකටයි.ඔහු නැවත හැරී පිටතට යාමට උත්සහ කලද අදිසි බාධකයක් ඔහුගේ ගමන නැවැත්වීමට සමත් විය.සුළු මොහොතකින් එම අදිසි බාධකය බිත්තියක් සේ වර්ණ ගැන්විනි....

ඔහු එක්වරම පසුපසට පැන්නේ සිදුවූ  දේ වටහාගත නොහැකිවයි.තවත් සමීපව එය අධ්‍යනය කිරීමේදි ඔහු දුටු දෙයින් අතිශය විශ්මයට පත් විණි.ඉතාමත් සියුම් අණු වැනි සැකැස්මක් නිතර එම බිත්ති අතර ගමන් කරන බව නිරීක්ෂණය කරගැනීමට ඔහු සමත්විණි.මෙය කිසිදු අයුරක වීදුරුවක් නොවන බවත් ආලෝක ධාරාවක් වැනි ඉතාමත් තුනී පටලයකින් මෙම කුටිය වටවී ඇති බවත් ඔහුට වැටහිණි.එම කුටියේ තිබූ ඇඳ සහ අනෙකුත් බඩු බාහිරාදියද මෙම ආලෝක ධාරාවෙන් ජනනය වී ඇති බව ඔහු නිරීක්ෂණය කලේ විස්මයානුකූල දෙනෙතකින් යුතුවයි....

ඔහු සිරකරුවෙක්ව සිටියත් දක්නට ලැබුණු විද්‍යාත්මක වටිනාකමකින් යුතු දර්ශණය නිසා ඒ පිළිබඳ තැවීමක් ඔහුගෙන් දිස්නොවිණි.... 

එසේ නම් මෙයයි අනාගත ලෝකය.කලක් ඉතා විශාල ප්‍රශ්ණයක්ව පැවති ඉඩකඩ දේශසීමා පිළිබඳ ගැටළු තව දුරටත් ප්‍රශ්ණයක් නොවනු ඇතැයි ඔහුට සිතිණි.එපමණක් නොව ජනාවාස ඇතිකරගැනීමේ අරමුණින් විවිධ ග්‍රහලෝක අත්පත් කරගැනීමේ සටනද අවසන් වනු ඇතැයි ඔහුට සිතිණි.

නමුත් තමා සිටින්නේ පරීක්ෂණාගාරයක බවත් මෙම තාක්ෂණය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවත් ඔහුට පසක් වූයේ එක්වරම ඔහුට ඇසෙන්නට වූ කෙඳිරිලි හඬක් සමගිනි....


ප/ලි

පොටෝව ගත්තේ මගෙ ලඟ තිබුණු Resident evil:after life ෆිල්ම් එකේ ස්ක්‍රීන් ෂොට් එකකින්.[01:12:29 frame]
මේ කොටසටත් පොරොන්දු වුනාට වඩා වැඩි කාලයක් ගන්න වුනා.දිනපොතක් ලියලම නැති මට දිනපොතක ආකෘතියට මේක ලියන්න සෑහෙන්න අමාරු වුනා.අන්තිමේදි ඒ අදහස අතෑරලා දාලා වෛද්‍යවරියගේ පැත්තෙන් කතාව දිගඇරෙන විදියටයි ලිව්වේ.අඩුපාඩු නම් එමට ඇති.අඩුපාඩු පෙන්වලා දෙනවනම් මම ගොඩක් සතුටුයි....

33 comments:

  1. සැහැ ... ආයේ මුල ඉඳං කියවන්න වෙනවා .. මොකුත් මතක නෑ .. @ ගැමියාට බැන බැන මුල පොස්ට් කියවන්න යමින්

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් විතර සමාවෙන්න අයියන්ඩි තාක්ෂණික දෝෂයක්නේ... යන්තම් මාසයක් යන්න කලින් දැම්මනේ කොහොමහරි.

      සිදුවූ ප්‍රමාද දෝෂය ගැන මාගේ බලවත් කණගාඩුව...

      7 කොටසෙදි මම සාරාංශයක් දැම්මා එතන බැලුවනම් ලේසි වෙයි.ඊලඟ කොටසටත් සාරාංශයක් දෙන්නම්.බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට...

      Delete
  2. හිතුවෙවත් නැති පැත්තකට අපිව අරගෙන යනවා...වෙනද වගේම තමා සුපිරිම සුපිරි ...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ... කාටවත් හිතන්නවත් බැරි විදියකට ඉවර කරන්න ප්ලෑනක් තියෙනවා හැබැයි එතන්ට එන්න තව කොටස් ගොඩක් මැද්දට දාන්න වෙනවා

      Delete
  3. අඩේ සිරා ඈ...
    එල එල..
    දැං යන පැත්ත හිතුවෙවත් නැති පැත්තක්....
    බලමු ඉස්සරහට..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මචෝ... තව දේවල් ගොඩක් වෙන්න තියෙනවා ලියාගන්න වෙලාවක් නැති එක තමා තියෙන එකම අවුල

      Delete
  4. හම්මෝ මෙයාගේ ඔලුව කොහොම වැඩ කරනවද කියලා මේ ලියවිල්ලෙන් හිතාගත්තෑකි. ගැමියෝ ඔයා මොනවද ඉගෙන ගන්නේ???

    මේ වගේ කතාවක් ෆිල්ම් කලොත් කොච්චර ලස්සන වෙයිද කියලා කල්පනා කලේ. කතාව කාට හරි දීලා බලන්ට. හැබැයි මටත් චරිතයක් ඉල්ලා දෙන්ට හොඳේ.:D

    හිතා ගන්ටත් බැරි තරමට ඔලුව කැරකැවෙන විදියේ කතාවක්!!! එච්චරටම අපූරුයි. :)

    ReplyDelete
    Replies
    1. හි හි.... ඉගෙන ගත්තෙ නම් විද්‍යා විෂයන් තමා(මැත්ස්) දැන් කොම්පියුටර් ඉංජිනියර් කෙනෙක් වෙන්න හීන දැක දැක ඉන්නවා... මෙව්වා ඇවිල්ලා ඔහේ ඉන්නකොට කල්පනා වෙන දේවල් තමා.කවදාවත් වෙයි කියලා හිතන්න බැරි දේවල්නේ කල්පනා වෙන්නේ නිකන් ඉද්දි...

      මේ වගේ ෆිල්ම් ලංකාවේ හදන්න බෑනේ අක්කේ.එහෙම හදනවනම් මෙතන ලව් සීන් එකක් දාලා සිංදුවකුත් දාන්න වෙනවා... හැදුවොත් අනිවා නම දාන්නේ "පොකූ ද Female Dictator" කියලා තමා.ගැලපෙන්නේ නම් අර සෙබලියගෙ චරිතෙ තමා.හැබැයි තව ටිකක් එයා ගුටිකන විදියට ස්ක්‍රිප්ට් එක ලියන්ඩෝන...

      බොහෝම ස්තූතියි අක්කේ ඔයාගේ කොමෙන්ටුවට... අන්තිම හරිය යනකොට මම ලියන්න හිතාගෙන ඉන්න දේවල්වලට මට ගහලා පන්නයිද මන්දා කට්ටියම..

      Delete
  5. වෙනද වගේම නියමයි. එතකොට මිස්ටර් ජයසිංහ ගේ මල්ලි වෛද්‍යවරිය ද? අයියෝ...

    මට හිතෙන්නේ දැන් පොඩ්ඩක් විතර කතාව පැටලිලා තියෙන්නේ මට. මුල ඉඳං කියවන්න වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. හයියෝ.... කතාව අපහැදිලියි නම් ඒක මගෙන් වෙච්චි වැරද්දක් අක්කේ.ඊළඟ කොටසින් තවත් පැහැදිලි කිරීම් කරන්නම්කෝ මේ ගැන.ජයසිංහ ඉඟියක් දුන්නනේ එයාගේ සහෝදරයා ගැහැණියක් වුනා කියලා.ඒ වගේම ඇය අශාන් ගැන තොරතුරුත් දුන්නා කිව්වනේ.ඉතින් අශාන් ඉන්න කුටියේ ටෙලිපෝර්ට් අයිටම් එකේ ඇඩ්‍රස් එක ගැන දන්න කීප දෙනාගෙන් ඒ වෛද්‍යවරියත් එක්කෙනෙක්නේ.... නැත්තම් එච්චර ආරක්ෂාවක් තිබ්බ තැනකින් කොහොමෙයි අශාන්ව උස්සන්නේ.ඒ සේරම මගෙ තිබුණු ප්ලෑන් එකේ කොටසක්.තව ප්ලෑන් ගොඩාක් තියෙනවා ඉදිරියෙදි ලියන්න.හැබැයි තව කොටස් 5ක් 6ක් යද්දි අවසන් කරන්න පුළුවන් වෙයි

      Delete
  6. අනේ හත්තිලව්වේ.... මේ මොන වින්නැහියක්ද වෙන්න යන්නේ?
    ඊගාව කොටසවත් දාපන් ඉක්මනට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ලියපු ගමන්ම දෙනවා රජෝ ආයේ කිව්වොත් කිව්වා තමයි... ඉදිරිය අතිශයින් භයංකරයි.බොහෝම ස්තූතියි ඈ...

      Delete
  7. ගැමියා මලයා කොටස් ටික ලග ලග දාපන්... නැත්නම් කථාවෙ කලින් කොටස අමතක වෙලා අපේ ආතල් එක කැඩෙනවා... සේනක කියද්දි මට මතක් වෙන්නෙ අපේ ගෙදර ඉන්න කලු පූසා... උගෙ නමත් සේනක... මෙහෙම ගෑනු ගොඩක් මැද්දෙ මම තනිවුනොත්.. හ්ම් මට හිතාගන්නත් බෑ...

    ReplyDelete
    Replies
    1. හපොයි ඒ නමත් පූසන්ට ගිහිල්ලද??? විනාසයි සත්තුන්ට ඒ නම් දැම්මම අපි දාන්නේ මක්කැයි??

      ආතල් එක කැඩෙන බව නම් ඇත්තයි උපරිම උත්සහ කරනවා අයියේ ඉක්මනින් දාන්න.එකදිගට ලියන්න වෙලාවක් අහුවෙන්නේ නෑනේ.මගඇරුණු බ්ලොග් කියවන්න ගත්තම සෑහෙන්න වෙලා යනවා.ලියනවට වඩා කියවන්න ආසා නිසා කියවලම තමා ලියන්න ගන්නේ...

      බොහෝම ස්තූතියි අයියේ කොමෙන්ටුවට... එන හැඟීම දැනගන්න නරකද කාන්තාවන්ට පමණයි කියලා තියෙන බස් එකකට නැගලා බැලුවොතින් :D

      Delete
  8. කතාව යු ටර්න් එකක් ගැහුවා නේද? බලමු බලමු අන්තිම වෙනකම්ම කියවලා..

    ReplyDelete
  9. වෙනද වගේම සුපිරියි.
    ඊගාව කොටසත් ඉක්මනට දාහං මලේ.

    ReplyDelete
  10. ඔය පිරිමි ගෑණු කරවන ෆිල්ම් එකක් මේ ළඟදි බැලුවා.... The skin I live in කියලා.... හි හි..

    මගේ මතකේ හොඳ හින්දා හොඳයි ඉතිං... නැත්තම් මේකේ මුල ටික මතක් කරගන්න ඔක්කොම මුල ඉඳලා කියවන්න වෙනවා.....


    ReplyDelete
  11. මුල් ටිකත් බලලම මේකත් බලන්නම් නේද?

    ReplyDelete
  12. උඹටත් හිතෙන තාක්ශණික සුකුරුත්තම් මලේ... සමහර විට අනාගත ලෝකයේ දැකිය හැකි මරු මරු වැඩ කෑලි ටිකක් දැක්කා..

    අර සේනකගෙයි, සෙබලියගෙයි සටන නම් නියමෙටම ලියලා තියනවා.. මට නිකන් ෆිල්ම් එකකින් බලනවා වගේම පෙනුනා... නියමයි..

    දැන් ඊලඟට මොකද වෙන්නෙ..යන විදිහට පිරිමි දිනයි වගේ නේද ?

    ReplyDelete
  13. සිහිනයක් තරමටම චමත්කාරජනකයි......!

    ReplyDelete
  14. මොකෝ බන් මණ්ඩියා පේන්ඩ නැත්තෙ ??

    ReplyDelete
  15. අඩේ අර මුලින්ම තියෙන ෆයිට් අහවල් එක නම් ඇක්ෂන් මූවී එකක් වගේ.//බිත්තිය ලංවත්ම ඇගේ දෙකකුල් බිත්තියට යොමුකරමින් ආපස්සට බිත්තිය දිගේ දුවමින් සේනකගේ හිසට ඉහලින් පිම්මක් පැන සේනකගේ පිටුපසින් බිම පතිත වීමට සමත් වූවාය.// කෑල්ල තේරුම් ගන්න කිසි අපහසුවක් වුනේ නෑ හොලිවුන් වලට පිං සිද්ද වෙන්න. :D
    හපොයි ගෑණුන්ට අහුවෙලා ගෑණු බවට පත් කරවගන්න. ඉනෙන් පහල හිටිවැටිලා ගියා ගැමියෝ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  16. මොකෝ අප්පා වෙන්න යන්නේ..කොහොම උනත් ලියන විදිහට මම කැමතියි මල්ලෝ.ජය!කල් නොදා ලියන්නෝ...

    ReplyDelete
  17. ශික්......... මෙන්න මේකා කතාවකුත් ලියන්න පටන් අරන්. ඒ මදිවට 8 වෙනි කොටසලු.. රසවත් කතාවක් කියල නම් මේ කොටසින්ම හිතාගතහැකි. මුල ඉඳන් කියවගෙන එන්නම්කෝ..
    ජයවේවා! :D

    ReplyDelete
  18. මට මතක තිබුණේ මේ කතා‍ව ඉවරවෙලා කියලා. තාමත් අපුරුවට ගලාගෙන යනවා. නියම විද්‍යා ප්‍රබන්ධය තව සියවස් දෙකක්න් විතර මෙහෙම අත්දැකිමක් ලැබෙයි ඇත්තටම

    ReplyDelete
  19. //මා නතුව සිටියේ ඇගේ සහෝදරයාගේ අතටනම්.ඇයත් ඔහුගේ ඉලක්කය සපුරාලීමට උදව් දෙමින් සිටියදී මා ඉන්නේ වැරදි අතකයැයි පැවසූවේ ඇයිදැයි යන්න මා නිරුත්තර කරවීමට සමත් විය.//

    මටත් නිකන් දැන්නම් මලේ ටෙස්ලා කොයිල් වගේ.. :D කතාව හිතන්නෙවත් නැති අතකටනෙ හැරවෙන්නෙ.. ඉතිරියත් පුළුවන් ඉක්මනට බලාපොරොත්තුවෙනවා.. :D


    ReplyDelete
  20. අයියෝ මට මඟ හැරුනානෙ.. කියවන් එන්න ඕනෙ දැන් ආයෙත්..

    ReplyDelete
  21. අනිත් කොටස් ටික පස්සෙ කියවන්නම්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  22. අමතක වෙන්න කලින් අනිත් කොටස් ළඟ ළගම දාන්න මලේ..

    ReplyDelete
  23. ekmanata depanko bnz

    ReplyDelete